පුත්‍ර ප්‍රේමය වනාහි
ජනවාරි මාසේ ඉවර වෙලා පෙබරවාරි පටන් ගත්ත ගමන්.මාස දෙකක විතර පෑවිල්ල තාමත් හොඳට තියෙනවා.මහ රූස්ස ගස් හැරෙන්න අනිත් ඔක්කොම ගස් මැලවිලා, හේබාලා ගිහින්.එක එක ජාතියෙ කොළ වැටිලා මිදුල පුරාවටයි පාර දිගටයි.සැරින් සැරේට වෙල දිහායින් එන හුළඟට ඒ වේලිච්ච කොළ ගසන් ගිහින් අඩියක් දෙකක් එහායින් ආයෙම වැටෙනවා.ඒ වැලිත් එක්ක වැදුනාම එන සර සර සද්දෙකුත් එක්කම.වෙලාව දොළහත් පහු වෙලා එකට ලං වෙන්න ඇති මට මතක විදිහට.මම කුස්සියෙ වැඩ ටිකත් ඉවර වෙලා ආවා ඉස්තෝප්පු කෑල්ලට.කුරුළු සද්ද මැකිලා ගිහින්.සමහර විට මේ අව් කාෂ්ටේ හින්දා වෙන්න ඇති.ඒත් ලේන්නු දෙන්නෙක් තරඟෙට කෑ ගහනවා පාර පැත්තේ තියෙන ලොකු වරකා ගහේ ඉඳන්.මන් උන් දිහාත් බලාගෙන පිළ උඩින් ඉඳගත්තේ බුලත් හෙප්පුවයි වංගෙඩියයි අහකට කරලා ටීපෝ එකෙන් තිව්වායින් පස්සෙ. පිළේ ඉඳගෙන බිත්තියට හේත්තු උනේ පුරුද්දට වගේ.තාත්තා එහෙම දැක්කොත්නම් අහගන්න පුළුවන් හොඳම ඒවායින්.එයා කියන විදිහට ගෑණු ළමයි ඉන්න ඕනේ ගැණූ ළමයි විදිහට හැංගිලා මුල්ලකට වෙලා.එහෙම හිටපු කාලයක් තිබුන බව ඇත්ත.ඒත් දැන් තියෙන්නේ ඒ කාලේ නෙමේ කියලා හිතුන වාර බොහොමයි.චීත්තෙත් හරි ගස්ස ගත්ත මන් කකුල් දෙකත් පිළ උඩ තියන් අත දි...