භූමිතෙල් ලාම්පු



පෝය
ළඟ තිබ්බ හින්දා තාම රෑට හඳ එළිය හොඳට තියෙනවා. ඈතින් පේන පොල් ගස් වල මුදුන් වලට පොඩ්ඩක් උඩින් හඳ පායලා තියෙනවා ලොකුවට. බැබලි බැබලි තියෙනවා හතර වටේම එළි කරගෙන.හඳ එළිය හින්දා වෙනදට පේන තරු එකක්වත් නෑ හද තියෙන මායිමකවත්. හොඳට බැලුවොත් හඳ තියෙන පැත්තට කෙලින්ම එහා පැත්තෙ පොල් ගස් වල ගෑවී නොගෑවි තියෙන අහස මට්ටමේ එක තරුවක් දෙකක් හොයාගන්න පුලුවන්. හඳ සත පනහේ කාසියක් තරමට ඉඳන් පොල් ගස් අස්සෙන් උඩට එනවා. හඳ වටේට තීයෙන රැස් වළල්ල හඳ වගේ හතර පස් ගුණයකටත් වඩා ඈතට විහිදෙනවා. මම හොස්පිටල් එකේ ගේට්ටුවෙන් එළීයට ඇවිත් පාර පැනලා බෝඩිමට ඇවිදන් එන ගමන්. තරු දෙක තුනක් යාන්තමට පේන්න තිබ්බ පැත්තෙ ඉඳන් එන සුළං රැලි කීපයක් මගේ ඇඟේ වැදිලා මාව පහු කරන් ගිහින් පොල් ගස් අස්සෙනුත් ගිහින් හඳ දිහාට විසි වෙලා යනවා. ගිහින් තත්ත්පර කීපයක් යන්න කලියෙන් ආයෙම සුළං රැළිම මගෙ පැත්තට ඇවිත් මගේ ඇඟේ වැදිලා මාව පහු කරන් පිටිපස්සට යනවා. මම හැරිලා බැලුවේ නැති උනාට මට හිතුනේ ඒවා යන්නේ ඈතින් තිබ්බ තරු දිහාවට කියලා. ආයේ තරු වල වැදිලා අනිත් පැත්තටත් එන්න ඇති. පාර දිගේ ගිහින් බෝඩිමට යන්න දකුණූ පැත්තට හැරුනු හින්දා සුළං පාරක් ආවේ නෑ මන් ළඟට. මම ඉස්සරහටම ඇවිදන් ගියේ පාර හතර වටේමත් බල බල. වෙලාව අට පහු වෙලා පොඩ්ඩ වෙලාවක් උනත් හතර වටේ කිසිම සද්දයක් තිබ්බේ නෑ. ඔක්කොම මිනිස්සු ගෙවල් ඇතුලේ. පාරේ අයිනේ තිබ්බා කොට්ටං ගහේ කොල කොන්ක්‍රීට් පාරට වැටිලා. හඳ එළියට හොඳට පෙනුනත් මීටර් කීපයක් ඉස්සරහට යද්දී කොළ කීපයක්ම කකුලට පෑගුනා මගේ. චරස් චරාස් කියලා සද්දෙකුත් දාගෙන. හොඳට අව්වට වේලිලා කර වෙලා දුඹුරු පාට වෙලා තිබ්බ කොළ කකුළට පෑගිලා පොඩි පොඩි කෑලි වලට කුඩු වෙලා. මැද්දේ නාරටියයි නාරටියත් එක්ක දෙපැත්තට බෙදිලා තියෙන කෙඳි කීපයකුයි ඇරෙන්න අනිත් ඔක්කොම බිමට හැලිලා. එහා පාරෙන් ආපූ හුළඟ මේ පැත්තෙන් ආවනම් කුඩු වෙලා ගිය කොළ කෑලි ටික හුළඟට ගහන් යයි කියලා හිතුනා මට

බිම බල ගියපු මම අහසත් බැලුවා සැරින් සැරේට. මොකුත් අමුතුවෙන් දෙයක් කියලා තිබ්බේ නෑ අහසේ. කලින් මට ඉස්සරහින් තිබුනු හඳ දැන් යාන්තමට පැත්තකින් ඇහැ කොනෙන් පේනවා. හඳ එළියෙන් එන රැස් හීනියට අහස මැද්දේ  නූල් වගේ මිදූම විතරක් තියෙන වලාකුළු අස්සෙන් යනවා. රැස් හිතා ගන්න බැරි තරම් දුරට යනවා. මගෙ හිතත් තරම්ම දුරට ඇඳ්ඉලා යනවා අමාරුවෙන් හරි නවත්ත ගන්න හැදුවත්. මම බැරිම තැන් බිම බලාගන්න පටන් අරන් තව අඩි දයක් විතර ඉස්සරහට ගියාම බෝඩිම දැක්ක හින්දා හුස්මක් පහලට දාලා නලලට ඇවිත් තිබ්බා දාඩිය ටිකක් පිහදාලා දැම්මා. හුස්ම පහළට දාද්දි තමා තේරුනේ ගොඩක් වෙලා අහසයි බිමයි හැම තැනම බැලුවේ උඩට ගත්ත හුස්ම තද කරගෙනම කියලා. මම ගේට්ටුව මට විතරක් යන්න පුළුවන් තරමට යන්තන් ඇරගෙන ඇතුලට පැන ගත්තා. කාමරේ තිබ්බේ උඩ තට්ටුවෙ. ගෙදර එළියෙ පැත්තෙන් තියෙන පඩි පෙල ළඟින් උඩට නැග්ග මම කාමරේත් ඇරගෙන ගිහින් ෆෑන් එක දාලා ඇදට උනා. පස්සෙයි මතක් උනේ කරන්ට් එක නෑ කියලා. ඉවසගන්න බැරුව තිබ්බ රස්නෙ එක්ක ඇවිදන් ආපු මහන්සියට තිබ්බ රස්නෙයි කලවම් වෙලා එක තැනක ඉන්න බැරි තරමේ රස්නයක් තිබ්බේ. මම දොරත් බාගෙට ඇරලා ජනෙල් දෙක ඇරලා ඇදෙන් ඉඳගත්තා. පොතක් අතට අරන් පවන් ගහන්න ගත්ත මට ඕනේ උනේ ආයෙම පාරක් නාගන්න. නාන කාමරේට ටක් ගාලා පැනගත්තේ පැයක් විතර නානවා කියලා හිතා ගෙන. ඒත් එහෙන් මෙහෙන් නාගත්ත මන් පුටුවකුත් අරන් ගියේ දොර ළඟට. පොඩි හීතල සුළං රැලි එනවා දොර අස්සෙන්. ඒවා ඇවිත් මගෙ ඇඟේ වැදිලා කාමරේ පුරාම ගිහින් ඇරලා තියෙන ජනෙල් වලින් එළියට යනවා. මුළු කාමරේම කලුවරයි. හින්ද්ද දන්නේ නෑ ආපු හුළඟත් ජනේලෙන් එළීයට ගියේ. මම එහෙම හිත හිතා නැගිටලා ගියේ ඉටිපන්දමක් පත්තු කරන්න.


ඉටිපන්දම තියෙන්නෙ මේසේ උඩ. දොර ළඟ ඉන්න මට එක පැත්තකින් ඉටිපන්දම් එළිය පේනව. ඒත් එක්කම අනිත් පැත්තෙන් මගේම හෙවනැල්ල දොරේ ලොකුවට පේනවා. තාමත් හිමිහිට සුළං රැලි ටික ටික එනවා.කාමරේ වටේම යන ඒවා ඉටිපන්දම් දැල්ලෙත් වැදෙනවා. වැදෙන වාරයක් වාරයක් ගානේ මගේ හෙවැනල්ල දොර දිගේ උඩට යටට යනවා. ලොකු වෙනවා. පොඩි වෙනවා. මෙහෙම බලන් ඉන්න මට කෙලින්ම ඉස්සරහින් තියෙන්නෙ දොරත් එක්කම තියෙන කොරිඩෝව වගේ කොටස. එතනට ගහපු යකඩ වැට ඊළඟට. ඊට එහා තියෙන්නේ කෙලින්ම බිම. ටිකක් එහායින් මන් ඉන්න තරමට වඩා  ටිකක් උසට වැවුන අඹ ගහක්. හැම තැනක්ම හඳ එළියට දිලිසි දිලිසි පේනවා. ලයිට් එනකන් මම තාමත් පුටුවේ වාඩි වෙලා ඉන්නවා කකුල් දෙකත් දික් කරගෙන. මගේම හෙවනැල්ල එහෙට මෙහෙට වැනෙන වාරයක් ගානේ මට හිතෙන්නෙම ඉටිපන්දම දිහා බලන්න. ඉටිපන්දම බිමට වැටිලා වටේම ගිනි ගනියි කියලා බයයි මට. හොඳට ඇස් ඇරලා බලද්දි ඉටිපන්දම් දැල්ල හොඳට පේනවා. දැල්ලේ උඩින්ම තියෙන්නේ දුඹුරු පාටට හුරු කලු පාටක්. දැල්ලේ වැඩියෙන්ම හෙලවෙන්නේ කොටස. ඊට යටින් තියෙන්නේ කහ පාට හරිය. දැල්ලේ වැඩිම කොටසක් තියෙන්නේ කහ පාට. යටට යන්න යන්න තැඹිලි පාට වෙලා රතු පාටත් වෙනවා. දැල්ලේ යටින්ම තියෙන්නෙ ලා නිල් පාටට හීනියට තියෙන තීරුව. දැල්ල එහෙට මෙහෙට පැද්දුනාට දැල්ල මැද්දෙන්ම තියෙන ඉටිපන්දමේ නූල කොහෙටවත් යන්නේ නෑ. කලු පාටට දැල්ල මැද්දේ පිච්චි පිච්චි තියෙනවා. ඉටිපන්දම පිච්චි පිච්චි පහලට යනකොට. හතර වටෙන් ඉටිපන්දම් කිරි ඉටිපන්දම දිගේන පහළට යනවා. සමහර ඒවා පන්දමේ මුලටම යනවා. සමහර ඒවා භාගයක් දුරට ගිහින් ගල් වෙලා නවතිනවා. කොච්චර වෙලා බලන් හිටියත් වෙන්නේ එකම දේ. එත් සැරින් සැරේට වෙන එකම දේ බල බල ඉන්නවා මන් හිටිය විදිහටම.


ඉටිපන්දම් එළියයි හඳ එළියයි දැක්කාම දැනෙන්නේ හරිම පාලුවක්. ලයිට් එළියට හුරු වෙලා ඉන්නකොට ඉටිපන්දම් එළිය කියන්නේ හරියට හඳ එළිය තිබිද්දි මහ රෑ එහෙ මෙහෙ යන කණාමැදිරියො වගේ. කාමරේ කලින් තිබ්බ මලානික ගතිය පොඩ්ඩක් නැති වෙලා ගිහින්. මම තාමත් ඉටිපන්දම දිහා බලාගෙන. මට මතක් උනේ ඉස්සර පොඩි කාලේ ගෙදරට ලයිට් අරන් තිබ්බ නැති කාලේ අපි හිටිය විදිහ. කාලේ ඉටිපන්දමක් හොයාගන්නත් ආසයි. ඉටිපන්දම් පත්තු කරනවට වඩා සෑහෙන ලාභයක් තියෙනවා පානක් එහෙමත් නැත්තන් කුප්පි ලාම්පුවක් හදාගෙන ඒක පත්තු කරන එකලාම්පු ටික හොඳට ඇවිලෙනවාන්ම් ගෙදර හැමෝටම සතුටුයි.ඒත් ලාම්පු වලට භූමිතෙල් නැත්තන් මුළු ගෙදරම කළුවරේ. එහෙමත් නැත්තන් මලානික එළියක් විතරයි තියෙන්නේ. මට මතක් උනේ භූමිතෙල් නැති වෙලාවට යන්තන් හරි එළියක් එන විදිහට ලාම්පු හදාගත්ත විදිහ. ලාම්පු කරඬියට හොඳට ඇවිලෙන ඒත් ඉක්මනට ඇවිලිලා ඉවර වෙන්නේ නැති රෙදි කෑල්ලක් දාන එක තමා කරන මුල්ම වැඩේ. මට මතක විදිහට අපි දැම්මේ චීත්ත රෙදි කෑලී. ඒවා හොඳට වගේම ගොඩක් වෙලා ඇවිලෙනවා. වැඩිය ලොකු දුමක් නගින්නෙත් නෑ. භූමිතෙල් ටිකත් ඉතුරු වෙනවා. හීනී චීත්ත රෙදි කෑල්ලක් අරගෙන එක කොණක් හීනියට නවලා තමා කරඬිය ඇතුලට දාන්නේ. ඊට පස්සේ හෙමිහිට කරක කරක ඇතුලට යවනවා. කරඬියේ අනිත් පැත්තෙන් ආවාම ඒක භූමිතෙල් වල ටිකක් ඔබලා අරන් රෙදි කෑල්ල ලාම්පුව ඇතුලට දාලා තෙල් ටිකක් උඩට අදිනකල් ඉඳලා පත්තු කරනවා ගිනි කූරක් ගහලා. මේවා ඔක්කොම කරද්දි අතේ ඇඟිලි වල භූමිතෙල් පොඩ්ඩක් ගෑවෙනවා. කොච්චර හොඳට දැනන් හිටියත් භූමිතෙල්ම තමා කියලා ඇඟිලි පොඩ්ඩක් නහය ළඟට අරන් පුසුබ බලන එක අපි හැම වෙලාවෙම කරපු දෙයක්. මේවා ගැන මතක් කර කර ඉද්දී මට හිතුනෙම ආයෙමත් කාලෙට ගිහින් භූමිතෙල් සුවඳ නහයෙන් අරන් පෙනහළු පුරෝගන එන්න. සුවඳ කොච්චර සුවඳයිද කියනවනම් තාමත් පොඩ්ඩක් උත්සාහ කරලා බැලුවොත් භූමිතෙල් හතර මායිමක නැති උනත් පෙනහළු වල කෙලවරවල් වල හැංගිලා තියෙන සුවඳ ආයෙමත් එළියට අරන් සුවඳ බලන්න පුළුවන්.


මම හෙමිහිට රිංගලා ගියේ අතීතෙට. හරියට රත් වෙලා තියෙන කාමරේ හීතල කරන්න කාමරේ දොරෙන් හුළං එනවා වගේ මට දැනුනෙන්ත් හරිම සනීපයක්. මම හිටියේ ගොයම් කපලා ඉවර උනු කුඹුරු යායේ යාලුවෝ එක්ක එල්ලේ ගගහා. වෙලාව හය පහු වෙලා තියෙන්න ඇති. හරි හමන් එළියක්වත් හුළඟක්වත් නැතුව අහස මලානික වෙලා. ඉස්කෝලේ ඇරිලා කෑම කාලා වෙලට සෙල්ලම් කරන්න ආපු වෙලාවේ ඉඳන් තාමත් අහස එහෙම්මයි. එක පැත්තකින් විතරක් ඉර බහින හින්දා අහස කහ පාට වෙලා. වෙනදට මේ වෙලාවට ලස්සනට රතු පාටට ඉර පේන්න තිබ්බත් අද එහෙමවත් නෑ. ඉරත් වැහිලා වලාකුලු වලට. අපි සෙල්ලම් කරද්දි සද්දේ තිබ්බ හින්දා පාලු ගතිය හැටි තිබ්බේ නැතත් දැන් සම්පූර්ණයෙන්ම පාලුවෙන් වැහිලා ගිහින් මුලු වටපිටාවම. මම තනියම එල්ලේ පිත්ත අතේ තියන් ඒකේ කෙලවරෙන් බිම තිබ්බ තණකොල වලට ගගහා නියර දිගේ ඇවිදන් ආවේ ගෙවල් පැත්තට. ආයේ පාරක් හැරිලා පිටිපස්ස බලද්දි සෙල්ලම් කර කර හිටිය යාලුවොත් ඈතින් වෙලෙන් එහා පැත්තට යනවා. එයාලගෙ කටහඬ විතරක් යන්තන් ඇහෙනවා සැරින් සැරේට. නියරෙන් ඇවිත් වත්තට ගොඩ වෙද්දිම වගේ මට උඩින් අහසෙන් වවුලෝ කීපයක්ම පියාබලා ගියා වෙල පැත්තට. උන්ව මට පෙනුනේ මට ඉහළින් තියෙන රූස්ස නැදුන් ගහේ උඩම අතු වලටත් උඩින්. උන් යන්නේ වෙලෙන් එහා පැත්තේ තියෙන කන්ද දිහාවට. ගස් වල කෑම ඇති උන්ට. තව වවුලෝ කීපයක්ම අරුන් ගිය පස්සෙන්ම යනවා දැක්කා තව ටිකකින්. උන් අත්තටු ගහන සද්දෙන් යාන්තමින් ඇහුනද මන්දා. ගස් හෙල්ලෙන සද්දෙන් සද්දේ වෙන් කරගන්න හද හදා ගෙදර දිහාවට ඇවිදන් ගියා. කන්දක් වගේ නොවුනත් සමතලා බිමකට වඩා ටිකක් උඩට උඩට යන්න තිබ්බ හින්දා මම එල්ලේ පිත්ත බිමට තියලා වාරු ගන්නවා වගේ හිමිහිට ඇවිදන් ගියා ගේ දිහාට. ගෙදරට තිබ්බේ බඹ කීපයක දුර. වෙනදට මේ වෙලාවට ගෙදර කුස්සියෙන් ජනේලෙන් ලාම්පුවක එළියක් පෙනුනත් අද මොකිත්ම පේන්න තිබ්බේ නෑ. සමහරවිට තාම ලාම්පු වලට භූමිතෙල් දානවා ඇති, මට හිතුනේ එහෙම. යන්තන් උඩින් ගියපු වවුලන්ගේ සද්දේ නැති වේගෙන ආවා විතරයි. දැන් මට ඇහෙන්නේ ගෙවල් පැත්තෙන් අම්මා කෑ ගහන සද්දේ විතරයි. ඇහෙන්නෙත් කඩින් කඩ. මම දුවලා ගියේ ගෙදරට.


කුස්සියෙ දොර වහලා තිබ්බ හින්දා මම කෙලින්ම ගේ වටින් ගිහින් ගියේ ඉස්සරහ දොරෙන් ඇතුලට යන්න. කටු මැටි බිත්තියෙ තිබ්බ ජනෙල් දෙකත් තාමත් වහලා නෑ. මට පෙනුනේ නෑ ඇතුලෙ කිසි දෙයක්. ඉස්සරහින් ගියාට පස්සේ දොරින් එන එළියයි තාමත් ජනෙල් පියන් වහලා නැති හින්දයි යන්තමට පේනවා ගේ ඇතුල. කාගෙන්වත් අහන්න ඕනේ නැති තරමට වෙලා තියෙන දේ පැහැදිලි වෙන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ මට. වෙලා තියෙන්නේ ගෙදර ලාම්පු පත්තු කරන්න භූමිතෙල් නැති වෙච්ච එක. එක ලාම්පුවක් විතරක් තියෙනවා අම්මා අතේ. අම්මා ඒකත් එක අතකින් අල්ලන් එහෙට මෙහට යන ගමන් මොනවා හරි හොය හොය මහ හයියෙන් කෑ ගහනවා.


මෙච්චර වෙලා හිටියා උඹලට දැන්ද මතක් උනේ ඕක කියන්න..? මන් එනකම්ම හිටියා..”


ලාම්පුව වැටිලා හරි ලාම්පු තෙල් ටික ඉවර උනා හරිනම් එක්කො මන් හංදියට යන්න කලින් කියන්න එපැයි. යකෝ එහෙනම් ණය වෙලා හරි ගේනවනෙ..”

අම්මාගෙ කතාවේ ඉවරයක් නෑ. අක්කා ඔක්කොම අහගෙන පරණ කැබිනට් එක ළඟින් පුටුවක් තියලා අත උස්සලා මොනවද හොයනවා කැබිනට් එකේ උඩ තට්ටුවේ උඩම. අම්මගේ කතාවේ ඉවරයක් නෑ.


මාවම කන්ඩ බලන් ඉඳහල්ලා උඹලත්ඇයි උඹලට බැරි උනේ තාත්තා උඩහ යන්ඩ කලින් ඕක කියලා කොහොම හරි භූමිතෙල් කාලක් ගේන්ඩ බැරි උනෙ..? බීලා එයි දැන් මාවම කන්ඩ..”


අම්මයි අක්කයි දෙන්නම හොයන්නේ භූමිතෙල් ගේන්න සල්ලි වෙන්න ඕනේ. භූමිතෙල් කාලක් රුපියල් හයයි. රුපියල් හය හොයාගන්න බැරි තත්ත්වයක් අපිට තියෙන්නේ


තව සත පනහක් හම්බ උනා..” අක්කා ගොම පොලොවේ කකුල් වැදිලා සද්දේ එන්නෙ නැති ගානට හෙමිහිට ඇවිත් සත පනහ දීලා ගියා අම්මගෙ අතට


තව එකයි පනහක් ඕනේ..හොයාගන්න බැරි උනොත් කලුවරේ ඉඳපල්ලා. මට බෑ ණය වෙන්න මේ රෑ..” අම්මා කියව කියව කුස්සිය පැත්තට ගියා අතේ තිබ්බ ලාම්පුවත් අරගෙනම.  


මේ වගේ දේවල් අඩුම තරමේ මාසෙකට සැරයක්වත් වෙන එක පුදුමයක් නෙමේ අපේ ගෙදර. මම මොකුත් කර කියාගන්න බැරුව ඉඳගත්තා ඉස්සරහම තිබ්බ ලී පුටුවෙන්. මල්ලි කලුවරේම දුවනවා කුස්සියටයි මන් ඉන්න දිහාවටයි මාරුවෙන් මාරුවට

මට කීප වතාවක්ම ඇහුනා අක්කයි අම්මයි කෑගහනවා එක තැනකට වෙලා ඉන්න කියලා. අහන්නෙම නැති තැන කුස්සියෙ ඉඳන් මන් දිහාවට ආව වෙලාවක අල්ල ගත්තා යන්න බැරි වෙන්න. පුටුවෙ ඉඳන් ඉන්න මන් කකුල් දෙක අස්සෙන් මල්ලිව තියන් තද කර ගත්තා. අම්මයි අක්කයි තවත් රණ්ඩු වෙනවා. අක්කා හිටියේ අම්මත් එක්ක එහෙම රණ්ඩු කරගන්න වයසක නොවුනත් හරියකට සලකන්නේ නැති වගකීමක් නැති තාත්තෙක් ඉන්න ගෙදරක අම්මා තාත්තගෙ චරිතෙත් රඟපාද්දි වැඩිමල් ළමයට වැඩ ගොඩක් එකතු වෙනවා. එහෙම උනාම කොහොම රණ්ඩු කලත් කටක් ඇරලා වෙන කාටවත් මොකුත් ගැන කියන්න බෑ කියලයි මට තේරුම් ගිහින් තිබුනේ. මම ගැන හිතාගෙනම පාර දිහා බලන් හිටියේ මල්ලිට යන්න නොදී තද කරගෙනම.


මේක හරියන්නේ නෑ මට බෑ කලුවරේ සල්ලි හොයන්න. හම්බුන වෙලාවක ගිහින් ගේනවා. එහෙම නැත්තන් කලුවරේ ඉන්නවා..” අම්මත් බැරිම තැන මට ටිකක් එහායින් තිබ්බ පුටුවේ වාඩි උනා.


හරි ඔක්කොම දැන් පහයි පනහක් තියෙනවා. රුපියලක් හම්බුනා තව. ඉතුරු සත පනහා පස්සේ දෙන්නම් කියලා ගේන්න…?”


හා ඉතින් වෙන මොනවා කරන්නද ? උයන්න පටන් ගන්නත් ඕනේ..”


කෝ ඉතුරු ටික ? මෙතන තියෙන්නෙ තුනයි පනහනේ..”


මොකක්..? දැන් ඔතන තිබ්බේ. බලපන් හොඳට. මාව කේන්ති ගස්සන එකමයි උඹලා කරන්නේ..” අම්මා එහෙම කියාගෙනම නැගිට්ටා පුටුවෙන්.


දැන් මන් මේ මෙතන මේසේ උඩින් තිබ්බනේ රුපියල් දෙකක්.. කොහෙට අතුරුදහන් උනාද..බහිරවයා ගෙනිච්චද බොල?”


කෑ ගහන්ඩ එපා අම්මේ.. දැන් කීයේ ඉඳන්ද කෑ ගහන්නේ..” අක්කට එපාම වෙලා කලින් අම්මා හිටිය පුටුවෙන් ඉඳගත්තේ අතේ තිබ්බ කාසි ටික තද කරගෙන කකුලක් පිට කකුලක් දාගෙන මාවත් පාස් කරලා දොරෙන් එළිය බලාගෙන.


කෑ ගහන්ඩ එපා කියන්නේ මොකක්ද. මෙතන මේ දැන් තිබ්බ කාසියට මොකද උනේ. මොකා අරන් ගියාද..? අනේ දෙයියනේ මැරිලවත් යන්නේ නෑනේ මේ දුක් විදිනවා ඇරෙන්න..” අම්මා ඔළුවේ අත ගගහා කියෝනවා. අන්තිම වචන ටික කියද්දි හුස්ම ඉහළට ගත්තේ අපි කට්ටියට විතරක් ඇහෙන වගේ පොඩි ඉකියක් එක්ක. ඒත් ඉකිය ඉක්මනින්ම මහා වරුසාවක් වගේ ලොකු ඇඬිල්ලක් වෙනවා කියලා මම අත්දැකීමෙන්ම දන්න හින්දා මල්ලිව උස්සලා පුටුවෙන් තියපු මම නැගිටලා ගියේ නැති උන රුපියල් දෙක හොයන්න. තුන් දෙනාම තව ටිකක් කලුවර වෙනකන් හෙව්වත් හම්බුනේ නෑ කිසි දෙයක්. බලාපොරොත්තු ඔක්කොම බිඳ්ඉලා ගියා වගේ ආයෙමත් පුටුවෙන් ඉඳගත්ත අම්මා පොඩ්ඩක් බිමට නැමිලා ඇඳන් හිටියේ චීත්තෙ කෙලවරින් ඇස් දෙක පිහදා ගත්තා.


පුළුවන්නම් අරික් කාලක් වත් ඉල්ලපන් අදට විතරක්..දෙන්ඩ බෑ කියන එකක් නෑ..”


අරික් කාලක් දෙන්නේ නැ අම්මේ භූමිතෙල් පොල්තෙල් දුන්නට. දවසකුත් ඉල්ලුවාම කිව්වේ අරික්කාලක් ගන්න එකක්වත් කඩේ නෑ කියලා..” අක්කා කියාගෙන ගියේ අම්මා දිහා බලන්නේවත් නැතුව.


අම්මා මොකුත්ම කිව්වේ නෑ. ඉඳන් ඉන්න විදිහටම ඉඳගෙන ඉන්නවා. හුස්ම උඩට අරන් පහලට දාන් සද්දේ මුලු ගෙටම ඇහෙනවා. අතක වැලමිට පුටු ඇන්දේ තියාගෙන අත මිට මොලවලා ඇඟිලි ටික නිකටෙන් තියාගෙන අතට බරවෙලා එළිය බලන් ඉන්නවා. කොණ්ඩෙ අවුල් වෙලා කියලා යාන්තමට පේනවා. මෙච්චර වෙලා අතේ තිබ්බ යාන්තමට එළිය දෙන ලාම්පුව මේසෙ උඩ. ඒකේ දැල්ල එහෙට මෙහෙට වැනෙනවා. ලාම්පුවට එහායි මේසෙ උඩම තියෙන මල් දාපු මල් පොච්චියෙ හෙවනැල්ල බිත්තියේ එහෙට මෙහට යනවා. හෙවනැල්ලෙන් බිත්තියට හේත්තු වෙලා ඉන්න අක්කව වැහෙනවා. ටිකක් හුළං පාර හයියෙන් ආවාම දැල්ල වටේටම විසිරෙන හින්දා මල් පෝච්චියෙන් හෙවනැල්ලත් වටේට ගිහින් අක්කව පේන්න ගන්නවා ලාම්පුවෙ එළියෙන්. ඔහොම තත්ත්පර පහක් යන්න ඇති වැඩිම උනොත්. අම්මා පුටුවෙන් නැගිට්ටේ එක පාරටම.


එක පාරට එහෙම අතුරුදහන් වෙන්නෙ බෑනේ සල්ලි. අපි ටිකමනෙ හිටියේ මොකෙක්වත් ආවෙත් නෑනේ…” එහෙම කියපු අම්මා හැරුනේ මල්ලි දිහාවට.


පුතා ඔයා ගත්තද මෙතන තිබ්බ දෙකේ කාසිය..?” අම්මා මල්ලි ළඟට ඇවිදන් යන ගමන් කිව්වා.


බනින්නේ නෑ. ගත්තනම් දෙන්න මැණීක.. හොඳ පුතානේ මගේ..”


මල්ලි කිව්වේ ගත්තේ නෑ කියලා. ඒත් මුණේ මොකක් හරි අමුත්තක් තිබ්බා කියලා තේරුනා මට.


හැබැයි අරන් තිබ්බොත් පුතෝ හම ගහනවා මන් අද..” අම්මා එහෙම කියාගෙන මල්ලි ඉඳන් ඉන්න පුටුවත් පහු කරන් ගියේ දොරෙන් එළියට. අම්මගෙ මූණ දිහා බලන්නත් බයයි. අම්මා බලන්නේ තාත්තා එනවද කියලා වෙන්න ඕනේ. ඉනට අත් දෙක තියාගෙන පාර දිහා බලන් ඉන්නවා.


මම හෙමිහිට ගිහින් මල්ලි ඉන්න පුටුව ළඟින් දණ්හිස්ස තියලා වාඩි වෙලා හෙමිහිට ඇහුවා සල්ලි කාසිය ගත්තද කියලා. දෙවැනි පාරත් නෑ කිව්වා. මල්ලිගේ මූණේ බය ගතියක් තිබ්බට හිනාවක් කොයි වෙලේ හරි පනින්න බලාගෙන ඉන්නේ කියලා මට තේරුනා. තුන් වෙනි පාරත් නෑ කිව්ව මල්ලි හතරවෙනි පාර කිව්වාමන් ඒක කැටේට දැම්මා කියලා”. මල්ලිට කියන්න උනේ එච්චරයි. අම්මා කොහෙ ඉඳන් ආවද කියලා මම දැක්කේ නෑ. මල්ලි ළඟට පැන්න අම්මා මල්ලිගෙ කට තද කරලා අල්ලගෙන මුළු ගෙටම ඇහෙන්න තරමේ ටොක්කක් ඇන්නා හිස්මුදුනටම


මගේ ලේ කෝප කරන්නේ ඇයි දෙයියනේ මෙහෙම.. තවත් යකා අවුස්සන්නේ නැතුව ගෙනෙන් ගිහින් කැටේ..” අම්මා ඇඬිල්ලක් උගුරේ හිරකරගෙන කියවාගෙන ගියා. මල්ලි ඊටත් හයියෙන් හූ කියාගෙන අඬනවා. අක්කා දුවන් එනවා අපි දිහාට පොඩි එකාට ගහන්න එපා මන් හොයලා දෙන්නම් කියාගෙන. මල්ලි අඬන එක නවත්තන්නෙම නෑ. පව් පොඩි එකාට සෑහෙන්න රිදෙන්න ඇති. මල්ලිව වඩා ගත්ත මන් ගියා එළියට. නලවගන්න බැරි තරම් අඬනවා. මම ඔලූව අත ගගා නලවන්න හදනවා. කිසිම දේකට නැලවුනේ නැති කොල්ලා අන්තිමට නැලවුනේ වෙලෙන් එහා පැත්තෙ කන්දට පියාඹන් යන වවුලෝ පෙන්නුවායින් පස්සේ


මල්ලි වඩාගෙන මිදුලේ ඉන්න මන් ගාවට ආවේ අක්කා. දුමුයි දූවිලියි වැදුන භූමිතෙල් බෝතලයයි සල්ලි කාසි ටිකයි මට දුන්න අක්කා මල්ලිව ගත්තා අතට.


ටාර් ගාලා ගේන්න. ඉතුරු සත පනහ පස්සේ දෙන්නම් කියන්න..” අක්කා මෙහෙම කියද්දිත් මම හිටියේ පාරේ ගොඩක් දුර ගිහින්.


බෝතලේ අතින් ගත්ත මන් මුලින්ම කලේ මූඩිය ඇරලා භූමිතෙල් වල සුවඳ බලපු එක. බෝතලේ ලිප ළඟ තියලා තිබ්බ හින්දා අළු තියෙනවා බෝතලේ කට පුරාමයි බෝතලේ වටේටයි. අළුවල කහට සුවඳයි භූමිතෙල් වලට සුවඳයි එක්කහු වෙලා අමුතුම සුවඳක් ආවේ වෙලාවේ. මම කීප වතාවක්ම එහෙම සුවඳ බල බල කඩේට දිව්වා තව රෑ වෙන්න කලින්. ඉතුරු සත පනහ හෙට දෙන්නම් කිව්වම කඩේ මුදලාලී කිව්වේහ්ම්ම්කියලා විතරයි. , සත පනහ ආයේ අපෙන් හම්බෙන්නේ නැති හින්දත්, සත පනහට වාද කලාට වැඩක් වෙන්නෙත් නැති බව මුදලාලී හොඳාකාරවම දන්න හින්දත්. මූඩිය තද කරලා බෝතලේ වහගෙන කඩේට ආව වේගෙට වඩා වේගෙන් මන් ආවේ ගෙදර. පාරේ ඉඳන් ආපු වේගෙන්ම ගෙට ආපු ගමන්ම මන් දැක්කේ මල්ලිව වඩාගෙන ඉන්න අම්මා.


.. අමාරුවෙන් ගෙනව ලාම්පුතෙල් ටික හලපන් පුලුවන්නම්..ගිහින් ලාම්පු ටිකට දාලා ඉතුරු ටික හොඳට වහලා ලිප ළඟින් තියන්ඩ..” අම්මා මගෙ ඇඟේ වදින්නේ නැති වෙන්න මල්ලිවත් අරන් පැත්තට වෙන ගමන් කිව්වා.


මම කෙලින්ම ගියේ කුස්සියට, ලාම්පු තුන අරන් තෙල් දාන්න. අම්මා පහු කරලා යද්දි මට ඇහුනේ අම්මත් මල්ලිව වඩාගෙන මාව පහු කරලා යන ගමන් මල්ලිට මොනවද හිමින් කියනවා හිනා වෙවී.


බලන්නකෝ නේද පුතේ අයියා දිව්ව හැටි..තා පොඩ්ඩෙන් ඇඟෙත් හැප්පෙනවා පුතාගේ..සල්ලි හම්බුනාම මන් පුතාට දෙන්නම්කො කැටේට දාගන්න සල්ලි..”


මල්ලිත් තව මොන මොනවදෝ කිව්වා. මල්ලිට ටොක්කක් අයින්කොට අම්මගේ මූණේ තිබ්බ තරහා කොහෙ ගියාද නෑ හොයාගන්නවත්. මම පාන් තිර ටික ලාම්පු වලට දාන ගමන් කල්පනා කලා. අම්මා එච්චර ආදරේ මල්ලිට එහෙම ගැහුවේ කොහොමද. කොච්චර හිතේ පීඩනයකින්, දුකකින් සහ බරකින් ඉන්න ඇතිද. අම්මා උනත් දුක් වෙන්න ඇති පස්සේ. ආයේ මතක් වෙන වෙන පාරට දුක් වෙයි. කොච්චර දුක් උනත් හැම වෙලාවකම එහෙම කරන්න තරහක් ඇති වෙන්න හේතුවක් තිබ්බා නේද කියලා බොරුවට හිත හදාගනියි. කොච්චර කොහොම උනත් ආයේ දවසක් ඒවී භූමිතෙල් නැතුව ගිහින් මේ විදිහටම සල්ලි අමාරුවෙන් හොයල්ලා සත් පනහකට වැඩිය උනත් ණය වෙලා ගෙදර එළි කරන්න භූමිතෙල් ගේන. මම ලාම්පු දෙකක් හදලත් ඉවරයි ගැනම කල්පනා කර කර. තුන් වෙනි එක හදද්දි මම හිතුවේ අපේ ගෙදරට ලයිට් ගන්න දවසක් ගැන. එදාටනම් මෙහෙම අමාරුවෙන් ගිහින් භූමිතෙල් ගේන්න ඕනේ නැති වෙයි. මට හිතුනේ එහෙම. ලාම්පු තුනම හැදුව මම තුනම පත්තු කරලා මේසේ උඩින් තියාලා දිහා ටිකක් බලන් හිටියා. ලාම්පු තුනේම දැලි එහෙට මෙහෙට වැනෙනවා. ළඟ තියෙන මල් පොච්චියෙ හෙවනැලි තුනක් එක ළඟම වැනෙනවා එහෙටයි මෙහෙටයි උඩටයි යටටයි. මන් දිහාම බලන් හිටියා.



යන්තන් ඇස් පියවෙන්න යන්න ගිහින් එක පාරට ඇහැරුනේ ලයිට් ඇවිත් කලින් ඉඳන්ම ඔන් කරලා තිබ්බ ෆෑන් එක කැරකැවෙන්න පටන් ගත්ත සද්දෙන්. මම ඉක්ම්නට පුටුවෙන් නැගිටලා දොර වහලා ලයිට් එක දාන්නෙ නැතුවම ගියේ ඉටිපන්දම නිවලා එන්න. ඉටිපන්දම භාගෙටත් වඩා පිච්චිලා ගිහින්. ඒත් දැල්ල කලින් වගේම හොඳට දිලිසි දිලිසි තියෙනවා. මම මූණ ළං කලේ පිඹලා නිවලා දාන්න. කටෙන් උඩට හුස්මක් ගත්ත මන් ඉටිපන්දම ළඟට තවත් ළං වෙලා හුළං පාරක් පිටකලා නිමිලා යන්න. හයියෙන් ආපු හුළං පාරට ඉටිපන්දම් දැල්ල නැති වෙලා යන්තන් දුමක් විතරක් උඩට ගියා. දැල්ල නිමෙන්න කලින් දැල්ලෙ ඇතුලෙන් මන් දැක්කේ මාව. මම හිටියේ කුස්සියෙ බිම වාඩි වෙලා ලාම්පු හදන ගමන් ලාම්පු දෙකක් හදලා පැත්තකින් තියලා තුන් වෙනි එක හදන ගමන් කවදා අපේ ගෙදරට ලයිට් ගනියිදෝ කියලා හිත හිතා.






Comments

  1. Simply wow. Over flowing with emotions. Was holding my tears during the last part. Very well written❤️

    ReplyDelete
    Replies
    1. Sandun Rajapakshe10 July 2022 at 03:20

      Thank you 🤗😍

      Delete
  2. හරිම ලස්සනයි

    ReplyDelete
  3. Kusal Illanganthilake1 January 2024 at 07:46

    Simply amazing… full of emotions. Please continue writing 🔥

    ReplyDelete
  4. Lassanai doctor

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මැටි බිත්ති

වතුර බෝතලය