ශ්‍රී ලංකන් ඩැනිෂ් ගර්ල්ස්


වෙලාව පහට විතර තියෙන්න ඇති. මම හිටියෙ වැව රවුමේ ඇවිද ඇවිද. අව්වත් නැති වැස්සත් නැති අමුතුම අඳුරකින් නුවර අහස වැහිලා ගිහින්. වළාකුළු අස්සෙන් යන්තන් ඉර එළිය වැටෙනවා. වැව දිහා බලන් ඉන්න මට වතුරට එක පැත්තකින් ගෑවි නොගෑවි වැටෙන කහ පාට ඉර එළිය වතුරෙ යන්තන් වැදිලා මගෙ ඇස් වලට වැටෙනවා. ඒ අතරෙදි වතුරෙ උඩ පැන පැන ඉන්න මාලු ඒ ඉර එළියෙන් චුට්ටක් ඩැහැගෙන ආයේ වතුර යටටම යනවා. ඈත ඉඳන් පොඩි ළමයිනුයි ලොකු අයයි ඔක්කොම තරඟෙට මාළුන්ට පොරි දානවා. මාලු පොර කකා පොරි කන්න කට දික් කරන්නෙ හරියට අපි බස් එකෙ හොඳට හිර වෙලා යද්දි කොන්දොස්තරට සල්ලි දෙන්න අත දික් කරනවා වගේ. උන්ට අපිට වඩා කෑම හම්බ වෙනවනෙ කියලා හිත හිතා මාලුවො දෙන්නෙක් තුන්දෙනෙක්ටයි එතන හිටිය තව ළමයෙකුටයි කට අග්ගිස්සෙන් හිනා වෙලා එතන තිබ්බ පඩි දෙක තුනකුත් බැහැලා ආවේ පාර පයින්න කහ ඉර ගාවට.

ඉරිදා හින්දද කොහෙද නුවර පිරෙන්නම සෙනඟ. මිනිස්සු තරම්ම වාහනත් තියෙනවා. මිනිස්සු එක එක ජාතියෙ ඇඳුම් ඇඳන්, හිනා වෙවී කතා කර කර ඇවිදිනවා හතර වටේම. ඒ අතරෙ සමහර අය සාප්පු වල දොරවල් ළඟට වෙලා මේකට යනවද නැද්ද කියලා හිත හිත හිමිහිට ඇතුළට ඔළුව දානවා. ඒ අතරින් ඕනේනම් එක්කෙනෙක් යනවා ඇතුලට. අනිත් අය යනවා වෙන තැනකට. පේමන්ට් එකේ මිනිස්සුන්ට ඇවිදන් යන්න බැරි තරමට වෙළෙන්දෝ බඩු විකුණනවා. ලාබෙට තියෙන ඒ බඩු ගන්න අර සාප්පු වල දොරවල් අස්සෙන් එබිකම් කර කර හිටිය අය කිහිප දෙනෙකුත් ඇවිත් හිටියා. එතනට ඇවිත් හොඳටම කේවල් කරලා කරලා යන්තන් මොකක් හරි අරන් බස් එකක නැගලා යනවා ගෙවල් වල. මටත් සෙල්ලම් බඩුවෙ ඉඳන් දොර රෙද්ද වෙනකන්ම හැමදෙයක්ම දික් කරනවා ගන්න කියලා. මම හිනාවක් නැති උදාසින මූණක් පෙන්නලා ඉස්සරහටම ඇවිදන් යනවා. මිනිස්සු හැන්දෑ වෙනකොට ගෙවල් වල යනවා වගේම යන්තන් ටවුමෙ මැද්දෙ ඉතුරු වෙලා තියෙන ගස් දෙක තුනට මුළු නුවරම ඉන්න කුරුල්ලො ටික පියඹන් එනවා පහ හය පහු වෙද්දි. උන්ගෙනුත් බේරිලා මාත් යන්නෙ ඉක්මනට බෝඩිමට යන්න බස් එක හොයාගන්න.
මාකට් එක අස්සෙන් ඉක්මනට පැනගත්ත මන් බස් ස්ටෑන්ඩ් එකට ඇවිදගෙන ගියා හතර වටේ බල බලම. මිනිස්සු සෑහෙන ගොඩක් මන් ඉස්සරහට එද්දි ඒ වගේම ගානක් මාත් එක්කම ඉස්සරහට යනවා. ඒ කවුරුත් මන් දිහා බලන්නෙ නෑ. පස්සෙ ඒ ගැන කල්පනා කරද්දි තමා තේරුම් ගියෙ මාත් ඒ ඇඟවල් දැක්කට කවදාවත් හරියකට මුණ බලලා ඒ ඇස් දිහා බලන්නෙ නෑනේ කියලා. සරම් කමිස ඇඳගත්ත අයයි, චීත්ත හැට්ටෙ ඇඳගත්ත අයගෙ ඉඳන් සාරි ඇඳගත්ත, ලස්සන ඔෆිස් කිට් ඇඳගත්ත ගෑණු උදවියයි, ටයි දාලා කලිසම් එහෙම ඇඳලා යන පිරිමි උදවිය වෙනකන් නානප්‍රකාර මිනිස්සු ඒ විනාඩි පහට මට හම්බුනා. ඔහොම ඉස්සරට යද්දි මං දැක්කෙ හිතා මතාම තමන්ගෙ උකුල පද්දන් යන අවුරුදු විසි ගනන් වල කෙල්ලො දෙන්නෙක්. ඒ පද්දන වේගෙට මම හිතුවෙම ළඟ ඉන්න අයගෙ ඇඟේ වැදිලා විසි වෙයි කියලාමයි. ඒ කකුල් හිතාගන්න බැරි තරමට හරිම හීනියි. ඒත් ඇඟටම හිර වෙන්න ඇඳපු ඩෙනිම හින්දා කකුල් ලස්සනට පේනවා. අඩි උස සපත්තු දාගෙන යද්දි තවත් ලස්සනයි. එහෙම සපත්තු දාන කොහොම යනවද කියලා මම බෝඩිමට ඇවිල්ලත් කල්පනා කලා.

දෙන්නම රෝස පාටයි සුදුපාටයි මිශ්‍ර වෙච්ච සයිඩ් බැග් දෙකක් එකම පැත්තට දාන් හිටියෙ. නිල් පාට ඩෙනිමට ගැලපෙන්න දම්පාටට හුරු උඩ්ට ඇඳුමක් ඇඳලා හිටිය හින්දා තවත් ලස්සනට මැච් උනා ඕක්කොම. දෙන්නම හිටියෙ කොණ්ඩෙ පාට කරාලා.  ඒත් සම්පූර්ණයෙන්ම නෙමේ. එහෙන් මෙහෙන් උඩින් තඹ පාටට තිබ්බා කොණ්ඩ කෑලී.ඒ ඔක්කොම හරියටම ගැලපෙන්න හදාලා තිබ්බා. මම ඒ දිහා බලා ගෙනම ආවා. ටිකකින් තමා දැක්කේ මම නෙමේ බලන් ඉන්න එකම කෙනා කියලා. පොඩි එකාගෙ ඉඳන් ලොකු එකා වෙනකනුත්, ගෑණු අයයි පිරිමි අයයි හැමෝම ඉන්නෙ ඒ දෙන්නා දිහා ඇහැ ගහන්. සමහර පිරිමි ඒ දෙන්නව පාස් කරලා ආයෙම පස්ස හැරිලා බලනවා. ඒක කෙල්ලො දෙන්නා දැකලා නොදැක්කා වගේ යන්තන් හිනා වෙලා බිම බලාගන්නවා.  හයියෙන් හයියෙන් ඇවිත් පොඩි ඉස්කෝලේ ගෑණු ළමයි තුන්දෙනෙක් මාව පාස් කරන් ගියා. අටේ නමයේ විතර වෙන්න ඇති. ඒ ළමයි කිව්වෙ 'අඩේ යන් ඉක්මනට. ගිහින් බලමු කියලා ' විතරයි. එහෙම කියලා අර කෙල්ලො දෙන්නවත් ඉක්මනට ගිහින් පාස් කරලා පස්ස හැරිලා හොඳට බලාගෙන හිනා වෙවී යන්න ගියා. ඒ ගෑණු ළමයිනුත් අළුත් මෝස්තර වලට කැමති ඇති කියලයි මට හිතුනෙ. මොනවා උනත් මට හරි අමුත්තක් දැනුනා මේ මොකද වෙන්නෙ කියලා.

ස්ටේෂන් එක ළඟ කහ ඉරෙන් දෙන්නම පාර පැනලා යද්දි එතන හිටිය පොලිස්කාරයෙක් ඒ දෙන්නම දිහා රවලා බැලුවේ දැක්කත් පිච්චිලා යන තරමට. ඒ දෙන්නව ඇත්තටම පිච්චුනා වගේ පොඩි බයාදු ගතියකින් තමා ඉතුරු ටික ඇවිදලා ගියේ. බස් එකට යන්නනම් කහ ඉර පනින්නෙ නැතුව ඉස්සරහට ගියානම් මීටර් පනහක් යද්දි බස් තියෙන තැනට යන්න පුළුවන්. ඒත් මගේ හිත කිව්වෙ කෝච්චියෙම යන්න කියලා. මම ඊළඟට පාර පනින මිනිස්සු ගොන්නත් එක්ක පාර පැනලා ආවා ස්ටේෂන් එක හරියට. ටිකට් ගන්න යනකොට ඒ කෙල්ලො දෙන්නම හිටියා කවුන්ටරේ ළඟ. රණ්ඩු වෙනවද හිනා වෙනවද කතා කරනවා විතරද කියලා අඳුන ගන්න බැරි විදිහෙ අමුතු කටහඬකින් දෙන්නම කතා කරනවා ටිකට් දෙන කෙනත් එක්ක. ටිකට් කවුන්ටරේ ළඟට යද්දිම දෙන්නම හැරිලා එනකොට හම්බුනා මගෙ මූණටම. මෙච්චර වෙලාවක් කාගෙවත් මුණ බලලා ඇස් දිහා නොබලපු මම ඒ දෙන්නගෙන ඇස් දෙක ඇතුළට කිඳා බැහැලා බලා ගත්තා ඇති තරමට. තප්පර පහක් යන්නත් කලින් ඇස් දෙකේ ඉඳන් පහළට ඇවිත් ලස්ස්නට රතු පාටට පාට කරලා තිබ්බ කකුලෙ නියපොතු වෙනකන් තියෙන හැමදෙයක්ම බලාගත්තා. දෙන්නගෙම බැලුවත් දෙකටම ගිය තත්පර පහකටත් අඩු වෙලාවක්.
පිටිපස්සෙන් දැක්ක ඒ ලස්සන පොඩ්ඩක් විතර නැති වෙලා ගිහින් වගෙ. ඒත් තාම ඒ මූණු සුන්දරයි හැබැයි. රවුමට සිනිඳුවට තියෙයි කියලා හිතුව මූණු වෙනුවට තිබ්බෙ ටිකක් හතරැස් හැඩෙට හුරු ගොරෝසු හමක් තිබ්බ මූණු දෙකක්. ඕනවට වඩා රතු වෙලා තිබ්බ තොල් දිහා හොඳට බැලුවාමයි දැක්කේ ඒ රතු පාට අපිළිවෙලකට ඉහිරිලා තියෙන්නෙ කියලා. සුදු පාට පිටි ගාලා වගේ දාපූ මේකප් හොඳට පෙනුනා මූණ දැක්කාම. ඇහි බැමි වල ගාපු කලු පාට ඇහි බැමි වලින් එහාටත් ගිහින් කනේ ගෑවෙන නොගෑවෙන තැනකින් නැවතිලා තිබ්බෙ. ඒ තරමට දිගයි. හරියට මොණරු දෙන්නෙක් වගේ. ලස්සන හීනී මූණු වලට ගැලපෙන්නම දෙන්නම කනට දාලා තිබ්බෙ සිල්වර් පාට උරහිස්ස ළඟටම එල්ලෙන කරාඹු දෙකක්. ඈතින් හමාගෙන ආපු හුළං පාරකට ඒ කරාඹු ලස්සනට පැද්දිලා බෙල්ලෙ පැත්තකට වැදුනා පොඩි සද්දෙකුත් එක්කම.ඒත් එක්කම කොණ්ඩෙ කෑලී විසිරිලා ගිහිල්ලා මූණේ පැත්තක්ම වැහුන හින්දා අතක් අරගෙන ඇඟිලි තුඩු වලින් සිනිඳුවට අල්ලන් කනට පිටිපස්සෙන් දාලා තද කලා. මේ ඔක්කොම කරන අතරේ එයාගේ එක කකුලක් කෙලිනුත් අනිත් කකුල දණහිස්ස ගාවින් ලාවට වගේ නමලා අනිත් කකුලට බර දීලා තිබ්බෙ. එතකොට මුළු ඇඟම තුන් තැනකින් නැමිලා වගේ ගානට ලස්සනට පිළිමයක් වගේ ලාලිත්‍යයක් එක්ක මුහු වෙලා තිබ්බෙ. මම ඒ දිහා බලාගෙන ගියා කවුන්ටරේට. එතකොටම ඒ දෙන්නත් ගියා ස්ටේෂන් එක ඇතුලට.

කවුන්ටරේ ළඟට ගිහින් පේරාදෙණියට එකක් දෙන්න කියලා රුපියල් දහයේ කාසියක් දික් කලත් ඒ මනුස්සයා තාමත් අර දෙන්නා යන්නෙ කොහෙද කියලා බල බල ඉන්නෙ. මට පිටිපස්සෙන් ආපු ඉර එළිය කාසියට වැටිලා ඒ එලිය ඈත බිත්තියකට වැටිලා තිබ්බා. කාසියෙ තිබ්බෙ සිරීපාදෙ ලාංඡනයක්. ආයේ පොඩ්ඩක් ළං වෙලා කාසිය දිහා බලන්න හදනකොටම හදිසියේ ඇහැරුනා වගේ ඒ මනුස්සයා කාසිය අරන් ටිකට් එකට දිනෙත් ගහලා මට දුන්නා. මම ටිකට් බලන කෙනාට ටිකට් එක පෙන්නලා පොල්ගහවෙලට යන ට්‍රේන් එක කොහෙද කියලා අහගෙන හදිස්සියක් නැති හින්දා හිමිහිට ගියා ට්‍රේන් එක දිහාවට. වටේ පිටේ අය මොනවද ඔළුව උස්ස උස්ස බලන්නෙ කියලා හොඳට බැලුවායින් පස්සෙ තමා දැක්කේ පිරිමි ඇඟකට හිරවෙලා තියෙන ලස්සන ගැහැණු හිත් දෙකක් ලතාවකට හරියට මොඩල්ස්ලා දෙන්නෙක් රෑම්ප් එකේ යනවා වගේ පොඩි ගල් කැට අතුරලා තියෙන ෆ්ලැට්ෆෝම් එකේ කැට් වෝක් එකෙන් ඇවිදන් ගිහින් කෝච්චියෙ කෙලවරේම පෙට්ටියෙ ඇතුළට යන හැටි. මටත් ගිහින් ඒ පෙට්ටියෙන්ම වාඩි වෙන්න ඕනේ කියලා හිතුනත් එච්චර දුර යන්න කම්මැලි හින්දා ළඟ පෙට්ටියකට නැගලා, නැග්ග ගමන්ම ෆෝන් එකයි ඉයර්ෆෝන් එකයි අරන් කනේ ගහගෙන සිංදුවක් දාගත්තා. විනාඩි දහයක් විතර ඉන්නකොට ඈතින් ඇහුනා ට්‍රේන් එක යන්න හදන්නෙ කියලා. තව විනාඩි දහයක් යද්දි ට්‍රේන් එක අළුත් පාර පහු කරලා, රජවත්තෙ ස්ට්‍රේශන් එකෙයි සරසවි උයනෙයි නවත්තලා, යකා පාලමත් පහු කරලා ආවා පේරාදෙණිය ස්ටේෂමට. මම එතනින් බැහැලා ට්‍රේන් එක ළඟින් ඒ දිගට ඇවිදන් ගියා. මුලම පෙට්ටිය ළඟින් යද්දි මගෙ ඇස් කොණකට වගේ පෙනුනා අර දෙන්නා ඉඳගෙන ඉන්නවා. කාටවත් කරදරයක් නැතුව තමන්ගෙ පාඩුවෙ යනවා. එහෙම වෙලත් මොකටද මිනිස්සු ඔය ගැන ඔච්චර හොයන්නෙ කිය කිය මම ෆ්ලැට්ෆෝම් එකෙන් බැහලා පාරත් පැනලා බෝඩිමට යන කන්ද නගින්න පටන් ගත්තා. හයත් පහු වෙලා තිබ්බත් තාම හොඳට එළිය තිබ්බා. වෙනදා කෑම ගන්න තැනින් කෑමත් අරන් බෝඩිමට යනකොට දැනුන මහන්සිය කොච්චරද කිව්වොත් මම හුස්ම ගන්න සද්දෙ අහල පහල ගෙවල් වලටත් ඇහෙන්න ඇති කියලා හිතුනා මට. කාමරේට ආපු මම ෆෑන් එක ඔන්කරලා ෂර්ට් එකත් ගලවාලා කොට්ටෙ බිත්තියට හේත්තු කරලා ඇඳේ හාන්සි උනා ලොකු හුස්මක් පිට කරගෙනම.

මම ඇස් දෙක වහගෙන කල්පනා කලා. මට මතක් උනේම අර දෙන්නව. හිතෙන් අයින් අරන්න හැදුවත්, හිතේ කැකෑරි කැකෑරි තිබ්බ දෙයක් උඩට ඇවිත් ආයේ අමතක කරන්න බෑ වගේ හිත වද දිදී හිත මත්තෙ ඉපිලි ඉපිලි තියෙනවා. මම මොහොතකට අමතක කරන්න වෑයමක් නොදී ඒ ගැනම හිත හිතා ඇස් දෙක තද කරගෙනම හිටියා. මට මතක් උනේ මගෙ පොඩි කාලෙ ගැන. එතකොට මම පහේ හයේ වගේ වෙන්න ඇති. හැම පිරිමි ළමයම පිට්ටනියට ගිහින් සෙල්ලම් කරද්දි මම විතරක් පන්තිය ඇතුළෙ ඉඳන් ඒ දිහා බලන් ඉන්නවා. ගෑණු ළමයි ටික පන්තිය ඇතුලෙ ඉඳන් ඉන්නවා. ඒ අය එක එක ඒවා ගැන කතා වෙනවා. සමහර අය පොත් වල වැඩ. තව සමහර අය පත්තර කියෝනවා. සමහර අය කතන්දර පොත් කියෝනවා. තව හතර දෙනෙක් විතර ගෑණු පිරිමි මල් පළතුරු දානවා. මම දොර ළඟට වෙලා පිට්ටනිය දිහායි පන්තිය ඇතුළයි මාරුවෙන් මාරුවට බල බල ඉන්නවා. මුල දවස් වල ඔහොම හිටියට පස්සෙ මම පිට්ටනිය ගියා සෙල්ලම් කරන්න. ක්‍රිකට් ගහන්න ගියත් මට ගන්න ලකුණු පහකට වඩා ගන්න බැරි උනා. රකින පැත්තෙ ඉන්න කොට කැච් දෙකක්ම ඇත් ඇරියා කියලා මට ආයේ එන්න එපා කිව්වා. ඊට පස්සෙ ගියේ ටකරේ ගහන්න. පලවෙනි පාර කොන්දට බෝලේ වැදුනායින් පස්සෙ ඒකත් නවත්තලා එන්න හැදුවා පන්තියට. එතකොටයි දැක්කෙ අපේ පන්තියෙ තව කොල්ලෙක් සෙල්ලම් කරන්නෙ නැතුව අනික් අය සෙල්ලම් කරන දිහා බලා ගෙන ඉන්නවා කියලා. මම එතනට ගිහින් කතා කලා. අපිට විනාඩි පහක්වත් ගියේ නෑ යාලු වෙන්න. අපි ඊළඟ පීරියඩ් එක පටන් ගන්නකන්ම ඉස්කෝලෙ වටේ ඇවිද්දා. අපි හිනා උනේ නැති තප්පරයක් තිබ්බෙ නැති තරම්. ඊළඟ පීරියඩ් එකේදි අපි ඉඳගත්තේ එක තැන. එදා ඉඳන් අපි පිට්ටනිය දිහා බැලුවෙවත් නෑ. පන්තියෙ දොර ළඟ හිටිය අපි ටිකෙන් ටික, දවසින් දවස පන්තිය ඇතුළට ආවා. ගැණු ළමයි එක්ක දවසක් හිනා උන අපි අනිත් දවසේ එකට පොත් කියෙව්වා.එකට කතා කර කර හිටියා. එකට ගැහැනු පිරිමි මල් පළතුරු දැම්මා. කවුරුත් මොකුත්ම කිව්වෙ නෑ. කවුරුත් අපි ගැන හෙව්වෙත් නෑ.

ඔහොම යද්දි දවසක් කොල්ලො අපිට හිනා වෙනවා කියලා කිව්වා එක ගැණු ළමයෙක්. අපිට කියන්නේ "ගෑණු" කියලා ආරංචි උනේ තව දවස් දෙකකට පස්සෙ. එදා ඉඳන් පන්තියෙ ගෑණු දෙන්නා උනේ අපි දෙන්නා. එතකොටයි මට මතක් උනේ ඊට අවුරුදු දෙකක්ට කලින් පොඩ් ඉස්කෝලෙදි ඔහොම්ම වෙලා මට ගෑණි කිව්වයි කියලා මම අම්මා ළඟට ගිහින් ඇඬුව හැටි. එහෙම උනා කියලා මට අම්මා කිව්වෙ නෑ සෙල්ලම් කරන්න පිට්ටනියට යන්න කියලවත්, ගෑණු ළමයි එක්ක කතා කරන්න එපා කියලවත්. ඒ තියා අක්කා එක්ක ගෙදර සෙල්ලම් කරනකොට අක්කගෙ ඇඳුම් අඳින්න එපා කියලවත් කිව්වෙ නෑ මට. ඒ හින්දා මම එක පාරක් ඇඬුවට ආයේ කවදාවත් ඇඬුවේ නෑ ඒ ගැන. කොහොම හරි අපි එන්න එන්න ලොකු උනා. කවදාවත් පිට්ටනියට ගියෙ  නෑ සෙල්ලම් කරන්න. එහෙම කියලා අපි දුක් උනෙත් නෑ. අපිට ආයේ කවුරුත් මොකුත් කිව්වෙත් නැ. මම මේ ගැන හිත හිතා තාමත් ඇඳ උඩ. යන්තන් සීලීමේ කැරකෙන ෆැන් එකේ තටු යන්තන් පේනවා. ක්‍රීස් ක්‍රීස් ගාන සද්දෙකුත් එක්ක පොඩි හුළඟක් වැදෙනව ඇඟට. දැනුන සනීපෙත් එක්ක මට නින්ද ගිහින්. ඇහැරෙනකොට මම හිටියෙ අපේ ගෙදර. මම ඇඳගෙන හිටියෙ ලස්සන ගවුමක්. රතුපාට වැඩියෙන් තියෙන, කහ පාටයි සුදු පාටයි චූටි මල් තැනින් තැන වැටිලා තිබ්බා. ඒ සුදු පාට මල්නම් ගැට පිච්ච මල් වගේ කහ පාට පොඩි මල්නම් මොනවද මන්දා. දැකලා නෑ මම කවදාවත්. මම හිටියෙ ඉස්සරහ හාන්සි පුටුව ළඟ පොඩි පුටුවක ඉඳගෙන. මට ඇහුනා අම්මා කතා කරනවා. ඒත් මම ඇයි කියන්නෙ නැතුව පාර දිහා බලාගෙනම හිටියා. ආයෙත් දුවේ කියනකොට තමා ඇයි කියාගෙනම කුස්සිය පැත්තට යන්න හැදුවේ.
මම පුටුවෙන් නැගිටිනකොට මුලින්ම දැක්කේ ලස්සනට රතු පාටින් පාට කරලා තිබ්බ කකුල් දෙකේ නියපොතු ටික. මටම පුදුමයි. හරි ලස්සනට තිබ්බා. අවිදන් යනකොට ඉස්සරහට තියන කකුල දිහා බැලවෙනවා නිකම්ම. මම ගියේ ටයිල් එකට එකතු වෙන තීරුවක දිගට එහෙම යනකොට පොඩ්ඩක් වැටෙන්න යනවා වගේ එනවා තමයි. ඒත් මම ළඟක ඉඳන් එහෙම ඇවිදිනවා. අක්කා තමා කිව්වෙ ඒ විදිහට ඇවිදින්න කියලා එතකොට ඇවිදින විදිහ වගේම ඇඟත් ලස්සනට හැදිලා එනවලු. දෙවැනි එකනම් කිව්වෙ කන ළඟට අරලා රහසින් වගේ. මම කුස්සියට යන්න කලින් කාමරේට එබිලා මූණ බලන්න ගියා කණ්නාඩිය ළඟට. ළඟක ඉඳන් ඉස්සරහට ආපු පපුව දිහා මම ආසාවෙන් බැලුවා. බෝරිච්චි අත් දෙක මේ ගවුමට හොඳට ගැලපෙනවා. නාලා වැඩි වෙලාවක් නැති හින්දා කොණ්ඩෙ කඩා ගෙන පුටුවෙන් පල්ලට දාන් හිටියත් දැන් කොණ්ඩේ පිටට ගෑවිලා තියෙන්නෙ. අත ගාලා බලද්දියි තේරුනේ වතුර බේරිලා ගිහින් පිට මැද්දෙ තෙමිලා කියාලා. මම මුළු කොණ්ඩෙම අරගෙන් එක පැත්තකින් දාගත්තා ඉස්සරහට. අම්මා ආයෙත් කෑගැහුව හින්දා පස්ස හැරිලා බලද්දි අම්මා හිටියෙ දොර ළගට වෙලා. මාව උඩගිහින් බය උනා. ඇස් ඇරලා බලද්දි තමා ඇහුනේ බෝඩිමෙ ඇන්ටි දොරට තට්ටු කරලා පුතේ පුතේ කියලා කතා කරනවා කියලා. මම නැගිටිලා දොර ඇරියාම ඇන්ටි කෑම හවස හදපු ඉදියාප්ප වගයක් කියාලා පාර්සලයක් දීලා යන්න ගියා.

මම එහෙම්මම ගියේ කණ්නාඩිය ළඟට. මූණ බලද්දි මට දිග කොණ්ඩෙ අතුරුදහන් වෙලා. රතු පාට ගවුමත් පේන්නවත් නෑ. මම මන් දිහා බලාගෙනම හිනාවෙලා නාන්න යන්න ලෑස්ති උනා. නාලා ඇවිත් කෑම කන්න පටන් ගන්නකොට තමා ආයෙමත් අර හවස සිද්දිය මතක් උනේ. ඒ ගැන හිතනකොට මතක් උනා අපේ ගෙවල් පැත්තෙත් එහෙම කෙනෙක් හිටියා නේද කියලා. එක වෙලාවකට ඩෙනිමක් ගහගෙන කමිසයක් ඇඳන් බයික් එක පදිනවා. තව වෙලාවකට සාරියක් ඇඳගෙන බයික් එකක පස්සෙන් ඉඳගෙන යනවා. එක වෙලාවකට කොල්ලෙක් වගෙත්, තව වෙලාවකට කෙල්ලෙක් වගෙත් හින්දා හැමෝම එයාට කිව්වෙ "කොල්ලා කෙල්ල" කියලා. අපි ඒ කාලෙ පොඩියි. දැන් එයා කොහෙ ඉන්නවද කියලා කවුරුත් දන්නෙ නැතුව ඇති. මට මතකයි අපි ඉස්සර එයා ගැන කතා වෙනවා. එයා කලිසම් ඇඳන් යනකොට කට්ටිය කියනවා ඔය කලිසම් ඇඳන් ගියාට ඒ කෙල්ලෙක් කියලා. සාරි ඇඳන් යද්දි ඒ අයම කියනවා ඔය සාරි ඇඳන් ගියාට ඒ කොල්ලෙක් කියලා. තව සමහරු කියනව ඕකා කලිසම් ඇඳන් පාරේ ගියාට නාන්නෙ දිය රෙද්දක් ඇඳන් කියලා. ඔය වගේ එක එක ජාතියෙ දේවල් ඇහුනා මට ඒ කාලේ. ඒත් ඒ ගැන කිසිම අවබෝධයක් තිබ්බෙ නෑ අපිට. වැඩිය හිතට ගත්තේ නෑ. ඒත් දැන් තේරෙනවා සමාජෙන් කොච්චර පීඩනය එයාට තියෙන්න ඇතිද කියලා. අර දෙන්නටත් එහෙම වෙන්න ඇති. ‍රළු ගොරෝසු පිරිමි ඇඟට හිර වෙච්ච සිනිදු සුකුමාල ගෑණු හිත් දෙක කොච්චරනම් හිතින් දුක් විඳිනවද කියලා මතක්වෙද්දිත් පපුව යටින්ම ආපු හුස්මක් එළියට ගිහින් සීලි දිහාට යන්න පටන් ගත්තා. ඒත් ඒ හුස්මට සීලිමේ ගිහින් වදින්න බැරි උනේ ෆෑන් එකෙන් ආපු සැර හුළං පාරට හුස්මෙ සැර බාල උන හින්දා. ඊට පස්සෙ ඒ හුස්ම ජනේලෙන් එළියට ගිහින් ඈතට විසිරිලා ගියා. මම කෑම කාලා ඉවර වෙලා පුටුවෙන් නැගිටිලා යන්න හැදුවෙ අත හෝදන් එන්න. ඒ යද්දි ආයෙමත් මට මාවම කණ්නාඩියෙන් පෙනුනා. මම ඇඳන් හිටියෙ කහ පාටයි සුදු පාටයි මල් වැටිච්ච රතු පාට ගවුමක්.



Comments

Post a Comment

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය