ඇයි උඹ යකෙක් උනේ

- ඇයි උඹ යකෙක් උනේ -

කැම්පස් එන්න කලින්ම 
උඹ ගැන ඇහිලා තිබ්බා
හිතුවේ නෑ උඹ
මෙච්චර ලස්සනයි කියලා
මෙච්චර හැඩකාරයි කියලා

උඹ කළු උනාට 
ඒ කළුත් හරි ලස්සනයි
උඹේ හයිය
නෑ කා ගාවවත්

ආදර රහස් කොඳුරලා කියද්දි
ඇහුනේ නෑ වගේ හිටියට
උඹ හිනා වෙන්න ඇති
උත්තර ටික හිර කරන්
තද අරන් ඉන්න ඇති

උඹ සසල වෙද්දි 
අපිට උනේ අයින් වෙන්න
උබ නිසල වෙද්දි
අපට දුන්නේ ඉඩක් යන්න

ආපු දවස් වල තිබ්බ
පොඩි ෆෝන් එකෙන් උනත්
අපිට ඕනේ උනේ
උඹව ෆොටෝ එකට ගන්න
ඒවා හරි ලස්සනයි 
කොයි පැත්තට බැලුවත්

ආදරවන්තයෝ ඇවිත් යනවා
සමහරු උන් දිහා බලන් යනවා
තවත් උන් අහක බලනවා
ඒත් උඹට මේ හැමදේම පේනවා

ඇයි උඹ යකෙක් උනේ
උඹ කළුයි තමා
හරි දැවැන්තයි
හරි හයියයි
එහෙම උනාම යකෙක් වෙනවද

අද කුරුළු ජෝඩුවක් ඇවිත් 
හෙට තනි කුරුල්ලෙක් එනවා
අනිද්දා උබට බිලි වෙනවා
අන්න එදාට මිනිස්සු කියනවා
යකා කුරුල්ලව බිලි අරන් කියලා

ඔහොමද උඹ යකෙක් උනේ
කාගෙවත් වරදට
කාගෙවත් පවකටද

ඇයි උඹ ගොළු උනේ
කතා කරපන්, අවදි වෙලා කියපන්
"මම නෙමෙයි වැරදිකරු"
"මම නෙමෙයි යක්ෂයා"
"මම නිර්දෝශියි"
"මම නිවැරදියි"

ඒත් එදාටත් මිනිස්සු කියයි
"අන්න යකෙක් කතා කරනවා"
උඹට වරද පැටවිලා ඉවරයි
කාගෙවත් වරදකට
කාගෙවත් පවකට
උඹ අපිට යකා වෙලා ඉවරයි


Comments

Post a Comment

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය