හත්දින්නත් තරු


මම හිටියේ බැල්කනි එකට වෙලා නුවර ටවුන් එක දිහා බලාගෙන හිටියේ උණුවට තිබ්බ තේ එක බොන ගමන්. දවල් ඉඳන් තිබ්බ වැස්ස පායලා හින්දා ඈතින් ඈතින් යන්තන් මීදුම වගේ තියෙනවා තැන තැන. අත දිග් කරලා තේ කෝප්පේ අහස දිහාට කලාම දුම් යනවා පේනවා තේ එකෙන්. ඒ දුම් කැරලි හයියෙන් උඩට ගිහින් හුළඟට අහු වෙලා මීදුමට එකතු වෙනවා. මම කල්පනාවේ නිමග්න වෙලා ඉන්න ඒ වෙලාවේ ඇඟ ගැස්සිලා තේ එකෙනුත් ටිකක් බිමට වැටුනේ ප්‍රියන්ති කන් ළඟටම ඇවිත් කතා කරපු හින්දා.

"කන් ඇහෙන්නෙ නැද්ද අනේ. කී පාරක් කතා කලාද ? "
එක අතක් මගේ ඉණ වටේ යවලා අනික් අත පපුවෙන් තියපු ප්‍රියන්ති එයාගේ ඔළුව හෙමිහිට මගෙ උරහිස්සෙන් තිබ්බා. මම බැල්කනියෙ යකඩ වැටට හේත්තු වෙලා තාමත් අහස දිහා බලාගෙන.

"අද ඉන්දික කතා කලානෙ. ඔයාගේ ෆෝන් එක වැඩ කරන්නෙ නෑ කිව්වා.."
මම තේ එක යකඩ වැට උඩින් තියාගෙන ප්‍රියන්ති දිහා බැලුවේ ඒ වෙලාවේ.

"ෂිඃ.. මොකද කිව්වෙ පොර ? මගෙ ෆෝන් එක ඕෆ් උනානේ. තාම බෑග් එකේ. චාර්ජ් කරන්න ඕනේ.."

"ලබන මාසේ ලංකාවට එනවලු. ඇවිත් නුවර එනවලු. අපි ඉන්නවද කියලා අහන්නලු කතා කලේ..මන් කිව්වා ඉතින් ඉන්නවා කියලා. ඔයාට කෝල් එකක් ගන්න කිව්වා එයාට.."

"අහ්. කෝල් කරන්න ඕනේ පස්සෙ. දැන් එහෙට රෑ වෙන්න ඇතිනෙ..චාර්ජ් වෙන්ඩ දාලා එන්නම් ෆෝන් එක.. උයන්න පටන් ගන්නකො. මන් එන්නම්.."

ප්‍රියන්තිගෙ අත අරන් දාපු මම කාමරේට ගියා තේ කෝප්පෙත් අතින් අරගෙනම. ප්‍රියන්ති පහලට බහින අඩි සද්දේ ඇහෙද්දි මම ෆෝන් එක හොයන ගමන්. ඇඳෙන් ඉඳගත්තේ මහන්සි ගතියක් තිබ්බටත් වඩා රටේ ලෝකේ මොනා වෙලාද කියලා බලාගන්න. ඉන්දික තුන්පාරක්ම කතා කරලා. තව කීප දෙනෙක්ම කතා කරලා. ෆෝන් ඕෆ් උනාම තමා ඔක්කොම කතා කරන්නෙ. මන් ෆෝන් එක තියලා. ආයෙම බැල්කනිය පැත්තට ගිහින් ඉඳගත්තේ පැද්දෙන හාන්සි පුටුවේ. දැන් මුළු නුවරම කලුවර වෙලා. ලයිට් එළි තැන තැන මතු වෙනවා. තිබ්බ මීදුම නැති වෙලා ගිහින්. ඈතින්ම ලොකුවට තරුවක් දිලිසෙනවා. සිකුරු වෙන්න ඕනේ. ඒකනේ මුලින්ම පේන්නෙ අහසේ. ඒ දිහා බල බල තේ එක ඉවර හින්දා කෝප්පේ පැත්තකින් තියපු මම ඇල උනා පොඩ්ඩක් පුටුවෙම. 

විනාඩි දහයක් එහෙම්ම හිටපු මට ඇහුනේ ප්‍රියන්ති පහල ඉඳන් කතා කරන එක.

"අනේ ඔයා ඕක අද තනියෙන් කරන්නකො. මට ඇඟට හරි නෑ. වැඩිය කන්නත් බෑ. පොඩි දෙයක් හදන්න.."
පුටුවෙ ඉඳගෙනම කියාගෙන ගියා මම.

මට මතක් උනේ ඉන්දිකව. අපි පහ වසර වෙනකන් ඉගෙන ගත්තේ එකම ඉස්කෝලේ එකම පන්තියෙ. මම ශිෂ්‍යත්වේ පාස් වෙලා වෙන ඉස්කෝලකට යනකන්ම හිටියෙ එකට. ඒ ඉස්කෝලෙට ගිහින්ලත් අවුරුදු ගානක් යනකන්ම කතා කලා මන් එක්ක. අනික් ළමයි අහක බලාගද්දි ඉන්දික තමා හැමදාම කතා කලේ. එක ඉස්කෝලේ හිටියෙ නැතත් දහම් පාසල් ගියේ එකට. දහය වසර වගේ වෙද්දි ඉන්දිකලා ගෙවල් මාරු කරලා මාමලා එක්ක කොළඹ යනකන් දහම් පාසලේදි හම්බුනා හැම සතියකම වගේ. ඊට පස්සේ අවුරුදු ගානක් යනකන් හම්බුනේ නෑ. ආයේ හම්බුනේ මම කොළඹ පැත්තෙ හොස්පිටල් එකේ වැඩ කරන්න පටන් ගද්දි. ඉන්දික මටත් කලින්ම ජොබ් එකක් පටන් අරන් තිබ්බා. සෑහෙන හොඳ දියුණුවක් තිබ්බා. කොහොම හරි දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. බැඳලා බබාලා දෙන්නෙකුත් ඉන්නවා.

මේ සිද්දිය වෙනකොට අපි හිටියෙ හතර වසරේ වෙන්න ඇති. ඉන්ටවල් එකේ සෙල්ලම් කර කර හිටියේ ඉස්කෝලේ පන්තිය ළඟම. ලස්සන ලොකු කොට්ටං ගහක් තිබ්බා කියලා මතකයි. කොට්ටං හැදෙන කාලෙට ගහ වටේම ළමයි. ගල් අරගෙන තලලා කනවා. දම් රතු කොට්ටන් ගෙඩි තලද්දි විසි වෙනවා ඉස්ම ඇඳුම් වලටත් එක්ක. කොට්ටන් තලන ක්‍රමේ හරියට දන්නෙ නැත්තන් ගලක් උඩ තියලා අනික් ගලෙන් ගහද්දි කොට්ටන් ගෙඩිය විසික් වෙලා යනවා සෑහෙන දුර. ආයේ ඒක අහුලන් එද්දි ඒ ගල වෙන ළමයෙක් අරන්. ඊට පස්සේ ඒකට රණ්ඩු වෙන එක තමා කරන්නෙ. සමහර දවස් වල අපේ පන්තියෙ ටීචත් එනවා කොට්ටන් කන්න. එතකොටනම් හොඳම කොට්ටන් ටික තලලා ටීචට දෙනවා හැමෝම. සමහර වෙලාවට ගෑණු ළමයින්ට කොට්ටන් තලලා දෙන්න වෙන්නෙත් අපිටම තමා. ඔහොම දවසක් කොට්ටන් තල තල ඉද්දි තව කොල්ලො ටිකක් සෙල්ලම් කර කර ඉන්නවා ඒ ළඟම. එක පාරටම ළමයෙක් වැටෙන සද්දෙ ඇහුන මම හැරිලා බැලුවා. ඉන්දික කොට්ටන් මුලක පැටලිලා බිමට වැටිලා. මූණයි කටයි ඔක්කොම තුවාල වෙලා. දණහිස්සත් බිම වැදිලා. ළමයි බය වෙලා බලන් ඉන්නවා. අපි ගියා ළඟට. ඉන්දික වැටෙනවත් එක්කම මට ඇහුනේ කවුරු හරි "ආච්ච්යේ..." කියලා කෑගහන සද්දෙ. ඒ සද්දේ වැටුන ඉන්දික නැගිට්ටවන්න යද්දිත් ඇහුනා. නැගිට්ටවලා පන්තියට එක්කන් යද්දිත් ඇහුනා. තුවාලේ හෝඳදිත් ඇහුනා. කොහොමත් වැටිලා ගොඩක් වෙලා යනකන් ඇහුනා. ඒ සද්දෙ ආවේ ඉන්දිකගෙන් කියලා තේරුනේ ටිකක් වෙලා යද්දි. අපි අම්මේ කියනදේට ඇයි ඉන්දික ආච්චියේ කියන්නෙ කියන එක තමා අපේ ළමයින්ට තිබ්බ ලොකුම ප්‍රශ්නේ. ඉන්දික ගැන හැමදේම දන්න මම සද්ද නැතුව හිටියා.

ඉන්දිකගෙ අම්මා නැති උනේ ඉන්දිකට අවුරුද්දක් වෙන්නත් කලින්. තාත්තාත් බීමට හුරු වෙල තිබ්බේ. තාත්තා බීලම නැති උනේ ඉන්දික ඉස්කෝලේ එන්න අවුරුද්දකට කලින්. කොහොමත් අම්මා නැති උන දවසේ ඉඳන් ඉන්දිකව බලා ගත්තේ ආච්චි. අම්මා නැති උන අඩුවක් ඉන්දිකට නොදැනෙන්න ඇති. ඊටත් වඩා අම්මා කියන එක මොන හැඟීමක්ද කියල ඉන්දික දන්නෙත් නැතුව ඇති. නෑකමින් ආච්චි උනාට හරියටම කිව්වොත් ඒ ඉන්දිකගෙ අම්මා. අපි දැක්කාම කට පුරා හිනා වෙන ආච්චි තාමත් ඉන්නවා. මමනම් අන්තිමට දැක්කේ සෑහෙන කාලෙකට කලින්. ඉන්දික හැදුනේ ආච්චියි මාමයි එක්ක.

හිතට දුකක් එන වෙලාවට අපි 'අම්මා' කියන වචනෙ පිටට දාද්දි ඉන්දිකට කියවෙන්නෙ ආච්චි කියලා. ඒ කාලේ ඒක එච්චරම ගානක් නැති උනත් පස්සෙ කීප වතාවක්ම මට ඒක මතක් උනේ හොස්පිටල් එකේ ළමා වාට්ටුවෙ ඉඳ්දි. පොඩි මාස පහේ මල්ලී ළඟ ඉන්න අම්ම ඉන්න ඕනෙ හින්දා ඩෙංගු හැදිලා ආච්ච එක්ක වාට්ටුවේ නතර වෙලා ඉන්න අවුරුදු පහේ ළමයෙක් අම්මා ඉල්ලලා අඬන හැටියි, එහෙම කියද්දි අවුරුදු හැට පහක විතර ආච්චි අම්මගෙ ඇස් වලට කඳුළු ආව හැටියි මට තාම මතකයි. ඒ වගේම අම්මා තාත්තව අත් ඇරලා වෙන කෙනෙක් ළඟට ගියාම බාප්පා වෙච්ච ඒ මනුස්සයා බීලා ඇවිත් අවුරුදු එක හමාරේ පොඩි ළමයගේ අත අඹරලා කඩලා මුල්ලකට විසි කලාම  අම්මා ළමයව ආච්චිට බාරදීලා ඉස්පිරිතාලෙ එවපු හැටිත් මතකයි. ඒ ළමයා ඒත් ඉල්ලුවේ අම්මව. මගෙන් ඇහුවේ අම්මා එනවද කියලා. ආච්චි කඳුලු පුරෝගන ඉඳ්දි මට කියන්න හිතුනෙ උබේ ඒ අම්මට වඩා මේ ආච්චි දාස් ගුණයක් වටිනවා කියලා.

ළමා වාට්ටුවේ එහෙම ඉඳ්දි, අනික වාට්ටු වලත් ඒ වගේම දේවල් උනා. අවුරුදු අසූවකටත් වඩා ආච්ච් නැති වෙච්ච දුකෙන් ජීවිතේ නැති කරගන්න තරම් දුකකින් හිටපු අවුරුදු විසිපහක ගෑණු ළමයෙක් හම්බුනේ කායික රෝග වාට්ටුවෙන්. කවුද දැන් මන් එනකන් හැමදාම ගෙදරට වෙලා බලා ඉන්නෙ කියලා අහද්දි මම උත්තරයක් නැතුව ගොළු උනා.
මේ ඔක්කොම මතක් වෙද්දි කඳුලු බිංදු දෙකක් ඇස් දෙකේම අඟ හිර වෙලා කියලා දැනුනේ එක පාරට පියවි සිහියට ආව මට. කොච්චර වෙලා කල්පනා කර කර හිටියද කියලා මතක නැතිව තාමත් පැද්දෙන හාන්සි පුටුවේ වාඩි වෙලා අහස දිහා බලන් ඉන්නවා මම. කුස්සිය පැත්තෙන් සද්දයක් නැ තාම. මම ෆෝන් එක අරන් ඉන්දිකට මැසේජ් එකක් දැම්මා. කෝල් එකක් පස්සෙ ගන්නවා කියලා හිතා ගෙන නැගිටින්න හැදුවා විතරයි. ප්‍රියන්ති ලී පඩිපෙල නඟින සද්දෙ ඇහිලා පුටුවෙන් නැගිටින්න හදපු මම ආයේ එහෙම්මම හිටියා.

"අහස හරිම පැහැදියි වෙලානේ. වැස්සා කියලවත් හොයන්න බෑ.. "

එතකොටයි මම අහස හරියට දැක්කෙ. මීදුම නැති වෙලා වළාකුලුත් අතුරුදහන් වෙලා තරු පායලා ඔක්කොම. හැම රටාවක් වගේම පේනවා. ප්‍රියන්ති මාව පහු කරලා ගියේ බැල්කනියේ යකඩ වැට ළඟට.

"එන්නකො අනේ. තරු පායලා.. ලස්සනට පේනවා.." 
ප්‍රියන්ති මන් දිහාට අතක් දික් කරලා කිව්වා.මම නැගිටලා ගියා ළඟට. අහස පුරාම ලස්සන තරු රටා පිරිලා. ඉස්සර ඉස්කෝලේ යන කාලේනම් ඒවගෙ නම් ඔක්කොම දන්නවා. දැන් නම් අමතක වෙලා.

"අර තියෙන්නෙ දඩයක්කාරයා නේද ? ..ලොකුවට තියෙන තරු තුන හින්දා හොයාගත්තෑකී.."

"අන්න තව තියෙනවා.." ප්‍රියන්ති පොඩි ළමයෙක් වගේ කියෝනවා. මාත් කියන කියන එක දිහා බලනවා.

"අන්න බලන්න. අර තියෙන තරු ගොඩක තමා කියන්නේ හත්දින්නත් තරු කියලා...ඔයාට තරු කීයක් පේනවද ...?"

නිවි නිවී දැල්ලෙන චූටි තරු ගොඩක් දිහා බලන්න කියල පෙන්නුවා මට. ඒක දිහා බලාගෙන තරු ගනන් කරන්නත් බෑ. එකක් ගනන් කරද්දි තව එකක් මතු වෙනවා. තරු හයක් හරි හතක් හරි පෙනුනා මට.

"ඕකේ තරු හයක් පේනවනම් අවුලක් නෑලු. හතක් පෙනුනොත් ලොකු කරදරයක් වෙනවලු... " කට ඇරගෙනම ඒ දිහා බලාගෙන ප්‍රියන්ති කියෝනවා.

"අම්මෝ ඇති යන්තන් මට පේන්නෙ හයයි.. ඔයත් බලන්නකො අනේ.." ප්‍රියන්ති කියෝනවා.

"හ්ම්ම්.. මටත් හයයි පේන්නෙ. අපිට කරදරයක් වෙන එකක් නෑ.." තරු හරියට ගනන් කරගන්නවත් බැරි උන මම එහෙම කියලා දැම්මෙ වදෙන් බේරෙන්න වගේ.

"අපො ඇති යන්තන්..ඒකත් හරි.. මෙහ් මම වොශ් එකක් දාගෙන එන්නම්. ඇවිත් කමු.."

මගේ අතකින් අල්ලගෙන උරහිස්සට නහය තියලා හාදුවක් දුන්න ප්‍රියන්ති කාමරේට ගියා.
මම ආයෙම තරු දිහා බලන්න ගත්තා. ආයේ හොඳට ගනන් කරලා බැලුවත් මට පෙනුනේ තරු හයක් විතරයි. මම ඒ දිහාම බලන් හිටියා. ඉන්දිකත් මෙහම බලන් ඉන්න ඇතිද. මන් මගෙන්ම ප්‍රශ්න කලා. අම්මයි තාත්තයි නැති වෙන්න කලින් බැලුවනම් තරු හතක් පේන්න ඇති. ඒත් එයාල නැති උනේ පොඩි කාලේ හින්දා ඕවා බලන්න ඉන්දිකට බැරි වෙන්න ඇති. හත්දින්නත් තරුවල තරු හත පේන්නෙ කරදරයක් වෙන්න හදද්දි විතරද. මහා ලොකු කරදරයක් දැනටමත් වෙලා තියෙන අයට පේන්නේ තරු හයද හතද ? මට තිබ්බ ප්‍රශ්න තමා ඒවා. ඉන්දිකට දැන්නම් පේන්නෙ තරු හයක් වෙන්න ඇති. කිසි දෙයක් කරකියාගන්න බැරුව ආච්චිගෙ ආදරේ විතරක් හම්බ උන පොඩි දේටත් ආච්චිව මතක් උන, අම්මගෙ ආදරේ අහිමි වෙලා හිටපු චූටි ඉන්දික ඒ කාලේ අහස බැලුවනම් හත්දින්නත් තරු වල තරු හතක් පේන්න ඇති. එහෙම හිතා ගත්ත මම කාමරේට යන්න හැරුනේ ආයේ පාරක් තරු කීයද කියලා ගනන් කරලා හයක් කියලා ස්ථිර කරගත්තායින් පස්සෙ.



Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය