මල්

ඉස්සර, ඒ කියන්නේ මීට අවුරුදු පහලොවකට විස්සකට විතර කලින් තමයි මුලින්ම දහම් පාසල් යන්ඩ පටන් ගත්තේ.මුල්ම දවසේ ගියේ අක්කා එක්ක.මට මතක විදිහට එදා සෑහෙනඩ ඇඬුවා මම.පන්සිල් ගනිද්දි මම අක්කා ළඟට දුවගෙන ගියා.ගෑණු ළමයි ඉන්න පැත්තේ ඉඳන් තමා එදා පන්සිල් ගත්තේ.ඔහොම ගිහින් ටික දවසකින් පුරුදු උනා තනියම උනත් යන්ඩ.
ඉස්සර මුල්ම කාලේ ගියේ ඉස්කෝලෙට අඳින ඇඳුම ඇඳගෙන.ඔක්කොම ළමයි ගියේ එහෙම.ඒ වෙන ඇඳුමක් ගන්ඩ ඕනේකමක් තිබ්බේ නැති හින්දා වගේම ලොකු වත්කමක් තිබ්බේ නැති හින්දත්.සමහර දවස් වල සෙරෙප්පු නැතුව පවා ගියා.මන් විතරක් නෙමේ ගොඩක් අය ආවා ඒ විදිහට.අවුරුදු කීපයක් ගියායින් පස්සේනම් දහම් පාසලෙන්ම කිව්වා සරමයි කමිසෙයි ඇඳගෙන සෙරෙප්පු දාලා එන්ඩ කියලා. මන් කියන්ඩ හදන්නේ ඒ ගැන නෙමේ.මාතෘකාව තමා මල්.දහම් පාසල් ගෙනියපු මල්.ඒ මල් වටා ඇති උන කතා තියෙනවා ඕනේ තරම්.ඒවා මල් තරම්ම සුන්දරයි.සමහර විට ඊටත් වැඩිය සුන්දරයි.
මුලින්ම මල් අරන් ගියේ අක්කා කඩලා දුන්න මල්.අක්කා කඩන්නේ රෝස, අරලිය, වතුසුදු වගේ මල්.ඒවා රටාවකට හදලා අතටම දෙනවා අරන් යන්ඩ කියලා.ඉතින් දහම් පාසලේදී මල් අත ගස්සනකොට අක්කා පිටිපස්සෙන් යනවා මල් ටිකත් අරන්.පොඩි කාලේ තියෙන ලැජ්ජාවට මල් අත ගස්සනවා වෙනුවට මල් ටික අරන් දුවනවා කියලා තමා අක්කා ඒ කාලේ මට කිව්වේ. පස්සේ ටික ටික අක්කා දෙන මල් වෙනුවට මම තනියෙන්ම මල් ටික කඩා ගත්තා.මගේ යාලුවෙකුත් එකතු උනා ඒ වැඩේට.දහම් පාසල් තියෙන්නේ ඉරිදනේ.අපි සෙනසුරාදා හවස තමා මල් කඩන්නේ.මායි මගේ යාලුවයි යනවා මල් කඩන්ඩ දහම් පාසල් තියෙන හරියටම.
දහම් පාසල් තිබ්බේ අපේ පොඩි ඉස්කෝලෙමයි.ඒ ඉස්කෝලේ ගොඩනැගිලි තුනක් විතරක් තිබ්බ, පන්ති කාමර නමයක් විතරක් තිබ්බ පොඩි ඉස්කෝලයක්.ඒත් වෙරළු ගස් තුනක්, සියඹලා ගහක්, අඹ ගස් තුනක්, මැයි ගස් දෙකක්, ලොකු ඇඹිල්ල ගහක්, මැහෝගනී ගස් කීපයක්, සහ තව ගස් ජාතී සෑහෙන ගානක් තිබ්බා.සමහර වෙලාවට අව්ව වැටෙන්නෙත් නැහැ දවල් වෙනකන්.පොඩි පිට්ටනියකුත් තිබ්බා.ඒ වටේට ඒ කියන්නේ ඉස්කෝලේ එක මායිමක සුදු අරලිය ගස් හතරක් පහක්, රතු අරලිය ගහක් සහ කහ අරලිය ගහක් තිබ්බා. අනිත් මායිම්, ඉස්සරහින් රබර් වත්තකටත්, පහළින් මයියොක්කා වත්තකටත් අනිත් පැත්ත ගුරු පාරකටත් මායිම් වෙලා තිබ්බා.
මම ශිෂ්‍යත්වෙන් පාස් වෙන ලොකු ඉස්කෝලෙට යනකන් ගියේ ඕ පොඩි ඉස්කෝලෙට තමා.ගෙදර ඉඳන් ඉස්කෝලෙට තිබ්බේ විනාඩි පහක දුර. මගේ යාලුවා සෙනසුරාදා හවස එනවා අපේ ගෙදර කවරෙකුත් අරන්.ඉතින් මාත් දුවගෙන යනවා මල් කඩන්ඩ.අපි යන්නේ පිට්ටනියට මායිම්.වෙන ඉස්කෝලේ ළඟ වත්තට.ඒකේ තියෙන්නේ වතුසුදු මල් විතරයි.ගස් තිබ්බා දහයක් විතර.සෑහෙන ලොකු ගස්.ඒ ටිකේ මල් ඇති අපි දෙන්නටම.සුදු මල් මදි උනොත් අරලිය මල් කඩා ගන්නවා.හැබැයි අරලිය ගස් ලොකු හින්දා අපිට වැඩිය මල්.කඩා ගන්ඩ බැහැ.අපි ඉතින් ඉතුරු අඩු පාඩු ටික ගෙදරට යන පාර දිගේ තිබ්බ ගස් වලින් කඩා ගන්නවා.
අරලිය මල් කඩා ගන්නකොට අපි අරලිය කොළ දහයක් දොළහක් කඩා ගන්නවා.ඒ මල් කූඩයක් හදන්ඩ.අරලිය කොළ එකට අමුණලා තමා මේක හදන්නේ.කොලේ මුලින් අල්ලලා තව කොළයක් තියලා ඉරටු කෑල්ලකින් අමුණනවා.ඔහොම ඔක්කොම ඇමිනුවාම ලස්සන කූඩයක් වගේ හැදෙනවා.අපිට මල් වට්ටි තිබ්බේ නැති හින්දා අරලිය කොල කූඩේ ඒ කාලේ හරි ජනප්‍රියයි.තද කොළ පාට අරලිය කොල වලට සුදු මල් වැටුනාම හරිම ලස්සනක් තිබ්බේ. යාලුවා නැති දවසට අයියා එනවා මල් කඩලා දෙන්ඩ.අයියා එන දවසට අරලිය මල් විතරයි හම්බ වෙන්නේ.අයියා ගහට නැගලා මල් ගොඩාරියක් කඩලා දෙනවා සුදු, රතු සහ කහ හැමඑකෙන්ම.එදාට අයියම අරලිය කොල කූඩේ හදලා දෙනවා.සමහර දවස් වල මල් කූඩේ උස්සන් යන්ඩත් බැරි තරමට ලොකුයි.
අක්කා සාමන්‍ය පෙළ වෙනකන්ම දහම් පාසල් ගියා.ඒ කියන්නේ මන් අට වසර වෙනකන්ම ගියා.සමහර දවස් වල අක්කා එනවා මල් කඩන්ඩ.එතකොට එයා ලස්සනට මල් කූඩේ හදලා දෙනවා.සුදු මල් යටට දානවා කිසි පිලිවෙළක් නැතුව.පස්සේ තව සුදු මල් ටිකක් නැටි පහලට වෙන්ඩ හදනවා.ඊට පස්සේ දාස්පෙතියා, අටපෙතියා, නිල් කටරොළු, රෝස, රතඹලා, කිනිහිරියා, කැළණිතිස්ස, කහ හරි රතු හරි අරලිය, දම්-සුදු මල්, දිය කූඩළු, ගොඩකූඩළු, පිච්ච, රණවරා, සහ තව එක එක ජාතියේ මල් වලින් රටා හැදෙන විදිහට මල් එකතු කරනවා.රෝස වගේ අරන් ගියදාට බුදු හාමුදුරුවන්ට මල් පූජා කලායින් පස්සේ ගෑණු ළමයි ඒ මල් ටික අරගන්නවා. අනිත් මල් ජාතිය තමා ඕලූ.මේවා තියෙන්නේ වෙලේ කුඹුරු වල.අපේ ගෙවල් වල.ඉඳන් විනාඩි පහලොවක විතර දුරින් තමා මේවා තියෙන්නේ.කුඹුරු වැඩ ඉවර වෙලා, ගොයම් කපන කාලෙත් එක්කම වැහි කාලේ පටන් ගන්නවා.වැස්ස වහින්වා වෙල් උතුරන්ඩම.ඊට මාසෙකට විතර පස්සේ ඕලු පැල ලියලන්ඩ පටන් ගන්නවා.ඉතින් එදා ඉඳන් ඕලු මල් කඩා ගන්න පුලුවන් ටික කාලයක් යනකන්.සමහර කුඹුරු පුරන් උනාම ඒවායෙ තියෙන ඕලු පැල වල අවුරුද්ද පුරාම මල් තියෙනවා.ඕලු මල් කඩන්ඩ යන්නෙත් සෙනසුරාදා හවස.ඕලු මල් කිව්වට ඕලු පොහොට්ටු තමා කඩන් එන්නේ.
මුල්ම කාලේ අක්කාය යාළුවයි එක්ක තමා ගියේ.ඊට පස්සේ මායි යාළුවයි විතරක් ගියා.මම තනියම ගිහිල්ලනම් නෑ කවදාවත්.ඕලු පැල තියෙන්නේ කුඹුරු හය හතක විතරයි.වෙන ඒවායේ නැහැ.අපි ගෙදර ළඟින්ම පහළට බැහැලා කුඹුරු යාය දිගේම යනවා ඇළ දිගේ.සමහර වෙලාවක ඇළටත් බහිනවා.ඇළට නැමුනු ගස් වලත් මල් තියෙනවා.දිය රුක්අත්තන ගස් පේළියක්ම තිබුනා.අපි ඒවායේ මල් කඩලා දානවා ඇළට පස්සේ ඒවා බල බල යනවා.සමහර ගස් තිබ්බා ඇළ හරහා.එතකොට අපි ගහ උඩින් ගිහින් තමා අනිත් පැත්තට යන්නේ.රුක්අත්තන වගේම තව ජාති මල් තිබ්බා.ඒවායේ නමනම් මතක නෑ.ඕ අතරේ දං ගස් එහෙමත් තිබ්බා.අපි ඒවත් කඩාගෙනම තමා යන්නේ.ඕලු මල් තියෙන හරියට යනකොට.අක්කව දාල මමයි සම්පතුයි දුවනවා තරඟෙට මල් කඩන්ඩ.මල් පොහොට්ටු විස්සක් තිහක් විතර කඩා ගන්න පුලුවන්.සමහර ඒවා ලොකුයි.ඒවා ඉරිදා උදේම පිපෙනවා.අනිත් පොඩි ඒවා දවස් දෙකකින් විතර තමා පිපෙන්නේ.ඒ උනාට ලොකු මල් ඉරිදා පිපිලා පරවෙලා ආයේ සඳුදා උනත් පිපෙනවා.මේ හින්දා අපි සමහර දවස් වල ඉස්කෝලේ ඇරිලා ආපු ගමන්ම සිකුරාදට එනවා මල් කඩන් යන්ඩ. ඉතින් මේ ඕලූ මල් කඩන වැඩේ සමහර වෙලාවට ලේසි වැඩකුත් නෙමේ.මොකද මඩේ එරෙන්ඩ පුලුවන් හින්දා.අපි පොඩි කාලේ එච්චර උස නැති හින්දා ඒ වගේ තැන් වලට යවන්නේ අක්කව.ඒ වගේ තැන් වල ඕලු පොහොට්ටු වල දඬු සෑහෙන දිගයි.අපි ඕලු දඩු කඩන් ගුටි කෙළ ගත්ත වෙලාවලුත් තිබ්බා.හැබැයි ගෙදර එද්දි තරහා මරහා ඉවරයි.දවසක් විහිලුවට අක්කට අපි දෙන්නම ඕලු දඬු වලින් ගැහුවා ගෙදර එනකන්ම.
ඕ කුඹුරු පැත්තෙම ඉඩමක ළිඳක තිබුනා ඕලු පැලයක් පැල කරලා.නාන ලිඳක් හින්දා මල් පිපුනාම අතින්ම කඩා ගත්තෑකි.ඉතින් අපි යනකොටත් ලොකු මල් පොහොට්ටුවක් තිබ්බා.වත්තේ මනුස්සයෝ ඉන්නවද බලලා හෙමින් සැරේ පොහොට්ටුවෙන් ඇඳලා ගත්තාම ආවා අඩි හතරකටත් වඩා දිග දඬුවකුත්.පොහොට්ටුවත් සෑහෙන ලොකුයි.ඉතින් අපි ඒකත් අරන් ආවා ගෙදර. ඔහොම ඕලු මල් කඩන් ආවාම ආපු ගමන් බේසමකට වතුර අරන් දානවා පොහොට්ටු වතුරෙන් උඩට එන විදිහට.මල් පිපෙන්නේ උදේ වෙද්දි.මුල්ම දවස් වල රෑ ඉඳන්ම බලනවා මල් පිපෙනකන්.උදේට හැම මලක්ම වගේ පිපෙනනවා.පිපුනේ නැති මල් ගෙදර පූජා කරන්ඩ තමා ගන්ඩ වෙන්නේ.
අරලිය මල් කූඩෙන් මල් අරන් ගිය මට මල් වට්ටියක් අරන් දුන්නා අම්මා.ඒක නිල් පාට ප්ලාස්ටික් මල් වට්ටියක්.මම ඉතින් රටා එන විදිහට මල් අහුරනවා.රෑට මල් වට්ටිය හදලා එලියේ මිදුලේ පොඩි ගහකින් තියනවා පිනි වැටෙන්ඩ.වැස්ස දවසට විතරක් ගේ ඇතුළෙන් තියනවා.පිනි වැටුනාම මල් වට්ටිය ලස්සනට දිලිසෙනවා.මල් ටික එවෙලෙ කඩා ගත්තා වගේ තියෙනවා.උදෙන්ම මල් වට්ටියත් අරන් දහම් පාසල් යනවා.යන ගමනෙදි මල් වට්ටියට අත තියලා සාධූ කියන කට්ටියත් හිටියා. දහම් පාසලේදි මල් අත ගස්සන්ඩ ඕනේ.පෝලිමට අරන් යනවා මල් ගෙනාපූ හැමෝම.මල් අරන් නොගිය දාට හිතට දුකයි.මල් වට්ටිය ලස්සන නැති දාටත් එහෙමයි.හැමදාම මල් අරන් ගිහින් තෑග්ගකුත් හම්බුනා තෑගි උත්සවයෙදි.
අපේ අක්කගේ පුතාව ඉස්කෝලේ දාන්ඩ ගියාම පරණ මතකයන් චිත්‍රයක් වගේ ඇස් ඉදිරිපිට දිග හැරෙන්ඩ පටන් ගද්දි අතීතයට ගිහින් එන්ඩ ආසා හිතුනා.මල් පූජා කරපු බුදු මැදුර දකිද්දිත්, ඉගෙන ගත්ත පන්ති කාමර දකිද්දිත් ආයෙමත් ඒ කාලෙට යන්ඩ තිබ්බනම් කියලා හිතුනා. ඕ මොනා උනත් අතීතේ මතක් කරනකොට සතුට වගේම දුකත් ඒ විදිහටම දැනෙනවා.අපි මල් කැඩුව අරලිය ගසුත්, රුකත්තන ගසුත්, ඕලූ පැලත් දැන් දකින්ඩවත් නෑ.ඒ ඔක්කොම විනාශවෙලා ගිහින්.ඉස්කෝලේ තිබ්බ සියඹලා ගහයි, වෙරළු ගහයි, ඇඹිල්ල ගහයි ගිය අවුරුද්දේ කපලා තිබ්බා. මල් අරන් ගිය අරලිය කූඩ ඇත්තෙම නෑ.ඒවා හදන්ඩ ළමයි දන්නෙත් නෑ.මට මල් අරන් ගියාට තෑග්ගක් හම්බුනා තමයි.ඒත් කවුරුත් තෑගි ගන්ඩ කියලා හිතන් මල් අරන් ගියේ නෑ.ඒත් දැන් දහම් පාසලේ මල් ගේන එන ලකුණු කරන්ඩ වෙනම පොතකුත් තියෙනවා.ඕ ඔක්කොටම එහා දේ තමා දැන් මන් පන්සලකට යන්නේ හරිම කලාතුරකින්.පෝය දවසට ගෙදර ගියොත් විතරක් අක්කයි ගේ හතර වටේ ඉන්න පොඩි ළමයි තුන හතරකුත් එක්කන් යනවා පන්සල්.නුවර ඉන්නකොට මාළිගාවේ යද්දි රුපියල් සීයක් දීලා මල් වට්ටියක් අරන් යනවා.
මේ දේවල් මතක් වෙද්දි මොනා උනත් හරිම සතුටුයි අපි ඒ කාලේ සුන්දරව ගත කලානේ කියලා.දැන් ළමයිනුත් ඒ අයගේ කාලේට හරි විදිහට ජීවිතේ විඳිනවා.එහෙම කියලා හිත හදාගෙන මල් සුවඳ අතරින්ම අතීතයෙන් ආවා මේ ලෝකෙට.


Comments

  1. ඇත්තටම හරිම සුන්දර අතීතයක් සහෝ!! ඔය වගේ අතීතයක් හම්බ වෙන්නෙ කීයෙන් කී දෙනාටද? ඒවා ජීවීතේ ලස්සන මතක සටහන්!! හරිම ලස්සනයි සහෝ!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ. දැන් කාලේ ගොඩක් අයට ඕ වගේ අතීතයක් නැහැනේ.

      Delete

Post a Comment

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය