වතුර බෝතලය

මට මතක් කරන්න පුළුවන් ඒ අදුරු දවස.මම එතකොට දෙකේ තුනේ වෙන්ඩ ඇති.සමහර විට එකේද මන්දා.ඇත්තටම කිව්වොත් ඒ කාලේ මට තිබුනේ නැහැ ඉස්කෝලේ අරන් යන්ඩ වතුර බෝතලයක්.මම අනිත් ළමයි අරන් එන පාට පාට වැඩ දාපු එක එක වර්ගයේ වතුර බෝතල් දිහා බලන් ඉන්නවා.පොඩි කාලේ උනාට තරමක් දැනුමක් තේරුමක් තිබුනේ නැත්තෙමත් නෑ.ඊටත් වඩා අත්දැකීමෙනුත් දන්න හින්දා මම දන්නවා කවදාවත් අම්මාගේන් ඉල්ලුවට ඒවායින් එකක් අරන් නොදෙන බව.ඉතින් මාත් ඒ දිහා බලන් හිටියා මිසක් කිව්වේ නෑ ඕ වගක් කාටවත්.මතකයි ළමයෙක්ගේ වතුර බෝතලයක් ආසාවට ඇල්ලුවා කිය්ලා මට හොදටම බැන්නා.දන්නේ නැද්ද ඉතින් පොඩි කාලේ කවුරුත් එහෙමනේ.නමුත් ඒ වගේ වෙලාවකට හිතට දැනෙන දුක,සිතුවිලි විස්තර කරන්න අමාරුයි.උගුර හිර වෙන ගතියක් දැනෙනවා.කකුල් වෙව්ලන්න ගන්නවා.උණුසුමකුත් එක්කම ලොකු සීතලකින් ගත හිරි වැටිලා යනවා.මොනා කියලා කරන්ඩද ඉතින්.
ඔන්න එක දවසක් මට වතුර බෝතලයක් ලැබුනා.ඒ අක්කගෙ පලවෙනි පඩියෙන් කියලා යාන්තමට මතකයි.ඕ කියන කඩේ තිබුනේ ගෙදරට ටිකක් එහා පැත්තෙන් පල්ලමේ වෙන්ඩ.පල්ලැහෑ කඩේ කියලා තමා කිව්වේ.දැන්නම එතන ලොකු ගෙයක් හැදිලා.ඉතින් අක්කා එක්ක වෙනදත් මම කඩේ යනවා.ඒ උනාට අක්ක යන්ඩ එන්ඩ කිව්ව විදිහනම් ඒ හැටි හොඳ නෑ වගේ.කුමකින් කුමක් හරි මම ගියා කඩේ අක්කත් එක්ක.ඒ කඩේ වතුර බෝතල් තියේ.ලස්ස්න ඒවා.පාට පාට ඒවා.පෙලක් ඒවායේ ලස්සන දිග පටියක් තියෙන්වා.අර ළමයි බෙල්ලේ දාගෙන යන්නේ.අන්න ඒ විදිහේ.උස ඒවා පොඩි ඒවා.අනේ මන්දා වෙලාවකට මම බලන්නෙත් නෑ.මොකද බැලුවා කියලා කඩේ මුදලාලී නිකන් දෙන්නේ නෑනේ.ඔන්න ඉතින් එවෙලේ තමා හොඳම වැඩේ උනේ.මෙන්න අක්කා අහනවා බෝතල් වල ගනන්.
ආහ් ඒක සීයයි
අනූවයි
අසූවයි
ඒ ගානටනම් දෙන්න බෑ දුවේ
හැත්තෑවයි
හෙට පහකට දෙන්නම් ඉතින්.
ගනුදෙනුව ඉවරයි.රුපියල් හැට පහකට ගත්තු බෝතලේ මගේ අතේ.ලස්සන චූටි බෝතලයක්.වැඩිය ලොකුත් නෑ පොඩිත් නෑ.ලොකු ඒවා තිබුනා ඉතින්.ඒත් ඒක හොදයි.හුරුබුහුටියි.මතක විදිහටනම් වැඩියෙන්ම තිබුනේ තැඹිලි පාට.කොල පාටින් වගේ පොඩි චිත්‍රයක් තිබුනා.ඒ පාටින්ම වගේ පටියත්.බෙල්ලෙන් දැම්මාම දණහිස්සට වෙනකන් දිගයි.ඉතින් ඔන්න උඩ පැන පැන ගෙදර ගියා අක්කත් එක්ක.යනකොට අම්මා මිදුලේ.මාව කෙසේ වෙතත් බෝතලේටයි ගියේ උන්නැහැගේ ඇස් දෙක.ගත් කටටම ඇහුවේ ගාන කීයද කිය්ලා.උත්තරය පනහයි.මම හැට පහයි කියන්ඩ කලින් අක්කගේ මූණ බැලුවා.අපොයි ඒක විසි පහක් වගේ.මන් අහක බලා ගත්තා.
දැන් තමා වැඩේ.ඉඹලා බැලුවා ඇතුල.අපොයි කට්ට කරවල ගඳක් ආවේ.කඩේ තිබිලාම පරණ වෙලා.ඉතින් ටක් ගාලා කළේ ළඟට ගිහින් වතුර අරන් හේදුවා.මතක විදිහට එදා ඉරිදාවක්.බෝතලේ අරන් ආවෙ හවස හතරට විතර.ඉතින් වතුර බිව්වා ඇති වෙන්ඩ.ගේ වටේ ගියා.කාමරෙන් තියලා එලියට ඇවිත් දොර රෙද්ද මෑත් කරලා බලනවා තියෙනවද කියලා.හප්පේ අර තියෙන්නෙ රාජසිංහ රජ්ජුරුවන්ගේ ඔටුන්න වගේ.
පොඩි අක්කාත් කොහෙද ගිහින් ආවා.මට ආසාවේ බෑ පෙන්නනකන්.ආයේ ඉතින් බොරු කියන්නේ මොකටෙයි.ඒයාට තිබුනා බෝතලයක්.හැබැයි හද්දා පරණයි.හැත්තෑව දශකයේ ඉදන් පැවතගෙන එන එකක්ද කොහෙද.වැඩේ කියන්නේ ඒකත් තැඹිලි පාටයි කොළ පාට මූඩියක් තිබුනේ.පැතලියි.මගේ වගේ හැඩ වැඩනම් තිබ්බේ නෑ.ඒත් මන් ඕවා කියන්ඩ  ගියේ   නෑ ඉතින්.අක්කවත් අරන් ගියා කාමරේට.කනට කොඳුරලා  එකටම කිව්වේ හැට පහයි කියලා.අක්කට හිනා.ඒයත් නිකන් පිටසක්වලින් ගෙනල්ලා වගේ පරීක්ෂණ කරනවා.මටත් මොකෝ ඉතින් මන් වැඩකාරයා වගේ  අහක  බලන්  හිටියා.
මල්ලී මටත් දවසක් ඕනේ අරන් යන්ඩ.මම ඉතින් හා හා හා කියලා ඔළුව වැනුවා අනුවර්තීයව.හැබැයි සද්දයක් නෑ තාම.පව් පොඩි අක්කා කියලා   හිතින් හිතුවා  විතරයි.
හතරේ  ඉඳන් හත වෙනකන් මම දහ පාරකට වැඩිය  චූ කරන්ඩ ඇති.වතුර බිව්වා බිව්වා බිව්වා.ඇති වෙනකන් බිව්වා.
අන්තිමේදි කලන්තෙත් වගේ.කොහොමෙන් කොහොමෙන් හරි රෑත් උනා.කෑමත් කාලා පැදුරට ආවා බෝතලෙත් ළගට අරන්.දැන් ඉතින් උදේම යන්ටත් තියෙනවනේ.බෝතලේ අරන් දුන්න අක්කා ඇවිත් හොරෙන් බලලත් ගියා.ලැජ්ජාවෙත් බෑ.මම හිනා වුනා.එයා අහනවා හොදයිද කියලා.මම හ්ම් හ්ම් හ්ම් කිව්වා.එච්චරයි.වෙන කතා නෑ.
උදේ නැගිට්ටා කියලා කියමුකෝ.අම්මෝ උදෙට අම්මා එක්ක කතා බොරු.කතා කලොත් බැනුම් කෝටියයි.අක්කත් එක්ක කෝලම් කර කර පිස්සු නට නට මූණ හෝදලා පැයකින් විතර ඇවිත් ඇඳුම් ඇඳ ගත්තා.අපේ තිබුනේ චූටි ඉස්කෝලයක්.ගේ ළඟමයි.ඒ කාලේ ඉතින් අටටනේ පටන් ගන්නේ.අපි දෙන්නා ගෙදරින් යන්නේ විනාඩි දහයකට කලින්.එදානම් හොඳටම පරක්කුයි.අටත් පහු උනා මගේ හිතේ.අට හමාරට ගියත් මොකු් නොකියන හින්දා හදිසියක් තිබ්බේ නෑ මටනම්.ඒත් බලන්න එපැයි අක්කගේ මූණ.කොරහක් වගේ.කලින් දවසේ රෑ තිබ්බට වඩා හතර ගුණයක් විතර ලොකුයි.අත් දෙක ඉනේ.බෝතලේ අතේ.බෑග් එක කරේ.මම තාම අඳිනවා.ඉතින් ඇඳගෙන බෑග් එකට් දාගෙන එලියට ආවා.වතුර බෝතලේට වතුර දාගත්තා.හෙල්ලෙන්නෙ නැති තරමට පිරෙව්වා.දාගත්තා බෙල්ලේ මැද්දෙන්.අපෝ ඒක හරි ගියේ නෑ.හරියට ඇවිදින්ඩත් බෑ.පස්සේ කරේ එල්ලුවා.
එලියට ගිහින් අම්මට එන්ඩ කිව්ව වඳින්ඩ.අම්මා එන්නේම නෑ.අක්කා බෙරිහන් දෙනවා පැත්තක ඉදන්.මන් කියලා මොනවා කරන්ඩද.වඳින්නේ නැතුව යන්ඩත් බෑ.ගිහින් ටීච වැන්දද කියලා අහනකොට බොරු කියන්ඩත් බෑනේ.ඔන්න අම්මා ආවා සෑහෙන වෙලාවකට පස්සේ.අත් දෙක ඇඳුමේ පිහ පිහා මිදුලට බැස්සා.අක්කා පටස් ගාලා ඇවිත් වැඳලා අහකට වුනා.මටනම් එහෙම බෑ අර ගාථාව කියන්ඩම ඕනේ.මම දස මාසේ උරේකත්වා මුමුනවා.අක්කා එහෙන් වෙන මොනවදෝ මුමුනනවා.බෝතලේ බිම වදිනවා මම නැමිලා දණ ගහගෙන ඉන්නකොට.ඒ අතරෙදියි මට ඇහුනේ ඉස්කෝලේ බෙල් එක ගහනවා.අක්කගේ ස්වරය වැඩි උනා.ළඟට ඇවිත් මට ඈන්නා ටොක්කක්.මට ඌයි ගෑවුනා.ළග හිටියේ අම්මද කියලත් අමතක උනා.ගාථාව බාගෙට කියලා නැගිට්ටා අම්මා ඔළුව අත ගාන්ඩත් කලින්.නැගිට්ටෙ කේන්තියෙන් උනත් පොඩ්ඩකටත් රතු වෙන අක්කගේ මුණ දකිද්දි,පැත්තක එල්ලන් හිටිය පඬු ගැහුන වතුර බෝතලේ දකිද්දි,ඉරිච්ච බෑග් එක දකිද්දි ටොක්කේ පලිය ගන්නේ කොහොමද මන්.මට ඔක්කොම අමතක උනා වගේ.අතේ තිබුනේ මොකද්ද මතකත් නෑ.අරන් කරකවලා ගැහුවා පොළවේ.අක්කගේ අත් දෙක ඉනේ ඉදන් කටටත් පස්සේ ඔළුවටත් ගියා.කැගැහුනා වගේ ඇහුනා.හැරිලා කුස්සියට යන්ඩ හැදුව අම්මත් ආපහු ආවා.
කොළයි තැඹිලියි වැඩ දාපු බෝතලේ පිපිරිලා වතුර දෝරේ ගිහින්.පටියයි ඒක හයි කරපු කෑල්ලයි තව පැත්තක්.මූඩිය හොයන්ඩත් නෑ.මට එවෙලේ දැනුනේ මම ලෝකේ ලොකුම වැරැද්ද කලා වගේ හැඟීමක්.මොනා කරන්ඩද බෝතලේ ආසාව එතනින් ඉවරයි.අම්මාගේ පෙරැත්ත කිරීමෙන් අක්කගේ බෝතලය මගේ කරට වැටුනා.මම වතුර පාර දිහත් බෝතලේ කෑලි දිහාත් බලන් අහකට උනා.අක්කාට ඔක්කොම දැනුන හින්දද මන්දා මගේ අතින් අල්ල ගත්තා.කොහොම හරි එදා මම ඉස්කෝලේ ගියා.




Comments

  1. දුක් කම් කටොලු බාදක මැඩ ගෙන ඉදිරියටම යන්න ශක්තිය දයිර්ය ළැබේවා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති