කැරපොත්තෝ

මම ඇහැරුනේ අත දිගේ ඇබිත්තන් ඇඹලයි පැටියෙක් ගිය හින්දා.බෝරිච්චි අතේ වාටියෙන් අතට බැහැලා ඌ අත දිගේ පහලට යනවා.ඊට පස්සේ වැලමිට ළඟින් අතින් බැහැලා දුව දුව ගියේ මැසිම කෙළවරෙම කලින් තේ බොනකොට ගත්ත හකුරු කෑල්ල තිබ්බ දිහාවට.හකුරු කෑල්ල තිබ්බ තැන දැන් තියෙන්නේ හරිම පොඩි පැණි බිංදු තුන හතරක් විතරයි.ඒ වටේට ඇඹලයි ඉන්නවා හත් අට දෙනෙක්ම.අතින් බැහැලා ගිය එකත් ගිහින් එකතු උනා උනුත් එක්ක.මම තාමත් අත් මැසිම ළඟ අතක් දික් කරගෙන ඒ අත උඩින් ඔළුවත් තියාගෙන මේවා දිහා බලන් ඉන්නවා.නැගිටලා තේ කෝප්පෙත් අස් කරලා ඉතුරු වැඩ කරන්න තිබ්බත් හිතට තිබ්බේ නෑ කිසිම ආසාවක්.වෙලාව තාම එකොළහටවත් නෑ මන් හිතේ.විනාඩි පහක් එහෙම්මම හිටපු මන් කෝප්පෙත් අරන් ගියා කුස්සියට.
අම්මා පොල් ගානවා හිරමනේ ඉඳගෙන.මට පුදුම ඇයි පොල් ගාන සද්දේ කාමරේට ඇහුන් නැත්තේ කියලා."අම්මගේ චීත්තේ මහ මහ ඉඳලා එහෙම්ම නින්ද ගිහින්.ඇයි කතා නොකලේ.තාත්තා එනවත් නැතෑ දැන්." මන් කලෙන් වතුර ටිකක් කෝප්පෙට නමාගෙන කෝප්පෙ හෝඳන් මිදුලට වතුර ටික විසි කරන ගමන් අම්මට කිව්වා." එනවනම් එද්දෙන් ඉතින්, ආයේ ඉතින් මටත් කරන්න පුළුවන් ඉක්මනට තමා මාත් කරන්නේ...උඹලව කුස්සියට ගන්න එකත් හරි අමාරුයිනේ..." අම්මා මුණ නොබලම කියෝනවා.
"ඔය පරිප්පු ටික ගනින් ඒදලා..මේක මිරිකලා දාපන්.පිල්ලෑව ළඟ පොල් අතු ටික ගහන් ගිහිල්ල්ලත් ඇති.ඒක අරන් එන්ඩ ඕනේ මොක කරන්ඩත් කළින්..
"අහ් එහෙනම් මන් අරන් එන්නම් ඒක.දහයකට වඩා නෑ මන් හිතන්නේ..අනික මහ ලොකු වැස්සක් වැස්සායෑ ගහන් යන්ඩ.." මන් පරිප්පු ටිකක් නෑබිලියට ගන්න ගමන් කියලා දැම්මා ඕනවට එපාවට වගේ.
වැස්ස කාලෙට උයනවා කියන එක ලේසි වැඩක් නෙමේ.තෙත දර අවුලෝන එක තරම් එපා කරපු දෙයක් නෑ කොහෙවත්.අපි දරමැස්සේ කොච්චර දර දැම්මත් අඩු තරමේ තෙත පොඟෝලා හරි, නැත්තන් වහලෙන් වතුර වැටිලා හරි දර ටික තෙමෙනවා.කුස්සිය කෙලවරේ ලිප ළඟ බිම ඉඳන් ලිපිට පිඹලා පිඹලා තමා අවුලවන්නේ ඊට පස්සේ.
වැස්ස පටන් අරන් සතියක්ම ගියත් අඩුවක් නෑ පේන්න.මේ කාලෙට පොඩි ඇළවල් වල දාන පොල් අතු ගහන් යනවා උඩින් බරක් දාලා තිබ්බේ නැත්තන්.ඒ හින්දා කළු ගලක් උඩින් දාලා වැඩි පරිස්සමට පොල් අතු ටික එකට තියලා ලණුවකින් බැඳලා අනික් පොටෙන් බඳිනවා ළඟ තියෙන ගහක.එහෙමත් අවාසනාවකට තමා ගැලවිලා යනවනම් යන්නේ.මඩ පොල් අතු ඇඳන් ඇවිත් කමතෙන් දාලා තිබ්බාම හවසට නාන්ඩ යන්න කලින් අම්මා එක්ක වියලා දානවා ඔක්කොම.හැමදාම වගේ වෙන්නේ එහෙම තමයි.
අම්මා පොල් ටික අන්තිමටම යනකන් ගාලා පොල් කට්ට ලිප දිහාට විසික් කරන ගමන්ම හිරමනෙත් අරන් නැඟිට්ටා. "එහෙනම් උඹ අරන් වරෙන්.මන් ඕක හදන්නම්.." මන් එතකොටත් පරිප්පු ටික හෝඳලා ඉවරයි.ඇතිලිය අම්මට දුන්න මන් අත් දෙකම දෙපැත්තෙන් ඉනේ ඉඳන් පහලටම යන විදිහට අතේ වතුර පිහා ගත්තා ඇඳන් හිටිය චීත්තෙන්.එතකොටයි මතක් උනේ අම්මට අහුවෙන්නේ නැතුව කරන්න පුළුවන් වැඩ තියෙන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් කියලා.
"ඈ බොල ගෑණියේ...! තෝ ඉපදුන කාලෙම ඉඳන් කියන්නේ ඇඳන් ඉන්න ඇඳුමෙන් අත පිහ දාන්ඩ එපා කියලා..පුදුමයක් නෑ ඉතින් මේකි විසි අට පැනලත් ගෙදර ඉන්න එක.." අම්මගේ මේ වචන දැන් මහ ලොකුවට හිතට දැනෙන්නෙත් නැති තරම්.වැරද්දක් බව දැනුනත් තවත් ඒකම කරන්නේ පුරුද්දටත් වගේ අම්මගෙ වචන නාහෙට අහන්නේ නැති හින්දමත් වෙන්න ඕනේ.
මම පිහියකුත් අරගෙන පස්ස නොහැරීම කුස්සියෙ දොරෙන් එළියට ගියේ පොල් අතු ටික ගේන්න යන්න."මන් සුමනාවත් අඬ ගහන් යන්නන් එහෙට ගිහින්.වියලම එන්ඩ බැරියෑ.ඔන්නම් පැයක් යයි.හිතුනොත් එහෙන් කාලම එන්නම්.." මන් දොර ළඟ පඩියෙන් පහලට බැහැලා අඩියක් දහයක් විතර ගිහින් ඔළුව හරෝලා ආයේ හැරිල කුස්සිය දිහා බැලුවේ වැස්සක් ආයෙම එයිද කියලා අහස උඩත් බලාගෙනම.ගෙයි වහලෙන් වෙන් වෙන්ඩ එක පලේකට හදලා තියෙන්නෙ කුස්සියෙ වහලේ.තාමත් තෙත පොල් අතු අස්සෙන් දුම් යනවා උඩට.සමහර දුම් රැලි උඩට නගින්නෙ හරියටම ලිපට උඩින්.සමහර රැලි වහලෙ ඇතුල් පැත්තෙන් හරහට ගිහින් බිත්තියයි වහලෙයි අස්සෙන් ඉහලට එනවා වහලේ හතර පැත්තෙන්ම.ඈතින් බලනකොට පේන්නෙ මුළු කුස්සියම ඇවිලෙනවා වගේ.මන් ආයෙම වෙල දිහා හැරිලා ඉස්සරහටම ගියා.
වෙලාව දොළහට ළඟ වෙන්න ඇති.තාමත් හරියට ඉර එළිය නොවැටුනාට වළාකුළු අස්සෙන්, හරියටම ඔළුවට උඩින් දිලිසෙනවා ඉර.කෙලින්ම ගිහින් පිල්ලෑව පැත්තට යන්න පුළුවන් උනත් සුමනාව අඬගහගෙන යන්ඩ හින්දා හැරුනා ඒ පැත්තට.පොඩි විනාඩි පහේ ගමන මට දැනුනේ පැය ගානක් වගේ.ගෙදර ප්‍රශ්න ඉහටත් උඩින්.මල්ලි කරුණාපාල, තාත්තා, අක්කා නන්දා හැමෝම ගේන්නෙ ප්‍රශ්න විතරමයි.මන් ඒවත් හිත හිතා වත්ත මැද්දෙන් ගිහින් පාරත් පැනලා ගියා සුමනාලගේ ගේ දිහාවට.ගේ දොරාකඩට යන්නත් කලින් යන්තන් පෙනුන ඉරත් වහගෙන වැස්සක් කඩන් වැටුනා හිතුවේවත් නැති වෙලවක.සමහර විට මන් එනකොට අහසේ වෙච්ච වෙනස්කම් දිහා බලන්න වෙලාවක් තියෙන්න නැතුව ඇති.කොහොම හරි යන්තන් පැන ගත්තා ගෙදරට.
වැස්ස තියෙන්න ඇති පැය එක හමාරක් විතර.සුමනාලෑ දිහායින් කාලා එහෙම වැස්ස පායපු ගමන් ගියේ පොල් අතු ගේන්න සුමනා එක්කම.ලොකුවට පොඩි ඇළ පිරිලා තිබ්බත් පොල් අතුටික එහෙම්මමයි.ඇළ තියෙන්නේ පිල්ලෑවයි වෙල් යාය පටන් ගන්න තැනයි අතර.උඩින් ගස් වලින් වැහිලා සමහට තැන් වලින් අමුණු බැඳලා වතුර ගන්නවා වෙල් වලට.පොල් අතු දියේ දාන්නෙත් මේ වගේම පොඩි අමුණක් බැඳලා වතුර ටිකක් වැඩි කරගෙන.ඒත් මේ වැස්සෙනම් මොන අමුණුද.මම පොල් අතු ගොඩ උඩ තිබ්බ කළු ගල අහක් කරලා, ලණුවත් ලෙහා ගත්තා.සුමනා භාගෙකට අඩුවෙන් ඉතුරු කරලා මන් ගත්තා වැඩි හරිය.පොල් අතු ඔක්කොගෙම මුල් කොළ දෙක තුනෙන් එකට අල්ල ගත්තාම ඇදගෙන ගියෑකි අපහසුවක් නැතුවම.වෙලාව දෙකත් පහු වෙලා මන් හිතන්නේ.කමතට වෙලා කියෝ කියෝ වියන කොට වෙලාවක් යනවා දැනුනෙම නැති තරම්.පැයක් යන්ඩත් කලින් වියලා දැම්මා ඔක්කොම.පොල් අතු වල තිබ්බ මඩ නාහෙත් එක්ක.ඒවා පිහදාන්න ගිහින් අතේ තිබ්බ මඩ මූණ පුරා.කොච්චර පුරුදු උනත් එහෙම වෙනවා හැමදාම.සුමනගෙනම් එහෙම නෙමේ හැබැයි.සුමනා අද මාත් එක්ක පොල් අතු විව්වා කියන්නේ ළඟඳීම එහෙත් යන්න වෙනවා උන්ගේ අතු ටිකක් වියා දෙන්න.අපි විව්ව ටික කමතේ වනලා යන්ඩ ලෑස්ති උනා ගෙදර.
"උඹ යනවනම් යන් එහේ.මාත් නාගන්ඩ ඕනේ රෙදි ටිකත් අරන් ඇවිත්...උඹටත් බැරියෑ මෙහෙම්ම නාගන්ඩ.."
"බෑ බන්..මන් ගෙදර ගිහින්ම නාගන්ඩෝනෙ..හෙට දිහා එන්නම් ඔහෙ..මේ වැස්සේ රෙදි වේලිලත් නෑ බන්.." සුමනා එහෙම කියා ගෙනම වගේ යන්නම් කියලා ගියා ගෙදර.මාත් පොල් අතු ඉරපු පිහියත් අරගෙනම යන්ඩ ලෑස්ති ආවා ගෙදර.අම්මා උයලා ඇති මන් හිතේ.තුනට විතර ඇති වෙලාව.මන් දැක්කා කොස් බෑයකුත් තිබ්බා පිළිකන්නේ. ඒක උයන එකනම් අම්මටනම් මහ ලොකු දෙයක් නෙමේ.අම්මට බැරි ගහට නැගලා කොස් ගෙඩිය කඩන එක විතරයි.මම පින්න ගස් වලට පිහියෙන් කොට කොට ආවා ගේ ළඟටම.කුස්සියෙන් යන්න හිතුනත් දකුණු පැත්තෙන් වටෙන් ගිහින් ආවා ගේ ඉස්සරහට, ඉස්සරහා දොරෙන් ගෙට යන්ඩ.මන් එනකොටත් තාත්තා ඉන්නවා හාන්සි පුටුවේ දිගා වෙලා,ඇසුත් පියාගෙන, අත් දෙක ඇඳි දෙකේ දික් කරගෙන, බුළත් හෙප්පුව තියෙන උස බංකුව ළඟට ඇදගෙන.වෙනදනම් ඕකේ වැඩියෙම ඉන්නේ අම්මා තමා.මම ඉස්සරහ දොරෙන්ම ඇතුළට ගියා පිහිය හංගගෙනම.නැත්තන් බැනුම් අහන්න වෙනවා තක්කෙටම.චීත්තෙකුයි සාළුවකුයි ගත්ත මන් කුස්සියෙන් එළියට බැස්සෙ නාන්න යන්ඩ.මට තාම පුදුම කෝ අම්මා කියලා.තාත්තගෙන් අහන්නත් බෑ.කෑ ගහන්ඩත් බෑ.ඕන එකක් කියලා මන් ගියා එළියට.
හොටු හූරන සද්දයක් ඇහුනේ ගෙටත් වම් පැත්තේ දෙල් ගහ දිහාවෙන්.මන් ඒ දිහා බලන කොට දැක්කේ අම්මා ඇවිදිනවා බිමට පොඩ්ඩක් නැමීගෙන.මොනවදෝ හොයනවා බිම්ට නැමිලා.එක පාරකට බිමින් කොළ වගයක් කඩා ගෙන දා ගත්තා කටේ.මන් කතා නොකරම ගියා ඒ පැත්තට.
"අම්මේ..මොකෑ කරන්නෙ ඔහෙ..? "
අම්මා මන් පැත්ත හැරිලා ආයේ බැලුවා අහක.විටක් කනවද මන්දා හපනවා මොනා හරි.තවත් ළඟට ගියාමයි මන් දැක්කේ අම්මගේ ඔලුව පුරාම ඉඳුල් තියෙනවා කියලා.පපුව ගැහෙන්න ගත්තා මට ඇහෙන තරමට.මන් හයියෙන් අඩිය තියලා ගියේ අම්මා ළඟට.ඔළුව පුරාම බට්බ් ඇටයි, පරිප්පුයි.උරහිස්ස දිහා තිබ්බා කොස් කෑලි දෙක තුනකුත්.තාමත් අම්මා හරියකට මුණ දිහා බැලුවේ නෑ මගේ.මන් රෙදි දෙකත් අත යට ගහගෙන අම්මා ළඟ ගිහින් හිට ගත්තා.දැනුයි හරියට මූණ දැක්කේ.කට පැත්තක්ම තඩිස්සි වෙලා.ලේ ගලපු පාරක් පේනවා බෙල්ල දිගේ.අම්මා හොයන්නේ දෙමළ වැල්.කටේ දාගෙන හපනවා ලේ එන එක නවත්තන්ඩ.
"මොකද උනේ අම්මේ.." මන් ඇහුවේ බයෙන් බයෙන්.
"තොපිලගේ මහ එකාගෙ..වැඩ තමා..උබලත් එකයි.උනුත් එකයි..මැරිලත් යන්නේ නෑනේ මන්.."
"කන්ඩ හදන්ඩත්.. ඕනේ මුන්ට...මන්ම තමා මැරෙන්ඩත් ඕනේ.." අම්මට කියවන් කියවන් යන්ඩ ඕනේ උනාට කිව්වේ කැඩි කැඩී..ඒ දෙමල වැල් හපේ කටේ හින්ද්ද වෙන මොකක් හින්ද්ද මන්දා.
"මොකද උනේ ඉතින්..ගැහුවද..? " "අර පුටුවේ ඉන්නේ අපූරුවට..බීලා වෙන්ඩැති එහෙමනම් පැලෙන්ඩ.." මම කොහොමත් තාත්තට ආදරෙයි කවදාවත,මේ වගේ වැඩ ඉස්සර ඉඳන්ම උනත් කිසිම දවසක මටනම් වැරැද්දක් වෙලා නෑ එයාගෙන්.
මන් අම්මත් එක්කම ආවා ගේ දිහාට.නාන එක පැත්තක තියලා ගියා ගෙට.කිව්ව විදිහටනම් වෙලා තියෙන්නේ පරිප්පු ඇතිළියට වහලෙන් කැරපොත්තෙක් වැටිලා ඉඳලා තාත්තා කුස්සියට එද්දි.මොකුත් නොකිව්ව තාත්ටා බත් එක බෙදලා දුන්නායින් පස්සේ බත් එකෙන්ම ගහලා ඔලුවට.මූණ වද්දලා බිත්තියේ.අම්මගෙ තිබ්බෙ ඉස්සර දත් හතර පහක් විතරයි.ඒකෙනුත් දෙකක්ම වැටිලා බිමටම.
මම තාමත් මඩ පිටින්.කාමරේට ගිහින් ඉඳ ගත්තා පුටුවකින්.අම්මත් එක්කම ළිඳට යන්නම් කියලා හිතා ගෙන කාමරේට ගියත් ඊට කලින් මට ඕනේ උනේ පොඩ්ඩක් තනිවෙන්ඩ.පොඩ්ඩක් හිතන්ඩ.තාමත් පපුව ගැහෙනවා ගිඩි ගිඩි ගාලා.පුටුවෙන් ඉඳගෙන ජනේලේ දිහා බලාගත්ට මට යන්තන් පේනවා පපුව ඉස්සහට පස්සට එන හැටි.මන් හැට්ටේ උඩම කට්ට ගලෝලා ආයේ තද කරලා ගහගත්තා.මන් තාමත් හිතනවා.
හිතේ තියෙන්නේ වෛරයයි, දුකයි එකතු වෙච්ච අමුතුම හැඟීමක්.සැරින් සැරේ කෑම කාමරේ දිහායින් ඇහෙන අම්මා නාහෙන් එන  හොටු උඩට ඇහෙන සද්දෙට ඒ වෛරය තවත් වැඩි වෙනවා.ඒ කැරපොත්තන්ට තියෙන වෛරයක්ද නැත්තන් තාත්තා ගැන තියෙන වෛරයක්ද කියලා වෙන් කරලා අඳුන ගන්න බැහැ හරියකට.එහෙමත් නැත්තන් කැරපොත්තන්ට තියෙන බයටද ? තාත්තට තියෙන බයටද ?එහෙම හිතන්නත් බැහැ.ඒත් මට මතක් උනේ.දවසක් පොඩි කාලේ කාමරේ කැරපොත්තෙක් ඉඳලා ඌ පියාබන්ඩ පටන් ගත්තාම බය වෙලා ඇඳෙනුත් පල්ලට වැටුනු සිද්දිය.ඒ දවසේ තාත්තා ළඟක හිටියත් කැරපොත්තෙක් කියලා කෑ ගැහුවාම ආවේ අම්මා විතරයි.දෙයියනේ..ඒ කියන්නේ තාත්තත් කැරපොත්තන්ට බය ඇති මම වගේම.ඒ හින්දා වෙන්න ඇති මෙහෙම උනේ.
මට ඒ සිතිවිල්ල ආවේ ඇයි කියලා හිතා ගන්න බෑ තාමත්.සමහර විට තාත්තට තිබ්බ ආදරේ හින්දා මටත් හොරෙන් මගේ හිත තාත්තව නිවැරදි කාරයෙක් කරන්න ඇති.මට දැන් ඕනේ අම්ම ගැන බලන්න.ආයේ මම මේ ගැන කතා නොකරාවි.
මම අම්මා ළඟට ආවේ නාන්ඩ යන්ද කියලා අහන්ඩ.අම්මා සුපුරුදු විදිහට කුස්සියෙ වැඩ කිසි දෙයක් උනේ නැති ගානට.මට පුදුමේ කෝ අම්මගෙ ඇස් වල කඳුලු කියන එක.මන් දැකලා නෑ කාලෙකින්.අද කටේ ලේ පෙරාගෙන හිටියත් දැක්කෙ නෑ කඳුලු.අම්මගේ ගෑණූ ඇඟට වැහිච්ච පිරිමිකම තමා ඒ.අම්මා බය නෑ කිසිම දේකට.එතකොට අම්මා කැරපොත්තන්ට බයත් නැද්ද ? මම හිතුවේ නෑ ඊට එහා.අම්මවත් අඬගහගෙන ගියා පහළ ළිඳට නාන් එන්ඩ.




Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය