සෙරෙප්පු

මම ඒ වෙලාවේ හිටියේ බැල්කනියෙ. උදේ ඉඳන්ම එක සීරුවට තිබ්බ වැස්ස යන්තන් පෑව්වත් පොඩි වැහි බිංදු වැටෙනවා තාමත්. මම බිත්තියට හේත්තු වෙලාම බලාගෙන හිටියා ගෙටත් එහා වත්තටත් එහා තිබ්බ පාර දිහා. බොර පාට වෙච්ච වතුර ගලාගෙන යනවා උඩ ඉඳන් පහළට. ලොකු පාරක් නොවුනත් වාහන එක දෙක යනවා සැරින් සැරේට. පාරේ ඈතින්ම පේනවා අම්මා කෙනෙක් අවුරුදු දහයක විතර ළමයෙක් එක්ක ඉස්කෝලේ ගිහින් එනවා. දෙන්නම එක කුඩේ යට ආවත් ළමයා දුවනවා පාර දෙපැත්තෙන් යන මඩ වතුර පාගන්න. අම්මා කෑගහනවා ඇහුනේ නැතත් අත දික් කරලා සැර කරන හැටි පේනවා හොඳට. ඒ ළමයත් කිසිම ගානක් නැතුව මඩේ දඟලන හැටි කියලා ඒ ගැනත් පොඩි තරහක් හිතේ ඇති කරන් මාත් ආවා බැල්කනියෙ කෙලවරට. ඇවිත් හරහට තියෙන යකඩ පොල්ලක අත් දෙක තියලා උඩ බැලුවෙ වතුර බිංදු තාමත් අහසෙන් වැටෙනවා කියලා දැන දැනම. මුළු අහසම වලාකුළු වලින් වැහිලා. තත්පරයකට අහුරක් ගානේ උඩ ඉඳන් වැටෙනවා වැහි බිංදු. මට වැඩි වෙලාවක් උඩ බලන් ඉන්න බැරි උනේ ඇස් වලට වතුර ගිය හින්දා. මම ආවා දොරත් වහගෙනම කාමරේට. මූණ පිහදාගත්ත මන් කකුල් දෙකත් පාපිස්සෙ පටලගෙන පිහදගත්තා.

ඇඳ උඩට ඇවිත් ටික වෙලාවක් යන්නත් කලින් වැස්ස ආයෙමත් වැඩි කරන්න ගත්තේ මට නිදා ගන්න කියලයි හිතුනේ. ඒ එක්කම මතක් උනේ අර පාරේ ගිය ළමයා ගෙදර යන්න ඇති නේද කියලා. එහෙම නැතත් කුඩයක් තිබ්බ හින්දා තෙමෙන්න නැතුව ඇති කියලා හිත හදා ගන්න පුළුවන් උනා. මම කොට්ටයක් බිත්තිය පැත්තට තියන් නිදා ගන්නේ නැතුව හේත්තු උනා කකුල් දෙකට ශීට් එකක් පොරවගෙනම. සිවිලිම දිහා බලාගෙන හිටියා පොඩ්ඩක්. මතක ගොඩක් එක පාරටම ආවා හිතට, හරියට අහසෙන් වැහි බිංදු කඩන් හැලෙනවා වගේ. ඒවා හරියටම මොනවද, කොයි කාලේ උන ඒවද කියලා කියන්න තරම්වත් වෙලාවක් ඉතුරු නොකරම තව මතක ගොඩකින් වැහිලා ගියා. ඒ අතරේ සමහර තැන් වල හිත පොඩ්ඩක් වැඩියෙන් නතර උන තැන් තිබ්බෙ නැතුවම නෙමේ. ඒත් ඒ ගැන හිතනකොට උනේ තවත් මතකය ඈතට යන එක විතරමයි.
ඒ දෙදාහේ අවුරුද්ද මට මතක විදිහට. මම එක වසරෙ හරි දෙක වසරෙ හරි ඉන්න ඇති. හරිහමන් විදිහකට මතක නැහැ මට. ඒ කාලෙත් මේ වගේම වහිනවා දවස පුරාවට. මඩ වතුර පිරුනු පාරවල්, කුඹුරු ඕනේ තරම් තියෙනවා. පොල් අතු හෙවිලි කරපු ගෙවල් වල ගේ ඇතුලෙත් මඩ පිටත් මඩ. දැන් වගේ නෙමේ ඒ මඩ ඒ කාලේ හරි ලස්සනයි. සමහරවිට ඒ මඩ ඒ තරම්ම ලස්සන හින්දා නෙමේ වෙන්න ඇති. මඩ වලින් ඈතට දුවලා මඩ වලින් මිදෙන්න තරම් හයියක් නැති තැන ඒ මඩ වලට අපි ආසා කරන්න ඇති. එහෙමත් නැත්තන් ඒ කාලේ වෛර කරලා දැන් හිතේ බොරු ආටෝපයක් මවා ගෙන ඒ මඩ ලස්සනයි කියනවා වෙන්න ඇති. මොනවා උනත් මඩ නැති දෙයක් හොයාගන්න තිබුනේ නෑ ඒ වැස්ස කාලවල් වලදි. යන්තන් වැස්සටත් මඩ වෙලා ඉන්න හිටින්න බැරි තරමට එපා වෙන වැඩ තමා ඒ කාලේ උනෙ.

සුපුරුදු විදිහටම උදේ හයට විතර නැගිට්ටා මම. වැස්සයි උදෙයි හින්දා සීතල තිබුනා සෑහෙන්න. අක්කා ළිඳෙන් ඇඳලා දෙන වතුර එක බේසමකට දාගෙන මූණ යන්තන් හෝදගෙන වෙව්ල වෙව්ල ආවා ගේ ඇතුළට. කුස්සියයි ගෙයයි එකම වෙච්ච අපේ ගෙදර අම්මා පැත්තක පපුවෙ තියෙන ඔක්කොම හුස්ම ටික එළියට දදා ලිපට ගින්දර දානවා. මම ගේ ඇතුලේ තෙමුන තැන් වලින් පැන පැන ගිහින් ඇඳුම් ඇඳගන්නවා. හිල වෙච්ච පොල් අතු වලින් ගොම පොළොවට වතුර වැටුනාම ලොකු හිල් හැදෙනවා පොළොවෙත්. වතුර බිංදුවෙ බරටයි එන වේගෙටයි මැද්ද හිලක් වෙන්නත් වටේ උඩට ඉලිප්පෙන්නත් විදිහට හැදෙනවා වලක්. පස්සේ මැද වතුර ඉතුරුවාම පොළොව ඇද පැත්තට ගලාගෙන යනවා වතුර ටික. ඒ ගිහින් කොහේ හරි මුල්ලක වේලිලා යන්න එකතු වෙලා ඉන්නවා වැස්ස අඩු වෙනකන්. ඒ පොඩි වලවල් වලිනුයි,වතුර පාරවල් වලිනුයි තමා මම උඩ පැන පැන දිව්වෙ.

උදේට පරක්කු වෙන හින්දත්, හැමදාම පුරුදු වෙලා තියෙන විදිහ හින්දත් අපි උදේට කෑමක් කෑවේ නෑ හරියකට. ඒත් ගිහින් කන්න බත් එකක් අරන් යනවා එහෙමත් දවසක ඇරෙන්න. ඔක්කොම හරි දැන්. කෑම, ඇඳුම්, පොත්, බෑග් එක, වතුර බෝතලේ හැමදෙයක්ම තියෙනවා. මායි අක්කයි යන්න හදන්නේ ඉස්කෝලේ. අපි එළියට ඇවිත් දසමාසේ උරේකත්වා කියලා වඳින්න හදනකොට අම්මා කිව්වේ දණහිස්ස බිම තියන්න ඕනේ නෑ කියලා. ඒ හින්ද යන්තන් කොන්ද නමලා වැඳලා දෙන්නම ආවා පාර දිහාට. මට පස්සෙයි මතක් උනේ බිම වැටිල වැන්දනම් ඇඟ පුරාම මඩ නේද කියලා. ඉස්කෝලෙට තියෙන්නෙ විනාඩි දහයක පහළොවක දුර. ගුරු පාර දිගේම ගිහින් පොඩි තාර පාරට වැටුනාම ඊට පස්සේ තියෙන්නෙ ඉස්කෝලේ. හැබැයි තාර පාරේ ඉඳන් යන්න ඕනේ ආයේ ගුරු පාරක චුට්ට දුරක්. අක්කා පස්සෙන් එද්දි මම දුවනවා ඉස්සරහට. රෑ වැස්සට ගලන් ආපු වතුර තැනින් තැන තියෙනවා එකතු වෙලා. මම කකුල් දෙක වලට දාලා බලන් ඉන්නවා වතුර සුදු පාට වෙනකන්. ඒත් උනේ තව තව බොර උන එක විතරමයි. ඒත් බොර වතුරෙන් එළියට ගත්ත කකුල් දෙකේ යටි පතුල් වල තිබ්බෙ රෝස පාටට හුරු කහ පාටක්. ඒකත් හරි පුදුමයි. මම ඒ ගැන හිත හිතාම හැරිලා බැලුවේ අක්කා දිහා. බෑග් එකේ බරට කොන්ද ටිකක් නමාගෙන නිල් පාට ටයි එකත් දාගෙන, අත් දෙකෙන් බෑග් එකේ පටි දෙක දෙපැත්තෙන් අල්ලගෙන, වෙලාවකට ගවුමෙ රැලි අතින් හද හද එනවා මන් දිහාට. අක්කා දාගෙන ඉන්නේ දුඹුරු පාට සපත්තු දෙකක්ද, සුදු පාට සපත්තු දෙකක්ද කියලා හොයා ගන්න බැහැ. ඒත් මම දැනගෙන හිටියා ඒ සපත්තු දෙක අවුරුද්දකට විතර කලින්නම් සුදු පාටට තිබ්බා කියලත්, අම්මා ගේන කොටත් යන්තන් දුඹුරු තැන් තිබ්බා කියලත්. මට යාන්තමට දුකක් හිතුනත්, අක්කා ළඟටම ආව හින්දා දිව්වා ඊළඟ මඩ වලට.
වැස්ස දවස් හින්දා වෙනදා උදේ අටට හරියටම ඉස්කෝලේ පටන් ගත්තත් අද පොඩ්ඩක් පරක්කු වෙලා. මම වෙලාවටත් කලින් ඇවිත් පන්තියේ ඉඳගෙන ඉද්දියි මිහිනුයි, කසුනුයි ආවේ. කාවින්ද ආවේ ඊටත් පස්සෙ හරියටම අපි පන්තියට එහා පැත්තේ කජු ගහ යට සෙල්ලම් කර කර ඉද්දි. වැස්ස මහලොකුවට වැස්සට සෙල්ලම් කරන්න පුළුවන් තරමට වේලිලා මිදුල. ඒත් ටිකක් දිව්වාම තමා දැක්කේ, වතුර වලවල් වල බැහැලා ඉදිද්දියි, පිට්ටනිය මැද්දෙන් එද්දියි රෝස පාටට තිබ්බ යටි පතුල් හොඳටම දුඹුරු පාට වෙලා කියලා. ඒත් අපි නෙමේ සෙල්ලම් කරන එක නැවැත්තුවෙ. අට පහු වෙලා විනාඩි දහයක් යනකොටයි ඉස්කෝලේ බෙල් එක වදිනවා ඇහුනේ ලොකු සර්ගේ කාමරේ දිහාවින්. ලොකු පන්තියක ළමයෙක් අත් දෙකෙන්ම බෙල් එක අල්ලන් හතර පාරක් විතර සද්ද කලාමයි අපි සෙල්ලම් නතර කලේ. දැන් හැමෝම යන්නේ පිට්ටනිය ළඟ තියෙන මැයි ගස් දෙක යටට. හරියටම ලොකු සර්ගේ කාමරේ තියෙන්නෙත් ඒ ළඟමයි.

රැස්වීමෙදි මුලින්ම කලේ පන්සිල් ගන්න එක. අපි පෝලිමට පස්සෙන් පස්සට හැඩගැහිලා අත් ඔලුවෙ තියන් වැදගෙන පන්සිල් ගත්තා. එහෙමයි හරියට වඳින්නේ කියලා අපිට කියලා දුන්නේ ලොකු සර්ට විතරක් දෙවැනි වෙච්ච විනයභාර ගුරුසිංහ ටීච. හරියට නොකලොත් දණ ගහන් ඉන්න වෙන හින්දා අපි ඒ කියන ඕන දෙයක් කරනවා. පන්සිල් ඉවර වෙලා අපි කවුරු හරි කතා කරන්න ඕනේ උනත් පරක්කු වෙලා පටන් ගත්ත හින්දා වෙන ටීචර් කෙනෙක් කතාවක් කලා. හැමදාම වගේ අදත් කිව්වෙ අපි හොඳට හැදෙන්න ඕනේ කියලයි, කීකරු ළමයින් වෙන්න ඕන කියලයි. කතාව යන අතරේ අපි අතරෙත් වෙන වෙන කතා. මැයි ගස් යට තණකොල වැවිලා තිබුනේ රවුමට. ඊට එහා තිබ්බේ පිට්ටනියත් එක්කම නිකම්ම බොරලු තියෙන තණකොල ගස් එහෙන් මෙහෙන් තිබ්බ මිදුලක් වගේ කොටසක්. මම හිටියෙත් ඒ ටිකෙ. ටීචර්ගේ කතාව පොඩ්ඩක් යනකොට අපි කලේ අපේ කතා පටන් ගන්න එක. ඒත් මහ හයියෙන් කෑ ගහලා කතා කරන්න එපා කිව්වාම අපි කලේ අත් දෙක පිටි පස්සෙන් බැඳන් බිම බලා ගත්ත එක. මාත් බැලුවේ බිම. බොරළු පොළවේ තිබ්බේ කකුල් දෙක. වැස්ස හින්දා බොරළු තෙත් වෙලා, මඩ එකතු වෙලා යාන්තන් දිය සීරාව වගේ වතුරත් එකතු වෙලා. මට හිතුනා පොඩ්ඩක් හාරලා බලන්න. දකුණු කකුලේ මාපටගිල්ලෙන් වැලි හාර හාර ආයෙම හරියට හදනවා. ඊට පස්සේ ආයෙත් ඉස්සර්හ බලා ගන්නවා. ඒ ටීචර් හයියෙන් මොනවා හරි කිව්වොත් විතරයි. ඒ බැලුවාමයි දැක්කේ ගුරුසිංහ ටීච ඈත ඉඳන් රැස්වීම දිහාවට එනවා. සාරි පොට බෙල්ල වටේ දාගෙන, මඩ ගෑවෙයි කියලා හිතන්දෝ කොහෙද සාරියත් අතින් යන්තන් උඩට කරගෙන අඩියට දෙකට එනවා අපි දිහයි බිමයි මාරුවෙන් මාරුවට බලාගෙන.

ටීචර් කතාව ඉවර කරලා ගියා තව කාට හරි කතා කරන්න ඉඩ දීලා. මන් හිතුවේ ලොකු සර් කතා කරයි කියලා උනත් කතා කලේ ගුරුසිංහ ටීච. කතා කල දේවල් වලින් තේරුනේ හරිම පොඩ්ඩයි. ඒ ඇත්තටම නොතේරෙන දේවල් කතා කල හින්දද නැත්තන් තේරුම් ගන්න ඕන කමක් තිබ්බ නැති හින්දද කියලනම් මතක නෑ මට. කොහොම හරි ටීච කතා කරද්දි ඇස් තිබ්බේ තැන් තැන් වල කියලනම් මතකයක් තිබුනා.මන් හිතන්නේ ටීච ළමයි අසූ පහ දිහාම බලන්න ඇති. ඒ හැමෝගෙම නම් ටිකත් ටීචට මතකයි කියලයි අපි දැන ගෙන හිටියෙ. ටීච කතාව ඉවර කලේ පරක්කු නොවී පන්ති වලට ගිහින් වැඩ පටන් ගන්න කියලා. අපි එක රොත්තට දුවන්න යද්දියි ඇහුනේ සෙරෙප්පුවත් සපත්තුවත් දාන් ආපු නැති ළමයි ටික නවතින්න කියලා ටීච මහ හයියෙන් කෑ ගහපු එක. මම ඒ වෙනකොටත් අඩි හතරක් පහක් ගිහිනුත් එක්ක. ගල් ගැස්සුනා වගේ නැවතිලා හැරුනා අනිත් පැත්ත. ඒ හැරෙනකොට චිරි චිරි ගාලා බොරළු පොලවෙනුත් සද්දයක් ආවේ ඇඟිලි අස්සෙන් වැලියි මඩයි ගිය හින්දා. ඔක්කොටම මැයි ගහ යටට යන්න කියලයි ටීච කිව්වෙ. අපේ පන්තියෙන් හිටියෙ මායි කසුනුයි විතරයි. ගිය් සතියෙත් අහු උනේ අපි දෙන්නයි අපේ පන්තියෙන්. මායි කසුනුයි ගහ යටට යනකොටත් තවත් දහයක් විතර ලමයි තණකොල වල කුකුල් පිහ පිහ හිටියා. මම එතනට ගිහින් හැරුනාම දැක්කේ අක්කා ඈත ඉඳන් බලලා පන්තිය දිහාවට ඇවිදන් යන විදිහ.
අපිට තිබ්බේ ලොකු සර්ගේ කාමරෙයි විද්‍යාගාරයයි පිටිපස්සේ අඹ ගහේ වැටුන කොළ ඇහිඳින්න. සමහර කොළ නැට්ට විතරක් උඩට තියෙන විදිහට වැහිලා වැලි වලින්. එතකොට ගන්න උනේ ඇඟිලි වලින් හාරලා. කොළ ඇහිදිද්දියත් හිතේ දෝංකාර දුන්නේ ටීචගේ සද්දේ.  "ඔහොම ඉඳන් ටොයිලට්වත් යන්න පුළුවන්ද ළමයි ? " ටීච හැමදාම අන්තිමට කියන්නේ එහෙමයි. විනාඩි දහයක් යන්න කලින් වැඩේ ඉවර කරපු අපි යන්න පටන් ගත්තා පන්ති වලට. අත් වල කුණු කකුල් වල වගේම තියෙන හින්දා ටැප් එක ළගට ගිහින් අත් හෝදගත්ත් අපි ගියා පන්තියට. ඒ යද්දි හිතුනෙම ඇයි ටීච අපිට මෙහෙම කලේ කියලා. ඒ අපිට හොඳ පුරුදු කියාදෙන්න වෙන ක්‍රමයක් තිබ්බෙ නැති හින්දද ? අපිට දඬුවම් කලේ අපි ආයේ ඒ වැරැද්ද නොකරයි කියලද ?නැත්තන් ඇත්තටම ටීච අපි එක්ක තරහෙන්ද ? ඒ ඔක්කොටම මගේ හිතෙන් දුන්නේ අපිටත් දාන් එන්න හොඳ සපත්තු සෙරෙප්පු තිබ්බනම් අරහෙම ඒවිද කියන උත්තරේ විතරයි.

ඒ මතක ඔක්කොගෙන්ම අයින් වෙලා මම ආයෙමත් ආවා පියවි ලෝකෙට. වැස්ස පායලා හොඳටම. ඇඳෙන් නැගිට්ට මන් කාමරෙන් එළියට ගිහින් පඩි පෙළත් බැහැලා ආවා පහළට. දොර ඇර ගත්ත මන් කෙලින්ම ගියේ මිදුල කෙලවරේ තණකොල නැති වැලි විතරක් තිබ්බ උගුරැස්ස ගහ යටට. යන්තන් තෙත ගතිය තිබ්බ ඒ වැලි පොළවෙ කකුල් දෙක තියලා හිට ගත්තා මම. මහපටඟිල්ලෙන් වැලි පොඩ්ඩ පොඩ්ඩ හාරන ගමන් බැලුවේ අනිත් ඇඟිලි කරු අස්සෙන් මඬ ගෑවිච්ච වැලි කැට උඩට එන විදිහ. තව ටිකක් බිම බලද්දි මන් දැක්කේ වැහි වතුරට ගොඩට ආපු ගැඩවිල් පැටියෙක් ආයෙත් පොළොව ඇතුලට යන්න දඟලන හැටි. ඒකත් හරියට සෙරෙප්පු දාන් හිටියෙ නැති අපි ගුරුසිංහ ටීච එනකොට හැංගෙන්න හැදුව හැටි වගේ නේද කියලා හිතුනේ ඌ උගෙ මුළු ඇඟම වැලි යට හංග ගත්තායිනුත් පස්සේ.




Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය