රතු තීන්ත

ඒ නොවැම්බර් මැද හරිය.තාම දෙසැම්බරේට එන නත්තල් හුළං එන්නේ නෑ.ඒත් වේලිච්ච හුළඟක් කොයි වෙලෙත් එහෙට මෙහෙට සක්මන් කරනවා.අවාරෙට හැදුන කොට්ටම්බා ගෙඩි හොයන්න වත්ත උඩහට ගිය මට මගේම අඩියට පෑගෙන කොට්ටං කොළ වල සද්දෙ හුළං සද්දේ මකාගෙන ඇහෙනවා.කොට්ටං ගෙඩි වැටුනට කොළ ගොඩක් හින්දා කකුලෙන් පාද ගත්තොත් මිසක් ඇහැට පේන්නේ නෑ එකක්වත්.ගෙඩි දහයක් විතර හොයා ගත්තායින් පස්සේ මටම ඇති වෙලා ගෙවල් පැත්තට යන්න පටන් ගත්තා.ගේ පැත්තෙන් එන්නෙ හරි පාළු පුසුබක්.ඔය පුස්බ දැන් සෑහෙන කාලෙක ඉඳන් මගේ නාහෙට හරි පුරුදුයි.ඇස් දෙක වහන් උනත් ගේ දොර්කඩටම ගියෑකි සුවඳ දිගේ.අහුල ගත්ත කොට්ටන් ටික මිදුලේ කෙරෝලේ තිබ්බ හීනී තල් ගහ මුලට දාලා ගේ ඇතුලට යන්න හදනකොට ටක් ටක් ගගා තත්ත්පර මැන්න ඔරලෝසුව ඩාන් ඩාන් ගාලා හවස පහට පස් වතාවක් සද්ද කලා.
"තව පොඩ්ඩ වෙලාවයිනෙ" මන් මටම කියාගෙන මල් පූජා කරන්න මල් කඩන්න වට්ටියත් අරන් ආවා එළියට.
එළියට ආවාම ගෙදරට එන පාර ලොකු පාරට එකතු වෙන තැන හොඳට පේනවා.ඉතින් එතකොටයි දැක්කේ අක්කා බෑග් එකත් අරන් වැනි වැනි වගේ එනවා.මල් වට්ටිය ගේ ඇතුලේ පුටුවකින් තියලා අක්කා ආපු දිහාට දුවන් ගියා.
"ඇයි අද කලින් ? "
"අද මාමලා ගියාලු"
"එහෙමද.මාත් පාළුවෙන් හිටියේ ඉස්කෝලේ ගිහින් ආපු වෙලේ ඉඳන්"
"මොනවද කෑවේ ? බාප්පලහා දිහායින්ද ? "
"හ්ම් ඔව්.දවල්ට එහෙන් කෑවා" මන් හිතේ පොඩි හිනාවකුත් තියන් අක්කගේ බෑග් එකත් අල්ලන් ගෙවල් දිහාට ඇවිදගෙනම එනවා.
"කොහොමද අම්මට දැන්?" මන් බයෙන් වගේ ඇහුවා.
"අක්කා දවල් බලන්ඩ ගියා කිව්වා.තාම ඔපරේෂන් කරලා නෑලු.හෙට ගනියි.මන් උදේටවත් යන්ඩෝනේ"
"යන්කො දැන්.නාගන්ඩත් ඕනේ"
අක්කා ඇඳුම් මාරු කරනකන් මන් ඉන්නේ සාලෙට වෙලා.එතකොට ඉතින් පුටු සැටියේ හොඳට නිදාගෙන ඉන්න පූසව අල්ලනවා.ඒකා ෂෝයි.මන් ඌ ගැන කියන කතා අම්මා විතරයි අහන්නේ.අක්කලා ඌව එලෝන එක තමා කරන්නේ.මටනම් එතකොට දුකයි.මන් එවෙලෙට කරන්නේ පූසත් අරන් වත්ත පහළට යන එක.
අක්කා කාමරෙන් කුස්සියට ගියා දැක්කත් එක්කම මාත් පූසා පැත්තකට දාලා හෙමින් ඇවිදන් ගියා.ජීවිතේ පළවෙනි පාරට ඔන්න මම ගෙදර ඉව්වා.ඊට කළින් පරිප්පු එහෙම උයලා තිබ්බට බතුයි මාළුපිණියි එකට උයලා නෑ.මට ලැජ්ජාවේ බෑ.අක්කා වළං ඇරලා බලන සද්දේ ඇහෙනවා.මට ඉතින් හරි සතුටුයි.
"ඔයාද ඉව්වෙ ?"
අක්කා එහෙම කියද්දිම මම මුනේ හිනාව හංගගෙන ගියා කුස්සියට.
"ඔව් අනේ.මන් ගියේ නෑ බාප්පලහා දිහා.මන් ඉව්වා"
"ඒකත් හොඳයි.නාලා ඇවිත් තව මොනා හරි හදමු."
නාන ළිඳ තියෙන්නේ වත්ත පල්ලෙහා.වෙල ළඟම.අක්කා නානකන් මට තියෙන්නේ නියරවල්වල ඇවිද ඇවිද ඉන්න එක.ඉරත් බැහැලා යනවා ඈත පේන පන්සලට උඩින්.දෙසැම්බර් ළඟ හින්දා ඉර බහිනකොට රුපියලක් තරම්.අනික රතුම රතුයි.අක්කා එන්ඩ කියලා කියනකන්ම වෙලේ ඉඳලා හෙමිහිට අක්කත් එක්කම ගෙදර ගියා.
අනිත් අක්කයි, අයියලා දෙන්නයි ඔක්කොම ආවා රෑ වෙද්දි.ඊට කළින් අපි උයලා ඉවර කලා.අක්කා උයනකම් මන් හිටියේ කුස්සියේ ඇඳ උඩ පූසා එක්ක.
අක්කා පාන්දර හතරට විතර නැඟිටිනකොට මාත් නැඟිටිනවා.ඊට පස්සෙ උයන්ඩ උදව් වෙලා පාඩම් කරනවා.අක්කලා වැඩට ගියාම තමා මන් ඉස්කෝලේ යන්නේ.විභාගෙත් ළඟ හින්දා පාඩම් උගන්නන්නෙත් නෑ.කලින් උගන්නපුවා ආයේ කියා දෙන එක තමා කරන්නේ.මාත් ඉතින් ඕවා අහගෙන දන්නේ නැති අයටත් කියා දෙනවා.අම්මා ගැන අහන්නේ දිමුතු විතරයි.ඒකා විතරයි අපේ දිහා ඇවිත් තියෙන්නෙත්.
එක හමාර වෙද්දි ඉතින් ගෙදරයන ආසාව වැඩි වෙනවා.සබ්බ පාපස්ස ගාථාව කියලා පෝලිමේ එළියට යනවා පන්තියෙන්.අපි හිටියේ උඩ තට්ටුවේ.ඒකෙත් කෙලවරේම පන්තියේ.පොඩි ළමයි තමා පහළ තට්ටුවේ ඉන්නේ.කොහොමත් අපිට තමා අන්තිමටම බැහැලා යන්න වෙන්නේ.බෑග් එකත් එල්ලන් බිත්තිය පැත්තෙන්ම ගිහින් පඩිපෙලේ එක පැත්තකට වෙලා බහිනවා පහළට.ළමයි දඟලනකොට මාත් පැත්තකට විසි වෙලා පඩිපෙළේ බැම්මේ ගෑවි ගැවිම පහළට ආවා.
මන් ඉතින් ගෙදර යන්නේ පයින්.ගෙදරට කිලෝ මීටරයක් විතර පයින් යන්ඩෝනේ.මම පිටිපස්සේ ගේට්ටුවෙන් යන්ඩ ඒ පැත්තට යද්දි දිමුතු තව කොල්ලෙක් එක්ක යනවා දැක්කා.දිමුතු කියලා කෑගැහුවාම නැවතුනා.
"ඒ අඩේ මොනාද ඔය කමිසේ? "දිමුතු ඇස් උඩ දාගෙන ඇහුවා.
"මෙන්න මූගේත් ගෑවිලා." දිමුතු එක්ක හිටිය අනික් කොල්ලා කිව්වා.
මන් එතකොටයි දැක්කේ.කමිසේ එක පැත්තකයි කලිසමේ එක කකුළකයි රතු පාට තීන්ත ගෑවිලා.මම අතින් පිහදාන්ඩ හැදුවා.එතකොට උනේ තව වැඩි වෙන එක.මන් දැන් දැක්කේ කියලා කියන්නත් බෑ.මට ලැජ්ජයි දුකයි දෙකම.
"අහ් ඔව් බන්.මොනා කරන්ඩෙයි.ගිහින් හෝඳලවත් බලනවා" මන් දැනගෙන හිටියා වගේ කියලා දැම්මා.
"ඕවා යන්නේ නෑ බන්.මන් දැක්කා පොඩි උන්ගෙත් ගෑවිලා තිබ්බා.කසුනගෙත් තිබ්බා.ඒට් ඔච්චර නෑ හැබැයි." දිමුතු යන ගමන්ම කිව්වා.
"ඕකට භූමිතෙල් දාලා අතුල්ලපන්.යයි."
"නෑ බන් ඕවා යන්නේ නෑ.ඔය අර පඩිපෙළේ ගාලා තිබ්බ තීන්ත නෙහ්.අපිනම් දැක්කා ඉන්ටවල් එකේදි" තව වටේ උන්න දෙන්නෙක්ම කිව්ව.
මන් හිනා උනා විතරයි.ටික දුරක් යද්දි ගේට්ටුව ළඟදි උන්ට යනවා කියලා මන් ගෙදරට යන පාරේ තියෙන කන්ද නගින්ඩ ගත්තා.මන් ආයෙමත් හොඳට බැලුවා තීන්ත පැල්ලම් දිහා.සෑහෙන ලොකුයි.බෑග් එකේ එක අණඩක් තීන්ත පැල්ලම් පේන්නෙ නැති වෙන්ඩ තියන් කන්ද නගිනවා.වෙලාව දෙකට ළඟ හින්දා මාර රස්නෙයි.ඒත් ඊට වඩා මගෙ හිත රස්නෙයි.පපුව පිච්චෙනවා වගේ.කෙළ ගිලෙන්නෙත් නෑ.ඇස් වල කඳුලු බිංදු දෙකක් එළියට එන්න මඟ බලාගෙන.කඳුලු බිංදු ගෙදරදි එළියට දාන්න හිතාගෙන ඉස්සරහටම යනවා මම.තව කිලෝ මීටරයක් එහෙම්මමයි.අව්ව මතකෙවත් නෑ.කීප දෙනෙක්ම බැලුවේ තීන්ත පැල්ලම් දිහා.ඒත් මන් එනකන්ම කල්පනා කලේ හෙට අඳින්නේ මොකක්ද කියලා.
ඔය සිද්දිය වෙද්දි මම දහය වසරේ.ඒ කියන්නේ දිග කලිසම් අඳින්ඩ පටන් ගත්තේ ඒ අවුරුද්දේ තමා.ඉතින් හැමදාම ඇන්දේ මේ කලිසමයි කමිසෙයි.
"දැන් කෝමද මන් හෙට ඉස්කෝලේ යන්නේ.කමක් නෑ භූමිතෙල් දාලා හෝදලා බලනවා.."
"ඒහෙම කරලත් නොගියොත් ?"
"මට මැරෙන්න හිතෙනවා"
මේ වගේ සිතුවිලි දාහක් හිතේ දරන් මන් ආවා ගෙදර.ඒ ගමන්ම ඇඳුම් මාරු කරලා කමිසෙයි කළිසමයි අරන් දිව්වා ළිඳ ළඟට.පුළුවන් වීරිය දාලා ඇතිල්ලුවා.පොල් කොස්සකට භූමිතෙල් දාලා ඇතිල්ලුවා.ආයේ සබන් දාලා හේදුවා.ඒත් බිංදුවක්වත් යන්නේ නැති තරමට තීන්ත ටික ඇලිලා ඇඳුමට.මන් ආයේ හේදුවා.ආයෙමත් හේදුවා.දරාගන්න බැරි තරම් දුකයි.ඒත් කඳුළු තාම ඇහැ ඇතුලේ.වැඩේ හරියන්නේ නැතිබව දැනිලා ඇඳුම් දෙක වැලට දාලා මන් ආවා ගෙදරට.
ගෙදර ආවට හිත කකියනවා තාමත්.කමක් නෑ වේලුනායින් පස්සේ අඩු වෙලා තියෙයි කියලා හිතන් කෑම මොනා හරි තියේද බලන්ඩ ගියත් දවල් දෙකහමාර වෙද්දි උදේ හතරට උයපු කෑම ඔක්කොම නරක්වෙලා තිබ්බා.බත් විතරක් යන්තන් හොඳයි.ඊයේ ගියේ නැති හින්දා බාප්පලා දිහා යන්නත් බෑ.උයන්න හිතකුත් නෑ.ඕන එකක් කියලා උයන්න පටන් ගත්තා.උදේ බතට මාළුවක් හදලා කාලා එහෙම ආයෙම ගියේ ඇඳුම් බලන්න.හොඳටම වේලිලා තිබ්බත් තීන්ත පැල්ලම එහෙම්මමයි.මම හුස්මක් පිට කරලා ඇඳුමට් අරන් ගෙදර ආවා.අක්කා එනකන් නාලා එහෙම ටීවි බලන්ඩ පටන් ගත්තා.
අක්කා එනකොට මන් පුටුවෙම නිදි.මන් නැගිටිනකොට අක්කා නාන්ඩත් ලෑස්තියේ හිටියේ.හිතේ තියන් හිටිය ඇඳුමේ සිද්දිය කිව්වාම අක්කත් ආයෙම බැලුවා.
"හේදුවේ නැද්ද ?"
"තුන්පාරක් විතර හේදුවා.ඒත් ගියේ නෑ."
"දැන් මොකද කරන්නේ.ආයේ එකක් ගන්ඩ වෙයි."
"හ්ම්ම්.අනේ මන්දා තව සති තුනයි යන්ඩ ඕනෙ ඉතින්.ඊට පස්සේ නිවාඩුනේ."
"ඒ උනාට විභාගෙ තියෙනවනේ.බලමුකෝ"අක්කා බාල්දිය ගත්තේ ළිඳට යන්ඩ.මාත් පස්සෙන් දුවලා ගියා.
අනිත් දවසට එළිවෙද්දි ගෙදර අය වෙනදා වගේම වැඩට ගියා.ඒත් මන් ගෙදර.අක්කා කිව්වේ ගෙදරටම වෙලා ඉන්ඩ කියලා විතරයි.ඒත් ඒ හිත කිව්ව දේ මට නොතේරුනා නෙමේ.මේ ටිකෙ හැමෝමට හරිම වියදම්.මාසේ අගට කිට්ටුයි.සල්ලි ප්‍රශ්න හැමෝමට.මාත් ගෙදරට වෙලාම හිටියා.කඩේට ගියත්, ගෙදරට කවුරු හරි ආවත්, මන් කොහෙ හරි ගියත් ඇයි ඉස්කෝලේ ගියේ නැත්තේ ඇහුවාම මගේ එකම උත්තරේ " අම්මා ඉස්පිරිතාලනේ ඒ හින්දා ගියේ නෑ " කියලා විතරයි.
එදා බදාදා.බ්‍රහස්පතින්දත් ගෙවිලා ගියා.සිකුරාදාත් ඉවරයි.ඒත් මන් තාම ගෙදර.සිකුරාදා හවස අක්කා ටිකක් පරක්කු වෙලා ආවේ ගෙදර.ඇවිත් මට හතරට නමපු කොල කෑල්ලක් දුන්නා.ඇරලා බලද්දිම රුපියල් පන්සීයක් තිබුනා.කොලේ ලියලා තිබ්බේ මෙහෙමයි.
"පුතේ ඔයාට ඉස්පිරිතාලෙ තනියෙන් එන්ඩ බෑ කියලා දාන්නවා.මන් තව දවස් දෙකකින් විතර ගෙදර එනවා.මේ සල්ලි වලින් ඇඳුමක් අරන් ඉස්කෝලේ යන්ඩ."
මට එවෙලෙ දැනුනේ මොනාද කියලා මතකයක් නැහැ.දුක, සතුට, ආදරයා පිරුනු ඔක්කොම කලවම් වෙච්ච හැඟීමක් වෙන්ඩ ඇති දැනුනේ.මන් පන්සීය අක්කට දුන්නා.මේ වෙද්දි මන් පරණ කමිසයක් හොයලා හොඳට හෝදලා තිබ්බෙ.ඒ හින්දා කලිසම විතරයි අඩු.
සෙනසුරාදා හවස අක්කා කලිසමක් ගෙනත් තිබ්බා.මට ඇඳලා බලන්ඩ කිව්වාම ඉතින් ඉහේ මලක් පිපුනා වගේ තමයි.ඇඳලා බැලුවාම ටිකක් නෙමේ.හොඳටම ලොකුයි.ඒත් වැඩි ලොකුවකුත් නැහැ.මන් ඉතින් හොඳය් කිව්වා.අක්කා ඒක ගෙනත් තියෙන්නේ ඇඳුම් මහන තැනකින්.මාස තුනක් යනකනුත් අරන් ගිහින් නැති හින්දා.පන්සීයකට අක්කට දීලා.
අපි ඇඳුම් නැතුව අඬද්දි.තව කට්ටියකට ඇඳුම් වැඩි වෙලා.
කොහොම හරි ඉරිදත් පහු වෙලා සඳුදා උදෙන්ම ඉස්කෝලේට ගියා.උඩ තට්ටුවට නඟිද්දි ලස්සනට රතු පාටට දිලිසෙන පඩිපෙලේ බැම්ම දකිද්දි හිනාවකුත් ආවා මූණට.
"තීන්ත පැල්ලමක් කරපු දේ".මන් මටම මුමුණගෙන පන්තියට ආවා.ඒ දවසෙම හැමෝම ඇහුවේ ඇයි ඉස්කොලේ ආවේ නැත්තේ කියලා.ප්‍රගති වාර්තා පොත අරන් ටීචට දුන්නාමත් ඇහුවේ ඇයි ආවේ නැත්තෙ කියලා.දිමුතු ඇහුවෙත් එච්චරමයි.ඔය ඔක්කොටම මට දෙන්න තිබ්බ උත්තරේ "අම්මා ඉස්පිරිතාලෙ හිටියනේ.එකයි ආවේ නැත්තේ" කියලා විතරමයි.එහෙම කියන හැමවාරෙකදිම මගේ ඇස් ගියේ ලොකු කකුල් තිබ්බ මගේ සුදු කලිසමට.

Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය