බොර වෙච්චි මහවැලිය

හිල් වෙච්ච ටකරමෙන්
හරියටම ඉර පේන වෙලාවක
දවල් කෑමට ආපු ගමනේ
කිරි දෙන්න නැවැතුනේ
සතියකට කලියෙන්
මරුවත් එක්ක බාගෙට මැරිලා
එළිය බලපු ලේ කැටියට..
යන්නට හිටියත් පැය භාගෙන්
කොහොමද යන්නේ මන්
හුස්ම ගන්නකොට
නිල් පාටට නහර පේන
කටුයි හමයි විතරක් තියෙන
ලේ කැටියව මෙහෙම දාලා..
උදේ කාපු රොටි කෑල්ල
කිරි වෙලා යනවා
කිරි කැටියගෙ පොඩි බඩට
බලන් ඉන්න අතරෙදි ඕවා
ඩොක ඩොක ගාගෙන
වැටෙනවා වතුර බිංදු
ටකරමේ හිල් වලින්
වැටෙනවා වතුර බිංදු
පොඩ්ඩව වහ ගද්දි
නැගිටිලා යන්නවත් තැනක් නැති වෙද්දි
"අම්මේ අයින් වෙයන් පොඩ්ඩක්
මේකව තියලා ගන්ඩ රෙදි ටික"
ඇඳට ඔත්පල වෙච්චි
අම්මව අතකින් ඇඳලා
"ඉඳපන් පුතේ ආච්චි එක්ක"
කියලා පැන ගත්තේ එළියට


මිනිහෙක් නැති උනත් මට
ළමයට ඉන්නවා සුපරින්ටන්ට් තාත්තෙක්
ඕවා හිතන්නෙ මොකටද දැන්
අරන් රෙදි ටික දැම්මා ඇතුළට
වැස්ස හරි ලොකු උනත්
මටත් හිතුනේ වැස්සේ තෙමෙන්ඩ
උන්ට ලොකු ගෑනියෙක් උනත්
හිතින් මන් පොඩි කෙල්ලෙක් තවත්...
වැහි බිංදු මගේ ඇඟට
වැටෙනකොට රිදුනට
සනීපයි වැස්ස වැඩි වෙද්දි
ඔහොම්මම තමා ජීවිතෙත්
ප්‍රශ්න වලට හුරු උනාම
පැණි රහයි දුක උනත්...

මාස දෙකකට කලින්
වැස්සා මේ වගෙම හොඳ හැටි
කුස්සිය පැත්තෙ වරිච්චි ටික
කැඩිලා ගියේ ඒ වැස්සට
මේක ගෙයක්ද
නැත්තන් පරඬැලක්ද
මටම හිතුනා ගේ දැක්කම
පැත්තක වරිච්චි
අනිත් පැත්තෙ ඉටි රෙදි
වහලෙට ටකරං
එක පැත්තක ටයර් කෑලි..
ඉඳගත්තේ මන්
එළියෙ තිබ්බ බංකුවක
අත් දෙකම ඔළුවෙ තියන්
ඇස් වහ ගත්තෙ මොහොතකට

උඩට වහින වැහි
බිමට එන්නේ
ගලා ගලා ගෙන
මඩ එක්ක තරඟෙට
කාගෙද ඒ පැත්ත
බැලුවාම පෙනුනේ මට
ලෙච්චමීලගෙ ගේ පොඩ්ඩ
ටකරං වලට ඇන ඇන
උනුත් මහලොකු තරඟෙක..
ඒ ගලන මඩ වතුර
එන්නෙ අපෙ ගේ දිහාවට
මඩ පාට වැඩි වී
ගලන්නේ ගෙයිනුත් එළියට
වරිච්චි බිත්තියෙ
ලී පේනව දැන් හොඳට...
කොහෙටද ගලන්නේ ඒ වතුර
මඩ එක්ක තරඟෙට
කාගෙද ඒ පැත්ත
බැලුවාම පෙනුනෙ මට
සෙල්ලම්මගේ ගේ පොඩ්ඩ..
ඊටත් ඒහාට ගියාට ඒ වතුර
දන්නේ නෑ කියන්නට නම් ගම් හරියටම
පොඩි කාලේ තාත්තගේ
කතා වල තිබ්බෙනම්
"ඔය වතුර යන්නේ
ලොකු ගංඟාවකට පුතේ.."
"ඊට පස්සේ යනවලු
මුහුද කියලා ලොකු වැවකට"...

මට මොන මුහුදුද
මොන ගංඟාද මොන වැව්ද
කිරි කැටියා උණුහුමෙන්නම්
ඒ ඇති බඩ පිරෙන්නට..
ඒත් හිතුනා මට හිතන්නට
මේ යන වතුර රැලි
ඇයි මෙච්චර බොර පාට ?
හිතනකොට හිත නැවතුනේ
බිත්තියක් ළඟ අපෙ ගෙදර
වරිච්චි අස්සෙන්
ගලන ඒ වැහි බිංදු
යනවා මැටි සිදුරු කර
බිමේ ඇති පාදමට...
වහලෙ ටකරමෙන් එන
වැහි බිංදු පොද එක්ක
යාළු වී උන් එක්ක
ගලාගෙන යනවා දැන්
පහළටමට පහළටම...

ඔය යන වතුර වෙන්නැති
ගලන්නේ මුහුදටම
මුහුදත් බොර වෙයිද
බොර වෙලා මඩ වෙයිද ?
එහෙම උනත් අපිට මොකද
මම දැකලා නෑනේ ඒ මුහුද..
මුහුදට යන ඒ වතුර
ඊට කලියෙන් යන්නේ ලොකු ගඟට
මිනිස්සු රැවටෙයිද
බය වෙයිද බොර දියට...
ගිහින් කියන්නට තිබ්බනම්
"බය වෙන්ඩ එපා බන්
ඕව ඔය මඩ වතුර
ගෙවල් වල සාරයම
උරා ගෙන පැන නගින
සෙල්ලම් කරන් අපි එක්ක
සල්ලම් කරන් අපේ ජීවිත
ටකරමෙන් ඇඳ හැලෙන
වරිච්චි වලින් බැහැලා යන.."

Comments

  1. "මට මොන මුහුදුද
    මොන ගංගාද මොන වැව්ද
    කිරිකැටියා උණුහුමෙන්නම්
    ඒ ඇති බඩ පිරෙන්නට.." අම්මලා එහෙමය ආදරේ ජීවිතේ අපි වෙනුවෙන්ම ලියන්නට ඔවුන් ඔවුන්ගේ ජීවිත අතහැර ඇත. කල්පයක් යනකලත් ඉන් පසුවත් පහල වන උතුම් මවුවරුනට ප්‍රණාමය ❤️

    ReplyDelete
  2. හුස්ම ගන්න අකුරු ❤️❤️😥

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය