දෙමලිච්චි
දවසම වැහැලා යන්තන් පෑව්වා විතරයි. ඔළුව තියන් ඉන්න කොට්ටෙට යටින් අත් දෙක දාන් වහලේ දිහා බලන් ඉන්න මට දැන් ඇහෙන්නේ යන්තන් පොද වැටෙන සද්දේ විතරයි. ඒ වැහි පොද එන්නේ වහලෙට ගොඩක් උඩින් තියෙන වලාකුළක ඉඳන්. එහෙම නොවෙන්නත් පුළුවන්. සමහර විට ඈත තියෙන වලාකුළක ඉඳන් පහලට වැටිලා හුළඟට ගහගෙන ඇවිත් වහලෙට වැටෙනව ඇති. ඒකත් හරියට ජීවිතේ වගේ. එක තැනක ඉපදිලා තව තැනක වෙනත් මිනිහෙක් විදිහට මැරෙනවා. මම තාමත් වහලෙ දිහා බලාගෙන ඉන්නවා. පොඩි කාලෙනම් වහලේ තිබ්බෙ උළු කැට. දැන් තියෙන්නෙ අළු පාටයි සුදු පාටයි කලවම් වෙච්ච පාටක් තිබ්බ ඇස්බැස්ටෝස් ශීට්ස්. ශීට්ස් වලට ඇකමති උනාට මොනවා කරන්නද ? මේ මන් සල්ලි ගෙවලා ඉන්න කාමරේ. අයිතියක් නැ මට වෙනස් කරන්න. මේවා හිත හිත කොට්ටේ යටින් අත් ගත්ත මන් ඇඳ උඩ ඉඳගත්තේ රෑට කෑම ගේන්න පහළ කඩේට යන්න. වේලාව තාම හය උනෙත් නෑ. ඒත් ඉක්මනට ගිහින් එන්න හිතුනෙ තව පරක්කු උනොත් අර වලාකුළු වලින් පොද වැහි වෙනුවට ලොකු වැහි වහියි හින්දා. මම මූණ විතරක් හෝදගෙන එලියට ආවා. පහළට බහින්න කලින් පොඩි බැල්කනි කෑල්ලට වෙලා බලන් ඉන්ඩ හිතුනා එළිය දිහා. හන්තානේ තියෙන කඳු වල මුදුන් ටික විතරක් සුදු පාට මීදුමෙන් වැහිලා ...