රතු කිරිබත්

ළියෙ වහිනවා හොඳටම. ටිකක් විතර දියසෙවෙල් බැඳුනු කාලෙත් එක්කම පරණ වෙලා ගිය වීදුරු දාපු ජනෙල් පියනෙන් යන්තන් එළියෙ වතුර බිංදු වැටෙනවා පේනවා. ඇඳට වෙලා කොට්ටෙ බිත්තියට හේත්තු කරන් අත් දෙක එකතු කරලා ඔළුවට පිටිපස්සෙන් තියන් මම ඔහේ බලාගෙන ඉන්නවා. රස්නයක් නැති උනත් සීලිං ෆෑන් එක හෙමිහිට කැරකෙනවා. මම එහෙම්ම ඇඳෙන් නැගිටලා ගියෙ ජනේලෙ ගාවට. ජනෙල් දෙක ඇරලා එළිය බලනකොට තමා දැක්කෙ හිතනවට වඩා ලොකු වැස්සක් තමා වහින්නේ කියලා. දෙවැනි තට්ටුවෙ ඉන්න හින්දා හුළං එක්කම වැහි බිංදු එනවා කාමරේට. මම මූණට වැටුන වතුර බිංදු දෙක තුනක් අතින් පිහදැම්මෙ පොඩ්ඩක් සීතල දැනුන හින්දා. කට කට ගාලා සද්දේ දාන ෆෑන් එකත් ඕෆ් කරලා මම ලෑස්ති වෙන්න ගත්තේ වාට්ටුවට යන්න.

මේ පාර අප්‍රේල් අළුත් අවුරුද්දට වාට්ටුවෙ නතර  වෙන්න උනේ මට. ගෙදර යන්න ඕනේ කමක් තිබ්බත් අවුරුදු ඕන තරම් මග ඇරිලා තියෙන හින්දා බෑ නොකියා නැවතුනා මේ පාරත්. මම ලැහැස්ති වෙලා නලාවත් කරේ දාගෙන බැස්සේ පහළට. මඟක් යද්දි තමා කුඩේ මතක් උනේ. ආයෙමත් ඒකත් අරන් වැස්සෙම එළියට අඩිය තිබ්බා. පොඩි පොඩි වතුර පාරවල් එකතු වෙලා ලොකු වතුර පාරවල් වෙලා බහිනවා පහළට. ඔක්කොම් වතුර එන්නේ වෛද්‍ය නිවාස වලට එහා පොඩ්ඩක් කන්ද වගේ තියෙන පැත්තෙන්. වතුර ඔක්කොම මඩ පාටයි. කන්දත් නාය යයිද කියලා හිතුනේ වතුර පාර කොච්චර මඩද කියලා දකිද්දි. එහෙම ලේසියෙන් නාය යන එකක් නෑ කියලා කියාන හිත සනසපු මම වතුරෙන් වැහිලා නැති උස් තැන් වලට විතරක් අඩි තිය තියා පැනගෙන යන්තන් ආවා වහළයක් තියෙන කොරිඩෝවකට. කුඩේ අකුලගෙන එක අතකට ගත්ත මම ඉස්සහරටම ගියා ඇවිදගෙන. වැස්ස හින්දා කවුරුත් නෑ පේන්න.

මගෙ වාට්ටුවට යන්න තිබ්බේ ළමා වාට්ටුව ළඟින්. කොරිඩෝවක දෙපැත්තෙ වාට්ටු දෙක. වෙනදට වාට්ටුව ඉස්සරහ ළමයින්ට වඩා අම්මලා පිරෙන්න හිටියත්, අද පේන්න නෑ කවුරුත්. ඔක්කොම අවුරුද්දට ගෙදර ගිහින්. වෙනදා වාට්ටුවෙන් ඇහෙන ළමයි කෑගහන සද්දෙත් නැහැ. වැස්ස හින්දා ඉන්න ළමයි ටිකත් නිදි ඇති. තව ටිකක් හිමිහිට ඇවිදන් යනකොට දැක්කෙ කොරිඩෝව අයිනේ ඉඳන් වාට්ටුවට එහා තියෙන මැද මිදුලට වහලෙන් වතුර වැටෙනවා බලන පොඩි ළමයි දෙන්නෙක්. එක්කෙනෙක් ඉඳගෙන, අනිත් කෙනා හිටගෙන. ඉන්න විදිහට පෙනුනේ දෙන්නම ලඟින් යන වතුරට කඩදාසි ඔරු දාලා බලන් ඉන්නවා කියලා. මම ළඟට යද්දි දෙන්නම හැරිලා බැලුවා මන් දිහා. දෙන්නගෙන බෙල්ල ළඟට බටයක් දාලා රෙදි වලින් ගැට ගහලා. වකුගඩු වල ප්‍රශ්න හින්දා ලේ පිරිසිදු කරන්න තමා එහෙම දාලා තියෙන්නේ. මට ඒක තේරුනාට ළමයි දෙන්නාට මොනවා තේරෙනවද කියලා හිතුනෙ මේ අවුරුදු කටේවත් ගෙදර යන්න පුළුවන්කමක් නැති බව දැන දැනත් හිනා වෙලා සතුටින් ඉන්න විදිහ දැක්කාම. මම නැවතිලා පොඩ්ඩක් හිනා වෙලා ඉස්සරහට යන්න පටන් ගත්තේ මම දෙන්නව හොරෙන් අරන් යයි කියලා බය වෙලා වගේ අම්මා එළියට ඇවිත් බලපු හින්දා.

ඒ හරියටම අප්‍රේල් දහතුන් වෙනිදා. අළුත් අවුරුද්ද ලබන්න තිබ්බෙ එදා රෑ අටකුත් ගානකට. ඕන තරම් වෙලාව තිබ්බා ඒකටනම්. බෑග් එකයි කුඩෙයි පැත්තකින් තියලා මම කෙලින්ම පටන් ගත්තෙ වෝඩ් රවුන්ඩ් එක කරන්න. නර්ස්ටත් හිනා වෙලා එන්න කියලා නර්ස් එනකන් මම වෝඩ් එක මැද්දෙ හිටගෙන පටන් ගත්තා හිතින්ම ලෙඩ්ඩු කීයක් ඉන්නවද කියලා ගනන් කරන්න. සතියක ඉඳන් පටන් අරන් වාට්ටුව හිස් කරන්න හැදුවත් අවුරුද්ද වට්ටුවෙම සමරන්න ආසාවෙන්ම හිටියා වගේ  මේ පාරත් දහයකට වඩා ගානක් හිටියා. වෙලාව දෙක පහු උනා විතරයි. ඒත් ඔක්කොම ටික රෙදි පොරවන් නිදි. ඇහැරවන්න ලෝබ හිතුනත් කරන්නම දෙයක් නැති හින්දා වෝඩ් එකටම ඇහෙන්න කෑගැහුවා කට්ටියම නැගිටින්න කියලා. ගෑණු වාට්ටුවෙන් පටන් ගත්තෙ එයාලා කියන කතා ටික අහගෙන හිමින් සීරුවෙ පිරිමි වාට්ටුවට යන්න. ඇඳෙන් ඇඳට යන මට කවුරුත් කිව්වෙ නෑ ගෙදර යන්න ඕනෙ කියලා. ඒ අයත් දන්නවා ඇති නිරෝගිබව හැම එකට වඩා වැදගත් කියලා.

අන්තිම ඇඳට ඇඳන් තුනකට විතර කලින් හිටියෙ කකුලෙ තුවාලයක් තියෙන වයස 80ක විතර ආච්චි කෙනෙක්. ලඟට එන්න සෑහෙන වෙලාවක ඉඳන් නැගිටලා ඉන්නවා දැක්කා මම. ළඟට ගියාම තමා කතා කරන්න පටන් ගත්තේ. අවුරුද්දට ගෙදර යන්නෙ නැද්ද ඇහුවාම කිව්ව එකම දේ තමා තුවාලේ හොඳ කරන් මිසක් යන්නේ නෑ කියලා. කතා කරන ගමන් දැක්කේ රතු හාලෙන් හදපු කිරිබත් කැට දෙකක් පිඟානක දාලා වහලා තියෙනවා. උඩ පිඟන එහෙ මෙහෙ වෙලා හින්දා හොඳට පේනවා කිරිබත් ටික ළුණුමිරිස් එක්කම. සීනී තියෙන හින්දා රතු හාලෙන් කිරිබත් හදන්න ඇති. අම්මා ඉන්න කාලෙ රතු හාල් කිරිබත් කෑවනේ කියලා මතක් උනේ ඒක දැක්කාම. ආච්චිගෙ තුවාලේ දැක්කාම ඒකනම් ඉක්මනට හොඳ කරන්න බැරිබව දැනුනත් හිත පොඩ්ඩක් සනසන්න රතු හාල් කිරිබත් ගැනත් කතා කලා පොඩ්ඩක්. මම ඒ ඇඳෙන් එහාට යද්දි පිඟානක් එහෙ මෙහෙ වෙන සද්දෙ ඇහුනේ ආච්චි අම්මා කිරිබත් කන්න පටන් ගත්ත හින්දා වෙන්න ඕනේ. මම ඉක්මනට අනිත් ලෙඩ්ඩු දෙන්නත් බලලා පිරිමි වාට්ටුවට යන්න පටන් ගත්තා. වාට්ටු දෙක අතර මැද්දෙ පාපිස්සක හැමදාම ඉන්න පූසා නිදි.ගෙදර සුදු පූසත් එහෙම්මයි. ඌනම් මේ වගේ නම් හැඩරුව. සුදුම සුදුයි ඇඟ. නැට්ටයි කන් දෙකයි විතරක් කලුයි. උට නිදා ගන්න තැනක් නොතැනක් නෑ. ඇස් පියාගන්න එක විතරයි. සතියකට කලින් සුදු පූසා මැරුනා කියලා ගෙදරට කෝල් කරපු වෙලේ අක්කා කිව්වා. තාම හිතා ගන්න බෑ ඌ අපිව දාලා ගිහින් කියලා. මම යන ගමන්ම පොඩ්ඩක් නැමිලා පූසාගෙ ඔළුව අත ගාලා ගියා ඉස්සරහට.

පිරිමි වාට්ටුවත් ඉක්මනට ඉවර කරලා ආයෙම සුපුරුදු පාරෙම යන්න ගියේ කාමරේට යන්න. ළමා වාට්ටුව ළඟින් යද්දි ආයේම කලින් හිටිය ළමයි දෙන්නම ඉන්නවා ඉස්සරහා බංකුවට ඉඳගෙන. දෙන්නම ලස්සන අළුත් ඇඳුම් දෙකක් ඇඳගෙන. එක්කෙනෙක් රතු පාට කමිසයක් ඇඳලා. අනිත් කෙනා රතු පාට ගවුමක් ඇඳලා. දෙන්නා හිටියේ කලින්ටත් වඩා සතුටින්. අතේ තිබ්බේ කැවුම් ගෙඩි දෙකක්. බංකුවට වෙලා බිම ගෑවෙන්නත් දිග මදි කකුල් වන වන හිනා වෙවී කැවුම් කකා ඉන්නවා දෙන්නා. මම අත වනලා හිනා වෙලා ඇවිදන් ගියා. පොඩ්ඩක් නැවතිලා කතා කරන්න හිතුනත් මාව දැකලා බය වෙයි කියලා මොකුත්ම කිව්වේ නෑ මම. වැස්සත් පායලා හොඳටම. අම්මා හිටියේ නෑ එවෙලෙනම්. වාට්ටුව ඇතුලෙ ඇති.

එනකොට වතුර පිරිලා තිබ්බ පාරවල් වල දැන් වතුර තියෙන්නේ වාහන ගිහින් හෑරුන වලවල් වල විතරයි. ඒත් මඩ තියෙනවා හැමතැනම. ඒ හින්දා ආයෙමත් පැනලා පැනලා යන්න උනේ උස් තැන් වලටයි ගල් වලටයි අඩිය තියලා. කාමරේට ගියපු මම ජනෙල් දෙක ඇරියේ ෆෑන් එකේ සද්දෙට කැමති නැති හින්දා හුළං ටිකක් කාමරේට එන්නත් එක්ක. ඊට එහා පැත්තෙන් පොඩ් කන්ද වගේ තියෙන හරිය දැකලා මටම හිනා ගියේ, නාය ගිහින් නෑනේ කියලා මතක් උනාම. සීතලේම නාගෙන වතුර රත් කරලා තේ එකකුත් හදාගෙන ආවෙ මම ඇඳට. නිකන් ඉන්න ගමන් කියවන්න ගෙනාව පොතක් අතට ගත්ත මම තේ එක ඇඳ ළඟ තිබ්බ පොඩි බංකුවේ තිබ්බා. පොත රුසියානූ කෙටි කතා තියෙන මම ආසම පොතක්. පිට කවරය රතු පාටයි. කළු පාටින් මොකක්ද ඇඳලා නම ගහලා තියේ. මම පිට කවරය දිහා ටිකක් බලන් හිටියා. ඒ පාට කොහෙදි හරි දැක්කා කියලා, ඒ ගැන මතක් කරද්දියි මතක් උනේ ළමා වාට්ටුව ළඟ හිටිය ළමයි දෙන්නත් ඇඳන් හිටියෙ ඒ පාටම ඇඳුම් දෙකක් කියලා. අවුරුද්දට අරන් දෙන්න ඇති. අතේ තිබ්බ කැවුම් වලට වඩා ඇඳන් හිටිය ඇඳුම් තමා ළමයි දෙන්නගෙ මූණු වලට හිනාවක් ගෙනත් තිබ්බේ. ඇස් පියාගද්දිත් මතක් උනේ ඒ පාටමයි. ඇයි දෙන්නම රතු පාටින් ඇඳලා හිටියේ  කියලා එවෙලෙනම් හිතුනෙ නෑ මට. ගෑණු වාට්ටුවේ ආච්චි අම්මගෙ රතු කිරිබත් දැක්කාම අම්මව මතක් උනා වගේම ළමයි දෙන්නගේ අවුරුදු ඇඳුම් දැක්කාම මතක් උනෙ අම්මා අවුරුද්දට ඇඳුම් ගෙනාපු දවසක්.

මම ඒ වෙද්දි පහ වසරේ විතර වෙන්න ඇති. මම අම්මට කියලා තිබ්බේ සාක්කු පිරිච්ච දිග කලිසමක් ඕනේ කියලා අවුරුද්දට. එහෙම කියන්න පටන් ගත්තේ අවුරුද්දට සති තුනක් කලින් ඉඳන්. අම්මා හැමදාම කිව්වෙ හා ගෙනත් දෙන්නම් කියලා විතරයි. මම හිතා ගත්තා ගිය පාර අවුරුද්දට ගෙනත් මඟුල ගෙදරකයි ට්‍රිප් එකකටයි විතරක් ඇඳලා අම්මා කිව්ව නිසා අල්මාරියට දාල තියෙන කමිසෙට හරියන්න මේ පාර හම්බෙන දිග කලිසම අදින්න. ඒ කලිසම විළුඹ ළඟටම දිගයි. ක්‍රීම් පාටයි. ඉන ළඟම දෙපැත්තෙන් සාක්කු දෙකයි. ඊට පහළින් දණහිස්ස ළඟින් තව දෙකක්. පොඩ්ඩක් නැමිලා අල්ලන්න පුළුවන් තරමින් දණහිසි දෙක ගෑවීගෙන පහළට තව සාක්කු දෙකයි. කමිසෙ කොළ පාටට හුරු තද පාටයි. පාට දෙක හොඳට ගැලපෙනවා. මම නිදාගද්දිත් ඒකම මතක් කරනවා සමහර දවස් වල. ඒ කාලේ අළුත් ඇඳුමක් කියන්නේ අළුත් අවුරුද්දටයි විශේෂ මොකක් හරි උත්සවයක් වගේ තියෙද්දියි විතරක් හම්බ වෙන දෙයක්. ඒ හින්දා ඇඳුමක් හම්බෙනවා කියන්නෙ සෑහෙන ලොකු දෙයක්. අළුත් ඇඳුමක සුවඳ බලන්න පින් කරන්නත් ඕනේ සෑහෙන්න.

දවස් ගෙවිලා ගිහින් ඇඳුම් ගේන දවසත් ආවා. අම්මයි අක්කයි පොළට ගියේ ඇඳුමුත් අරන් එන්නම. එයාලව ගෙදරින් යවනකන් මට තිබ්බේ නෑ ඉවසිල්ලක්. සමහර වෙලාවට මට එක තැන ඉඳගන්නත් බැහැ. ඉඳන් ඉද්දි කොන්ද දිගෙ අමුතු වේදනාවක් ඇවිත් මාව නැගිට්ටවනවා. හිටගෙන ඉද්දි කකුල් දෙකෙන් වෙව්ලන්න වගේ අරන් ඇවිද්දවනවා. අක්කයි අම්මයි කොයි වෙලෙ යයිද කියලා බලනවා හැම විනාඩි පහෙන් පහට. අන්තිමට දහයට විතර ගියා දෙන්නම. එවෙලෙ ඉඳන් මම පාර දිහා බලපු වාර ගාන ගනන් කරන්න අමාරුයි. පාර ඉස්සරහට ගියපු ටිකයි ආයේ ගෙට ආපු ටිකයි එකතු කලානම් මට පොළට ගිහින් එන්න තරමෙ දුරක් ඒක. බැරිම තැන පුටුවකට වෙලා ඉඳගත්තා මම. ටිකක් වෙලා එහෙම ඉද්දි ත්‍රීවීල් සද්දයක් ඇහුන හින්දා එළියට පැනලා බලපු මට පෙනුනේ අම්මයි අක්කයි බඩුත් අරන් එනවා කියලා. මහ ලොකු බඩු තොගයක් තිබ්බේ නෑ. අම්මා පොඩි එළවලු මල්ලක් අරන් ආවා. අක්කා තව මල්ලක රෙදි කීපයකුයි තව බඩු ටිකකුයි අරන් ආවා. මම මල්ල බිම තිබ්බ ගමන්ම රෙදි දිහා ඔළුව දාලා බැලුවා. කොහොම උනත් අම්මා බඩු අස් කරනකන් මම මොකුත් කලෙ නෑ. අම්මා හිටියේ ලොකු සතුටකින් නෙමේ. මට ඒ බව නොතේරුනත් නෙමේ. ඒත් කලිසමේ ආසාවට මල්ල ඇදලා බලන්නමයි හිතුවේ.

මම ළඟ පුටුවෙ ඉඳගත්තා. තත්පර කීපයක් යන්න කලින් "අර කලිසම් ගන්න බැරි උනා පුතේ. මේක ගෙනාවේ" කියලා ඇහුනා අම්මගෙන් කටහඬින්. මම පුටුවෙන් බැහැලා අනිත් පැත්ත හැරිලා කුස්සිය පැත්තට ඇවිදගෙන ආවා හයියෙන්. හැරෙනකොට යන්තමට දැක්කේ නිල් පාටට හුරු පොඩි කොට කලිසමක් අම්මගෙ අතේ තියෙනවා. කුස්සියට යන මඟ අක්කා ඉන්නවා හිටගෙන බිත්තියට හේත්තු වෙලා. මම මූණ පාත් කරගෙන ගියේ මූණේ දුක පෙන්නන්නෙ නැති වෙන්න. ඒත් මට ලැජ්ජයි. තරහයි. දුකයි. මට මන් ගැන දුකයි. ලොකු තරඟයකින් පැරදුනා වගේ දැනුනේ. මට හිතුනා කෑගහන්න. ගෙනාපු කලිසම ඉරල දාන්න හිතුනා. ගෙයි තියෙන බඩුමුට්ටු කඩන්න හිතුනා. මම කතා නොකරම යද්දි යන්තම් දැක්කා අක්කගෙ අතේ ඉතුරු උන සල්ලි තියෙනවා. රුපියල් පන්සීයේ කොලයක් වෙන්න ඇති තිබ්බේ. මම යන ගමන්ම පැනලා සල්ලි ටික අරන් දුවලා ගියා. කොහේ දිව්වද, මොකට දිව්වද කියලා මතකයක් නෑ මට. එහෙම දුවලා යන්න අදහසක් තිබ්බෙත් නෑ. මට ඕනෙ උනේ ලැජ්ජාව වහගන්න. ඒ වෙනුවෙන් මට ඕනේ උනේ මම දිග කලිසමක් ඉල්ලුව බව අමතක වෙන්න වෙන මොනවා හරි කරන්න. මම සල්ලි අරන් දිව්වා සෑහෙන වේගෙන්. ගිහින් කුස්සිය පිටිපස්සේ දර දාන මැස්ස එහා පැත්තේ හැංගුනා. මම අතේ මිටි කරන් තිබ්බ සල්ලි දිහා බැලුවා. ඒ සල්ලි මට ඕනේ උනේ නෑ. අඩු තරමේ ගනන් කරලාවත් බැලුවේ නෑ. හොරකම් කරන්න අදහසක්වත් තිබ්බෙ නෑ. ඒත් මම පොඩ්ඩක් නහයට කරලා ඉඹින්නනම් ඇති.

විනාඩි පහක් විතර මම හැංගිලා හිටියා. මට උඩින් දර මැස්සෙ වහලේ පේනවා. එතන මකුළුවෝ දැල් වියලා. පොඩි සත්තු ඇවිල්ලා දැලේ වදිනකොට උන් ඇලවෙනවා දැලට. මකුළුවා ඇවිත් ඒ සත්තු වටේට දැල් බැඳලා තියලා යනවා. පස්සෙ ඇවිත් තමා උන්ට කරන්න ඕනේ ඒවා කරන්නේ. මම ඒවා බල බල ඉන්නවා. සෙරෙප්පු දාලත් නෑ. නිකන් වැල්ලේ මම ඉඳගෙන. මේ වෙනකොටත් විසි පාරකට වඩා මට කතා කරන සද්දෙ ඇහුනත් මම මොකුත් කිව්වේ නෑ. අක්කා ඇවිත් මාව හොයාගද්දි මම සල්ලි ටික එහෙම්ම දීලා එතනටම වෙලා හිටියා. මට යන්න ඕනේ කමක් තිබ්බේ නෑ. කලිසම මතක් වෙද්දි උගුරේ මොකක් හරි හිර වෙලා වගේ දැනුනේ. හරි වේදානවයි. මම බැරිම තැන ගෙට ගිහින් කලිසම ඇඳලා බැලුවා. වරදක් තිබ්බෙ නෑ. මේ පාර අවුරුද්දට නැකැතට අදින්න ඕනේ කහ පාට හින්දලු නිල් පාටින්ම ගෙනාවේ. මම මොකුත් කිව්වෙ නෑ. කියන්න හිතුනෙ නැත්තෙ කියන්න ගත්තොත් දුක වැඩි හින්දා. කලිසම ඇන්දාම දණහිස්ස ළඟට දිගයි. සාක්කු තිබ්බෙ දෙකයි.

අවුරුදු කීපයක් ගිහින් ආයෙමත් පාට එක්ක ගනුදෙනුවක් ආවේ අලුත් අවුරුද්දට අම්මා ඉස්පිරිතාලෙ ඉඳිද්දි මායි අක්කයි රතු හාල් වලින් කිරිබත් උයද්දි. ආහාර පිසින්න තිබ්බේ පාන්දර හතරට. අක්කා තනියෙන් නැගිටිලා කුස්සියට යද්දි මාත් ගියේ උයනවා බලන්නවත් අවුරුද්ද ලබන සතුටටවත් නෙමේ. රතිඤ්ඤා සද්දෙට බය වෙච්ච හින්දා. අක්කා උයනකන් මම බලන් හිටියා. හැමදාම සුදු කිරිබත් කපද්දි එදා හැදුවේ රතු කිරිබත්. කිරිබත් හදලා කැටි කපලා ළුණුමිරිස් එක්ක අක්කා ඉස්පිරිතාලෙටත් අරන් ගියා. එදානම් මට මොන ඇඳුමක්වත් ගන්න ඕන කමක් තිබ්බේ නෑ. මම පරණ එකක් අඳින්න ඇති. මම ඒවා ගැන කල්පනා කර කර ඉඳලා තේ එක ගත්තෙ බොන්න. ඇල් වේගනත් ඇවිත්. පොතේ එක පිටුවක්වත් කියවන්න පටන් අරන් නෑ. පොත ඇඳේ පැත්තකින් තියලා ඇඳන් හිටිය සරම හරි ගස්සන් නැගිටිලා මේසේ ළඟට ගියේ අවුරුදු නැකැත් තිබ්බ කොළයක් මේසේ උඩ තිබ්බ හින්දා. එක අතකින් තේ කෝප්පය අල්ලන් අනිත් අතින් ලිත අල්ලන් කියෙව්වා මම ඒකේ තිබ්බේ මෙහෙම.

"අප්‍රේල් මස දහතුන් වෙනි ඉරුදින අපර භාග 04.10ට සිංහල අවුරුද්ද උදාවේ. "

"අප්‍රේල් මස දහතුන් වෙනි ඉරුදින අපර භාග 07.20ට රතු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව දෙස බලා සියළු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය මැනවී. "



Comments

Post a Comment

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය