පුත්‍ර ප්‍රේමය වනාහි

ජනවාරි මාසේ ඉවර වෙලා පෙබරවාරි පටන් ගත්ත ගමන්.මාස දෙකක විතර පෑවිල්ල තාමත් හොඳට තියෙනවා.මහ රූස්ස ගස් හැරෙන්න අනිත් ඔක්කොම ගස් මැලවිලා, හේබාලා ගිහින්.එක එක ජාතියෙ කොළ වැටිලා මිදුල පුරාවටයි පාර දිගටයි.සැරින් සැරේට වෙල දිහායින් එන හුළඟට ඒ වේලිච්ච කොළ ගසන් ගිහින් අඩියක් දෙකක් එහායින් ආයෙම වැටෙනවා.ඒ වැලිත් එක්ක වැදුනාම එන සර සර සද්දෙකුත් එක්කම.වෙලාව දොළහත් පහු වෙලා එකට ලං වෙන්න ඇති මට මතක විදිහට.මම කුස්සියෙ වැඩ ටිකත් ඉවර වෙලා ආවා ඉස්තෝප්පු කෑල්ලට.කුරුළු සද්ද මැකිලා ගිහින්.සමහර විට මේ අව් කාෂ්ටේ හින්දා වෙන්න ඇති.ඒත් ලේන්නු දෙන්නෙක් තරඟෙට කෑ ගහනවා පාර පැත්තේ තියෙන ලොකු වරකා ගහේ ඉඳන්.මන් උන් දිහාත් බලාගෙන පිළ උඩින් ඉඳගත්තේ බුලත් හෙප්පුවයි වංගෙඩියයි අහකට කරලා ටීපෝ එකෙන් තිව්වායින් පස්සෙ.
පිළේ ඉඳගෙන බිත්තියට හේත්තු උනේ පුරුද්දට වගේ.තාත්තා එහෙම දැක්කොත්නම් අහගන්න පුළුවන් හොඳම ඒවායින්.එයා කියන විදිහට ගෑණු ළමයි ඉන්න ඕනේ ගැණූ ළමයි විදිහට හැංගිලා මුල්ලකට වෙලා.එහෙම හිටපු කාලයක් තිබුන බව ඇත්ත.ඒත් දැන් තියෙන්නේ ඒ කාලේ නෙමේ කියලා හිතුන වාර බොහොමයි.චීත්තෙත් හරි ගස්ස ගත්ත මන් කකුල් දෙකත් පිළ උඩ තියන් අත දික් කරලා හෙප්පුවෙන් බුලතෙකුත් අරන් නමලා කටේ දාගෙනම ඔළුව හේත්තු කර ගත්තා බිත්තියට.මුළු ජීවිතේම ගැන උනත් කොණකින් පටන් අරන් අනිත් කොනින් ඉවර කරන්න පුළුවන් තරමට හිතන්න පුළුවන් එහෙම ඉන්නකොට.උඩ බැලුවාම වම් පැත්තෙ ඉහලින් පේන්නේ වහලේ.කෙලින්ම බැලුවොත් තියෙන්නේ යට ලීයක්.මම වහලේ දිහා බලන්නේ කල්පනා කරන්න ආරම්භයක් හොයාගන්න.කළු තෙල් ගාපු සපු ලී රීප්ප දෙකක් අතර තියෙන උළු කැට ගාන ගනින එක තමා හැමදාම කෙරෙන දේ.ඒත් ඒ මොහොතකට විතරයි.විනාඩි කීපයකින් නවතින්නේ හිතා ගන්නවත් බැරි ඈත දුර තැනක.
බුලත් හපය හක්කෙන් හක්කට මාරු කර කර,කල්පනා කර කර ඉන්න අතරේ,හුළඟට මිදුලේ කොළ විසිරෙන සද්දේට එහායින් ගිය ඈතින් ඇහෙන සද්දයකට මට ආයේ එන්න උනා උළු කැට අතරට.ඊට පස්සේ කෙලින්ම ගියේ දකුණු පැත්තෙන් ගෙදර ඉඳන් ගුරු පාරට තියෙන පොඩි පාර දිගේ.ගුරු පාර කෙලින්ම යන්නේ අපේ වත්ත පහළට ගිහින් වෙල් යාය මැද්දෙන්.වෙලට මෙහා තියෙන් වංගුවෙන් එන්නේ අම්මා.ලොකු පොල් අත්තක් එක අතකින් අල්ලන් අනිත් අතින් උරේක මොනවද දාගෙන එනවා පාරෙන් හැරිලා ගේ පැත්තට.පොල් අත්ත බිම ඇඳන් ආව හින්දයි මගේ දැහෙන බිඳුනේ.වේලිච්ච පොලව දිගේ වේලිල, කර වෙච්චි පොල් අත්ත ඇදෙනකොට ඈත ඉඳන්ම සද්දේ ඇහුනේ නැත්තන් තමා පුදුමේ.
මම ඉන්න තැනින් නැගිටලා ගෙට යන්න කියලා හදලත් අම්මා එනකන්ම හිටගෙන හිටියා.අම්මා වත්තට ගොඩ උන ගමන්ම පොල් අත්ත පැත්තකට විසි කරලා ඉස්සරහටම ඇවිත් ලොකු වරකා ගහ ගාව නැවතිලා ගහ දිහාත් බලලා ආයෙම ආවා ගේ දිහාවට.කළු හීන්දෑරි ඇඟට දැන් හැටටත් කිට්ටුයි.සුදු හැට්ටය තමා අඳින්නේ මතක ඇති කාලේ ඉඳන්.ඒකට හරියන ඕනම චීත්තයක් ඇඳගත්තාම එයාට ගියෑකි රට උනත්.ඉස්සර මාත් චීත්තේ ඇඳන් එළියට ගියාට දැන් දැන් චීත්ත ගවුමුත් අඳිනවා.සමහරුනම් කියනවා සෝබනේ කියලා.මට ඇහිලත් තියෙනවා කන් දෙකටම.ඒත් චීත්ත ඇන්දැහැකියෑ හැමදාම.අම්මටනම් මොකද දැන් හැටටත් ළඟයිනේ.මට තාම විසිඅටයි.මේවා හිතන අතරේ අම්මා ගේ ළඟටම ඇවිත්.කොහොමත් මන් එක්ක වැඩි හිනාවක් නෑ අම්මා ළඟ කවදාවත්ම.ගෙට ගොඩ උන ගමන් ඇහුවේ කරුණාපාල ගැන.
"කෝ කරුණාපාල ආවද..?"
"දැක්කේ නෑ.උදේ ගියායින් පස්සේ ආවෙම නෑ..තාත්තනම් දැන් මේ ඩිංගකට කලින් ඇවිත් කාලා ආයේ යන්ඩ ගියා.."
"හ්ම්ම්..බෙදහන් මටත් බත් ටිකක්.හවස් වෙලා පිල්ලෑවට එහා ටිකේ වී ටික ඇහිඳලා දාන්ඩ ඕනේ.උඹත් වරෙන්.මට බෑ තනියම කොරන්ඩ ඔක්කොම.."

මම කුස්සියට ගියේ බත් බෙදන්න වී ඇහිදින එක ගැන මතක් කර කරම.මේ ටිකේ ගොයම් කපපු හින්දා හවහකට කුඹුරකට බැස්සොත් හොඳ වී කරල් ටිකක් අහුල ගත්තෑකි.තුනට හතරට බැස්සොත් ආයේ ගොඩට එන්නේ වෙල් යායේ කොරෝලෙම තියෙන රදා පන්සලේ හය ගැහුවායිනුත් පස්සේ.වී කරල් ඇහින්දා කියලා පාඩුවක් වෙන්නෙත් නෑ.අම්මටම විකුණලා කීයක් හරි ගැත්තෑකි.අනික මට විතරක් උරුම දෙයක්‍ යෑ.හැම කෙල්ලම හවසට කරන්නේ ඕක තමා.වී ඇටයක්වත් යවන්න දෙන්නේ නෑ අහක.අම්මනම් කමතටත් ගිහින් හරක්ගේ කකුල් වල කුර හින්දා පස් අස්සට ගියපු වී ඇටත් හූරලා අරන් පස් ටික හෝඳලා දාලා වේලලා ගන්නවා.ඒවා කරන්නනම් වෙල් වැඩ ඔක්කොම ඉවර වෙන්න ඕනේ ඉතින්.නැතුව සැරින් සැරේ ගිහින් කමත කඩතොළු කරන්ඩැයි.මන් ඕවත් හිත හිත බත් එකත් බෙදාගෙන ආවා සාලේ දිහාට.අම්මට කතා කලාම උත්තර ආවේ ඉස්සරහා හාන්සි පුටුව දිහාවෙන්.වෙන ගෙවක් වලනම් ඕකේ ඉඳගන්නේ පිරිමි විතරයි කියලා මන් අහලා තියෙන්නේ.ඒත් ගෑණු ඇඟකට ආවේශ වෙච්චි පිරිමි හිතක් තියෙන අපේ අම්මට උනත් ඒ පුටුව අයිතියි කියලා මට ඕන තරම් හිතිලා තියෙනවා.අම්මා ඉන්නේ හැට්ටේ ගලවන් බෙල්ල දෙපැත්තෙන් දාන් අත් දෙක පුටුවේ ඇඳි දෙකේ තියාගෙන දකුණු අතේ මාපටඟිල්ලෙන් ඇන්ඳට තට්ටු කර කර පාර දිහා බලන්.හැට්ටේ ගලවන් මහ දවාලේ ගේ ඉස්සරහා පුටුවේ වාඩි වෙලා ඉන්න එක මහා නරක අශෝබන දෙයක් කියලා හිතුනත්, ඒ එක්දාස් නමසිය හැටේ නවම් මහේ පොළව පැලෙන තරමේ රස්නේ දවසක මහ දහවලේ කියලා මතක් උන හින්දා ඒ සිතුවිලි ආවටත් වඩා වේගෙන් පැනලා ගියා.
මම කෑම එක අම්මට දීලා වැඩි කතාවක් නැතුවම මිදුලට බැස්සේ පහළ කොරටුවට යන්නත් එක්කම.ඒත් දැක්ක දෙයින් එළියට තිබ්බ කකුල ආයෙමත් අරන් නැවතිලාම පාර දිහා බලන් හිටියා.කරුණාපාල පහළ වංගුවෙන් හැරිලා ගෙට හැරෙන් පාර දිගේ එනවා ගේ දිහාට.උදේ ගෙදරින් යනකොට පාගන් ගිය බයිසිකල් කට්ටත් නැහැ.එක් අතකින් කැහැපට නොගහපු සරම පැත්තකින් උස්සන් අනිත් අතෙන් මල්ලකුත් අරන් වැනි වැනී එනවා.කමිසේ බොත්තම් නැති හින්දා කළු පාටට මුළු පපුවම එළියේ."අන්න කරුණාපාල එනවා..හොඳට අරන් වගේ අදත්.."මම පිළිකුලක් එක්කම ආපු තරහෙන්ම කියලා දැම්මා.අම්මා කන ගමන්ම ඔළුව හරෝලා බැලුවත් කිසිම වෙනසක් උනේ නෑ මූණේ.ආයේ ඔළුව හරෝලා කන්න පටන් ගත්ත එක තමා කලේ.
කරුණාපාල මට වඩා අවුරුදු පහක් බාලයි.ඒත් මට මතක ඇති කාලේක කරුණාට මල්ලි කිව්ව දවසක්වත් කරුණා මට අක්කා කිව්ව දවසක්වත් තිබිලා නෑ.මට කරුණාට මොකුත් කියන්න ඇත්නම් කියවන්නේ අම්මාට කියලා.ඒත් ඒකානම් මට ඕන කුණුහරුපයක් කියලා කතා කරනවා "අක්කා" වචනේ හැර.මට හරියටම මතක නෑ කොහොමද අක්කා මල්ලි සම්බන්ධය නැතුව ගිහින් අපි මෙහෙම දුරස් උන දවස.සමහරවිට කරුණා බොන්ඩ පුරුදු වෙච්ච කාලේ ඉඳන් වෙන්න ඇති.ඒ මීට අවුරුදු හය හතකට කලින්ම ඉඳන්.ඒ කාලේ ඉඳන්ම කරුණාපාල අම්මා එක්ක කතා කරන කිසිම වෙලාවක මමනම් එළියට එන්න තියා හිතන්නේවත් නැහැ.ඒ ඕනේ නැති ප්‍රශ්න ඔළුවට දාගන්න තියෙන අකමැත්ත හින්දා මිසක් ඌ ගැන හිතේ තියෙන සහෝදර ප්‍රේමයේ අඩුවක් හින්දානම් නෙමේ.
මම කෙලින්ම ගියේ කාමරේට.ගිහින් කරන්න වැඩක් නැතත් ඉස්සරහින් එන දේවල් වලට කන් දුන්නේ අම්මා මොනා කියයිද කියලා අහගන්නත් එක්කම.අම්මා තාත්තා එක්ක රණ්ඩු උනත් කරුණාපාල එක්ක රණ්ඩු වෙන්නේ නැහැ කිසිම දවසක."ඔය කුස්සියෙන් තියහන්.බල්ලො අදියි වහපන් මොකකින් හරි.මන් එන්නං ටිකකින්".අම්මා කිව්වේ එච්චරය.එක්කෝ මට ඇහුනේ එච්චරය.මේ ගෙනාවේ මොනවද කියන්න ආයේ අම්මගෙන් අහන්න ඕනේ නැති හින්දම මම කාමරේටම වෙලා හිටියා තව ටිකක්.ජනේලෙන් කෙලින්ම පේන්නේ ගෙට වම් පැත්තෙන් තියෙන කුඹුරුයාය.අක්කර දෙකක් උන මුළු වත්තම දෙපැත්තකින් වට වෙලා තියෙන්නේ ඔය කුඹුරුයායෙන් තමා.ඉස්සරහින් මාමලාගේ වත්තත්, දකුණින් ගුරු පාරත් ඊට එහා වත්තත් තියෙනවා.මම වෙල දිහා බලන් ඉන්නේ කවුද වෙලේ ඉන්නේ මොනවද උන් කරන්නේ කියලා බලන්න. එහෙමත් නැත්තන් වෙලාවකට වෙලේ ඉන්න හරක් ගනන් කරන එකත් කරනවා.නැත්තන් පොඩ්ඩක් ඔළුව උස්සලා අහස දිහාත් බලනවා.මේවා මට හරියට හිතට නිදහසක් ගෙනල්ලා දෙන වැඩ.ගෙදර තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා හිතට ප්‍රීතියක්, මූණට හිනාවක් ගෙනල්ලා දෙන වැඩ.මේ අතරෙදිම වත්තේ බඩ වැටියෙන් ගිහින් ඇලෙන් ගොඩ වෙලා නියරක් දිගේම වෙල් යායට එකතු උනේ කරුණාපාල.ඒ දැකීම මට ඉඟි කලේ කාමරෙන් එළියට යන්න කියන එක විතරමයි.
මම කාමරෙන් එළියට ඇවිත් කුස්සියට යනකොටම කුස්සියෙ දොරෙන් එලියට ගිහින් බිම බොරළු පොළොවට චරාස් ගාලා වැදුනේ අම්මා පිඟාන හෝඳලා විසිකරපු වතුර ටික.මම කතාවක් නැතුවම හෙව්වේ කරුණාපාල ගෙනත් තියපු මල්ල."කෝ අම්මේ.මොනවදා කරුණාපාල ගෙනාවේ..මන් දැක්කා ආයෙත් වෙලට ගියා..මොනවා කරනවද කියලා දෙයියෝ තමා දන්නේ.."මගේ ඒ වචන ටිකේ අගයවත් නොතියපු අම්මා කිව්වේ, "වෙනදා ජාතියම තමා ඉතින්.." කියලා විතරයි.මාත් තව මොකුත්ම නොකියා කුස්සිය අස් කරන්න ගත්තේ කරන්න මහ ලොකු වැඩකුත් නැති හින්දා.ඒ අතරෙදිත් හෙව්වේ අර මල්ල.ඒත් මටනම් නෙමේ හම්බුනේ.මන් ඒ ආසාව අත් ඇරලා කුස්සිය අතුගාන්න පටන් ගද්දිම පාර දිහායින් ඇහුනේ ජීප් එකක සද්දේ.ඒ හැටි ගානක් නොගත්තත් විනාඩි පහක් යන්ඩත් කලියෙන්ම ගේ ඉස්සරහින් ඇහුනේ කාගේ හරි කටහඬක්.කොස්ස බිත්තියට හේත්තු කරපු මම අම්මා ඉස්සර කරන් එළියට එද්දි සාලේ මැද්දෙදිම දැක්කා සතියකට සැරයක් විතර දකින්න වෙන සුපුරුදු දර්ශනේ.පොලිස්කාරයෝ තුන් දෙනෙක්ම මිදුලේ.එක පොලිස් කාරයෙක් ඉස්සරහත් අනිත් දෙන්නා පස්සට වෙලා හිටිය හින්දත්, ඉස්සරහින් හිටිය මනුස්සයගේ මූණේ තිබ්බ සැර පාට හින්දත්, මුළින්ම කතා කලේ ඒ කෙනාම හින්දත්, ඒ ඉන්නේ ලොක්කෙක් කියලා හිතා ගන්න පුළුවන් උනා විජහට.
මම ගියේ නෑ තව අඩියක්වත් වෙනදා කරන විදිහට මට කරන්න ඕන උනේ වත්ත පහළ කොරටුවට යන්න.මම කුස්සියෙන් එලියට බහින්න යද්දිම තවත් දෙන්නෙක් මුරට ඉන්නවා දැකලා ආයේ පහුබහින්න උනා ගේ ඇතුළට.මේ වගේ සිද්දි මේ ගෙදර වෙන එක පුදුමයක් නෙමේ.දන්න කාලේ ඉඳන්ම නොවුනත් කරුණාපාලගේ බීමත්, හරක් හොරකමත්, කුකුළු හොරකමත්, කෙහෙල්කැන් හොරකමත් වගේම ගෑනු හොරකමත් හින්දා පොලීසියට අපිවත් අපිට පොලීසියවත් ආගන්තුක අය උනේ නෑ.මේ වෙලාවට මම කරන්නේ එක්කෝ කාමරයට වෙන එක හරි කොරටුවට යන එක හරි.ඒත් අද කරන්න වෙන්නේ අම්මගේ පස්සෙන් වැටිලා ඉන්න එක විතරම විතරයි.පපුව ගැහෙනවා ගිඩි ගිඩි ගාලා.මූ සර්වාගෙම දාඩිය දාලා දවල් දොළහට තිබ්බටත් වැඩියෙන්.මම සාලෙට වෙලා අහන් ඉන්නවා මොනවද කියවන්නේ කියලා.
"මොකෝ මහත්තයා මේ පැත්තේ.අපෙ වරදක් උනාවත්ද..?" අම්මා ඔළුව කෙලින්ම කරන්ම ඒත් කොන්ද ටිකක් නමාගෙන කියෝනවා.
"අපේ නෙමේ ගෑනියෙ.උඹෙ පුතාගේ වරද තමා..කෝ කරුණාපාල..? "පොලිස් ලොක්කා අම්මගේ ඇඟට පැන්නේ නැති ටික විතරයි.තාමත් "කරුණාපාල" ගේ ඇතුලේ දෝංකාර දෙන තරම්ම ඒ වචන සද්දෙයි.
"අහ්..ඒක මිසක්කා.ඌ ගේ ඇතුලෙනම් නෑ මහත්තයා.මේ ටිකකට කලින් ගියා නෙව..ඕන්නැම් ඇවිල්ලා බැලුවනම්.."අම්මා පොලිස්කාරයන්ට ගෙට ඇතුළට එන්න ඉඩ දීලා අයිනකට වෙන ගමන්ම කියෙව්වා.
"මොකෝ මහත්තයා.මේ පාර..? ඌට ඉතින් ඔය කිව්වට අහන එකක් යැ.ඒ කියලා ඉතින් මහ ලොකු වරදක් කොරන්නෙත් නෑනේ.."
"අපි බලාගන්නම් ඒක ඌ එක්ක.." පොලිස් ලොක්කා ගෙට එනගමන් කියවගෙන අනිත් දෙන්නටත් අතින් සන් කලේ ගේ ඇතුල බලන විදිහට.මම කාමරේ දොර ගාවටම වෙලා මේ ඔක්කොම බලාගෙන ඉන්නවා ගැහි ගැහී.මගේ පපුවේ සද්දෙ මටම ඇහෙනවා.පොලිස් කාරයින් මාව පහු කරලා කුස්සිය පැත්තට යද්දි බිම බලන් හිටපු මන් ඔළුව උස්සලා බැලුවේ ඒ පස්සෙන් අම්මත් යන වෙලාවේ.මාත් පෝලිමට ගියා ඒ එක්කම.
මට මෙහෙම උනත් අම්මට මේවායේ කිසිම ගානක් නැහැ.යකෙක්ටවත් බය නෑ වගේම, කොතන ගියත් එන්නේ දිනලා.ඒ මහ ලොකු මොලයක්වත්, දැනුමක්වත් තිබිලම නෙමේ.ඒ වෙලාවට හරියටම හරියන උපක්‍රම ඒ වෙලාවටම දාන හින්දත් වයසත් එක්කම මෝරපු කාටත් නොදෙවෙනි කපටිකමත්, හැට පනින්න ඔන්න මෙන්න තිබ්බත් ඇඟෙයි හිතෙයි හැමතැනම තිබ්බ ගෑනු ගතිත්, මායම් ටිකත් හින්දා.ඒවායින් කීපයක් පාවිච්චියට ගන්න හැටි තමා ඊළඟට ඇහුනේ.පොලිස් ලොක්කා ගේ හැමතැනම පීර පීර හොයන්නේ කරුණාපාල ගෙනා මල්ලම වෙන්න ඕනේ.පුටු යට, ඇඳන් යට, මේස යට මේ හැමතැනම හොයනවා.අන්තිමේදී වී ගෝනි ගොඩටත් බැටන් පොල්ලෙන් ඇනලා බලන්නේ හොයාගන්න බැරිම තැන වෙන්නෝනේ.ඩොක් ඩොක් ගාලා ඊළඟට තට්ටු කලේ වීගෝනි ළඟම තිබ්බ පෙට්ටගමට.ඒක අරින්නේ අම්මා විතර්මකය.අපිට තහනම් වේ.අම්මාගේ සබ්බ සකලමනාවම තියෙන්නේ ඉතින් ඒකේ තමා.අම්මාගේ වචන ඉස්සර විය.
"මොනවද සුදෝ හොයන්නේ.."අම්මා අහක ඉඳන් පොලිස් ලොක්කා දිහා බලාගෙන යන ගමන් කිව්වෙ තියෙන හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්නට වෙන්න ඕනේ.
"පලයන් නාකිච්චියෙ යන්ඩ..උඹ හිතුවද මෙතන මන් අහවල් එකට ආවා කියලා.." පොලිස් ලොක්කා පුපුරමින් කරපු කෑගැහිල්ලට අම්මට වඩා ලොකුම ලැජ්ජාවක් ආවේ මට.
කොහොමෙන් කොහොම හරි පොලීසියේ අයට යන්න උනේ හිස් අතින්.ආයෙත් එන බවත් සූදානම් වෙලා ඉන්න කියලත්, කරුණාපාලව දැක්ක තැනකදි කුදලන් යන බවත් අම්මට කිව්වා කියලා ඇහුනා ගේ ඉස්සරහින්.තාම මන් ගැහි ගැහි ගේ ඇතුලේ.අම්මා ගෙට එනකොට මං කුස්සියට පැනලා මිදුල දිහා දෙපාරක්ම දෙපැත්තට පැනලා එළියට ගියේ බය වෙච්ච බයවිල්ලට ඇඳුමේම මුත්‍රා නොයාම ගැන සතුටකුත් හිතේ තියාගෙන.
ආයෙම ගෙට එද්දි බංකුවකුයි කරුණාපාල කලින් ගෙනා මල්ලයි අත් දෙකට අරන් අම්මා මිදුලට ආවේ මට ලොකු හැලියක් ගේන්නැයි කියන ගමන්මයි.ඊට කලින් ගේ පැත්තට එනකොට ඩාං සද්දේ දාගෙන වැහුනේ පෙට්ටගමේ පියන වෙන්න ඕනේ.මල්ල තිබිච්ච තැනත් ඒකෙන්ම හිතා ගත්ත මන් ලොකු හැලියකුත් අරන් මිදුලට යනකොටත් අම්මා හිටියේ මල්ල ඇරගෙන ඇස් ලොකු කරන් හරි සතුටකින්.වළඳ බිමට ගත්ත අම්මා රතුපාටට ලේ පිරිච්ච, තාමත් නලියනවා වගේ පෙනුන, නාහේ කඩන් යන අමුතු ගඳකුත් තිබ්බ හොඳ හරක් ගාතයක මස් ටික දැම්මේ කටට පිරුණු කෙළ දෙපාරක්ම හොඳට ගිල ගන්නවත් එක්කම.මටනම් මේවා අරහංය.කිසිම දිනයක හරක් මස් කෑවේ නැති උනත් සතියකට සැරයක් හෝ දෙසැරයක් මෙහෙම ගෙදරට එන මස් උයන්නට උන අවස්ථානම් බොහොමයි.අම්මා කිසිම දාක කරුණාපාලට එපා කියලා නැහැ මට මතක ඇති කාලෙකනම්.සමහර දවස් වල බාගෙට ඉදෙන හොද්ද කූරු ගගා ඉන්න වෙලේක අම්මා ළඟට එන කරුණාපාල අම්මත් එක්ක කතා කර කරම අම්මගෙන් හැන්ද අතට අරන් බාගෙට ඉදුන ලොකු මස් කුට්ටියක් අරන් කටින් පිඹ පිඹ අතින් අතට මාරු කර කර කටේ දාගෙන කනවා මම ඕනෑ තරම් දැකලා තියෙනවා.මේවා මොන ජීවිතද කියලා හිතුන වාර ගණනත් අනන්තයි.
හවස හතර වෙන්න ළං වෙද්දි පන් මල්ලකුත් ගත්ත මන් කොරටුවටත් යන ගමන්ම වෙලට බැස්සේ අද කපලා ඉවර උන කුඹුරක වී කරල් ඇහිදින්න.ඒ යන අතරෙදි මඟදි හම්බ වෙච්චි සුමනාටත් කතා කර කර මම ඉස්සරහටම ඇදුනා.සුමනා වෙන කුඹුරකට යැව්ව මන් තනියම වී කරල් ඇහිදින්න පටන් ගත්තේ තනිකම කොච්චර හොඳද,සුන්දරද කියලා හිත හිත.වැඩි අව්වකුත් තිබ්බ නැති හින්දත්, හුළං පාරකුත් ආව හින්දත් ඇඟට දැනුනේ හරිම සනීපයක්.ඒත් හිත තාමත් ගැහෙනවා.ගිඩි ගිඩි ගාලා පපුව නොගැහුනත්, දාඩිය නොදැම්මාත්, හිත හරිම නොසන්සුන්.කරන්න තිබ්බ එකම දේ තමා හිතන එක.මන් වෙච්ච හැමදේම හිත හිත වී කරල් ඇහිදිනවා.මුලින්ම හිතට ආවේ පොලිස්කාරයෝ.ඒත් මට කිසිම වරදක් උනේ නැති හින්දා ඊළඟට ගියේ කරුණාපාලත් අම්මත් ළඟට.මට තාම හිතා ගන්න බැරි ඇයි අම්මා කරුණාපාලව හරි මඟකට ගන්නේ නැත්තේ කියලා.ඇයි අම්මා මෙච්චර උඩගෙඩි දෙන්නේ කියලා.හිත කිව්වෙම ඒ අම්මගේ ආදරේ හින්දා වෙන්න ඇති කියලා.කොහේ ලැගලා ආවත්, මොක කරලා ආවත් තමන්ගේ අම්මට පුතාව වටිනවනේ කියලා හිත හදාගන්න හැදුවත් හිත නෙමේ ඉඩ දුන්නේ.මම තව තවත් හිතුවා.හිතන්න පුළුවන් ගැඹුරටම හිතුවා. යන්තන් අවුරුදු විසි තුනක් උනත් දේහධාරි ශරීරයක් තිබ්බ කරුණාපාලව දකින පිරිමියෙක් උනත් සුළු මොහොතකට හෝ බය වෙනවාමයි.රතු ඇස්, වැවුනු කොණ්ඩය, කළු හම මේ හැම එකක්ම අපිව බය කරනවා.අම්මා වචනයක් නොකියන්නෙත් ඒ හින්දද.මම මගෙ හිතෙන්ම ප්‍රශ්න කරනවා.එහෙම නෙමේ වෙන්න ඇති.අම්මට මොකුත් කරන්නේ නෑ ඒකා කවදාවත්ම.එහෙනම් හරක් මස් කන්න තියෙන ආසාවටද.එහෙම වෙන්නත් බෑ.වෙන හොරකමක් කලත් අම්මගේ සහනය එහෙම්මමයි.අන්තිමට මට උනේ මගේ හිතටම යටත් වෙන්න.ඒ අම්මගේ ආදරේ හින්දා වෙන්න ඇති.නැත්තන් මෙලෝ මනුස්සයෙක්ටනම් ඕවා ඉවසන් ඉන්න බෑ.
මෙහෙම හිත හිතා හිත හිතා උන්නු මන් පැය භාගෙකටත් විතර පස්සේ කොන්ද කෙලින් කලාම මට පෙනුනේ කුඹුරු කීපයකට එහා හිටිය මීහරක් රංචුව.ඊට එහායින් එළ වැස්සියක් හිටියා බිම දිගා වෙලා.ඌ වටේම දුවන්නේ දවස් දෙක තුනකට කලින් ගහපු දුඹුරු පාට පැටියෙක්.ඒත් අම්මෙක්.ඌත් ආදරේ ඇති උගෙ පැටියට මේ ලෝකේ කාටවත්ම නැතිතරමට.අන්තිමටම මට හිතුනෙත් එච්චරයි.

Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය