අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා

අම්මා නැති උනා කියලා බඩගින්නක් දැනුනෙනම් නෑ කවදාවත්.ඒත් හිතේ ගින්නක්නම් සැරින් සැරේ දැනුනා වගේම තාමත් දැනෙනවා.අම්මා නැති උනාම ළමයි තනි වෙනවා වගේම ස්වාධීන වෙන්නත් ඒ ළමයි උත්සාහ කරනවා කියලා දැනිලා ගොඩක් කල්.නමුත් එහෙම තනි තීරණ ගන්න එක්ක කොච්චර අනුවණ ක්‍රියාවක්ද කියලා දැනෙන්නේ මොකක් හරි අකරතැබ්බයක් උනායින් පස්සේ තමා. මේවා මතක් වෙනකොට මට මතක් වෙනවා මීට අවුරුදු 12 කට විතර කලින් සිද්ද උන පොඩි සිද්ධියක්.
එතකොට අපේ අම්මත් ඉන්නවා.තාත්තානම් නෑ.ඒ වෙනකොට ගෙදර ගෘහ මූලීකයා අම්මා උනත් ලොකු අක්කා තමා ගෙදර වෙන දේවල් ඔක්කොම හොයලා බැලුවේ.දන්න කාලේ ඉදන්, පුලුවන් කාලේ ඉදන් අක්කා ගෙදර බර කරට ගත්තා.අපේ පෑනේ පැන්සලේ ඉඳන් අම්මගේ බේත් පෙත්ත දක්වාම බරපැන දැරුවේ අක්කා.ඉතින් අක්කට අයිතියක් තිබුනා අපි ගන්න තීන්දු තීරණ වලට එරෙහි වෙන්ඩත් ඒවා වෙනස් කරන්ඩත්.ඒ හින්දම ගෙදර අපි ඔක්කොම බයයි ලොකු අක්කට ඒ කාලේ ඉදන්ම. ඉතින් සිද්ද උන සිද්ධිය විස්තර කලොත් ඒක අපේ එක අයියෙක් සම්බන්ධ දෙයක්.අයියා එයාට අවුරුදු හතේදි විතර කෙහෙල් ගහකට යට වෙලා කකුල කැඩුනා.අම්මා බොහොම මහන්සියක් දරලා තමා ගොඩ ගත්තේ.දැන් කකුලේ කිසිම වෙනසක් නෑ.කැඩුනා කියලා පේන්නෙවත් නෑ.අවුරුදු 12කට කලිනුත් එහෙම්මමයි.ඒත් අම්මගේ හිතේ ලොකූ විශ්වාසයක් තිබුනා කකුලේ මොකක් හරි ඇදයක් තියෙනවා සහ ඒක පස්සේ කාලෙක බලපාවී කියලා.නමුත් තාමනම් එහෙම මොකුත් උනේ නෑ.
ඉතින් ඕ කියන කාලේ ඒ කියන්නේ අවුරුදු දොළහකට විතර කලින් අයියා රස්සාවක් හොයා හොයා හිටිය කාලයක්.අම්මා හැම ඉරිදාවකම සිළුමිණ පත්තරේ අරන් ඒකේ රැකියා ඇබෑර්තු පිටු ටික මුල ඉඳලම කියෝනවා.කොච්චර උත්සාහ කළත් හම්බවුනේ නෑ රස්සාවක්. ඔහොම ටික දවසක් යද්දි එක දවසක රෑ අයියා කිව්වා මම හමුදාවට බැදෙන්ඩ යනවා මම කලින් ඇප්ලිකේශන් දාලා තිබ්බේ හෙට එන්ඩ කියලා තියෙනවා කෑම්ප් එකේ ඉන්ටර්වීව් එකට කියලා.ඕක ඇහුවා විතරයි අම්මා නව වැඳුම් වැන්දා යන්ඩ එපා කියලා.ඒ කාලේ යුද්දේ හොඳටම තිබ්බ කාලයක්.අපේ ගෙදරට එහා පැත්තේ ගෙදර අයියාත් වෙඩි වැදිලා මැරුණා ඒ කාලේ.එහෙම උනත් අම්මට තිබ්බේ අර පොඩි කාලේ කකුල කැඩුන හින්දා හමුදාවේ පුහුණුවෙදී මොනා හරි අනතුරක් වෙයි කියන බය.ඉතින් අම්මා ඇඬූ කඳුලෙන් හිටියා රෑ වෙනකන්ම.ඒත් අයියා නෙමේ ඒවා කණකටවත් ගත්තේ.
ඉතින් කාලේ ලොකු අක්කා රස්සාවකට යනවා.එදා තිබුනේ දවල් දෙකට ගිහින් රෑ දහයට එන්ඩ.දෙකයි දහයට යනවා කියලා තමා කියන්නේ ඒ කාලේ.තව දහයයි හය, හයයි දෙක කියලත් ෂිප්ට් එක මාරු වෙනවා.අක්කා රෑ එකොළහට විතර ආවා මට යන්තමට මතකයි.ඊට එහා මතක තියෙන්නේ නෑ අපි ඉක්මනටම නිදා ගන්න හින්දා.අම්මා අක්කා ආපු ගමන් සිද්දිය කනේ තිබ්බා.ඒ දවස් වල ෆෝන් තිබ්බෙත් නැති හින්දා අක්කා ගෙදරටම එනකන් ඉවසන් ඉන්ඩ උනා අම්මට. අක්කා ඒ වෙලාවේ වැඩි දෙයක් කිව්වේ නැ මගේ හිතේ.හිතේ මොනාහරි තියාගෙන නිදා ගන්න ඇති.ඒ කාලේ මම උදේට ඇහැරෙන්නෙම නෑ.හය හත වෙනකන්ම නිදා ගන්නවා.ඒ පුරුද්ද තාමත් තියෙනවා.නමුත් එදා පාන්දර හතරට විතර මට ඇහැරුනේ ගෙදර තිබ්බා ඝෝෂාවක් හින්දා.කවුරු හරි රණ්ඩු වෙනවා වගෙත් ඇහුනා.නැගිටලා බලද්දි ගෙදර ඔක්කොම නැගිටලා ඉන්නවා දැක්කා.අයියා මොනවදෝ කියවනවා කාමරේ ඉඳන්.අම්මා සාලේ ඉස්සරහම පුටුවේ ඉඳ ගෙන ඉන්නවා දොරත් ඇරගෙන.ලොකු අක්කා අමුතු තාලෙක කට කොනෙන් හිනා වෙවි යනවා කුස්සිය පැත්තට.
සාලේ පුටු සැටියේ රෙදි වගයකුයි, සහතික වගේකුයි ඔහේ විසි කරලා තිබ්බා.අයියා කියන ඒවත් අහන් හිටියාමයි තේරුනේ සිද්ද වෙලා තියෙන දේ.අයියා උදේම නැගිට්ටට අක්කා ඊට කලින් නැගිටලා.අයියා ලෑස්තිත් වෙලා ඇඳුම් බෑග් එක බලද්දියි දැකලා තියෙන්නේ බෑග් එක ඇතුලේ වතුර කියලා.පස්සේ තමා අක්කා කියලා තියෙන්නේ එයා තමා වතුර දැම්මේ කියලා. ඉතින් එදා අයියට ඒ වැඩේට යන්ඩ බැරි උනා.අක්කට අනාගතේ පෙනුනද, නැත්තම් අම්මට දුකක් දෙන්ඩ බැරි හින්දා එහෙම කලාද කියලා මම දන්නේ නෑ.තාම මට හිතා ගන්නවත් බෑ.රෑ මොකුත් නොකියා අම්මා කිව්ව දේ විතරක් අහගෙන නින්දට ගිහින් උදේම අයියටත් හොරෙන් නැගිටලා ඇඳුම් බෑග් එක වතුරෙන් නාවන්ඩ තරම් අදහසක් ආවේ කොහොමද කියලත් මට හිතා ගන්ඩ බෑ.මොනා උනත් අක්කා නුවණක්කාරයි.කිසිම රණ්ඩුවක් නැතුවම ප්‍රශ්නේ විසඳුනා.ඒ අපේ හිතේ අක්කට තිබ්බ ආදරේ සහ ගෞරවය හින්දා වෙන්ඩ ඇති. ඉතින් ඔහොම ඉන්නකොට අම්මත් නැති උනත් අක්කගේ හයිය අපිට තිබ්බා.තාමත් ගෙදර ලොකු ලොකු තීරණ ගන්නේ අක්කම තමා.අපි කැම්පස් ආවත් කොච්චර දුරට ඉගෙන ගත්තත් අක්කා ගාව තියෙන දැනුමයි අත්දැකීම් වලින් මුහුකුරා ගිය මොළයයි අපිට කවදාවත් ලැබෙන එකක් නෑ.
ඒ වගේම අම්මා නැති උනාට බඩගිනි නොදැනුනත් තනිකම දැනුනත් අක්කා ඉන්නකොට ඒ තනිකමවත් දැනෙන්නේ නෑ.ඒත් දැන් ගෙදරින් ඈත් වෙලා ඉන්නකොට නිදහස වැඩියි කියලා හොඳට දැනෙනවා.දැනෙන තනිකම මකාගන්ඩ එක එක ක්‍රම හොයනවා.ඔය අතරේ හොඳ හොඳ යාලුවොත් හම්බ වෙනවා.ඒ යාලුවොත් අක්කා කලා වගේම අපි අපේ නිදහස ඕනවට වඩා පාවිච්චි කරද්දී තහංචි දාලා අපිව හොඳමඟට ගන්නවා.ඉතින් මාත් වැඩ ගොඩක් තියෙද්දී බෑග් පැක් කරන් රට වටේ යන්ඩ හදද්දී කාලයේ වටිනාකම ගැන හොදවායින් අහගන්ඩ උන සිද්දියක් හින්දා තමා අවුරුදු දොළහක් ආපස්සට ගිහින් මේ කතාව ලියන්න හිතුනේ.මාතෘකාව ගැලපෙන්නේ නැතුව ඇති.ඒත් අම්මත් ඕ පැත්තක ඉඳලා මතක් උන හින්දා දාන්ඩ හිතුනා එහෙම.මේකෙන් ගන්ඩ තියෙන ආදර්ශය තමා අපි මේ ලොකේ තනිවෙලා නෑ වගේම අපි මේ ලෝකේ ඇතුලේ ස්වාධීනත් නෑ කියන එක.

Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය