කරපිංචා


වේලාව හවස හතර පසුවී ගොස්ය. පහළ මළුවේ සක්මන් කරමින් සිටි සෝරත තෙරණුවෝ බුදු කුටිය ඇති ඉහල මාල දෙසට ඇති පඩිපෙල නගින්නට පටන් ගත්තෝය. කුරුළු ජෝඩුවක් ශබ්ද නඟමින් බෝධිය දෙසට පියඹා ගියේය. බිම බලාගනිමින් පඩි හතරක් උඩට නැගි උන්වහන්සේ ඉතිරි පඩි කිහිපයට ඉහල ඇති මළුව දෙස බැලුවේ පන්සලේ සුදු පූසා තෙරණුවෝ එනතුරු බලාසිටිමින් ශබ්දයක් නැගූ නිසාවෙනි. ඌ පඩිපෙලේ අත් වැටේ දැවෙටෙමින් විටෙක මළුව දෙසත් තවත් විටෙක තෙරණුවෝ දෙසත් බලයි. සෝරත තෙරණුවන්ට මෙය පුදුමයක් නොවන නිසා නැවතත් බිම බලා ඉතිරි පඩි කීපය නැග අවසන් කලෝය. උන්වහන්සේ උඩට එත්ම පූසා තෙරණුවන්ගේ කුටිය දෙසට ඇවිදන් යන්න පටන් ගත්තේය.

"ශාන්ත.. උඹටත් ඉතින් වෙන වැඩක් නැහැනේ.. වරෙන් මාත් එක්කම යන් එහෙනම්.." තෙරණුවෝ ඒ සුදු පැහැ විශාල බළලාව එක් අතකින් ගෙන දරුවෙක් හරහට ගන්නා සේ උරයේ තබා ගත්තෝය.
ශාන්ත පන්සලට පැමිණියේ මීට මාස කීපයකට පෙරය. ඒ සමඟ සිටි බැළලී පන්සලේ බල්ලා විසින් මරා දැමූ හෙයින් ශාන්තිනී නම් වූ බැළලී මාස දෙකකට කලින් නැති උනේය. එදා සිට සොරත තෙරණුවන්ගේ දුකටත් සැපටත් සිටියේ මේ බළල් තඩියා වේ. ඌ එන්න එන්නම මසගොබ දමමින් ඇඟ ලොකු වෙන්නේ හාමුදුරුවන්ගේ දානයෙන් වැඩි කොටසක් ඌ අනුභව කරන නිසාවෙනි.

තෙරණුවෝ ශාලාවට යත්ම නැවත බුදු ගෙය දෙස හැරී බැලුවේ ඊට එහායින් ඇති දාන ශාලව දෙසින් ඇසුනු ශබ්දයක් හේතුවෙනි. උන්වහන්සේ බළලා අඩි දෙකක් පමණ ඈතට දමා පාදයක් පිටිපසට තබා බුදු කුටියට හරහා ඈත දාන ශාලාව දෙස විනිවිද බලා ඒ පැත්ටට හැරුනෝය. හාමුදුරුවෝ දෙස දිව එන්නේ දයාවතීය. හිසකේ අවුල් වී ඇත. උඩත් යටත් වැහෙන්න ඇඳුම් පටලන් සිටියත් ඒ සියල්ලත් අවුල් වී ඇත. මොහොතකට අත් දෙක ඉහළට ගෙන විසිරී ඇති කෙස් එකතු කර ගෙඩියක් ලෙස පිටුපසින් බඳින ඈ ඊළඟ මොහොතේදී කඩා වැටෙන්නට යන චීත්තය හරි ගස්සා ගනී. මේ සියල්ල ඈ කරන්නේ පාවහන් නොමැති නිරුවත් දෙපා වැලි මිදුලේ වලවල් හෑරෙන තරමට දිව එන ගමන්ය. තෙරණුවෝ දැන් සම්පූර්ණයෙන් දන ශාලාව දෙසර හැරී ඇති. ශාන්ත තෙරණුවන්ගේ ප්‍රමාදය දැනී තනිවම ඇවිද ගොස් වාසගෙයි ඉදිරිපිට තිබූ හාන්සි පුටුවට නැග සුදුම සුදු බඩ එළියට පෙනෙන සේ තමා ඔලුවත් බිමින් තියා ගත්තේය. දයාවතී දැන් තෙරණුවෝ ළඟ බිම ඇද වැටී ඇත.

" හ්ම්ම්.. සුවපත් වේවා. කෝ නැගිට්ටනම් දැන්..නැගිටලා හෙමින් සීරුවෙ වෙච්ච දේ කියන්නයි තියෙන්නෙ.." හාමුදුරුවෝ හිස අත නොඟා නමුත් ඇඟිලි පහ දික් කල අත දයාවතීගේ හිසට අඩියක් පමණ ඉහලින් තබා ආශීර්වාද කරන ගමන් පැවසුවෝය.

" අනේ හාමුදුරුවනේ මෙහම ආවට සමා වෙන්න ඕනේ. ඉන්න බැරිම තැන තමයි මන් මේ ආවේ.. " දයාවතී තව දුරටත් කඳුලු හෙලනු නොහැකිව වේළුනු ඇස් ඇතිව පැවසුවාය.

" අර මනුස්සයා ආයෙම බීගෙන ඇවිත් හාන්දුරුවනේ. ඔබ වහන්සෙ කිව්ව දේ ගඟට ඉනි කැපුවා වගේ උනේ..සතියක් නොබී හිටියාම මන් හිතුවේ අපේ හොඳ කාලේ ආයේ ආවා කියලා. ඔන්නෙ ආයේ බීගෙන ආවා.."

"මට මේවා කියන්න වෙන කවුරුත් ඇත්තෙත් නැ.."

"එහෙමද ?.. මාත් හිතුවේ ඒ ඇත්තා හොඳ මාර්ගෙකට ගන්න පුළුවන් වෙයි කියලා.. කමක් නෑ අපි ආයෙම සැරයක් කියලා බලමු.." තෙරණුවෝ ඈතින් දාන ශාලවට මෙහායින් ඇති බෝධිය දෙස බලමින් කිව්වෝය.

"දැන් උපාසක ඇත්තිට ගෙදර යන්න පුළුවන් කමක් තියෙනවය ?.. මට පුළුවන් හවසට එන්න ඒ පැත්තේ ආයෙම පාරක්.."

"එහෙමයි හාන්දුරුවනේ. අනේ ඔබ වහන්සේට බුදු බව අත් වෙනවා. අර ළමයි දෙන්නයි මායි විඳින දුක දන්නෙ අපි විතරයි.."

"මන් ගිහිල්ලා එන්නම් එහෙනම් හාමුදුරුවනේ.."

මෙතෙක් වෙලා බිම වැලි පොළොවේ අත් දෙක එක්කාසු කර පපුවට තියාන් හිටිය ඈ අත් දෙක නළලටත් උඩින් තියා ගෙන පසඟ පිහිටුවා තෙරණුවන්ට වැන්දාය. එතැනින් නැගිට අත් දෙකින් චීත්තය හරිගස්සා අඩි තුනක් පස්සට ඒ ඉරියව්වෙන්ම පසුපස නොහැරී ගමන් කලාය. ඒ තෙරණුවන්ට ගෞරව කිරීමට විය යුතුය. තෙරණුවෝ නැවත හැරී ආවාස ගෙය වෙත යද්දිත් අඩිය ඉක්මන් කර යන දයාවතී දාන ශාලාවත් පහු කර ගොස්ය. තෙරණුවෝ එයම ගිහියන්ගේ සහ පැවිද්දන්ගේ අතර වෙනස කියවන බව මොහොතකට සිතීය.

තෙරණුවෝ සංසුන් වූවත් දයාවතී එසේ නැත. මෙය ගිහි පැවිදි වෙනස දක්වන්නක්ද ? කලබල වීම ගිහියන් පමණක් කරන්නක්ද ? දයාවතී කලබල උනෙත් උන්වහන්සේ කලබල නොවී පිළිතුරු දුන්නේත් පැවිදි තමාගේ ඇති උසස් ගුණයක් නිසාද ? තෙරණුවෝ හාන්සි පුටුවේ සිටි බළලා අතට ගෙන එහි හිඳගනිමින් සිතුවෝය.

"දයාවතී කලබල වෙලා තියෙන්නෙ ඒ ඇත්තිට ප්‍රශ්නයක් තිබ්බ නිසා. මම කලබල නොවුනේ මට ප්‍රශ්නයක් තිබ්බේ නැති නිසා. ජයසේනට මම අවවාද කල බව ඇත්ත. නමුත් එය මගේ හිතේ කලබලයක් කරන්න හේතුවක් උනාද ? හේතුවක් වන්නට ඉඩක් තිබුනේ නැද්ද ?ඔහුගේ ඒ නිසරු වී ගිය ජීවිතය නැවත ලබා දෙන්න ගිය මගේ ප්‍රයත්නය අසාර්ථක උනාවත්ද ? එය අසාර්ථක වී ඇත. නමුත් මම කලබලයක් නොවුනේ මගේ තිබූ හික්මීම නිසාවෙන්ද ?.."
තෙරණුවෝ මොහොතකට ඇස් වසා ඒ ගැන කල්පනා කරන්නට වන්නෝය. ගමේ පන්සලේ හාමුදුරුවෝ විදිහට ගමේ පවුලක ප්‍රශ්නයක විසඳීමේදී උන්වහන්සේ අසාර්ථක වූ බව ගැන මොහොතකට කලකිරුනි. නමුත් කලකිරීම කිසිම ආකාරයකට ජීවිතයට උදව්වක් නොකරන බව හැඟී ගිය බැවින් නැවත්තන් ඇස් දෙක දල්වා බුදු ගුණ සිහ කරන්නට විය. අමා මෑණී සම්බුදු රජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය ගැන සිහ කල උන්වහන්සේ මේ සිද්දිය නිසාවෙන් කලකිරීමටවත්, තමන් සිත කිලිටි කරගැනීමත් නොකල යුතු බවත් තමන්ගේ එකම අරමුණ ඒ ගැත්තන්ට උදව් කිරීම පමණක් බවත් තදින් සිතට ගත්තෝය.

සුදු  බළලා තෙරණුවන්ගේ අතින් පැනගොස් බිම දිගා වුනේය. තෙරණූවෝද පුටුවෙන් නැගිට බුදු කුටිය අස් කිරීමට වස් ඒ පැත්තට ගමන් කලෝය. වේලාව හවස හයට ළං වී ඇත. හයට පන්සලේ ටකය ගැසීමට ඇති බැවින් ඊට කලියෙන් බුදු කුටිය පිරිසිදු කිරීම මැනැවියි යැයි උන්වහන්සේට සිතා ගත්තෝය. බුදු ගෙට වන් උන්වහන්සේට කෙලින්ම පෙනුනේ මුලු ලෝකය දෙසම කරුණාවෙන් බලා සිටින බුද්ධ ප්‍රතිමාවයි. මල් ආසනයේ මල් ටික රැගෙන නැවතත් ශාන්ත ගමනින් එලියට විත් මල් ගොඩම සේපාලිකා ගස මුලට දමා පඩිපෙල ළඟ ඇති අරලිය මල් කැඩීමට ගියෝය. තව මොහොතකින් මලුත් රැගෙන බුදු කුටියට ගිය උන්වහන්සේ නැවත එළියට පැමිණියේ ටකය ගැසීමේ අරමුණෙනි. එතෙක් වේලා උන්වහන්සේ ලෝකය ගැනම මෙනෙහි කර මෙත් වැඩියා විය යුතුය.

දයාවතී ජයසේන සමඟ විවාහ වී දැන් අවුරුදු පහලොවක් වේ. දුවක් සහ පුතෙක් සිටින ඇයට හරි හමන් රස්සාවක් නැති අතර ගොවිතැනින් ජීවත් වෙයි. ජයසේන මේසන් බාස් කෙනෙක් වන අතර ඔහු බීමට ඇබ්බැහි වී තිබෙන්නේ දයාවතී සමඟ විවාහ වීමත් පෙරය. දයාවතී පවසා ඇති ආකාරයට ළඟක ඉඳන් ගෙදර රණ්ඩු සරුවල් වැඩි වී ඇත්තෙ ජයසේන දයාවතීගේ පවුලේ උදවියත් සමඟ ඇතිවූ ආරව්වලක් සමඟිනි. එදා සිට ගෙදර රණ්ඩුවක් නොතිබූ දවසක් තිබී ඇත්තේ ඉතාම කලාතුරකිනි. දායාවතීගේ දුව කුසුම්ගේ කොටහළු මඟුල තිබුනු දවසේද නලල ගෙඩි ගැසෙන්නම පාරක් ජයසේනගෙන් කෑ හැටි ඇයට තාම මතකය. ඒ නිසා කුසුම් දකිද්දිත් තමන්ගේ ලේ කෝප උන දවස් තිබූ බව දයාවතී අම්මාට දවසක් කියා තිබුනි.

තෙරණුවෝ දායකයෙක් ගෙනත් තැබූ ගිලන්පස වළදා ළිඳට ගොස් මුහුණ සෝදා අලුත් සිවුරක් හැද ගත්තෝය. ඉන්පසු පන්සලෙන් එළියට බට උන්වහන්සේ පන්සල් පාරේ පහළට විත් කුඹුරු යාය මැද්දෙන් වූ පාරට පැමිණ දයාවතීගෙ නිවස දෙසට සක්මන් කලෝය. මිනිත්තු කිහිපයක් යන්නටත් මත්තෙන් දයාවතීගේ නිවස පෙනන මානයට පැමිණියෝය. තෙරණුවෝ සෙමින් පාද තබමින් තමන්ට අඩි දෙකක් පමණක් දුර බලම්න් ශාන්ත ගමනින් වඩිති. කුඹුරේ ඈත කෙලවරේ සිටින්නෙකු එය ඇවිදීමක් නොවන බවත් පොළොවේ පාවී යාමක් බවත් ලෙස සිතුවහොත් එහි වැරැද්දක් නැත. ඒ සන්සුන් ගමන නිසා කුරා කූඹියෙකුටවත් උපද්‍යවයක් නොවන බව උන්වහන්සේ වුවද දනී. තෙරණුවන්ගේ දැහැන නොබිදුනත් සවන් වලට ඇසුනේ ජයසේනගේ කෑගැසීම් හඬයි. ඒ හඬ පැමිනෙන්නේ දකුණු පසින් අඩි පනහක පමණ දුරිනි. දයාවතීගේ ශබ්දයක් නොමැත. ජයසේනගේ ශබ්දය පරදවා උන්වහන්සේට ඉහළින් ගමන් කරන කොක් රැලක් ශබ්ද නංවමින් පියාසර කලේය. මොහොතක් නැවතී ඒ දෙස බැලූ උන්වහන්සේගේ මුවඟට සිනහවක් නැඟුනු අතර නැවතත් බිම බලාගත් තෙරණුවෝ දයාවතීගේ නිවසට සුපුරුදු ගමනින් ළඟා වුනෝය.

ජයසේන දවසේ වැඩ අවසන්ව බීගෙන ගෙදර ඇවිදින් ඇත. නිවස ඉදිරිපිට කිසිවෙකු පේන්න නොමැත. මිදුල පොල් අත්තේ හැඩයෙන් අතුගා තිබේ. සමහර දිනවල දයාවතී පන්සල් මිදුලද මෙලෙස පොල් අතු රටාවට අමදිනු ළබයි. ගෙදර වට පිටාවද ලස්සනය. සෑම ස්ථානයකට මොනවා හෝ සිටවා තිබේ. ගෙදරට දකුණු පැත්තේ කුඩා බුදු කුටියක් ඇති අතර එය සාදා ඇත්තේ ජයසේන විය යුතුය. ජයසේනගේ කටහඬ ඇසෙන්නේ නිවසේ පිටුපසිනි. තෙරණුවෝ නිවසේ යම් කෙනෙක්ට කතා කරනු වස් නිවසේ දොර දෙසට වඩිත්ම දායාවතී කුස්සිය දෙස සිට ඉදිරිපිටට පැමිණියේය.

"අනේ හාමුදුරුවෝ වැඩලත් එක්ක.. මන් විහගට එන්නම් හාමුදුරුවනේ... "

ඇය කලබලෙන්ම කාමරයට රිංගුවේ සුදු රෙද්දක් ගෙන ඒමටය. සුදු රෙද්ද ගෙනැවිත් පුටුවක එලූ ඈ දරුවන්ට කෑ මොර ගැසුවේ ඇවිත් හාමුදුරුවන්ට වැද ආශීර්වාද ලබා ගන්නා ලෙසිනි.

"අදත් ඔන්න බීගෙන ඉන්නවා හාමුදුරුවනේ. මන් හිතුවෙ අදවත් ඔය ජහජරාව කටේ නොතියා එයි කියලා..හාන්දුරුවන්ට කතා කරන්න බැරි වෙයිදත් මන්දා.." දයාවතී ඉතා යටහත් පහත්ව පැවසුවේ කොන්දත් ඔලුවත් යන්තමින් නවා ගෙනය.

"ඒකට කමක් නෑ උපසාක ඇත්ති.. අපි උත්සාහයක් දාලා බලමු.. " තෙරණුවෝ ඉතා පහත් ස්වරයකින් පැවසුවෝය.

"එන්ඩ කිව්වනම් ජයසේන උපාසක මහත්තයට.."
තෙරණුවෝ එසේ පවසා දරුවන් දෙදෙනා සමඟට කතා කිරීමට පටන් ගත්තහ. ඒ අතරේදී ජයසේන කුස්සියේ සිට පැමිණ යටහත් පහත්ව තෙරණුවන්ටද වැද අඩි පහකටත් එහායින් සිට ගත්තේය. ඒ කසිප්පු ගඳ හාමුදුරුවන්ට ඇසේවී යැයි සිතාය. දැනටමත් ගඳ නහයට දැනුනත් ඒ ගැන වචනයකදු නොපවසා තෙරණුවෝ ජයසේනට කතා කරන්නට පටන් ගත්තෝය.

"එදා අපි කතා කරගත්ත විදිහට උපාසක මහත්තයා සතියක් විතරම හිටියා කියලා ආරන්චියි. බොහෝම හොඳයි. මහත්තයට යම්කිසි වෙනසක් තේරුනෙයි..?

"එහෙමයි හාමුදුරුවනේ.."

"බොහොම හොඳයි..එහෙම ඉන්ට උත්සාහ කිරීමත් හරිම අපහසු දෙයක්නෙ මහත්තයො.."

"මන් ඉතින් එහෙම හිටියා ඔබ වහන්සේ කිව්ව විදිහට. ඒත් අපේ මේ උන් එක්ක එහෙම ඉන්ඩ බෑ හාමුදුරුවනේ. කොච්චර හොඳින් හිටියත් ආයෙම අවුස්සනවා මාව.."

"මේ ඇත්තියි, දරුවනුයි අසරණ වෙලානේ හිටියෙ මහත්තයො..ඉතින් පොඩ්ඩක් ඉවසීම තමා ඕනේ වෙන්නෙ.." තෙරණුවෝ පවුලේ සැම දෙස නෙත් යොමා පැවසුවෝය.

"අපි මොනවා අවුස්සන්නද හාන්දුරුවනේ. මේකට තමා ආයේ ඔය වහ බොන්න පටන් ගත්තේ. මාත් ගොවිතැනක් බතල් කරන් හිටියෙ නැත්තන් පස් තමා කන්න වෙන්නෙ.."  දයාවතී කියාගෙන කියාගෙන ගියේ කේන්තියත් සමඟිනි.

"අර ගමේ මිනිස්සු අගේට ඉන්නවා. මේ මනුස්සයට තමා බැරි.

"උබලත් එක්ක ඉන්න පුළුවනෑ..ගෑනියෙක් නෙමේ උබත් යකින්න වගේ.."

"යකින්න වගේ හිටියෙ නැත්තන් බලාගන්න තිබ්බා ඉන්න හැටි. මේ ළමයි හිටියෙ නැත්තන් කියා දෙනවා ඔහේගෙ කෙරුවාව.."

"මොකක්ද ගෑනියෙ මගෙ කෙරුවාව..කියපන් බලන්න ඇහෙන්න ඔක්කොටම..."

ජයසේන හිටි තැනින් අඩි දෙකක් දයාවතී දෙසට ගොස් නැවතී ඇඟිල්ල දිගු කොට බනින්න පටන් ගත්තේය. දයාවතීද එකට එක කෑගැසුවේ හාමුදුරුවන් ලඟක නැත්තා සේ සිතාය. තත්ත්වය උණුසුම් වීගෙන යන්නට පටන් ගත් අතර දරුවන් දෙදෙනා සාලේ මුල්ලකට ගියේය. තෙරණුවෝ සන්සුන් වෙන බව පැවසුවත් ජයසේන තෙරණුවන්ටත් බැන වදින බවක් උන්වහන්සේට ඇසුනි. වාහ් ප්‍රහාර ගුටි බැටයකට පෙරලෙන බවක් දක්නට ලැබුනි. කාමරයේ දොර සමීපයේ සිටි දයාවතීගෙ කෙස් වල්ලෙන් ඇදගත් ජයසේන දොර රෙද්දද කඩා දමමින් කාමරයට ඇද ගෙන ගියේය. දයාවතී යටි ගිරියෙන් කෑ ගසන අතර දරුවන් දෙදෙනාද දිවවිත් කෑගසයි. තෙරණුවෝ දැනටමත් පුටුවෙන් නැගිට අවසානය. කෙතරම් තදින් උස් හඬින් කෑගැසුවත් ජයසේන නවත්තන්නේම නැත. තෙරණුවෝ මහා කරුණාව පෙරදැඩි කර ගෙන ඉදිරියට යන්නට පටන් ගත්තෝය.

දයාවතී බිම වැටී දඟලන අතර ජයසේන ඇඟ උඩ ඉඳ ගෙල මිරිකාගෙන සිටී. තෙරණුවන්ගේ වචන ජයසේනට ඇසෙන්නේ නැත. උන්වහන්සේ ඉදිරියට ගොස ජයසේන පස්සට ඇදීමට උත්සාහ කලෝය.

"අනේ පලයන් හාමුදුරුවෝ යන්න. මගෙ යකා අවුස්සන්නෙ නැතුව.."

එසේ කියූවත් තෙරණුවන් උත්සාහය අත්නොහළ බැවින් දයාවතී ගේ ගෙල අත්හල ජයසේන තම දෙසට නැමී තමාව පසුපසට අදින තෙරණුවන් දෙස තම දකුණත දිගු කර ඉතා ප්‍රබල පහරක් එල්ල කලේය. පහර කෑ තෙරණුවෝ කැරකී විසිවී ගොස් කාමරේ දොරෙහි වැදී බිම පතිත වුණෝය. ජයසේන දයාවතී අත්හළ අතර දයාවතී නැගිට සිටියේයා. දරුවන් දෙදෙනා තුෂ්ණින්භූතව සියල්ල දෙස බලා සිටියි.

"මොන අපරාධයක්ද මිනිහෝ මේ කලේ...දෙයියන්ට ඔප්පු වෙච්චාවේ.."

"තොගෙ වැඩ වලට අපි ලෝකේ හෑමෝම පලිද.."

"තෝ වගේ අමනුස්සයෙක් මන් දැකලා නෑ මේ තුන් ලෝකෙවත්.."

අඹුසැමි දෙදෙන සිහි නැතී වැටී සිටින තෙරණුවන්ව උස්සාගෙන කබල් පුටු සැටියේ දිගා කරන ලදී. දයාවතීගේ අණින් කුසුම් ගොස් වතුර ගෙන තෙරණුවන්ගේ මුහුණට ඉසින ලදී. තෙරණුවෝ වැටීගත් වනම සිටිති. උන්වහන්සේගේ දකුණු ඇසට ලේ බැස ඇති බව ලයිට් එලියෙන් පෙනෙයි. මුහුණේ අනිත් පැත්තද සීරී ඇත. කෙස්වෙ වූවද තත්පර කිහිපයක් යන්නට මත්තෙන් තෙරණුවෝ පියවි සිහියට පැමිණියෝය. ජයසේන බය වී හිටගෙනම සිටින අතර දයාවතී තෙරණුවන් සමීපයේ හිඳගෙන සිටියි. තෙරණුවන් කතා කිරීමට පටන් ගැනීමත් සමඟ හීයක වේගයෙන් දයාවතී නැගී එකත් පසව සිටියාය. ජයසේන බයාදු පෙනුම පෙරදැඩි කරන් සමාව අයදින්නට බලාගෙන සිටියේය. දරුවන් මේ සියල්ල බලාගෙන බයෙන් ගැහෙමින් නැවතත් සාලේ මුල්ලට ගියේය.

තෙරණුවන්ව පන්සලට නැවත ඇරලීමට ජයසේන ඇතුලු හතර දෙනාම පැමිණියේය. ජයසේන ඔහු විසින්ම උණු අළු සකසා තෙරණුවන්ගේ තඩිස්සි උනු මුහුණ තැව්වේය. දයාවතී නිවසේ තිබූ කොත්තමල්ලි තම්බා ගෙනත් දුන්නාය. වේලාව රෑ නමයටත් ආසන්න වී තිබේ. නැවතත් උදේම එන බවත් ජයසේනගේ පහරක් නිසා මෙය සිදුවූ බව ගමේ කිසිවෙකුට නොපවසන බවට හාමුදුරුවන්ට වැඳ පවසා සහතික කරගත් දයාවතී නැවතත් පසඟ පිහිටුවා වැඳ වැටුනේය. පසුව සියල්ලෝම නිවසට ගිය අතර තෙරණුවෝ සුදු පැහැති ළොම් ඇති තඩි බළලාත් කළු ළොම් ඇති බල්ලාත් සමඟ පන්සලේ තනි වූහ. තම මුහුණ වේදනාවෙන් ඇදුම් කන බව උන්වහන්සේට දැනුනත් ඒ වේදනාව වේදනාවක් ලෙස සිතට නොගන්නට උන්වහන්සේ උත්සාහ කලේය. එසේ නොමැතිනම් එය වෛරයකට පත් වන බව උන්වහන්සේ මතක් කලේය. එදා දවසේ නින්දට යෑමට තරමක් ප්‍රමාද වූවද වෙන දවස් වල මෙන්ම පැය හතරක නින්ද ඒ ලෙසටම ලබා ගන්නට උන්වහන්සේට හැකි විය.

පසුදා උදැසනම හයටත් කලියෙන් දයාවතී නැවත පන්සලට පැමිණියේ සුපුරුදු කලබලයත් සමඟය. ඇයට වැඩියෙන්ම වුවමනාව වූයේ කාටත් හොරෙන් හීල දානයටත් කලියෙන් හාමුදුරුවන්ව මුණ ගැසීමටය. ඇය නැවතත් කොත්තමල්ලී තම්බා ගෙන ඇවිත් තිබේ. හාමුදුරුවන් නිදි ඇති කියා සිතුවත් උන්වහන්සේ  ඒ වේලාවේදිත් අවදිව මිදුලේ සක්මන් කරමින් සිටියේය. ඇය තෙරණුවනට වැඳ එකත් පසව සිට ගත්තාය.

"අනේ හාන්දුරුවනේ. තාම අඩුවක් නෑනේ. ඔබ වහන්සේට දකුණු ඇහෙන් පේනවද .."

"පෙනීමෙනම් එහෙමයි කියලා අඩුවක් නෑ උපාසක ඇත්ති..පොඩි වේදනාවක්නම් තියෙනවා වගේ දැනෙනවා. කාරී නෑ. ඒක හරියාවී.."

"ඌ අපායට යනවා හාමුදුරුවනේ. මම ඒක දන්නවා. රහතන් වහන්සේ වගේ ඉන්න ඔබ වහන්සේට හානි කල ඌ අපායේ යනවමයි..."

"ඒ ඇත්තෝ කරපු දේ ඒ ඇත්තෝ අරන් යාවී. මගේ හිතේ වෛරයක් නෑ.. කොත්තමල්ලී එක තියලා ආවනම්.. බොහොම පින්..."

"මට මොන පින්ද හාමුදුරුවනේ.. ඔබ වහන්සේව මේ වැඩේට සම්බන්ද කරලා මාත් පව් පුරෝ ගත්තා.."

"චේතනාවයි වැදගත් වෙන්නෙ කියලයි බුදුහාමුදරුවො කියලා තියෙන්නෙ කියලා ඔය ඇත්ති දන්නවනේ. ඒ හින්දා ඒ ගැන දුකක් වදයක් ඇති කරගන්න එපා.."

"ටවුමේ ඩිපැන්සරියට යමුද හාමුදුරුවනේ..? මම හීල් දානේ ඉවර උන ගමන්ම එන්නම්.."

"මොකට කරදර වෙනවද.. ඔය කොත්තමල්ලි ටික බිව්වාම හරි යයි.. ඇස්නම් දැන් කොහොමත් පේන එක අඩුයිනේ.."

"එහෙම බෑ මන් එන්නම්.."

දයාවතී කොත්තමල්ලී බඳුන මේසයක් උඩින් තබා තෙරණුවන්ට වැඳ දාන ශාලාව දෙසට ගොස් නොපෙනී ගියාය. තෙරණුවෝ හයට ටකය ගැසීම සඳහා ඒ දෙසට ඇවිද ගියෝය.

දයාවතී ත්‍රීවීලයකින් පන්සලට පැමිණියේ ජයසේනත් සමඟය. ඒ හීල් දානය දීමට පැමිණි පිරිස පන්සලෙන් පිටත් වී මඳ වේලාවකින්ය. ඉතාම දැඩි පෙරැත්ත කිරීමකින් පසුව තෙරණුවෝ බෙහෙත් ගැනීමට ‍යාමට කැමත්ත ප්‍රකාශ කළහ. තෙරණුවන්ට පසුව ත්‍රීවීලයට නැගි ජයසේන අත දයාවතී මෙතෙක් වේලා උණ්ඩි කර තබාගත් යමක් තැබුවේය. දයාවති පයින් යන බව දැන්වූ අතර ත්‍රීවීලය පන්සල් භූමියෙන් පිටව යන තෙක් එක තැනටම වී සිටි ඈ පසුව නිවස බලා පිටත්ව ගියාය. ඇය නිවසට යද්දී කුසුම් මිදුල අතු ගාමිනි සිටියාය. දයාවතී මිදුලට පය තැබුවේ කුසුම්ට කතා කරමිනි.

"කෝ උඹ දාගත්තද ?.."

"නෑ තාම මට තේරෙන්නෙ නෑ.."

"හ්ම්ම් වරෙන් එහෙනම් අත්තක් කඩාගෙන.."
"හා එහෙනම්.."

ඉදල බිත්තියට හේත්තු කළ කුසුම් සුකුමල ගමනින් පිළිකන්න දෙසට ඇවිදන් ගියාය. විනාඩි දෙකක් යන්නට මත්තෙන් ඇය නැවත මිදුලට පැමිණියාය.

"පහළ තැනින් තමා හැමවෙලේම වතුර බහින්නෙ..කොහෙන් යන කරදරද මේවා..උබලෑ තාත්තා අමනුස්සයෙක් බන්.. අපිට හරියන්නෙ නැතැයි කවදා හරි.." ඉදිරි දොරළග වාඩී වී සිටි දයාවතී කුසුම්ට ඉඳගන්නැයි පවසනවාත් සමඟ කියෙව්වේය.

"මන් උබට ඕක ඉක්මනට බේරලා දෙන්නම්. ඉඳගනින්. දීපන් ඔය අත්ත.."

කුසුම් කොළ අයින් කරපු කරපිංචා නැටි දෙකක් දයාවතීට දී කනක් ඇය දෙසට හැරෙව්වාය. කරපිංචා නැට්ට කරාබු හිලෙන් ගමන් කරද්දී "ඌයි" යැයි ශබ්දයක් කුසුම්ගෙන් පැන නැගුනි.




Comments

Post a Comment

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය