මහ වැහි

වෙසක් මාසේ කියන්නේ හැම අවුරුද්දෙම ලොකුම වැහි වහින මාසේ.අප්‍රේල් බක් මහ අකුණුත් එක්ක එන වැස්සට පස්සේ එන මෝසම් සුළං එක්කම වැස්ස වහිනවා වැස්ස එපා වෙනකන්ම.යල මහ දෙකම වපුරපු කාලේනම් ඕ වැසි කාලේ වෙනකොට මුළු වෙල් යායම පොඩි පොඩි ගොයම් පැළ වලින් වැහිලමයි තියෙන්නේ.අඩි බාගයක් විතර උස ගොයම් පැළ උඩින් හුළං හමන් යනකොට මුළු වෙල් යායෙම, සිලි සිලි ගාලා සද්දයකුත් දාගෙනම රටාවක් මවන් ගොයම් පැළ ටික හෙල්ලිලා යනවා.වැස්ස හිමිහිට තිබ්බොත් යන්තන් ගස් මුල වැහෙන තරමට වතුර.පොඩ්ඩක් වැඩියෙන් වැස්සොත් උඩට පේන තරමට වතුර.හයියෙන්ම වැස්සොත් ගොයම් පැල පොව්වන තරමට වතුර.ඒ කාලෙට වතුර බහින්නේ වක්කඩෙන් විතරක් නෙමේ.නියර උඩිනුත් වතුර දානවා.අතරින් පතර පුරණ් උන කුඹුරක් එහෙම තිබුනොත් මුළු කුඹුරම වතුරෙන් යට වෙනවා.සුන්දරයි කියලා හිතුවට එක දිගට දවස් දෙක තුනක් වැස්ස අල්ලලා හිටියොත් ඇළෙන් එන වතුර පාරට වැලි හෑරෙන හින්දා කුඹුරෙන් බාගයක්ම වැල්ලෙන් යටවෙනවා.වක්කඩවල් ළඟත් එහෙම්මමයි.මොනා උනත් ඕ වහින වැස්ස තමා ආයේ මාස කීපයකට පොළවට අල්ලලා තියෙන්නේ.
අප්‍රේල් අවුරුදු වෙනකන් හොඳ වැස්සක් වැටුනේ නැත්තන් ඒ කන්නෙට කුඹුරු වපුරන්න බැරි වෙනවා.එතකොට අතරින් පතර හැර අනිත් හැම තැනම තියෙන්නේ වල් වැවුනු ලියැදි.ඔය කාලෙට වැස්සාම මුළු වෙල් යායම උතුරලා යනවා.දවස් දෙක තුනක හොඳ ධාරානිපාත වරුසා වැස්සාම ඇළ පිටාර ගලලා සෑහෙන ප්‍රදේශයක් යට වෙලා යනවා.අපේ ගෙදර ඉඳන් බැලුවාම වෙල්‍ යාය පේන්නේ හරියට වැවක් වගේ.ඉස්සර පොඩි කාලේ ඉස්කෝලේ ගිහින් ආපු ගමන්ම යන්නේ වෙල පිටාර ගලපු එක බලන්න.වත්ත පහළ ළිඳ ගාවින් වෙලට යන අපිට ටිකක් වෙලා යනවා නියර තිබ්බ තැන් හොයා ගන්ඩ.ඒ තරමට වතුර.ලියැදි දෙකකට එහා තමා ඇළ තියෙන්නේ.ඒත් දැන් ඇළයි ලියැදියි වෙන්කරලා හොයා ගන්ඩ බැහැ.ඒ හින්දා වත්තේ ඉඳන් යන්ඩ වෙන්නේ පොඩි දුරක්.ඒ කාලේ අපි හරිම පොඩි හින්දා මටයි අක්කටයි යන්න වෙන්නේ තව කාව හරි අල්ලගෙන.ඒම නැත්තන් වතුර පාරේ සැරට ගහන් යන්න උනත් පුළුවන්.
වෙල් යාය අපේ වත්ත හරියේ ඉඳන් ගොඩක් ඉස්සරහට තියෙන හින්දා සෑහෙන ඈතක් වෙනකන්ම පේනවා.වෙලට නැමුන පොල් ගසුයි,බඩ වැටි වල තියෙන පුවක් ගසුයි තියෙන හින්දා වෙල පිටාර ගලන කාලෙට පොල් ගෙඩියි පුවක් ගෙඩියි එනවා වතුරේ පාවීගෙන.ඒවා එකතු කරන එකත් හරි විනෝදය ගෙන දෙන දෙයක්.අපි තරඟෙට ඒවා එකතු කරනවා.ඈතින් පොල් ගෙඩියක් පාවීගෙන එනවා දැක්කාම අපි ළඟ ඉන්න කෙනාගේ අත තද කරලා අල්ලගන්නේ කාටවත් ඒ දිහාට දුවන්ඩ බැරිවෙන්න.පස්සේ ළඟටම එනකල් ඉඳලා පැනලා අල්ල ගන්නවා.අපිට පොල් ඕනකමකටම නෙමේ ඒවා කරන්නේ, හුදෙක්ම විනෝදය සඳහා පමණයි.අපි එහෙම උනාට පොල් නැති අයටනම් ඔහොම එන පොල් රත්තරන් වගේ.පුවකුත් එහෙමයි.පොල්,පුවක් වලට අමතරව කොට්ටං ගෙඩිත් එනවා.හැබැයි ඒවා ගොඩක්ම සෑහෙන පරණ ගෙඩි.ඒ හින්දා අල්ලලා වැඩක් නෑ.අපි ඒවා ආයෙම ඉස්සරහට විසික් කරලා එන හැටි බලන් ඉන්නවා.
වෙලේ වතුර ගොඩේ ඉන්නකොටයි, ඇවිදිනකොටයි වැටෙන්නේ නැත්තන් ඒක ලොකු පිටාරයක් නෙමේ.අනිවාර්යයෙන් අපි ගෙදර එන්නේ හොඳට නාගෙන.තොප්පියක් වත් දාන්නේ නැති හින්දා දවස පුරාම වහින හීනී පොද වැස්සට හොඳට තෙමෙනවා.බොහෝවිට අපි වත්ත පහළ ළිඳෙන් නාගෙනම තමා එන්නේ.අපි වෙලෙන් ගොඩ එනකොට යටිපතුල් රෝසම රෝස පාටයි.වෙනදා හවස් වෙනකොට කුණු පිරිලා දුඹුරු පාට වෙන යටි පතුල් වතුරටයි, තණකොළ වලටයි ඇතිල්ලිලා සුදු වෙනවා.අපි ආසාවෙන් පැන පැන ඇවිත් කාගෙද සුදුම යටි පතුල කියලා බලනවා.හැමෝගෙම ඉතින් එක වගේ තමා.
වැස්ස ඉවර උනාම වතුර ටිකත් එහෙම්ම බැහැලා යනවා.ඒකට එක දවසක් වහින්නේ නැතුව හිටියත් ඇති.වත්ත පුරාමත් වලවල් වගේ තැන් වල වතුර පිරෙනවා.ඒවත් ඒ එක්කම බැහැලා යනවා.වතුර බොන ළිං උනත් උතුරන මට්ටමට පිරෙනවා.අපේ ළිඳ උඩට බැඳලා තිබ්බේ නැති හින්දා කළේ අතින් දාලා වතුර ගත්ත වෙලාවලුත් තිබුනා කියලා මට මතකයි.එහෙම පිරුනට කවදාවත් ඒ ළිං උතුරලා ගියේනම් නෑ.ඒත් වත්ත පහළ නාන ළිඳ උතුරලා ගිහින් වෙලේ පිටාර ගලපු වතුරත් එක්ක හා වෙනවත් එක්ක.වතුර ටික පිරිසිදු වෙලා එන්ඩ අඩු තරමේ සතියක් හමාරක්වත් යනවා.ඔහොම ලොකු වැහි වැස්සාම මිදුලෙන් පොඩි දිය සීරවක් වගේ එන උල්පත් මතු වෙන එකත් හරිම සාමාන්‍ය දෙයක් ඒ කාලේ.වැස්ස නතර උනත් දවස් දෙකක් විතර යනකන් ඒ දිය සීරාවල් එහෙම්මම තියෙනවා.ඒකට හේතුව අපේ ගේ ඉස්සරහ කණ්ඩිය වගේ තියෙන හින්දා වෙන්ඩැති.උළු වහලයි, පොල් අතු වහලයි තියෙන ගෙවල් ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ.පොල් අතු හෙවිල්ලපු වහල තියෙනකොට හොඳ ලොකු වැස්සක් වැස්සාම ගෙයින් එළියේ ඉන්න එකෙයි ඇතුළෙ ඉන්න එකෙයි වැඩි වෙනසක් නෑ ඉතින්.කොහෙ හිටියත් තෙමෙනවා.
මැයි මාසේ ලොකු වැහි වහිනකොට ගොයම් පැළ කාලේ තිබ්බොත්, වක්කඩ පිටිපස්සෙයි ඇළ ළඟ නියර ගාව තියෙන ගොයම් පැළයි වැලි වලින් යට වෙනවා.නැත්තන් වතුර පාර සැරට ගැලවිලා යනවා.වැස්ස නැවතුනාම ඒ හරිය ආයේ හිටවන්ඩ වෙනවා.ඒත් ගොයම් පැළ ගොඩක් ලොකු වෙලා පඳුරු ගහන කාලේ වගේ තිබ්බොත් හිටවන එකේ වැඩක් නැති වෙනවා.එතකොට ඉතින් ගොයම් කපන කල්ම ඒ හරිය හිස්.අපේ වත්ත වෙල අයිනෙම තිබ්බට අපේ කුඹුර තිබ්බේ වත්තේ ඉඳන් ලියැදි තිහකට ව්තර එහා.ඒ උනාට වත්ත ළඟ හරියක තිබුන ලියැදි දෙක තුනක් අපි අඳේට වැඩ කරනවා.අපේ කුඹුර තියෙන්නේ ලියැදි මැද්දෙන් ගලන ඇළ වංගුවක් ගන්න තැනම.ඒ හින්දා ඇළ උතුරන්න පොඩ්ඩක් වැස්සත් කුඹුර යට වෙනවා.එහෙම උනොත් ආයේ ඒ හරිය හිටවන්ඩ වෙනවා.වත්ත ළඟ අඳේට වැඩ කරපු ලියැදි වල තවානකින් හරි හරි කාගෙන් හරි ඉල්ල ගන්න ගොයම් පැළ වලින් හරි තමා අඩුපාඩු හිටවන්ඩ වෙන්නෙ.ඒකට ගොයම් පැළ ගෝනියක් විතර ඕන වෙනවා.තෙත බරිත මඩ පිරුණු ගොයම් පැළ ලියැදි තිහක විතර දුර උස්සන් එන එක ලේසි වැඩක් නෙමේ.ඒ හින්දා අපි ඕවා ගේනාවේ ඇළේ පා කරලා.මුළින්ම ලොකු රෙද්දක් එලලා ඒකේ ගානට රටාවකට ගොයම් පැළ අතුරනවා තාත්තා.පස්සේ රෙද්ද ගැට ගහලා දානවා ඇළට.පස්සේ මායි අක්කයි දිග කොවුල් දෙකක් අරන් ඇළ උඩ නියරෙන් ඇවිදගෙන යනවා.ගොයම් පැළ පොට්ටනිය කොහෙ හරි රැඳුනොත් කොවුලෙන් හරි ගස්සනවා.සමහර තැන් වල වතුර පාරත් එක්ක අපිටත් වඩා හයියෙන් යනවා.සමහර තැන් වල කොවුලෙන් අනින්නම වෙනවා.ඔහොම යද්දි අහල පහළ තියෙන මල්, කිරි හබරල කොළ දානවා අපි ඇළට.ඒකෙනුත් තරඟ තියනවා කවුරු දැම්ම එකද ඉක්මන්ට යන්නේ කියලා.ගොයම් පැළ ටික පහළ කුඹුර ළඟට ආවාම කවුරු හරි අරගන්නවා ඇළෙන් ගොඩට.පස්සේ ඉතින් හිටෝනවා.
වැස්ස එද්දි ඔහොම තමා වෙන්නේ.අපි ගියේ ගේ ළඟම ඉස්කෝලෙට පයින්.ඒ හින්දා වැස්සා කියලා ඉස්කෝලේ නොයා ඉන්න බෑ.ඒත් දුර ඉඳන් එන ළමයි එන්නේ නැති හින්දා පන්තියෙ ළමයි අඩු වෙනවා.ඒම උනාම ඉතින් ටීච අපිට මොනා හරි සෙල්ලම් කරන්න කියලා ටීචගේ වැඩ කරනවා.පස්සේ අපි ඔක්කොම ඩෙස්ක් ටික එකට තියලා පුටු වටේට තියාගන්නවා.පස්සේ ඉතින් කතන්දර කියන එක තමා කලේ.හැමෝටම කියන්න අළුත් කතන්දරයක් හැමදාම තිබ්බා.නැත්තන් බොරු එකක් හදලා හරි කිව්වා.කතන්දර වටය ඉවර උනාම කියන්නේ හොල්මන් කතා.ඒවා දැන් මතක් කරද්දිම කොච්චර බොරුද කියලා හිතුනත් ඒ කාලේ ඒවා කියනකොට පුටුවේ ඉඳන් ඉන්නකොටත් පිටිපස්ස බල බල තමා කිව්වේ.ඒ තරමට බයයි.සමහර වෙලාවට ටීචත් අහන් ඉන්නවා.පස්සේ හිනා වෙලා යනවා.ඕ වැඩ හින්දම අපි වැස්ස කාලෙට ඉස්කෝලේ යන්ඩ මාර ආසාවකින් හිටියේ ඒ කාලේ.
කොච්චර හෙන ගගහා වැස්සත් අපේ ගමේ කිසිම ගෙයක් වතුරෙන් යට වෙන්නේ නෑ.වැඩිම උනොත් ගස් කඩන් වැටෙනවා.වරිච්චි බැඳලා මැටි ගහලා පොල් අතු හෙවිලි කරපු ගෙවල්නම් ලොකු වැසි වලට බිත්ති පිටින් කඩන් වැටිලා තිබුනා කියලා මතකයි.ඒ හැර වෙන ආපධානම් තිබුනේ නෑ.ගේ ඇතුලේ තෙමෙන එකයි, රෙදි වේල ගන්ඩ බැරි එකයි හැරුනුකොට වැස්සට අකමැති වෙන්න කිසි හේතුවක් අපිට තිබුනේ නෑ.ඒ හින්දා අපි වැස්සට මාර ආසාවක් තිබ්බා.වැහි වෙලාවට රෙදි පොරවන් නිදා ගන්ඩත්, පොත් කියවන්ඩත් අපි පුරුදු වෙලා හිටියා.ඒ අතරේ රස්නේ පිරුණ තේ බොන්ඩත් ආසාවෙන් හිටියා.වැහි කාලේ ඉවර උනාම වැස්සට කලින් හිටෝපු හැම ගහක් කොළක්ම ලස්සන දළු දාලා එනවා.ඒ වගේම ඕනම ගහක් හිටෙව්වොත් හොඳට පැලවෙනවා.ගොඩක්ම ගොවිතැනින් ජීවත් උන අයට වැස්ස කියන්නේ ආශිර්වාදයක්.වැස්සෙන් පස්සේ පරිසරය වගේම ඒ අයගෙ ජීවිතත් සශ්‍රීක වෙනවා.ඒ හින්දා වෙන්නෙ ඇති වැස්සට අධිපති දෙවියෙකුත් නම් කරලා තිබ්බේ අතීතේ හිටිය අය.

Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය