දෙමලිච්චි

දවසම වැහැලා යන්තන් පෑව්වා විතරයි. ඔළුව තියන් ඉන්න කොට්ටෙට යටින් අත් දෙක දාන් වහලේ දිහා බලන් ඉන්න මට දැන් ඇහෙන්නේ යන්තන් පොද වැටෙන සද්දේ විතරයි. ඒ වැහි පොද එන්නේ වහලෙට ගොඩක් උඩින් තියෙන වලාකුළක ඉඳන්. එහෙම නොවෙන්නත් පුළුවන්. සමහර විට ඈත තියෙන වලාකුළක ඉඳන් පහලට වැටිලා හුළඟට ගහගෙන ඇවිත් වහලෙට වැටෙනව ඇති. ඒකත් හරියට ජීවිතේ වගේ. එක තැනක ඉපදිලා තව තැනක වෙනත් මිනිහෙක් විදිහට මැරෙනවා. මම තාමත් වහලෙ දිහා බලාගෙන ඉන්නවා. පොඩි කාලෙනම් වහලේ තිබ්බෙ උළු කැට. දැන් තියෙන්නෙ අළු පාටයි සුදු පාටයි කලවම් වෙච්ච පාටක් තිබ්බ ඇස්බැස්ටෝස් ශීට්ස්. ශීට්ස් වලට ඇකමති උනාට මොනවා කරන්නද ? මේ මන් සල්ලි ගෙවලා ඉන්න කාමරේ. අයිතියක් නැ මට වෙනස් කරන්න. මේවා හිත හිත කොට්ටේ යටින් අත් ගත්ත මන් ඇඳ උඩ ඉඳගත්තේ රෑට කෑම ගේන්න පහළ කඩේට යන්න.
වේලාව තාම හය උනෙත් නෑ. ඒත් ඉක්මනට ගිහින් එන්න හිතුනෙ තව පරක්කු උනොත් අර වලාකුළු වලින් පොද වැහි වෙනුවට ලොකු වැහි වහියි හින්දා. මම මූණ විතරක් හෝදගෙන එලියට ආවා. පහළට බහින්න කලින් පොඩි බැල්කනි කෑල්ලට වෙලා බලන් ඉන්ඩ හිතුනා එළිය දිහා. හන්තානේ තියෙන කඳු වල මුදුන් ටික විතරක් සුදු පාට මීදුමෙන් වැහිලා ගිහින්. අනිත් ටික තද කොළ පාටට පේනවා. මම ටිකක් ඒ පැත්තට බර වෙලා අත දික් කලේ මීදුමේ අත ගාවන්න. ඒත් ඒවා හරි ඈතයි. මන් අත ආයෙම ළඟට අරන් ළඟින් තියාගත්තා. ගෙට එළියෙන් තියෙන පඩිපෙලට වටෙන් ගහලා තියෙන වැටේ ලස්සන මල් පිපිලා. ඒවා දම්පාටට හුරු රෝස පාට මල්. මලුයි කොළයි පොඩි උනාම එන්නේ සුදුළූණු සුවඳක්. මන් බහින ගමන් කොළ කෑල්ලක් කඩාගෙන හිමිහිට නහයට අරන් ඉඹලා බැලුවා. සුවඳට වඩා උහුළ ගන්න බැරි ගඳක් ආවා හින්දා ඒක විසිකරලා කලිසමේ සාක්කු දෙකට අත් දෙක දාගෙන හිමිහිට පල්ලම් බහින්න පටන් ගත්තා.
පොද වැටුනට ඒක ඇඟට දැනෙන්නෙත් නැති තරම්. ඒත් බිම වතුර හින්දා කකුල් දෙක හොඳටම තෙමිලා. නිල් පාට සෙරෙප්පු දෙකේ සුදු පාටට කකුල් දෙක පේනවා. තැන තැන වැස්සට පෙඟුනු වේලිච්ච තණකොල තියෙනවා. මම පොඩ්ඩක් නතර වෙලා එක කකුලට ඒවා අනිත් කකුලෙ ඇඟිලි වලින් අරන් දානවා. කොච්චර අරන් දැම්මත් ආයෙම එන හින්දත්, තනි කකුලෙන් හිටගද්දි වැටෙන්න යන හින්දත් ඒ වැඩේ නවත්තලා දැම්මා මම. මම ගියේ පහලට. කෝච්චි පාර ළඟට යද්දිම ගේට්ටුව වැහුවා. ටිලිං ටිලිං ගාන සද්දේත් පටන් ගත්තා. මම ඉන්නෙ රේල් පාර මහ පාර කපන් යන තැනට ටිකක් මෙහා මහ පාරට මන් ආව අතුරු පාර වැටෙන තැන. අතුරු පාරෙන් වාහන යන හින්දා පාර අයිනට වෙලාම ඉන්න උනා මට. ත්‍රීවිලුයි බයිසිකලුයි කිසිම අණක් ගුණක් නැතුවම මහ පාරේ ඉඳන් අපේ පාරට දාලා කන්ද නැගගෙන යනවා. එහෙම අස්ස වේගෙන් ගිය බයිසිකලයක් බලන්න ආපස්සට හැරුන මට පෙනුනේ බයිසිකලේ ඒ වේගෙන්ම නවත්තලා තියෙන විදිහ. කන්ද හරිය බැහැගෙන ආව ගැණු ළමයෙක් කාණුවට කකුලකුත් වැටිලා ළඟ තිබ්බ තාප්පෙට අතත් තියගෙන නැගිටින්න දඟලනවා. කළුවර හින්දා හරියට කවුද කියලා පෙනුනෙ නැත්තෙ ඇඟ කළු පැහැයට හුරු හින්දා. ඒ මන් ඉන්න බෝඩිමට ටිකක් එහා නැවතිලා ඉන්න දෙමළ ගෑණු ළමයෙක්. බයිසිකලේ හිටිය මනුස්සයා මොනවදෝ කිය කිය බනිනවා. අන්තිමට ඇහුනේ 'මොන දෙමළිච්චියක්ද මන්දා" කියලා එක.ඒ එක්කම කෝච්චිය ආව හින්දා ඒකත් ඇහුනේ බාගෙට.
මට ගිහින් නැගිටින්න උදව් කරන්න හිතුනත් ඊට කලින් නැගිටිලා ඉස්සරහට ඇවිදන් ආව හින්දා මන් ගියේ නෑ. ටිලිං ටිලිං සද්දෙ නැතිවෙලා රතු පාටයි සුදු පාටයි ගාපු රේල් ගේට්ටුව ටික ටික අහසට යද්දි මෝටර් බයිසිකල් වල හිටිය හැමෝම වගේ ඔළුව නමා ගෙනම ගේට්ටුව භාගයක් උඩට යන්න කලින්ම පාරෙන් පැන ගත්තා. මන් තව ටිකක් ඉඳලම වාහන අඩු වෙද්දි පාර පැනගෙන කෑම ගේන්න ගියා. ටිකක් දුර යන්න තියෙන හින්දත්, තිබ්බ පොද ගතිය නැති වෙලා ගිය හින්දත්, මහ ලොකු හදිසියක් නැති හින්දත් මන් හිමින් සැරේ ඇවිදගෙන ගියා. පිටිපස්සෙන් එන්නෙ අර ගෑණු ළමයා. අකුළ ගත්ත කුඩෙන් ගස ගස මඩ පිහදානවා කකුල් දෙකෙයි ගවුමෙයි. මම ආයෙම හැරිලා ඉස්සරහ බලාගෙන ගියා. කෑම අරන් එන ගමන් වැටුන තැනට ඇහැක් දාල බලද්දි ආයෙම මට ඇහුනේ "මොන දෙමලිච්චයක්ද මන්දා" කියන එක. මූණ දැක්කාමනම් තිබ්බේ හරිම අහිංසක පෙනුමක්. එහෙම මූණක් දිහා බලලා බනින්න පුළුවන්ද මනුස්සයෙක්ට. මන් මගෙන්ම ඇහුවා. සමහරවිට ඒ ගෑණු ලමයගෙ වැරැද්ද වෙන්න ඇති. මන් වගේම උඩ බලාගෙන, අහස බලාගෙන කල්පනා ලෝකෙක ගිලිලා ආවද දන්නේ නෑනේ. මන් එහෙම කියලා හිත හදාගන්න උත්සාහ කලා
බෝඩිමෙ පඩිපෙල නගිද්දි හන්තාන දිහා බැලුවත් පොඩ්ඩක්වත් පේන්න තිබ්බෙ නැත්තේ මීදුම පහළටම ඇවිත් තිබ්බ හින්දත් කළුවර වැටිලා තිබ්බ හින්දත්. කෝකටත් කියලා බැල්කනිය ළඟ නතර වෙලත් ආයෙම බැලුවා. තැනින් තැන මීදුම අතරින් ලයිට් එළි කීපයක් මිසක් වෙන කිසිම දෙයක් පේන්න තිබුනේ නෑ. මම කකුළ් දෙක හෝදගෙන කාමරේට යද්දි තාමත් මගේ කනේ දෝංකාර දිදී තිබුනේ "දෙමලිච්චියක්". මන් ඒ ගැන ආයෙම නොහිත එහෙම්මම ඇඳට ගියත් මට ආයේම මතක් උනේ ඒ ගැනමයි. දෙමළ ගෑණු ළමයෙක් හින්දනෙ දෙමළිච්චියක් කිව්වෙ. මොකක්ද දෙමළ ගෑණු ළමයෙකුයි ඇත්ත දෙමලිච්චියෙකුයි අතර තියෙන සමානකම ? ඒ ගෑණු ළමයයි දෙමළිච්චියෙකුයි අතර තිබ්බෙ අහිංසකකම විතරයි සමානකමකට. නුවර පළාතේ වැඩිය දෙමලිච්චො දකින්න හිටියේ නැතත් අපේ ගෙදරනම් ඕන තරම් දෙමලිච්චො ඉන්නවා. උන් ඕන වෙලාවක මිදුලට එනවා. රෑටනම් කොහේ ඉන්නවද දන්නෙ නෑ. ළඟම ළඟම ගස් වල කූඩු හදාගෙන ඇති. මන් එහෙම හිත හිතා සීතල හින්දා කකුල් දෙක විතරක් වැහෙන්න රෙද්දක් දාගෙන කොට්ටේ බිත්තියට තියලා හේත්තු උනා. පොදයක්වත් තිබ්බේ නැති අහසින් මහ වැස්සක් කඩාගෙන වැටෙන්න ගත්තා. වැහි බිංදු වහලෙට වැටෙන සද්දේ කොච්චර ලොකු ගෝසාවක් උනත් ඒ සද්දෙ විතරක් ඇහෙනකොට දැනෙනේ භාවනාවක් වගේ. මගේ හිත ඇතුලෙම තිබ්බ සිතුවිලිත් එළියට එනවා ඒ භාවනාවට.
හිත ඇතුලේ ආයේ නොගන්නම තිබ්බ, ඒත් "හිත නැවතුනු සිතුවිල්ලක් " හොරෙන්ම එළියට ඇවිත් මටත් නොකියම. මට වයස දහයක් විතර වෙන්න ඇති ඒ කාලේ. ඒ කියන්නේ මීට අවුරුදු දහඅටකට කලින්. මම පහ වසරේ. ඉස්කෝලේ යන දවසක්. ඉස්කෝලේ ළඟ හින්දා උදේ නැගිටින්නේ පටන් ගන්න පැය භාගෙකට කලින්. ඒත් එදා මන් නැගිට්ටේ පැයකට විතර කලින්. ඔක්කොම ලෑස්ති කරන් අම්මටත් වැඳලා ගෙදරින් එළියට යන්න හැදුවත් ගියේ නැත්තේ ඉස්කෝලේ පටන් ගන්න තව විනාඩි පහළොවක්ම තිබ්බ හින්දා. මන් ඉස්සරහ තිබ්බ පුටුවකින් ඉඳගත්තා. අම්මා මල් කඩන්න ගිහින් එළියේ මිදුලට. මන් මිදුල දිහා බලන් ඉන්නවා. දෙමලිච්චො ඉන්නවා මිදුල පුරාම. අව්ව එන වෙලාවෙදි පනුවො අල්ලනවා වෙන්න ඇති. විනාඩි පහක් එහෙම හිටිය මන් පුටුවෙන් නැගිටිද්දිම අම්මත් මිදුලෙන් ආවා මල් වට්ටියට මලුත් කඩාගෙන. අම්මා එනවා දැකලා කොහෙටවත් යන්න වෙලාවක් නැති වෙච්ච දෙමලිච්චෙක් පියාඹගෙන ආවේ ගේ දිහාට. මන් දොරට මීටරයක් විතර මෙහායින් හිටගෙන ඉන්නවා. පියාඹන් ආව දෙමලිච්චෙක් ඇවුත් වැහුවා මගෙ අතේ. මන් බය වෙලා අත ගසලා දාන්න හැදුවත් දෙමලිච්චෙක් කියලා ඉක්මනටම අඳුන ගත්ත හින්දා මන් ඇස් දෙක උඩ දාගෙන බය වෙලා බලාගෙන හිටියා මිදුලෙ පැත්තෙන් එන අම්මා දිහා බලන් ඉන්න දෙමලිච්චව මගෙ අතේ තියන්.
ලස්සනට හොඳට ලොකුවට හැඳිච්ච දෙමලිච්චෙක්. බය වෙච්ච පාරට තාම පපුව ගැහෙනවා වගේ. මම අතින් හිමිහිට අතගෑවා. අම්මට එතනම ඉන්න කියපු මම දොර ළඟට ගියේ ඌව එළියට දාන්න කියලා. ඒත් පියාඹලා යනවා වෙනුවට ඌ කලේ උඩ පැනලා මට විරුද්ධ අතට තිබ්බ ඔලුව පැත්ත මගේ පැත්තට වෙන්න පැත්ත මාරු කරපු එක. ඌ හෙමිහිට මන් දිහා බැලුවේ මාව යවන්න එපා කියලා වගේ. මන් ආයෙත් අත ගසලා ඌව යවන්න හදනකොට මට දැනුනේ උගෙ නියපොතු මගෙ අතට තවත් තද වෙනවා කියලා. කොච්චර යවන්න හැදුවත් ඌනම් නෙමේ ගියේ. අම්මත් ගෙට ඇවිත් බලාගෙන ඉන්නවා. මම ඉස්කෝලේ බෑග් එකත් එල්ලන් දෙමලිච්චව අතේ තියන් ඉන්නවා. ඉස්කොලේ යන්න පරක්කුත් වෙනවා. දෙමලිච්චා යන්නෙත් නෑ. ඌ නොයන තත්පරයක් ගානේ මට ඌ ගැන තිබ්බ ආසාව වැඩි වෙන්න ගත්තා. ඉස්කෝලේ පටන් ගන්න වෙලාව ගෙදරදිම ආව හින්දා අන්තිමට මන් තීරණයකට ආවා. ඒ දෙමලිච්චව කලින් සතියෙ ගෙනාපු සපත්තු දාපු පෙට්ටියට දාලා යන්න. පෙට්ටිය අම්මට ගේන්න කියපු මම බෑග් එකත් ගලෝලා පුටුවේ ඉඳගත්තා.
කාඩ්බෝඩ් පෙට්ටිය පොඩි උනත් ඒක ගානට ඇති ඌටනම්. පෙට්ටියට දානකන්ම කිසිම දැඟලිල්ලක් තිබ්බේ නෑ උගේ. පෙට්ටිය වහපු මම යාන්තමට ඇරියෙ උට හුස්ම ගන්න පුළුවන් වෙන්න. දැන් කොහෙද තියලා යන්නෙ.ඒක තමා ඊළඟ ප්‍රශ්නෙ. පූසා ඉන්න හින්දා එළියෙ තියලා යන්න බෑ. වෙන හංඟන්න තැනකුත් නෑ. අන්තිමට පෙට්ටිය අල්මාරියේ දාලා. අල්මාරියේ දොරත් යන්තමට ඇරලා මන් එනකන් ඔහොම්ම හිටපන් කියලා දෙමලිච්චටත් කියලා මන් ගියා ඉස්කෝලේ. පරක්කු උනේ විනාඩි පහක් විතරක් හින්දා ප්‍රශ්නයක් උනේ නෑ මට. පන්ති කාමරේට ගිහින් පුටුවේ ඉඳගත්ත වෙලේ ඉඳන් ආයේ ඉස්කෝලේ ඇරිලා එනකන් ඔළුවෙ හිටියෙ දෙමලිච්චා. ගෙදර ගිහින් ඌත් එක්ක සෙල්ලම් කරන විදිහත්, උට කූඩුවක් හොයලා දෙන විදිහත්, ඊට පස්සේ ඌත් එක්ක හැමදාම සතුටින් ඉන්න විදිහත් ගනන් හදන අතෙරෙත්, සිංහල රචනාවක් ලියන අතරෙත් මන් හිතේ මවා ගත්තා.මන් සිද්ධිය හොඳම යාලුවටත් කිව්වා. කොහොම හරි ඉස්කෝලේ ඇරලා ගෙදර ආවේ දෙමලිච්චා මගේ අතට පියාඹගෙන ආව වේගෙටත් වඩා හයියෙන්. බෑග් එකත් පුටුවකට වීසී කරලා අම්මේ කියාගෙන මන් ගේ ඇතුළට දිව්වා.
කෑම කාමරය පහු කරලා මගේ කාමරේට යන්න හැරෙනකොට කෑම කාමරේ ඉඳන් කුස්සියට යන දොර ඇතුලෙන් මන් දැක්කේ දෙමලිච්චා හිටිය පෙට්ටිය කුස්සියෙ මේසයක් උඩ තියෙනවා. අම්මා මූණ නරක් කරගෙන කුස්සියෙ ඉඳන් මන් දිහාට එනවා. එළියේ ඉඳන්  ගෙදරට දුවන් එද්දි ගෙදර පූසා හොඳට බඩ එළියේ දාන් අව්ව තපිනවා දැක්ක එකත් ඒ එක්කම ඔළුවට ආවා. අම්මා කියන්නත් කලින් ඔක්කොම එකට ගැටගහගෙන වෙච්ච දේ හිතාගත්තා මන්. උගුරේ ගුලියක් හිර වෙලා, පපුව නැවතිලා වගේ හැඟීමකුත් එක්ක මැරෙන තරම් වේදනාවක් ආවේ මට. මම දුවලා ගිහින් බැලුවෙ අල්මාරිය. වෙච්ච දේ විස්වාශ කරගන්න බැරි හින්දා අල්මාරියෙ දොරත් ඇරලා රෙදිත් අවුස්සලා බැලුවා දෙමලිච්චා ඉන්නවද කියලා. මට හොයා ගන්න පුළුවන් උනේ අල්මාරිය ළඟ වැටිලා තියෙන අළු පාට දෙමලිචි පිහාටු දෙකක් විතරයි. මන් වේදනාව ඉවසගන්න බැරුව එහෙම්ම ඇඳට පැනලා අඬන්න ගත්තා. හදිසියේම පූසාව මතක් වෙච්ච මන් ඇඳෙන් පැනලා ගියේ මිදුලට. පූසා තාමත් මිදුලේ බොරළු ගොඩේ අව්ව තපිනවා. ඌව උස්සලා අරන් බිම අත අරින්න හිතුනත් ගතවුන පැය කීපයේ විතරක් හිතේ හිටිය දෙමලිච්චා වෙනුවෙන් අවුරුදු පහක්ම මාත් එක්ක හිටිය පූසට රිද්දවන්නේ ඇයි කියලා හිතුන හින්දා කේන්තියයි දුකයි හිතේ හංඟන් ඌ දිහා නොබලම ආවා ගෙට.
හවස හතර වෙනකන්ම මම හිටියේ කාමරේ දොරත් වහගෙන ඇඳට වෙලා. පපුව ලබ්ඩබ් ගාන හැමවෙලේකම මට දැනුනේ උදේ දෙමලිච්චාගේ පපුව ගැහුන විදිහ. ඌ ගැන සිතුවිල්ල අයින් කරන්න කරන්නම මට දැනුනේ මන් ඌ ගැන තව තවත් හිතනවා කියලා. දවල්ට තාම කෑවෙත් නැති මම කාමරෙන් එළියට ආවේ මොනවා හරි කන්නම් කියලා. දෙමලිච්චා උදේ මිදුලේ කකා හිටිය හැටිත් ඌ පෙට්ටියට වෙලා ඉද්දි කිසි දෙයක් කෑවේ නැති එකත් මතක් වෙලා මන් කෑම පැත්තකින් තියලා අතත් හෝදගෙන වත්ත පහළට ගියේ වෙල දිහා යන්න. ඒ හිතේ තිබ්බ දුක අඩු කර ගන්න. නියරක් උඩින් ඇවිදන් යන මට පෙනුනේ වෙල එහායින් තියන ගම. මම කෙළින්ම ඇවිදගෙන ගියා. හරියට පෝය දවසට එහා ගමේ තිබ්බ පන්සලට යන විදිහටම ඒ පාරේම. භාගයක් දුර ගිහින් වෙල මැද්දේ ඉඳන් හැරිලා ගෙවල් පැත්ත බලලා ආයෙම ඉස්සරහා බලන මොහොතෙදි මෙහෙම්ම පන්සලටම යනවා කියලා තීරණය කලේ කවදාවත් තනියම පන්සලට ගිහින් නැති බව දැන දැනම.
මම වෙලෙන් ගොඩ වෙලා ගෙවල් අස්සෙන් එහෙම වැටිලා තිබ්බ පන්සලට යන පාරේ ඇවිදගෙන ගියා. ගෙවල් නැති පලාතකට එන්න විනඩි දහයක් විතර ගියා මට. පන්සලේ ළඟම තිබ්බ වැවේ ලස්සනට මල් පිපිලා. පන්සලට යන්න තිබ්බේ පොඩ්ඩක් කන්දක් වගේ තිබ්බ පාරක. පාර දෙපැත්තේ කහ මල් පිපිලා. මන් උඩට ඇවිදන් ගියා. මීටර පහනක් විතර යද්දි පන්සල හොඳට පේන්න ගත්තා. මන් ඉස්සරහට යද්දි සෝරත හාමුදුරුවෝ මළුවෙ එක් කෙලවරක හිටගෙන බිම බලාගෙන වගේ අතකුත් දික් කරගෙන ඉන්නවා. පඩිපෙලේ ටිකක් උඩට නගිද්දි තමා දැක්කේ ගෑණු කෙනෙක් බිම වැටිලා හාමුදුරුවන්ට වඳිනවා කියලා. මම ඒ පැත්ත නොබලා කෙලින්ම ගියේ බුදු මැදුරට. වෙච්ච සියළුම දේ බුදු හාමුදුරුවන්ට හිතින්ම කියපු මම ආයේම එළියට එන්න පටන් ගත්තා. මගේ චේතනාව තිබ්බේ ඌට හොඳක් කරන්න. ඒත් දෙමලිච්චව පෙට්ටියට දාගෙන ඌව මගේ කරගන්න හදපු එක හොඳ දෙයක්ද ? බුදු මැදුරෙන් එළියට ඇවිත් ආයෙම පස්ස හැරිලා බුදුහාමුදරුවෝ දිහා බලපු මම බෝධිය දිහාට ඇවිදන් යන ගමන් හිතුවා. ඌව මගේ කරගන්නේ කොහොමද මන්. අපිට අපේ ශරීරයවත් අයිති නැතිකොට, අපිට අපිවත් අයිති නැතිකොට, අපි කොහොමද කාවවත් කරගන්නේ කියලා සෝරත හාමුදුරුවෝ කිව්ව දෙයක් මතක් උනා මට . ඒ මොනවා උනත් මන් උට තිබ්බ ආදරේටයි ආශාවටයි තමා මගේ කරගන්න හැදුවේ. මන් ඌව තද කරලා ඇදලා බැඳලා හිරකරලා තියාගත්තේ නැත්තන් ඌ හෙටත් මාව බලන්න මිදුලට එන්න තිබ්බනේ කියලා හිතුන හින්දා ආයෙම දුක වැඩි උනා.
කොහොම හරි මට ඕනේ උනේ දුක නැති කරම්ම පන්සලෙන් එළියට එන්න. සෝරත හාමුදුරුවෝ තාමත් අර උපාසක අම්මා එක්ක කතාව. හාමුදුරුවන්ගේ සුදු පූසා ඈත ආවාස ගෙයි හරියේ බිම දිගා වෙලා ඉන්නවා. අපේ පූසානම් දුඹුරු පාටයි. සුදු පූසෙක් අරන් එන්න ඕනේ මමත්. ගෙදර හිටිය පූසා කරපු දේට කෝප වෙන්නෙ නැතුව මන් හිත පාලනය කරගත්තා නේද කියලා මට වැටහුනේ මේ පූසා ගැන හිතපු හින්දා. පූසට ගැහුවෙ නැත්තෙත් ඒ දෙමලිච්චට තිබ්බ ආදරයයි ආශාවයි පූසාටත් තිබ්බ හින්දානෙ කියලා හිතාගත්ත වෙලාවෙයි මට හිතට සිහිනයක් ආවේ. මන් බෝධිය දිහාට ගිහින් තවත් ඒ ගැනම හිතලා හිත යන්තන් හදාගත්තා. පන්සලට එහායින් ඉර බැහැගෙන යන බව දැක්ක හින්දා මාන් ආයෙම ගෙදර යන්න පටන් ගත්තා. පඩි පෙල ළඟට ආව මට ආවාස ගෙයි පැත්තෙ සෝරත හාමුදුරුවෝවත් සුදු පූසාවත් දකින්න හිටියේ නෑ. මම පඩිපෙළ බැහැගෙන ඇවිත්  පන්සලෙන් එළියට ආවා.
ගෙදර ඇවිත් ගෙට ගොඩ උනේ කුස්සියෙ පැත්තෙන්. මේසේ උඩ පෙට්ටිය තිබ්බේ නෑ. මම කෑම කූඩෙ ඇරලා කෑම එක අරන් අත හෝඳන් කන්න පටන් ගත්තා. දුඹුරු පූසාත් ළඟට ඇවිත් කකුල් වල දැවටෙන්න පටන් ගත්තා. ඌට ආයෙමත් බඩගිනියි. මට මහලොකු දෙයක් උනාට පූසාටනම් ඒ සිද්ධීය එක වේලක් විතරයි. මන් කෑම එක කාලා ආයෙම ගියේ ඇඳට. යන්තන් එළියක් තිබ්බ හින්දා වහලේ උළු කැට පේන්න තිබ්බා. ඒ උළු කැට ඇස්බැස්ටෝස් ශීට්ස් වෙන්න පටන් ගත්තේ බලන් ඉඳ්දිම. මට ඇඳෙන් නැගිට්ට වුනා. කෑවේ ටිකකට කලින් උනත් මේසේ උඩ බත් පාර්සලයක් තියෙන බවත් බඩගින්න ගොඩක් වැඩිත් බවත් මට දැනුනා. බත් කෑම පස්සට දාලා මම ගියේ බැල්කනියට. බෝඩිමෙන් පහළට යන පාර පේනවා හොඳටම. පාරේ තිබ්බ ලයිට් එළියෙන් මම දැක්කේ පැයකට විතර කලින් බයිසිකලේක වැදිලා කාණුවට වැටුන ගෑණු ළමයා මගෙ බෝඩිම හරියත් පහු කරලා ඉස්සහරහට ඇවිදන් යන එක. මූණට හිනාවක් ආව මගෙ කටින් පිටවුනේ "මොන දෙමලිච්චියක්ද මන්දා "කියලා. හන්තාන දිහා ආයෙම පාරක් බලලා මොකුත් පෙනුනේ නැති හින්දා මන් ආවා කාමරේට.



Comments

Post a Comment

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය