පරණ ගෙදර

 මේ ග්‍රීස්මෙට වතුරේ බැහැලා හිටියත් මදි වගේ.ඇග පුරාම දාඩිය ගලන හින්දත් ෆැන් එක එක තැන කැරකුනත් මම ෆැන් එක වටේ කැරකුනත් කිසිම සනීපෙකුත් නැති හින්දත් ඕන එකක් වෙයන් කියලා ඇරලා දැම්මා ජනේලේ.මාව මොහොතකට ගල් ගැහුනේ වලාකුලු වලින් ලාවට වැහුනු හඳ දැකලා.වෙලාව රෑ දොළහට ලං උනත් හොදටම එලියයි හතර වටේම. මට එක පාරටම හිතට ආවේ අපේ පරණ ගෙදර.කටු මැටි ගහපු, වරිච්චි බැඳපු, බිමට ගොම ගාපු, වහලෙට පොල් අතු හෙවිලි කරලා තිබ්බ ගෙදර.ඒ කාලේ ගෙදරට ලයිට් අරන් තිබ්බ නැති හින්දා හඳ එලිය කියන්නේ අපො නිතරම විඳපු දෙයක්. අපිට අළුත් අළුත් දේවල ලැබෙද්දි පරණ දේවල් අමතක වෙන එක ඉතින් පුදුමයක් නෙමේ.දැන් ඕ භූමිතෙල් වලට වෙලා තියෙන්නෙත් ඒකම තමා.ඒ කාලෙනම් අපි කියන්නෙම ලාම්පු තෙල් කියලා.ගෙදරටම තිබ්බේ ලාම්පු තුනක් විතර මන් හිතන්නේ.එක චිමිනි ලාම්පුවකුත් තිබ්බා කියලා මතකයි.ඕවායේ තිර හදන එකයි තෙල් දාන එකත් හරි පරිස්සමට කරපු දේවල්.මොකද ඉතින් තෙල් හැලුනොත් රෑට කළුවරේ ඉන්ඩ වෙන හින්දා.ඒ ලාම්පු වලින් ආපු මලානික එළියයි තෙලුයි දැළියි එකතු වෙලා ආපු නාහේ කඩන් යන සුවඳයි තාමත් මට මතකයි. බිමට ගාපු ගොමත් තාමත් කකුල් වලට දැනෙනවා වගේ.හරිම අමුතු හැගීමක් තමා ඒකෙත් තියෙන්නේ.ගොමයි මැටියි එක්කහු කරලා ගානකොට පොඩි ගදක් එනවා තමා.ඒත් ඉතින් ඒ කාලේ හොඳට ගොම ටික පිහලා එහෙම තියෙන ගෙදරක් කියන්නෙත් හරිම වාසනාවන්ත සුභ තැනක් තමයි.දැන් ඉතින් හොඳට ටයිල් ටික ඇල්ලුවාමත් එහෙම කියනවනේ.කාලෙන් කාලෙට වෙනස් වෙන හැටි තමා ඒ. කටු මැටි ගහපු පොල් අතු හෙවිල්ලපු ගෙදරක් ඇතුලේ ඉද්දි දැනෙන හැගීම A/C කරපු කාමරේක ඉඳලා ගන්ඩ බෑ.සාමාන්‍යයෙන් මම නවීන දේවල අගය කරනවා.ඒ හින්දා හැමෝටම පොල් අතු හෙවිලි කරන්ඩ කියන්නේ නෑ මන්.ඒත් අර දැනුනු හැගීම්නම් හරිම ප්‍රබලයි.පොල් අතු හෙවිලි කරාම තියෙන ලොකුම ප්‍රශ්නේ තමා ටිකක් දවස් යනකොට වැස්සාම වතුර වෑස්සෙන එක.ඒ වෙලාවට අපිනම් කලේ වතුර වැටෙන තැනට කොසු මිටෙන් අනින එක.වෙලාවකට වැඩියෙන් හිල් වෙනවා.ඊට පස්සේ ඉතින් වැස්ස ඉවර වෙනකන්ම තෙමෙන්ඩ තමා වෙන්නේ.එහෙම වෙච්ච වෙලාවකදි අපි කරන්නේ කොරහක් හරි ලොකු වී තම්බන මුට්ටියක් හරි වතුර වැටෙන තැනට තියන එක.වැස්ස ඉවර උනාම ඔය මොනා හරි වලං හෝදන වගේ වැඩකට වතුර ටික ගන්ඩ පුළුවන්.
















තව අපි දැක්ක ලස්සනම සිද්ධියක් තමා වහිද්දි උයනකොට පොල් අතු අස්සෙන් හිමින් සීරුවට දුම් කැටි ඉහළට යන එක.වැස්සට බයේ පොල් අතු අස්සෙන් ඳුම් රිංගන්නේ නැතුව ගේ ඇතුලෙ සක්මන් කරන්නෙ අපිට එලියට ගිහින් වැස්සෙ තෙමෙන්ඩ කියනවා වගේ.යන්තන් වැස්ස පායපු වෙලාවක එළියට ගිහින් බැලුවොත් හොඳට පේනවා දුම් උඩට යන විදිහ.අපි දුම් අල්ලන්ඩ උඩ පැන්නෙ නැතුවට දුම් රොටු එක්ක ඔට්ටු අල්ල අල්ල අම්මා කුස්සියේ ඉව්ව එකනම් තාම මතකයි.දර ලිපෙ උයන එක එසේ මෙසේ වැඩක්නම් නෙමෙ ඒ වැස්ස කාලේදි.කලින් කොච්චර හොඳට වේලිලා තිබ්බ දර උනත් වැස්ස කාලෙට පොඟනවා.ඉතින් මොන සක්කරයටවත් බෑ ඒවා අවුලන්ඩ.පපුවේ හුස්ම හිර වෙනකන්ම පිඹින එක තමා කරන්ඩ තියෙන්නේ.
තව පොඩ්ඩක් මතක් කරන් ගියාම කුස්සිය කෙලවරක තිබ්බ මැටි කළගෙඩිය මතකෙට එනවා.දැන් කාලෙත් මැටි කල තියෙනවා.හැබැයි ඒ සීතල වතුර ටිකක් බොන්ඩ තමා.ඒත් ඒ කාලෙනම් සීතල ඇල් කියලා දෙයක් නෑ ඕන එහෙකට තියෙන්නෙ ඕ මැටි කලේ තමා.පෙලක් වෙලාවට බුලත් පාත්ති වලට වතුර දාන්ඩ තාත්තා ගෙනියන්නෙත් ඒකම තමා.පොඩි කාලෙනම් මට කලගෙඩිය උස්සන්ඩ බෑ.ඒ තියා හරියකට වතුර ටිකක් නමා ගන්ඩ බෑ.මතක් වෙනකොටත් හිනා.මොකද මන් හැමදාම වතුර නමන්ඩ ගියාම කලේ පෙරලන හින්දා.කලේට වතුර ගේන්නෙ ළිඳෙන්.ගෙනත් තියන්නේ ගානට කපලා හදා ගත්තු කොළොපොතක් උඩ.වහන්නේ හොඳට සුද්ද කරපු පොල් කට්ටකින්.වතුර බොන්නෙත් පොල් කට්ටෙන්ම තමා.ඒ පොල් කට්ටට ගන්නේ හිල් නැති පොල් කට්ටක්.පිහියක් අරන් හොඳට සුද්ද කර ගන්නවා.එතකොට යන්තන් සුදු දුඹුරු පාටට හැරෙනවා පොල් කට්ටේ පෙනුම.කාලයක් පාවිච්චි කරද්දි ඒකේ පාට කළු තද දුඹුරු පාටට වෙනස් වෙනවා.ඒ එක්කම ඒකටම ආවෙණික වෙච්ච සුවඳකුත් එනවා.අම්මා කියලා තියෙන විදිහටනම් එයාලගේ කාලෙදිනම් තේ බොන්ඩත් අරන් තියෙන්නේ පොල් කට්ටම තමා.දැන් ඒ කළ ගෙඩියක් දකින්ඩවත් නෑ.මේ ළඟදිනම් කෑම මේසේ අයිනක තිබ්බා පොඩි මැටි කළයක් ප්ලාස්ටික් පියනකින් වහලා.
කළේ ගැන මතක් කරපු හින්දාම සමහර කාලෙට කොළපොතක් නැති උනාම කළ ගෙඩිය තියලා තිබ්බ දරණුව මතක් උනා.සමහර අයනම් දන්නේ නැතුව ඇති ඒ මොකක්ද කියලා.වලං මුට්ටි ඇතිලි වගේ ඒවා ලිපෙන් බෑවායින් පස්සේ තියෙන්නේ ඕ දරණුවල තමා.දැන් කාලෙනම් යකඩ වලින් රෙදිවලින් වගේම පන් වලිනුත් හදාපු දරණු ගන්ඩ තියෙනවා.ඒත් අපි එකාලෙනම් ඕවා හැදුවේ පුවක් කොල වලින්.අපේ වත්ත එක පැත්තකින් ගුරු පාරකටත් අනික් පැත්තෙන් කුඹුරුයායකටත් මායිම් වෙනවා.ඒ මායිම් දෙකේම තැතින් තැන පුවක් ගස් තිබුනා.දැන්නම් ඉතුරු වෙලා තියෙන්නේ ඒ පරණ ගස් දෙක තුනකුයි අළුතෙන් හිටෝපු ගස් කීපයකුත් විතරයි.වෙල පැත්තට තිබ්බ ගස් වලනම් පුවක් කොලවත් ගෙඩිවත් වැටුනා කියලා පේන්නේ නෑ.ඒ පැත්තට යන්නේ සතියකට සති දෙකකට සැරයක් වගේ තමා.පාර අයිනේ ගහක පුවක් අත්තක් වැටුනොත් මට හරි අක්කට හරි අම්මගේ නියමයෙන් ගිහින් ගේන්ඩ වෙනවා.එක පුවක් අත්තකින් දරණු හතරක් පහක් වගේ හැදුවෑකි.මුලින්ම කරන්නේ පුවක් කොළ දහයක් වගේ ගලෝලා අරන් එකට අඹරන එක.ඊට පස්සේ හීන් ලණු කැරැල්ලක් අරන් රවුමට වෙන්ඩ ගානට කොළත් එක්කම ඔතන් ගිහින් හොඳට ගැටයක් ගහනවා.ඕකේ මහලොකු රටාවක් නැති උනාට හරියට කලේ නැත්තන් ඉක්මනටම ලෙහිලා යනවා වැඩි කල් පාවිච්චි නොකරම.පුවක් අත්තේ කොළ ටික ඔක්කොම ගැලෙව්වායින් පස්සේ ඉතුරු වෙන්නේ කොළපොතයි මැද්දේ නාරටියයි විතරයි.ගෙදර කළ ගෙඩිය තියන්ඩ, කොස් කපන්ඩ නැත්තන් මොනා හරි වේලෙන්ඩ දාගන්ඩ වගේ වැඩකට කොළපොත ගන්ඩ පුළුවන්.ඒවට ඇති තරමට කොළපත් තියෙනවානම් විතරක් කොළපත් පදින්ඩ ගන්ඩ පුළුවන්.ඒකත් මතක් කලාම හිනා කාලා මැරෙන තරමටම හරිම සුන්දර අත්දැකීමක්.ඕව කරන කාලේ මන් හරිම පොඩියි.අක්කා මට වඩා අවුරුදු හතරක් වැඩිමල්.ඉතින් ඒ කාලේ එයා තමා මට වැඩ පෙන්නන්නේ.මාව කොළපොතේ තියාගෙන ගේ හතර වටේම යනවා.එයාව මම අමාරුවෙන් ඇදගෙන යනවා.පැයක් විතර සෙල්ලම් කරද්දී පස්ස පැත්ත බිම ගෑවෙන තරමට කොළපොත ගෙවිලම යනවා.සමහර වෙලාවට අපේ අනිත් අක්කලත් අක්කගේ යාලුවොත් එනවා සෙල්ලම් කරන්ඩ.
















ඕවා කරලා ඉවර උනාම ලස්සනට අතුගාලා තිබ්බ මිදුල ආයෙමත් අතු ගාන්ඩ වෙන්නේ අපි දෙන්නටම තමා.ඒ කාලේනම් ඉදල මන් වගේ දෙගුණයක් උස ඇති.අපි කොහොම හරි ආයෙමත් ලස්සනට මිදුල අතු ගාලා තියනවා.
කටු මැටි ගහලා තිබ්බ ගෙදර සිමෙන්ති ගල් වලින් හැදුවත් සෑහෙන කාලයක් යනකන් කුස්සිය තිබ්බේ ඒ විදිහටමයි.කුස්සිය හැදුවේ මැටි වලින්.වරිච්චි බැඳලා හදනවා කියලා කිව්වේ ඒ කාලේ.ඒක කරන්නේ හයිය තියෙන ලී කෙලින් හිටවලා පුවක් පටි වගේ ඒවා හරහට බැඳලා.ඊට පස්සේ ඒ අතරමැද්දට දානවා මැටි.මැටි දාන්නේ ලොකු බෝල හදලා.අපි මැටි කැපුවේ වත්ත පහලින්මයි.අන්තිමට හදපු මැටි කුස්සියට මැටි කැපුවේ මායි අක්කයි මගේ යාලුවෙකුයි.අපි එතකොට හයේ හතේ වගේ ඇති.මහා ලොකු රාජකාරියක් කියලා හිතුවේ නෑ.විනෝදෙට තමා කරන්නේ කොහොම හරි මුලු කුස්සියටම මැටි කැපුවාම මැටි වළ මගේ උසටත් වැඩිය තිබ්බා.අපි තවත් පහළට කපන් ගියා වතුර ගන්ඩ.ඒත් ආපු වතුරක්නම් නෑ.
ඔහොම තමා අපේ පරණ ගෙවල් වල හැටි.දැන්නම් ඒ වගේ ගෙදරක ඉන්ඩ තියා හිතන්ඩවත් බෑ.ඒත් සමහර වෙලාවට ඒ වගේ ගෙවල් දකිනවා කුරුණෑගල අපේ අක්කලා දිහා යද්දි.එතකොටනම් නිරායාසයෙන්ම මාව අතීතේට යනවා.ගිහින් ඒ සුවඳ විඳගෙන ආපහු එනවා.
දන්නෙම නැතුවම හඳ උළු අතර තිබ්බ විදුරුවෙන් පෙනුන අහසෙන් පැත්තකට ගිහින්.දැන් යන්තන් හඳ එලිය පේනවා තරු දෙක තුනක් එක්ක.තාමත් තිබ්බ රස්නෙම හින්දා ජනේලෙත් ඇරගෙනම මම නිදි.ඊළඟට හීනෙනුත් අපේ පරණ ගෙදර පේන්ඩ කියලා හිතාගෙනම ඇස් පියාගත්තේ ඒ ගෙදරින් ආපු සුවඳ මතක් කරගන්ඩ හොඳ හුස්මකුත් අරන්.

Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය