මැටි බිත්ති

ඒ එක්දාස් නමසිය හැට එකේ අප්‍රේල් මාසේ තුන් වෙනිදා.මම හිටියේ ඉස්සරහ පිල ළඟ තිබ්බ හාන්සි පුටුවට මෙහා පැත්තේ පොඩි වේවැල් පුටුවක ඉඳගෙන.උදේ නමයට විතර පටන් ගත්ත වැස්ස දැන් හතර උනත් තාම තියෙනවා.අඩු වෙනවා වැඩි වෙනවා.ඒත් නැත්තටම නැති උනේ නෑ පටන් ගත්ත වෙලේ ඉඳන් පොඩ්ඩකටවත්.මම ගේ ඇතුලට ගියේ බීඩි ටික ඔතන්ඩ බඩු ටික ගේන්න.එහෙන් මෙහෙන් ඇඳුම් මහලයි, වත්ත පල්ලෙහා හිටෝපූ මඤ්ඤොක්ක, පළා වගේ ඒවා විකුණලයි හම්බ වෙන සල්ලි ටික අතේ ගෑවෙන්ඩත් මදි හින්දා තමා මායි සුමනයි දෙන්නම බීඩි ඔතන රස්සාව පටන් ගත්තේ ගිය මාසේ ඉඳන්.ඒකෙනුත් මහලොකු සල්ලියක් හම්බෙන්නෑ තමා.ඒත් යන්තන් පිරිමහ ගැත්තෑකි.

මන් ආයේ ආවේ දුම්කොළ ටින් එකයි තව පෙට්ටියකුයි අතේ තියාගෙන.දෙකම තිබ්බේ හෙප්පුව තියන උස බංකුව උඩින්. වැඩ ටික පටන් ගන්න කලින් පිල කෙලවරටම වෙලා මිදුලේ පිරිලා තියෙන වතුර ටික බලන්න හිතුනා මට. සාගරයක් වගේ. ඒත් බොරම බොර පාටයි. සෑහෙන කාලෙකට පස්සෙ වැස්ස හින්දා වෙන්න ඇති ඒ තරම්ම බොර. මිදුලෙ මැද්දෙ එකතු වෙන වතුර අයිනකින් පහලට බැහැලා යනවා වෙල දිහාවට. ඒ තරම් දුර පෙනුනෙ නැතත් තණකොල ගොල්ලෙන් හැංගිලා යන වතුර ටික යන්නෙ ඒ දිහාටම තමා කියලයි මට හිතුනෙ. මම අත් දෙක බැඳගෙන හරියටම දොර කෙලින් හිටගෙනයි ඉන්නේ කියලා මතක් උනේ සෑහෙන වෙලාවකට පස්සෙ. ඒ වෙලාවෙ අම්මා හිටයනම් "ඈ බොල ගෑණියෙ. තොට කොච්චරවත් කියන්න ඕනෙද ඔහොම ඉන්ඩ එපා කියලා. පල ගේ ඇතුලට" කියලා කියනවා එකත් එකටම. ඒ හින්දා මොකක්දෝ බලවේගෙකින් යැව්වා වගේ මාව ඉන්ද උනා පුටුව උඩ. සෑහෙන්න වැඩ තිබ්බත් හිතට සැහැල්ලු ගතියක් නෑ තාම. ඒ ඇයි කියලා විස්තර කරන්න බැරි උනත් මොකක් හරි දෙයක් හිත ඇතුලෙ හිර වෙලා තියෙනවා කියලයි දැනුනෙ මට. තව චුට්ටක් ඉඳන් ඉන්නකොට තමා දැක්කේ මිදුලෙ වතුර ගෙට එන්න තරමටම පිරිලා කියලා. මම කුස්සියට ගියේ උදැල්ල අරන් ඇවිත වතුර බහින පාර පාදන්න.

වැස්ස දිගටම තිබ්බත් දැන් වැහි බිංදු වැටෙන්න ටික ටික. ඒත් වැස්සට තෙමන්න බැරි හින්දා බාගෙට කැඩුනු කුඩ කෑල්ලකුත් ඉහළ ගෙන මම ගියේ මිදුල ඉස්සරහට එලියෙන්ම. සෙරෙප්පු දෙකක් නැතුවම වතුරෙ ඇවිදිද්දි දැනුනේ හරිම සනීපයක් වගේම ලොකූ හීතලක්. සෙරෙප්පු නොදැම්මේ ඒ සනීපේ විඳගන්නනම් නෙමේ. වැස්සෙ දාලා කැඩුනොත් ආයේ ගන්න සෑහෙන කාලයක් ඉන්න වෙන හින්දා. සතුට මොන විදිහට ආවත් බාර ගන්න ඕනේ කියලා හිතාගෙනම මම ගියේ තණකොල ගොල්ලෙන් වතුර ටික පාදලා අරින්න. ඈතට කොළ පාටට පෙනුනට ළඟට ගියාමයි දැක්කෙ දුඹුරු පාටට මඩ වතුර තණකොල ගස් අස්සෙන් යනවා කියලා. ඒ වතුර ගලාගෙනම වෙල දිහාට යනවා. ගස් අස්සෙ ඉඩ මදි හින්දා වෙන්න ඇති මිදුල පිරෙන්නෙ. මම එක අතකින් චීත්තෙ දණ හිස්සට විතර උස්සගෙන අනිත් අතෙන් උදැල්ල අරන් සුද්ද කරන්නයි හැදුවෙ.කුඩේ බෙල්ලයි උරහිස්සයි අතරේ තියලා බෙල්ලෙන් තද කර ගත්තා. දැන් තෙමෙන්නෙත් නෑ පොඩ්ඩක්වත්. උදැල්ලෙන් තණකොල ටික අයින් කරන්න කලියෙන් මන් දැක්කෙ මගේම කකුල් දෙක. වැහි වතුරට පෙඟිලා සුදු මැලිත් වෙලා. මම කකුල් එක එක හැඩේට තියලා බැලුවේ මුළු කකුලම බලාගන්න හින්දා. විළුඹ හරිය ඔක්කොම පැලිලා ගිහින්. හීනී දිග ඇඟිලි වල නියපොතුත් වැවිලා. නහර පේනවා උඩු පතුලෙ. අවුරුදු විසි අටක කෙල්ලෙක්ගෙ කකුල්ද කියලා හිතා ගන්න බැරි තරමට නාස්තිම වෙලා ගිහින්. මම ඒ ගැන හිතන එක පස්සට දාලා උදුලු පාරවල් දෙක තුනකින් වතුර යන්න පාර හදලා ඉක්මනටම ගේ ඇතුලට යන්නයි හැදුවේ. මිදුලෙ ලොකු වතුර ටික ඒ උදුලු පාරවල් දෙක තුනෙන් නැති වෙලා යනවනේ කියලා හිතුනාමත් දැනුනෙ හරි පුදුමයක්.  හරි දේ හරියට හරි තැනට කලා ඔක්කොම හරි කියලා අම්මා නිතරම කියවන ඒවයෙත් ලොකු තේරුම් ගන්න බැරු තේරුම් තියෙනවා කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවල් වලට තමා.
මම උදැල්ලත් අරන් කුස්සිය පැත්තෙන් ඇතුලට එද්දි අම්මා හිටියෙ කුස්සිය ඇතුලෙ. මම උදැල්ල එලියෙන් තියලා එන ගමනෙදියි දැක්කෙ අම්මව. ආයේම එලියට ගිහින් උදැල්ල අරන් ගෙයින් තිබ්බෙ උදැල්ල තාත්තගෙ උනත් ඒවා පරිස්සම් කරන්නේ අම්මා හින්දත්, මන් එහෙම නොකලනම් උදැල්ලෙන්ම උනත් පාරක් වැදෙන්න ලොකු ඉඩක් තිබ්බ හින්දත්. අම්මා ඇවිත් තියෙන්න ලොකු කිරි හබරල කොලයක් ඉහළ ගෙන කියලා හිතුනෙ කුස්සියට පොඩ්ඩක් එහායින් තියෙන කිතල කෙහෙල් පඳුර මුල හබරල කොලේ තිබ්බ හින්දා. අම්මා කතාවක් නැතුවම කොහු මිට අරන් කුස්සියෙ තෙමෙන තැන් වලට අනිනවා උඩ බලාගෙන. එක පාරටම පොල් අතු කෑලි දෙක තුනක් මූණට වැටුන හින්දා බිම බලාගෙන ඇස් පොඩි කරන ගමන් තමා අම්මා කතා කරන්න පටන් ගත්තේ. "අහ් මේ ඉන්නෙ. කොහෙද මක බෑවුනෙ යකෝ. ගෙවල් හායි ගාල ඇරලාදාලා.? " "මම..මේ.. අර වතුර බහින එක හැදුවා ඉස්සරහ..මිදුලම පිරිලා.. ආයේ ඒ හැටි දුරක් ගියේ නෑ ඔච්චර කෑගහන්ඩ තරම්.. " මම එහෙම කියාගෙනම කුස්සියෙන් ආවා සාලෙට. කෑම කාමරේ පහු කරලා සාලෙට අඩියක් තියන්න හදනකොටම ඇහුනේ ආයෙත් අම්මා කතා කරන එක. "මෙහට වරෙන් ටිකක්.."

මම කුස්සියට යන්නෙ නැතුව දොර ළඟ ඉඳන්ම කතා කලා. "ඇයි ඒ පාර මොකක්ද.." අම්මා වලන් ඇර ඇර බලනවා. " ඈ බලහන්..උබට කීයද වයස ?.. උබ බැඳලා මිනිහත් උයලා දීපන් ඇටත් එක්ක එලබටු.." පලයන් උබලට කියලා වැඩක් නෑ.. කන්ඩ දෙයක් නැතුව මිසක් නැත්තන් හලනවා ඔළුවෙ ඉඳන්.." අම්මා තව මොනාද මන් දිහා බලන්නෙම නැතුව කියෙව්වත් මම අහන්නෙ නැතුවම ආයෙ ආවා. "ඇයි වදේ අතට අහු වෙන්නෙවත් නැති එලබටු තිබිද්දි කොහොමද ඔකේ ඇට අයින් කරන්නෙ.."මන් මටම කියාගෙන ගියේ පිල දිහාට. බීඩි එතිල්ල පැත්තකටම දැම්ම මම ගියේ කාමරේට. රෙදි කෑල්ලක් ගත්ත මම කකුල් දෙකෙයි අත් වලයි තිබ්බ වතුර පිහාදාගෙන ලෑස්ති උනේ පොඩ්ඩක් ඉදාගන්න. මහ ලොකු වෙලාවක් ගියේ නැතුව ඇති. මම ගිහින් සෑහෙන දුර.

මට ඇහැරුනේ දඩ බඩාස් කියන සද්දයක් එලිය පැත්තෙන් එනවත් එක්කම. වෙලාව හයටත් ළඟයි මන් හිතන්නෙ. වැස්ස අඩු වෙලා තිබිලා ආයෙම හොඳටම වැඩි කරලා.මම එහෙම්මම පොරවන් හිටිය රෙද්දත් ඇඟට දාගෙන ඉස්සරහ දොරෙන් එලිය බැලුවෙ මොකක්ද කඩන් වැටුනෙ කියලා බලන්න. මට හිතුනෙම පොල් ගහක් කියලමයි. පොල් ගෙඩි වැටෙන සද්දෙකුත් ඇහුනද මන්දා. අම්මා හාන්සි පුටුවේ හොඳටම නිදි. කියව කියව හිටිය පත්තරේ බඩ උඩමයි තාම. මම තව ටිකක් ඉස්සරහට ගිහින් හතර පැත්තම බැලුවත් පෙනුනෙ නෑ මොකුත්ම. සීතල වැඩි හින්දා රෙද්දෙන් හොඳට ඇඟම වහගෙන පස්ස හැරිලා ගියේ කුස්සිය පැත්තෙන් එළියට යන්න. අම්මව ඇහැරෙව්වේ නැත්තෙ මහ ලොකු කලබලයක් කරන්න ඕනේ නැති හින්දත් සද්දෙ ඇහුනේ හීනෙන්ද ඇත්තටමද කියලා නිච්චියක් තිබ්බෙ නැති හින්දත්.කෑම කාමරේ පහු කරනකොට තමා දැක්කේ කුස්සියෙන් වෙනදට මේ වෙලාවට එනවට වඩා එලියක් එනවනෙ කියලා. දොර ගාවට යනකොටම මගෙ අත් දෙක ගියෙ ඔලුවට. පොරවන් හිටිය රෙද්දත් වැටුනා බිමට. නැමිලා රෙද්ද අහුල ගත්ත මන් දෙයියනේ කියන්න ඇරිය කට වහගෙනම ගියේ අම්මව නැගිට්ටවන්න. "අම්මේ.. නැගිටින්ඩකො.." අම්මා කුණුහරුපයක් කියා ගෙනම නැගිටලා ආවා මාත් එක්කම ආයෙ කුස්සියට. දොර ගාව හිට ගත්ත අපිට කෙලින්ම පෙනුනෙ සුදු පාටට පිටාර ගලලා තියෙන කුඹුරු ටික. මැටි බිත්තියෙ බාගයක්ම තිබ්බෙ බිම. බඹයක් විතර පළලට කඩන් වැටිලා බිමටම. මැටි වලින්ම ගලුත් තියලා උඩට වෙන්න බිත්තියට හේත්තු වෙන්න හදපු වගේ පෝරනුව වගේ කෑල්ලත් ඔක්කොම බිම. උඩ තියලා තිබ්බ ඇලුමිනියන් කලෙ ගිහින් තව බඹ දෙකක් විතර එහාට. මට තාම හරියට කතා කරගන්න බැරි තරමට බය වෙලා හිටියත් අම්මා ඒ වෙනකොටත් හිටියේ කලේ ගේන්න එළියට බැහැලා.


වැස්ස වැඩි හින්දා පොල් අතු අස්සෙන් ගියපු වතුර වරිච්චි බිත්තියට ගියාම ඒ මැටි දිය වෙලායි බිත්තියෙන් කෑල්ලක් කඩන් වැටෙන්න ඇත්තෙ.  පොල් අතු මට්ටමේ හරහට දාපු ලීය එහෙම්මම තිබ්බ හින්දත් දෙපැත්තෙ බිත්ති දෙකට මොකුත් වෙලත් නැති හින්දත් කුස්සියම කඩා වැටෙන්නේ නැති වෙයි කියලයි රෑ හතට විතර ආපු තාත්තා කිව්වෙ. ඒථ් මගෙ හිත කිව්වෙම කඩාගෙන වැටෙයිමයි කියලා. ඒත් හිතට යන්තන් හරි සහනයක් ආවේ වැස්ස යන්තන් තුරල් කරලා තිබ්බ හින්දා. රෑ කෑම කාපු අපි නිදාගන්න යන්න හදනකොටත් හිතේ හොලමන් කලේ ඒකම තමා. මම අම්මාගෙ ඇඳ ළඟට ගිහින් කතා කලේ මොකද වෙන්නෙ කියලා. "අම්මේ ඕක හෙට හදලා දාන්ඩ වෙයි නේද ? මටනම් බයේ බෑ..නින්ද යන්නෙත් නැති වෙයි..මන් දවසකුත් කිව්වා ඕක ඔහොම වෙයි කියලා..කෝ ඇහුවයෑ..මොකද කරන්නෙ දැන්.හෙට හදන්න වෙයි ඉතින්..මම කියවගෙන කියවගෙනම ගියා. අම්මගෙ උත්තරේ උනෙ "හ්ම්ම්" විතරයි.ඒකත් කිව්වෙ හරිම වේගෙන්. එහෙම කියපු අම්මා අනිත් පැත්තට හැරිලා නිදා ගත්තා. මම පැරදිලා ආවා ආපහු. ඇඳට ගියාට නින්ද ගියේ නෑ පැයකටවත්. මට ඔක්කොටම වඩා තරහා අම්මා මාවවත් කුස්සියට කැඩුන එකවත් කිසිම ගානකට ගත්තෙ නැති එක ගැන. අඩු තරමෙ තාත්ත එකවත් කතා කලේ නෑ. මම මේ හැම එකක්ම හිත හිත නිදා ගත්තත් සැරින් සැරෙ ඇහැරුනෙ දඩ බඩාස් සද්දයක් කන ඇතුලෙන් එනවත් එක්කම. රෑ හරියකට නින්ද ගියේ නැති හින්දා පාන්දර ටිකේ නින්ඩ ගියා මැරුනා හා සමානව. මන් ඇහැරුනේ හයට විතර් වෙන්න ඇති. ඇහැරිච්ච ගමන්ම දිව්වෙ කුස්සියට.  මට හිතුනෙම් ඉතුරු ටිකත් කැඩිලා බිමටම සමතලා වෙලා ඇති කියලා. ඒත් මට පෙනුනේ ඊයෙ සුදු පාටට පෙනුන කුඹුරු ටික කොළ පාටට පේන ටික විතරයි. කැඩුන ටික ඒ විදිහටම තිබ්බත් වෙන අඟලක්වත් කැඩිලා තිබ්බේ නෑ කොහෙන්වත්. ඊටත් වඩා මම පුදුම උනේ ඊට පස්සේ දැක්ක දේ හින්දා. අම්මා කීයට නැගිට්ටද කියන්න මම දන්නෙ නෑ.ඒත් මිදුලෙ පැත්තක අනලා තිබ්බ මැටි ගොඩේ හැටියටනම් අඩු තරමෙ උදේ පහට කලින්වත් නැගිටින්න ඇතියි කියලා මට හිතුනේ. ඒ තරමට ලොකු මැටි ගොඩක් තමා තිබ්බෙ. මම කම්මුලට අත තියාගෙන බල බල ඉද්දි අම්මා දෙල් ගහ පැත්තෙන් මතු උනේ පොඩි ගෝනියකට තව හුඹස් මැටි ටිකක් අරගෙන එන ගමන්. "නිකන් හූල්ල හූල්ල හිටියට වැඩක් නෑ. කැඩුනනම් හදන්ඩ ඕනෙ. හැබැයි ඒක මේ කළුවරේ මහා රාත්‍රියේ නෙමේ, එළිය වැටිලා වැඩක් කරන්න පුළුවන් වෙලාවෙයි කරන්න ඕනේ.. " අම්මා කිව්වෙ ඔච්චරයි. අම්මලා අපිට වඩා කොච්චර දුර හිතවනද කියලා තේරුනේ ඒ වචන ටිකත් ඇහෙනවත් එක්කම.මම අම්මගෙ කර උඩ තිබ්බ පස් ගෝනිය බිමට බාලා ඒ ගෝනියම අරන් දෙල ගහ පැත්තට ගියේ තව පස් ටිකක් අරන් එන්න. ගෑණු අපේ හිත් හිතනවට වඩා කොච්චර හයියිද කියලා හිතුනේ තව පොඩ්ඩක් දුර යද්දි.




Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

වතුර බෝතලය