කනේරු


"අක්කෙ අම්මා කතා කරනවා" මල්ලි දුවන් ඇවිත් කාමරේ දොර රෙද්ද වහලේ ගෑවෙන්න තරමට උඩට විසි කරලා මට කතා කලා. මම හිටියෙ ඇඳේ අනිත් පැත්තට දිගා වෙලා පොතක් කියව කියව. ඔලුව යන්තමට හරෝලා "හා එන්නම්" කිව්ව මම ආයේ කලේ පොත කියවන්න පටන් ගන්න එක. ඔළුව කෙලින්ම ඉස්සුවාම ඉස්සරහින් ඈතින් තියෙන්නෙ වෙල පල්ලෙහා. ඈතට ඈතට පේනවා. ඊට කලින් තියෙන්නෙ පහල වැටට වගේ හිටෝලා තියෙන පුවක් ගස් ටිකයි ඊට කලින් තියන ලොකු අඹ ගස් දෙකයි. චුට්ටක් වෙලා බලන් ඉන්නකොට මට පෙනුනේ කපුටු ජෝඩුවක් ළඟට වෙලා ඉන්න හැටි. අහලා තියෙන විදිහටනම් එක කපුටෙක් මැරුනාම අනිත් කපුටා ජීවිත කාලෙම තනියෙන් ඉන්නවා කියලා. ඇත්තද බොරුද දන්නෙ නෑ. මට පෙනුනේ උන් දෙන්නා සතුටින් ආදරෙන් ඉන්නවා කියලා විතරයි. විනාඩි කීපයක් ඇතුලේ උන් දෙන්න පියාඹලා කොහෙදෝ ගියා. උන් ගස් වලට වැහිලා නොපෙනිලා යනකන් මම බලන් හිටියා.
ජනේලේ ළඟම හින්දා වෙලේ ඉඳන් එන හුළං අඹ ගස් දෙකේ වැදිලා කෙලින්ම එන්නේ මගෙ කාමරේට. කාලෙකින් වැස්සේ නැති හින්දා ඒ හුළං හරි වියළියි. මගෙ තොල්පටත් වේලිලා ගිහින්. පොත කියවන එක පැත්තක තියලා මම යන්න හැදුවේ කුස්සියට වතුර ටිකක් බොන්න. එතකොට තමා මතක් උනේ අම්මා කතා කලා නේද කියලා. ඕන එකක් කියලා කුස්සියට ගිහින් කලෙන් වතුර ටිකක් නමා ගෙන බීගෙන ගියා. දැන් සුදු පූසා වයසයි. මට තාම මතකයි ඌව ගෙනාව දවස. අවුරුදු එකොළහකට කලින්, හිටියේ චූටි පුළුන් බෝලයක් වගේ. දැන් චුට්ටක් කෙට්ටු උනාට තාමත් සුදුවට ලොකුවට ඉන්නවා. ඌ ඉන්නේ කුස්සියෙන් එළියට යන දොරළග දිගා වෙලා. යන්තන් ඇඟේ බාගෙකට වගේ අව්ව වැටිලා. ඌ මාව දකින්න නැතුව ඇති. සද්ද නොකරම මම එන්ඩ ගත්තෙ සාලේ දිහාට යන්න.
අම්මා කතා කරලා දැන් පැය කාලකටත් වැඩී. මම කුස්සියෙ ඉඳන් කෑම කාමරේ පහු කරනකොට තමා ආයෙම කතා කලේ. "සේපාලිකා, සේපාලිකා.." මට ඇහුනා මඟ ඉඳන්ම. හයියෙන් අඩිය තියපු මම ගියා සාලෙට. අම්මා හිටියෙ තනියෙන් නෙමේ. තව පුටු දෙකක නාලිනීයි අම්මයි වාඩි වෙලා ඉන්නවා. මම මූණ හිනාවකින් පුරෝගෙන නාලිනි ළඟින් වාඩි වෙන්න ගියේ. වෙනදා මෙහෙ ආවා ගමන් මගේ කාමරේට දුවන් එන නාලිනී අද පුටුවේ වාඩි වෙලා හරි බයාදු ගතියකින්. නාලිනීගෙ අම්මගෙ වෙනදා මූණ පුරාවට් තිබ්බ හිනාව, කට කන ළඟටම යන තරමට කෑගහලා කතා කරන විදිහ, ගේ හතර වටේ දුව දුව යන විදිහ ඒ මොකුත් නෑ අද. අපේ අම්මගෙ මූණෙ ලොකු වෙනසක් පේන්න නැති උනත්, ඒ මූණයි ඇස් දෙකයි හැමදේම කිව්වෙ නාලිනී එක්ක පොඩ්ඩක් කතා කරපන් කියලා. එළියට පොඩ්ඩක් අරන් ගිහින් මටයි පුංචිටයි ටිකක් තනියට කතා කරන්න දීපන් කියලා. මම කිසිදෙයක් දැනුනේ නැති ගානට ගිහින් ඉඳගත්තා පුටුවෙන්. වෙනදා වගේම මූණේ හිනාවක් පුරවන් නාලිනීට කතා කරලා පස්සෙ පුංචිට කතා කලා. "මොකෝ මේ හදිස්සියේ, කිව්වෙවත් නෑනේ එනවා කියලා" මම කියවන එක ඉවර කරන්න කලියෙන් අම්මා කිව්වෙ ගිහින් තේ හදන් එන්න කියලා. මම එහෙම්මම නැගිටලා නාලිනීගෙ අතින් ඇඳන් ගියා කුස්සියට. වෙනදා ඒ අතින් ඇද්දාම මට කලිනුයි ඒ අත දුවන්නේ. අද මොකක් වෙලාද මන්දා. මට ඒ අතේ දැනුනේ හරි බරක්.
නාලීනී කියන්නෙ අපේ පුංචිගෙ දුව. ඉන්නෙ නුවර පැත්තේ. පොඩි කාලේ ඉඳන් අපි යාලුවෝ. මට වඩා අවුරුද්දක් බාල උනාට අපි හිටියේ අක වයසේ යාළුවො වගේ. ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා හම්බුන නිවාඩු කාලේ මාස තුනක්ම හිටියේ අපේ ගෙදර. ඒ ගිය අවුරුද්දේ සැප්තැම්බර් විතර හරියටම අවුරුද්දකට විතර කලින්. දෙසැම්බර් නුවර ගියායින් පස්සේ ආයේ මේ ආවමයි. ෆෝන් එකෙන් හරි කතා කලේ මාස ගානකට සැරයක්. අපි දෙන්නම ගියා කුස්සියට. නාලිනී ඉඳගත්තේ එළියෙ දොර ළඟම තිබ්බ පුටුවේ. සද්දෙට ඇහැරුනූ සුදු පූසා ඔළුව යාන්තමට උස්සලා මන් දිහා බැලුවා. දැන් ඌ ඉන්න තැනට අව්ව නෑ. මම ඌව උස්සලා එළියෙ තිබ්බ වළං තියෙන මේසෙන් තිබ්බා. උගෙ හිටිය තැන අහිම වෙච්ච පූසා මේසෙන් බිමට බැහැලා මිදුලේ ඇවිදන් ගියා කොනටක. ඒ ගියේ මන් දිහා බලන්නෙවත් නැතුව. තරහින් වෙන්න ඇති ඉන්නෙ. නැත්තන් මොනවා හරි බරටම හිතනවා දන්නේ නෑ. හරියට නාලිනී වගේ. එයත් එහෙමනේ, වැඩි කතාවක් නෑ අද. පූසා ගිහින් මිදුලේ අයිනෙ පැත්තකට විසි කරලා තිබ්බ ළඟදි ගෙට බර වෙන හින්දා කපලා දැම්ම පොල් ගහේ කඳකට නැගලා ඒක හූරන්න පටන් ගත්තා. මම තත්පර හතරක් පහක් ඒක බලන් ඉඳලා ගියා දරමැස්සට දර කෑලි දෙක තුනක් ගේන්න. කුස්සියට ආයේ එද්දි නාලිනී බලන් ඉන්නවා වෙල දිහා අඹ ගහ අස්සෙන්. ලඟටම එනකනුත් ඇයි මාව දැක්කෙ නැත්තෙ ? මම මගෙන්ම අහ අහා කුස්සියට ගොඩ වෙන්න හැදුවෙ. නාලිනීගෙ මූණ වැහැරිලා වගේ. ඒ වැහැරිල්ලේ කන්න නැතුව කෙට්ටු වෙලා ගිය ගතියක් පේන්න තිබ්බෙ නෑ. මහා ලොකු දුකක් ඔළුවේ තියන් ඉන්නවා කියන පාටක් පේන්නවත් නෑ. හොඳට බැළුවාමයි දැක්කෙ ඇස් දෙක මුල හීනී කඳුළු බිංදු දෙකක් තියෙනවා කියලා. ඒ මුණ ඇකිලිලා ගිහිල්ලා තියෙන්නෙ දවස් ගානක් තිස්සේ වැටුන කඳුලු මූණෙන් ගලලා ගිහින් වේලුන හින්දා වෙන්න ඇති. ඒ කඳුලු වේලිලා යද්දි මූණෙ තිබ්බ හිනාවත් අරන් යන්න ඇති. මට හිතුනේ එහෙමයි.
මම දර ටික ලිප ළඟින් තියලා කේතලේට වතුරත් පුරෝලා පටන් ගත්තේ ලිප අවුලුවන්න. ඒ ගමන්ම ලොකු කතාවක් පටන් ගන්න වගේ "ඉතින්" කියාගෙන ඈත ඉමක් කොනක් නැති සාගරේ දිහා බලන් ඉන්නවා වගේ ඉන්න නාලිනී දිහා බැලුවා. ගැස්සිලා නොබැලුවත්, මූණ හරෝලා මන් දිහා බලලා හිනා උන විදිහ හරිම නුපුරුදුයි නේද කියලා මට දැනෙන්න තත්පර දෙකක්වත් ගියේ නෑ. මන් මටම කියාගත්තෙ වැඩි දේවල්නම් අහන්නෙ නෑ කියලා. "මන් ටික දවසකට මෙහෙ ඉන්න ආවේ සේපාලි.. සමහර විට මාස ගානක් වෙන්නත් පුළුවන්. පස්සෙ කියන්නම්කො විස්තරේ.."
මට දැනුනේ ඉවසගන්න බැරි සතුටක්. කැම්පස් එනකන් ගෙදරට වෙලා කාලේ කකා ඉන්න මට මේ වගේ වාසනවක් එනවා කියන්නෙ කොච්චර දෙයක්ද. සතුට වැඩි කමට උඩ පනින්න හිතුනේ මට. දැන් ඉතින් මට පාළුවක් දැනෙන එකක් නෑ. හැබැයි පූසනම් තරහා වෙයි මන් එක්ක. උට කතා කරන්න වෙන්නෙ නෑ දැන් කාලෙකට. මම ලිපට ගින්දර දාලා නාලිනී ළඟින් වාඩි උනා. ආවා කාරණාව අහන්න ඕන උනත් පස්සේ කියන්නම් කිව්ව හින්දයි, කාරණාව මොනවා උනත් මෙහෙ අවා එක හොඳ හින්දයි මට ඕන උනේ නෑ ලොකු දෙයක් අහන්න. වල්පල් කතා කරලා තේ එකත් හදන් අපි ගියේ සාලෙට ආයෙමත්. පුංචි සාරි පොටේ කෙලවර අතේ තියන් වැලමිට පුටුවේ ඇන්දේ තියාගෙන අත මූණට තියාගෙන මූණ අතට බර කරන් පාර දිහා බලන් ඉන්නවා. අම්මා අනිත් පැත්තෙ පුටුවේ ඉඳන් පුංචි දිහා බලන් ඉන්නවා. හරිම නිස්සද්දයි. අපි ඇවිදන් ගිය අඩි සද්දෙ වගේම මිදුලේ තියෙන වී කන්න ආපූ අළු කොබෙයියො දෙන්න දාන අමුතු සද්දෙත් හොඳට ඇහුනා. මම පුංචිටයි අම්මටයි තේ එක දීලා ආයෙම වාඩි උනා. "පුංචිත් ඉන්නවද පුංචියේ ?". මම ඇහුවේ කතා කරන්න දෙයක් නැති කමටයි. " නෑ දුවේ මන් යන්න ඕනේ අද රෑ වෙන්න කලින්. මල්ලිලා දෙන්න විතරයි ගෙදර. දැනටමත් මොනවා කරගෙනද මන්දා..නාලීනී එක්ක ඉඳපන් හොඳේ. ටික දවසක් ඉඳීවී..දැන් කවද්ද කැම්පස් පටන් ගන්නෙ ?" පුංචි කියවගෙන ගියා. තේ එක තාම අතේ. බීලා නෑ උගුරක්වත්. අන්තිම වචනේ කියලා ඉවර කරද්දි නහෙයෙන් ගිය හුස්මත් එක්ක මට ඇහුනේ නහය හිර වෙච්ච ගතියක්. ඉස්සර තිබ්බ සෙම ඇවිස්සිලාවත්ද ? නැත්තන් නාලිනීගේ වගේම ඇහෙන් ගිය කඳුළු නහයට ගිහින්වත්ද ? මට ඒක හිතන්න වෙලාවක් තිබ්බෙ නෑ. " දිනයක් නෑ පුංචියේ.. " කිව්ව මම බැළුවේ අම්මා දිහා. "මන් හිතන්නෙ තව මාස දෙක තුනක්වත් යයි. ඒකට ඉතින් ආයේ අමුතෙන් ලෑස්ති වෙන්න ඕනේ.." ? මගේ කතාව අම්මා සම්පූර්ණ කරලා දැම්මා. මමයි නාලිනීයි රෙදි බෑග් එක උස්සන් කාමරේට ගියේ කාමරේ අනිත් ඇඳ අස් කරලා ගන්න කියලා. ඒක පුරාවටම තිබ්බෙ මගෙ පොත්. කියෝපු නොකියපු හැමදේම ඒක උඩ. පිලිවෙලක් නැතුව පොත් එක එක දිසාවල්වලට හැරිලා. අරමුණක් නැතුව පිටු පෙරලිලා. සමහර පොත් වල උඩ දූවිලිත් බැඳිලා වගේ. ඒ ඇඳත් හරියට නාලිනීගෙ හිත වගේ. මට හිතුනේ එහෙම. නාලිනීත් හිනා උනා ඇඳ දැකලා. එයාටත් එහෙම්මම හිතෙන්නෙ ඇති.
පුංචි දවල්ට කන්නෙ නැතුවම ගියා යන්න. ආයේ එන්නම් කියලානම් කිව්වා. නාලිනී එක්ක කතාවක් තිබ්බෙ නෑ වැඩිය. මට තිබ්බ ලොකුම උවමනාව අම්මගෙන් හැමදේම අහගන්න. අපි කාමරේම අස් කරලා දවල්ට කෑම හදන්නයි ලෑස්ති උනේ.  අම්මා විතරක් තනියෙන් ඉන්න වෙලාවක් බලලා මම අහගත්තා විස්තරේ. ඔක්කොම කියලා ඉවර උනාම අම්මගෙ ඇස් දෙකත් ඉඩට ගිහින් හුස්මක් පහලට දැම්මෙ අපිටත් නැති කරදර පාත් උනා වගේ කියන හැඟීමකින්. මාව ගියා අතීතෙට. මම ඇවිදන් ආවා මිදුලට. ගිහින් එලියෙ තිබ්බ ගල් පුටුවක වාඩි වෙලා පාර දිහා බලන් හිටියා. අම්මයි තාත්තයි ත්‍රීවීල් එකකින් බැහැලා එනවා ගේ දිහාවට. තාත්තගෙ එක අතට තිබ්බෙ කොට්ටයක්, අනිත් අතේ ඇඳුම් බෑග් එකක්. මම හිටියේ ආච්චි එක්ක. අම්මා ගේනවයි කිව්ව මල්ලි කොහෙවත් පේන්න හිටියේ නෑ. අම්මගෙ බඩ කලින්ට වඩා අඩු වෙලා තිබ්බ එක විතරයි තිබ්බ එකම වෙනස. පස්සෙ කාලෙයි දැනගත්තේ මට අවුරුදු හතකට පස්සෙ බඩට ආපූ මල්ලී ඉස්පිරිතාලෙදිම නැති උනා කියලා. ඊට පස්සෙ ඉඳන් මම හැදුනේ හිටිය එකම මල්ලි එක්ක.
රෑ ඔක්කොම වැඩ ඉවර වෙලා අපි ආවේ කාමරේට. දවස තිස්සෙම මහන්සි උන හින්දා මම හිතුවේ ඇඳට ඇවිත් විනාඩි පහක් යන්නත් කලියෙන් නින්ද යයි කියලා. කාමරේ අනිත් ඇඳ තිබ්බේ මගේ ඇඳට කෙලින්ම එහා පැත්තේ අඩි දෙක තුනක් එහායින්. ලයිට් ඕක්කොම නිමලා හින්දා නාලිනීව පේන්නෙ යාන්තමට වගේ. වහලේ උළු කැටයක් අයින් කරලා ඒ වෙනුවට වීදුරුවක් දාන්න කියලා තාත්තට කියන්නේ මාස ගානක ඉඳලා. ගිය සතියේ ඒක දාල දුන්නේ පැය ගානක් නාහෙන් ඇඬුවායින් පස්සේ. එක පාරට කාමරේ අඳුරු ගතිය අඩු වෙලා ගියා ඇස් අඳුරට හුරු හින්දා කියලා මට හිතුනත් ඇත්තටම උනේ වාලාකුළු අස්සෙන් හඳ ඇවිත් ඒ එළිය වීදුරුවෙන් කාමරේට ආව එක. සුදු පූසා දොර රෙද්ද ඈත් කරන් ආවා කාමරේට. ජිල් බෝල වගේ දිලිසෙන ඇස් දෙක එහා ඇඳ ළඟට ඇවිත් නැවතිලා ආයේ හැරිලා ගියේ අද ඉඳන් උට උගෙ ඇද හම්බ වෙන්නෙ නෑ කියලා දැනුන හින්දා වෙන්න ඇති. මම කතා කලා නාලිනීට. හුස්ම ගන්න සද්දෙ මටත් ඇහෙනවා. ඉකියක් වගේ යාන්තමට ඒ හුස්ම සද්දෙ අස්සෙන් කාමරේ හැමතැනටම යනවා. ගිහින් බිත්ති වල වැදිලා ආයෙම නාලිනී ළඟටම එනවා. බිත්තියවත් ඒ ඉකිය බාරගන්නේ නෑ වගේ. මම ඇහුවා ඇයි ඔහොම දෙයක් කරගත්තෙ කියලා. උත්තරයක් එනකන් ඉන්න හිටිය මට උත්තරේ ආවේ ලොකු වළාකුලක් ආයෙමත් හඳ වහන් ගිහින් සෑහෙන වෙලාවකට පස්සෙ හඳ පෙනිච්ච වේලේ. " මාව බඳින්නම් කිව්වනේ.. ඒකයි ඉතින්.." තව කොච්චර ඇහුවත් ඒ ප්‍රශ්නෙට උත්තරේ මට දෙන්න බැරි හින්දා විනාඩි කීපයක් යද්දි අපි දෙන්නටම නින්ද ගියා. එහෙම කිව්වට නාලිනී නිදා ගත්තද දන්නෙ නෑ. ඉකිගහන සද්දයක් ඇහුනේ නෑ මට. බිත්තිවලට දරාගන්න බැරුව ඒ සද්දෙ බිත්තියවත් ගත්තද ? මට ඇහැරුනේ අනිත් දවසේ උදේ.

උදේ නැගිට්ටාමයි මට මතක් උනේ රෑ හීන දාහක් විතර පෙනුනා කියලා. ඒ එක හීනෙක හිටියේ නාලිනී. දවස් දෙක තුනක් වයස රෝස පාට චූටි බබෙක් අරන් නාලිනී වාහනේකින් බැහැලා ගෙදර එනවා. ඊට පස්සෙන් එන්නේ සම්පත් වෙන්න ඕනේ. ඒ නාලිනී යාළු වෙලා හිටිය කෙනා. දැන්නම් ගමේ හොයාගන්නත් නෑලු. "සේපාලී.. වඩා ගන්න ඕනෙද ? වට්ටන්නේ නෑ හරිද.." නාලිනී මූණ පුරා හිනාවක් තියන් මට කිව්වා. මට ඇහැරුනේ වෙලට එහා පන්සලේ හතර ගහද්දි. අනිත් පැත්තට හැරිලා නිදා ගත්තා මම.
නාලිනී ක්ලිනික් යන්නෙ මන් එක්ක. ක්ලිනික් එකේ ඉන්න අය අහන දාහක් ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ මම තමයි. "ඔව් අනේ මහත්තයා මේ දවස් තුනකට කලින් ඇවිත් ගියා" " ඔව්. හමුදාවෙනෙ ඉන්නෙ. යාපනේ වැඩ කරන්නෙ." "හැමදාම එන්ඩ බෑනේ ඉතින්." "ගිහින් එන්නම් අක්කේ".. මේ ටික තමා හැමදාම කියන්නේ.
දැන් නාලිනීගේ මූණ එහෙම ටිකක් පාට වැටිලා. ඒත් හැමදාම තියෙන කදුළු බිංදු දෙක එහෙම්මයි. සැරින් සැරේට එහා ඇඳෙන් ඇහෙන ඉකි ගහන සද්දෙත් එහෙම්මමයි. මුල මාසේ පුංචි ආවා සතියෙන් සතියට. ඒ ආව හැම දවසකම නාලිනීගේ ඉකියේ සද්දේ වැඩි වෙනවා. පුංචිගෙ කටින් එන භයංකාර වචන වලටත් වඩා සද්දෙ වැඩි දවස් තිබ්බා. නාලිනී හිනා උනේ සම්පත් අයියා ගැන කියද්දි විතරමයි. බැඳපු මිනිහෙක් බව ඇත්ත, ඒත් එ කාසාදේ කටුගාලා එයි කියලයි කියන්නෙ. පුංචි යටි ගිරියෙන් කෑගහලා කිව්වත් එන්නේ නෑ කියලා, නාලිනී නෙමේ ඒවා විශ්වාස කලේ.
දින සති ගෙවිලා යද්දි පුංචිව දැක්කේ සති ගානකට සැරයක්. නාලිනීගෙ මූණෙ හිනාව දැක්කෙත් සති ගානක්ට සැරයක්. බිත්ති වලටටත් එපා වෙලා ඉකි ගහන සද්දෙ කෙලින්ම එනවා මන් ළඟට. ඉංග්‍රීසි පන්තියට මට යන්න වෙන හින්දා දවස් දෙක තුනක් ක්ලිනික් යන්න උනෙත් තනියම. ඒ හැම දවසකම මම දැක්කේ නාලිනී හිටියායින්ට වඩා බාගයක් වගේ. පුංචි අන්තිමට ආවේ ඊයෙ. තමන්ගේ ජීවිතේටත් වඩා ආදරේ කරපු මනුස්සයා එක්ක ජීවිතේ ගෙවන්න හිතා ගෙන, ඒ හිනාවට රැවටිලා ජීවිතේ වෙනස් වෙන්නම ගමනක් ගිය එක පුංචි දැක්කේ පරම්පරාවෙම අයගේ මූණවල් වල දැළි ගාපු දෙයක් විදිහට. මට ඒක ඇහුනේ පන්ති ඇරිලා එද්දි පුංචි කාමරේ ඉඳන් නාලිනී එක්ක කතා කරනකොට. නාලිනී හිටියේ කොට්ටෙට මූණ ඔබන් කන් දෙක වහගෙන. "උබ ඔය කන් වැහුවට, ගමේ උන්ගෙ කන් වහන්ඩ පුළුවන් උනේ නෑ අපිට.." පුංචි යන්න කලින් කිව්ව අන්තිම වචන ටික තමා ඒ.
ඒ වචන ටික තාම දෝංකාර දෙනවා කන් දෙකේ. ඊයේ රෑම නාලිනී ළඟ ඉඳලා හෙම්බත් උන මට. ඇස් පියගද්දිම ඇහෙන්නෙ ඒ වචන ටික. නාලිනීගෙ ඇගේ ගහන්න පුළුවන් හැමතැනකට බට ගහලා. සේලයිනුයි තව මොනවදයි එක එක ජාතියේ දේවල් නර්ස් විනාඩි දහයෙන් දහයට ඇවිත් දීලා යනවා. මාස හයක බඩ ගෙඩිය එලියට පනින්න වගේ එලියට නෙරලා. ඒකටත් එක එක පටි දාලා මැශින් එකකට හයි කරලා. මම හිතුවේ නෑ පුංචි ගිහින් විනාඩි දහයක් යන්ඩත් කලින් නාලිනී මිදුලට ගියේ ඒකට කියලා. නාලිනීව ගෙදර දාලා අම්මා එක්ක ටවුන් ගිහින් එද්දි නාලිනි බිම වැටිලා හිටියේ ඇඟේ බර උස්සගන්න බැරුවද හිතේ බර උස්ස ගන්න බැරුවද කියලා තේරුමක් තිබ්බෙ නෑ මට.
සේලයින් බිංදුව බිංදුව වැටිලා ඇඟ දිගේ ගලන් යනවා. මමත් ඒ එක බිංදුවක් දිහා බලගෙනම ඉන්නවා. ඔහොම ගලන් ගිහින් යන්නේ පපුව මැද්දට වෙන්න ඇති. ඒ ගිහින් තමා නාලිනීව ජීවත් කරන්නෙ. හරියට සම්පත්ගේ ආදරේ හින්දා ජීවත් උන වගේ. ඒ ආදරේ කොච්චර ප්‍රබල වෙන්න ඇතිද. පුංචි එන්න දවසකට කලින් මට මතකයි නාලිනී රෑ නිදා ගන්න යන්න ටිකකට කලින් ඉකි ගගහා ඉඳලා, ඒ ඉකිය නවත්තලා මගෙන් ඇහුනා ප්‍රශ්නයක්. "සේපාලී දන්නවද ආදරේ මල මොකක්ද කියලා?" "රෝස වෙන්න ඇති නේද ?" මම කිව්වේ ඕනවට එපාවට. "ඒ ඉස්සර වෙන්න ඇති. දැන් ආදරේ මල තමා කනේරු. ඔය ලස්සනට පිපිලා තියෙන්නේ ඔයාල්ගේ මිදුලෙත්". නාලිනී එහෙම කියලා එදා රෑ නින්දට ගියේ කවදාවත් නැති සතුටකින්. එද රෑ බිත්ති හතර පාලුවෙන් ඉන්න ඇත්තෙ ඉකි හඬක් ඇහුනෙම නැති හින්දා.



Comments

Post a Comment

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය