යක්කු


"ඔන්න හිඟන්නා එනවා. අක්කා මට ඉස්සරහින් කිය කිය දිව්වා. මම පිටිපස්සෙන් කෑගහගෙන දුවන් එනවා. අක්කා ගෙදරට ඇවිත් වැහුවා දොර. මම එළියෙ ඉඳන් මර ලතෝනී තියනවා. පස්සේ අම්මා ඇවිත් අක්කට බැනලා දොර අරිනවා. මම ගැන ගිහින් අක්කට බනිනවා. "
මේ මම පොඩි කාලේ හැමදාම වෙන දෙයක්. හැන්දෑවට කඩේ ගිහින් කළුවරේ ඉද්දි අක්කා බය කරනවා මාව. ඒ කාලේ හිඟන්නට තමා මම බයම. අම්මා මට කියලා තිබ්බේ එහා ගමේ ළමයි දෙන්නෙක්ම කෑම කන්ඩ බෑ කිව්ව හින්දා හිඟන්නෙක් ඇවිත් ගෝනියකට දාගෙන ගියා කියලා. ඉතින් ඒ තරම්ම පොඩි කාලේ නොවුනත් සෑහෙන කාලයක් වෙනකන්ම මම හිතුවෙ ඒක ඇත්ත කියලා.
වෙලාව හවස හය පහු වෙලා. තාම හත උනේ නැති උනාට සෑහෙන කරුවලක් තිබ්බෙ. මම බස් එකෙන් බැහැලා ගෙදර යන්න හැදුවේ. වෙනදා ත්‍රීවීල් එකක යන මට අද හිතුනෙම පයින් ගියානම් හොඳයි කියලා. ඒ ඇඟට ලොකු මහන්සියක් තිබ්බේ නැති හින්දා වෙන්න ඇති. මම ත්‍රීවීල් නවත්තලා තියෙන හරියෙන් යද්දි හැම ත්‍රීවිල් එකකින්ම ඔළුව ගානේ ආවා එළියට. මම යන්තන් හිනා වෙලා ඔළුව පොඩ්ඩක් නැමුවේ අද මම පයින් යනවා කියලා දන්වන්න. ඒ අයත් ඒ සැනෙන්ම ආයේ ඉස්සරහ බලා ගත්තා. මමත් ඕවායේ යන තවත් එක මිනිහෙක් විතරක් නේද කියලා හිතුනේ ඒ වෙලාවේ. මම වැඩියා ගානක් ගන්නෙ නැතුව විනාඩි පහලොවක ගමන පටන් ගත්තා. කන්ද නගින එක තමා අමාරු. උදේට එනකොටනම් යන්නෙ විනාඩි හයක් හතක් වගේ. මමයි තව කීප දෙනෙක් උඩට යනවා. ඒ වගේම තව ටිකක් පහළට එනවා. මේ රෑ තිස්සෙ මොනවට යනවද මන්දා ගෙවල් වලට වෙලා ඉන්නෙ නැතුව. මම හිතින් බැන බැන කන්ද නඟින්න පටන් ගත්තා.
විනාඩි පහක් විතර යද්දි හිටියෙ මම විතරයි. පිටිපස්ස හැරිලා බලද්දි එක්කෙනෙක් දෙන්නෙක් වගේ මට සෑහෙන දුරකින් ඇවිදන් එනවා. විනාඩියකට සැරයක් වගේ යන්තන් පොඩි ලයිට් එළියක් එක්ක බයික් එකක් මාව පහු කරන් යනවා. තනියෙන් රෑ වෙලා කලුවරේ මෙහෙම යන්න හිතේ ආසවක් තිබුනත් ගොඩක් කලුවර වෙද්දි පොඩි බයක් එක්ක එන තැතිගැම්මක් ඒ ආසාවට එහා යනවා. එතකොට කොහෙන්දෝ එන හයියකින් කකුල් දෙක හයියෙන් හයියෙන් වැඩ කරනවා. වැඩි වට පිටාවක් දිහා බැලවෙන්නෙ නැතුවම ඉස්සරහට ඇදිලා යනවා. ඔය යන අතරේ අහස බැලවෙන වෙලාවල් සෑහෙන්න තියෙනවා. තරු පිරිලා තියෙනවානම් හඳ හොයාගන්න බෑ කොහෙවත්. හඳ තියෙනවනම් එළියත් තියෙනවා ඇති වෙන්න. ඒත් තාම හතටවත් නැතුව කොහෙන්ද තරු. තිබ්බත් තියෙන්නෙ දෙක තුනයි. මම ඕවා හිත හිත යනවා ඉස්සරහටම. ගෙදරට හැරෙන පාරට ළං උනාම මම ආයෙම පිටිපස්ස හැරිලා බලනවා. කවුරුත් නෑ පේන තෙක් මානෙක. ගෙදරට යන්න තියෙන්නෙත් ටික දුරයි. ඒත් ඒ පාරෙ යන්න හිතේ තියෙන ආසවට වඩා තැතිගැම්ම ගොඩ වැඩියි.
ඉස්සර ගම්පහ ගෙදරත් ඔය වගේම යන්න තිබ්බා පොඩි පාලු පාරක්. ඒක මතක් වෙනවා සමහර වෙලාවට. ඒත් අද මට ඒ ගැන මතක් උනේ නැත්තේ සිතුවිල්ලක් හිතට එන වෙලාවට වැඩි වේගෙන් ඇවිදන් ගිය හින්දා වෙන්න ඇති. මීටර් පනහක් වෙච්ච ඒ පාරේ පිටිපස්ස හැරිලා බැලුවා පස් පාරකට වඩා වැඩියෙන්. මට හිතෙන්නෙම කවුරු හරි පස්සෙන් එනවා කියලා. ඇවිත් පිටිපස්සෙන් අත් දෙක දාලා මාව අල්ල ගනියි කියලා. මාව පිටිපස්සට ඇදන් යයි කියලා. මට හිතෙන්නෙ ලොකු කලුපාට මයිල් පිරුණ යකෙක්ගෙ අත් දෙකක් මගෙ අත් දෙක අස්සෙන් එයි කියලා. මම පිටිපස්ස බලද්දිම දත් විලිස්සන් මගෙ ඇඟට පනියි කියලා. මම ආයෙමත් පස්ස හැරිලා බැලුවා හයවෙනි වතාවටත්. කවුරුත්ම හිටියේ නෑ. මම ගේට්ටුව ළඟට ආවද මාව කවුරුහරි ගෙනත් දැම්මද කියලා හිතා ගන්න බැරුවම ගේට්ටුව ඇරලා ගියා ඇතුළට. දැන් හිතේ තිබ්බ බයෙන් භාගෙට භාගයක් අඩු වෙලා ගිහින්. පේන්න නැති වෙන්නම සෑහෙන දුර ගිහින්. දැන් ආයේ පාර දිහා බලන්න හිතෙන්නෙවත් නෑ. යකෙක් පේන තෙක් මානෙක ඇත්තෙත් නෑ. කකුල් දෙක බයෙන් ගැහෙන්නෙවත් අමුතු හයියක් ඇවිත් දිවවෙන්නෙවත් නෑ. මම දොර ඇරගෙන ආවා ගේ ඇතුළට.
මම ගෙදර ඉන්නෙ තනියම. දැන් මාස ගානක් උනත් යාලුවෙක් හැරෙන්න වෙන කිසිම කෙනෙක් ඇවිත් නෑ ගෙදරට. කොච්චර දවසක් තනියම හිටියත් දොර ඇරලා ඇතුළට එද්දි ආයෙමත් එනවා සෑහෙන තැති ගැම්මක්. දොර වහලා ලයිට් දානකන්ම ඒක තියෙනවා. පොඩි කොරිඩෝවෙන් ගිහින් සාලෙට ඇවිත් පඩි පෙලෙන් උඩ තට්ටුවට යනකන්ම හම්බෙන හම්බෙන හැම ලයිට් එකක්ම ඔන් කරන්න ඕනෙ මට. එහෙම නැත්තන් මුලු වල ඉඳන් අර එලියෙ හිටියා වගේම යකෙක් පනිනවා ඇඟට. කවදාවත් එහෙම වෙලා නැති උනත් අවදානමට වඩා සූදානම හොඳයි කියලයි මගේ හිත කියන්නෙ. වෙලාවකට හිතෙනවා මේ මමද මේවා කරන්නෙ කියලා. මොකද මම කාමරේට එද්දි පහළ ලයිට් ඔන් කලේ මමද කියලවත් මතක නැති හින්දා මට. මම හිත හදාගන්නෙ හයියෙන් හයියෙන් ආව හින්දා මතකෙ තියාගන්න වෙලාවක් නැති වෙන්න ඇති කියලා. හිත ඒක පිළිගන්නෙ නැතුව ආයේ වාද කරන්න එන වෙලාවල් ඕන තරම් තියෙනවා. ඒ වෙලාවට මම කරන්නේ ඉක්මනට වෙන වැඩක් කරන එක. කාමරේට ඇවිත් දොර වහලා මුලින්ම කරන්නෙ සින්දුවක් දාන එක. එතකොට කිසි හොල්මනක් එන්නෙ නෑ කියලයි මටනම් හිතෙනේ. මන් අහන සින්දු වලට මගෙ යාලුවොවත් කැමති නැති එකේ හොලමන් කොහොම කැමති වෙන්නද. යන්තන් මූනේ අග්ගිස්සට ආපු හිනාවකුත් එක්ක මම යන්නෙ නාගෙන එන්න.
වැඩ ඔක්කොම ඉවර වෙලා ඇඳට යන්නෙ දහයට විතර. ඒ යන්නෙ නිදාගන්නම නෙමේ. පොඩ්ඩක් ඇල වෙලා කල්පනා කරන්න. ගොඩක් දවස් වල එහෙම්ම නින්ද යනවා. ඒත් අඩුම තරමෙ පැය භාගයක්වත් දවසෙ වෙච්ච සිද්දි කල්පනා කරන එකට තමා මගේ කැමත්ත. ඇඳට යන්න කලියෙන් බැල්කනියට ගියපු මම පොඩ්ඩක් බලන් ඉන්නවා ඈත. නුවර ටවුම පේනවා ඈතින්. තව ගොඩාක් ඈතින් නම නොදන්න කඳු වගයක් පේනවා. අතරින් පතර තවත් කඳු. ඒ හැරුනු කොට අනිත් හැම තැනම තියෙනෙ ලයිට් එළි. එක එක පාටට එක එක තදට ඇවිලෙන ඒ එළි අහසට ගිහින් වගේ අහසෙත් තැනින් තැන එලි. සමහර ඒවා නිවි නිවී පත්තු වෙනවා. තව ඒවා ඒ විදිහටම තියෙනවා. අහසෙ කවුද ලයිට් දාන්නෙ ? මට හිනා යනවා. ඈතින් ලොකුවට තද එළියෙන් තියෙන්නෙ සිකුරු තරුව කියලා තේරුනත් එක්කම හිනාවකුත් එක්ක ලොකු හුස්මක් පිට කරන් ආවා ආයෙමත් කාමරේට. ඇඳට ගොඩ වෙන්න යන තත්පරෙන් පංගුවක කාලෙදි මට හිතුනෙ ඇයි මම බය උනේ නැත්තෙ කියලා. සමහර විට ලයිට් එළි වල ලස්සනට ඒ ඔක්කොම අමතක වලා යන්න ඇති.
මම ඇඳට ඇවිත් සීලිම දිහා බලන් හිටියා. වටෙන් පිටෙන් රැහැයියන්ගේ සද්දයක් ඇරුනු කොට වෙන කිසිම සද්දයක් ඇහෙන්නෙ නැති තරමට හරි නිස්කලංකයි. එහෙමත් වෙලාවට ඈත පාරෙන් වාහනේක හෝන් ගහන සද්දයක් ආවත් ආයෙත් ඇහි පිල්ලමක් ගහන්නත් කලියෙන් නිස්සද්ද වෙනවා. සුදු පාටට තිබ්බ සීලිම බලන් ඉද්දිම පාට වෙනස් වෙන්න පටන් ගත්තා. සුදු පාට සීලිම අස්සෙන් උළු කැට එක දෙක මතු වෙද්දි මම බය වෙලා නැගිටින්න හැදුවත් මට නැගිටින්න බැරි වෙන්න අල්ල අත්තේ ළඟ හිටිය අක්කා. ආයෙත් දිගා වෙද්දි පිට වැදුනෙ නිකම්ම නිකන් බිම. ඒ වගෙයි දැනුනෙ මට. සැකේට ආයෙත් බලද්දි මට පෙනුනා කාමරේ මුල්ලෙ මේසෙ උඩ තියලා තිබ්බ ලාම්පුවෙන් ආපු එළිය අක්කගෙ ඇඟට වැටිලා අක්කගෙ හෙවනැල්ල මන් හිටිය පැදුරට වැටිලා තිබ්බ හැටි. මම හිටියෙ අඬන්න ළං වෙලා වගේ. අත ගාලා බැලුවාම කඳුලු බිංදු දෙකක් තිබ්බා ඇස් දෙකේ. ටිකකට කලින් රැහැයියන්ගේ සද්දෙයි අතරින් පතර වාහන වල සද්දෙයි ඇහි ඇහී තිබ්බත් දැන් මුළු ගේ දෙවනත් වෙන්නම සද්ද ඇහෙනවා. එහා කාමරෙනුයි සාලේ පැත්තෙනුයි මාරුවෙන් මාරුවට එන ඒ සද්ද මගෙ කන් වලින් ඇතුලට යන හැටි මට හොඳට මතකයි. ඒ සද්ද කන් පෙති ගාවින් ඇවිත් ඇතුලට යනකොට මට දැනෙන්නෙ ඒ මුලු වටේම තියෙන හැමදේම කන ඇතුළට යනවා කියලා. ගිහින් කන් බෙරේ හිල් කරගෙන ඇතුලටම ගිහින් තැන්පත් වෙනවා ඇතුල් කනේ. ඊට පස්සේ ගොළුබෙලි කට්ටක් වගේ තියෙන අමුතුම තැනකට හතර වටේම වැදි වැදී ගිහින් කැරකිලා කැරකිලා කට්ටේ මැදටම ගිහින් නොපෙනිලා යනවා. පස්සේ ඔළුව ඇතුලෙන් ආයෙම ඒ සද්දෙ ඇහෙනවා. මුළු ඔලුව වටේම ඊතල යනවා වගේ සද්ද යනවා ඔළු කට්ටේ වැදි වැදි. ඒ වදින හැම වෙලාවකම මොළේ කපාගෙන යනවා කියලයි මට හිතෙන්නේ. මේවා දරාගන්න බැරිම උන වෙලාවක අත් දෙකන් හයියෙන් කන් දෙක වහගෙන දත් මිටි කනවා මම. එතකොට යන්තන් අඩු වෙලා යනවා.
මට යන්න ඕනේ ඒ සද්ද එන්නෙ කොහෙන්ද කියලා බලන්න. ඒත් අක්කා යන්න දෙන්නේ නෑ මට. මම ඉස්සරහට යනකොට අක්කා මාව පස්සට ඇදලා ගන්නවා. මම පස්ස හැරිලා බලනකොට අක්කා තරහා මූනෙන් මන් දිහා බලන් ඉන්නවා. මම ආයෙමත් පැදුරෙන් ඉඳගන්නවා. මට නොදැනිම නින්ද ගියාට දෙතුන් පාරක්ම හීනෙන් බය වෙලා තොල කට වේලීගෙන ඇහැරෙනවා. වතුර ළඟ තිබ්බොත් බොනවා. නැත්තන් අනිත් පැත්ත හැරිලා ආයේත් නිදා ගන්නවා. කලින් නැගිටලා යන්න හිතුවට දැන් බයයි මට. ආයෙත් අර සද්ද ආවොත් කියලා හිතිලා කන් දෙක හොඳට අත් දෙකෙන් වහන් නිදාගන්නවා. උදේ නැගිට්ට ගමන් මම  ගිහින් බලන්නෙ මොකද උනේ කියලා. එහෙම උන ගොඩක් දවස් වල සාලෙ මැද්දෙ වීදුරු කෑලි තිබුන පාරවල් හොඳට මතකයි මට. අම්මගෙ මූණ තඩිස්ස වෙලා තිබුනෙත් ඒ වීදුරු කෑලී බිම තිබ්බ දවස් වලමයි. තාත්තා වෙරි මතට නිදා ගෙන දහයට විතර නැගිටින්නෙත් ඒ දවස් වලමයි. පස්සෙයි තේරුනේ මට නිදි පැදුරෙම චූ දවසක් දෙකක් චූ ගිහින් තිබ්බෙත් ඒවගේම දවසක කියලා. සෑහෙන් කාලයක් ඔය ටික ඔය විදිහටම උනා. ටික ටික ලොකු වෙද්දි වීදුරු කෑලි බිම තිබ්බෙ නෑ කවදාවත්. අක්කා විහිලුවට බය කලෙත් නෑ කවදාවත්. ගේ ළඟ පාරේ ළඟින්ම ඇහුන වාහන සද්දෙකට ඇහැරුන මම තාමත් බලන් හිටියෙ උඩ. උළු කැට වෙනුවට තිබ්බේ සුදුම සුදු සිවිලිම.
මම නැගිටලා ළඟ තිබ්බ වතුර වීදුරුව බීගෙන බීගෙන ගියා. මට ඕන උනේ පහලට ගිහින් ලයිට් ටික නිමලා එන්න. කාමරේ දොර ඇරපු ගමන් මම හිතුවේ වීදුරු කෑලි තියෙයි කියලා. ඒත් මොකුත් තිබ්බෙ නෑ. ලයිට් ටික නිමලා එද්දි මම හිතුවේ මාව පිටිපස්සෙන් කවුරු හරි අල්ල ගනියි කියලා. පඩි පෙල නගිද්දි මම හිතුවේ මට කොයි වෙලේද අමුතු සද්ද ඇහෙන්න පටන් ගන්නෙ කියලා. මම හිතුවෙම යකෙක් මාව අල්ල ගනී කියලා. ඒත් කවුරුත් ආවේ නෑ මම ළඟට. කෝ එතකොට මම ළඟ හිටපු යකා ? කෝ මගෙ ඔළුවේ ඇතුලෙ තිබ්බ සද්ද ? මම කාමරේ ලයිට් එකත් ඕෆ් කරලා ආවා ඇඳට. නින්ද යන්න ඇස් පියාගන්නකොටම මට ඇහුනා කවුද කතා කරනවා. කන ළඟටම ඇවිත් මට කිව්වෙ 'ඒ යකත් දැන් උබේ වයසේම වගේ ඇති' කියලා විතරයි.




Comments

  1. සුභ අනාගතයක් වේවා , මේ හැකියාව දිගටම පවත්වාගෙන යන්න හරිද

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය