දූවිලි

 එදා සෙනසුරාදා දවසක්. ෆැකල්ටි එකට යන්න තිබ්බෙත් නැති හින්දා නිදාගත්තා ටිකක් උදේ වෙනකන්. අටට විතර නැගිටපු මම කෙලින්ම ගිහින් කාමරේ තිබ්බ පොඩි බැල්කනියට යන දොර ඇරලා බැල්කනියේ වනලා තිබ්බ රෙදි අතරින් රිංගලා යකඩ වැටේ අත් දෙක තියාගෙන ඉස්සරහා බලා ගත්තා. කලින් දවසේ රෑ නමයත් පහු වෙලා හෝදපු රෙදි දැනටම වේලිලා. මම යකඩ වැටෙන් අත් දෙක දෙපැත්තට කරලා තියලා පොඩ්ඩක් වැටටත් හේත්තු උනා. මම ඉන්නේ තුන් වෙනි තට්ටුවේ. මට කෙලින්ම ඉස්සරහින් තියෙන්නෙ හතර වෙනි තට්ටුව ගානන උස ගිය කැටකෑල ගහක්. කපුටො දෙන්නෙක් පොරකනවා ගහ අස්සේ ඉඳන්. උන් දඟලනකොට ගහේ ඉතුරු වෙලා තියෙන කොළ කීපයෙන් දෙක තුනක්ම නටුවෙන් ගැලවිලා කැරකිලා ගිහින් පහල බොරළු පිරිච්ච මිදුලට වැටුනා මම බලන් ඉද්දිම. මාස ගානක් තියෙන පෑවිල්ල ළඟකදිනම් ඉවර වෙන එකක් නෑ කියලා මට හිතුනා ඒත් එක්කම.


කැටකෑල ගහ අතු එහෙට මෙහෙට ගිහින් ලොකු වෙලා තියෙන්නෙ ළඟකදි කියලා දැක්ක ගමන්ම පේනවා. මම අත දිග කරලා අත්තක් අල්ලන්න හැදුවත්, මාව වැටෙන්න ගියා මිසක් අත්ත අල්ලන්න පුලුවන් උනේ නෑ. මම ගහේ මුල ඉඳන් උඩට බලාගෙන ඇවිත් ගහෙන් උඩටත් ගිහින් අහස දිහා බැලුවා ඔළුව පුළුවන් තරම් උඩට කරලා. ගහ මුලම තිබ්බේ හොස්ටල් එකේ සිකියුරිටි ගාර්ඩ් ඉන්න, පොඩි වහලෙකුත් එක්ක තියෙන අඩි හයක් විතර උස, එක්කෙනෙක්ට විතරක් ඇතුලට රිංගගන්න පුලුවන් චූටි කාමරයක් වගේ තැන. ලස්සන සිංදුවක් ඇහෙනවා ඒකෙන්. මම පොඩ්ඩක් යකඩ වැටෙන් පස්සට ඇවිත් නැමිලා බැලුවේ සිකියුරිටි ගාර්ඩ් ඉන්නවද කියලා. පේන්නනම් හිටියේ නෑ. රේඩියෝ එක දාලා කොහෙ හරි යන්න ඇති. මම එතන ඉඳන ආයේ උඩට බලන් ගියා. ගහේ කොළ නැති හින්දා ගහේ අතු අස්සෙන් පේන්නේ පොල් ගසුයි ඈතින් තාම හදාගන යන ලෙක්චරස් ක්වාටස් එක විතරයි. ගහේ මුදුනටම ගියාම ඊට උඩින් තිබ්බේ නිල්ම නිල් පාටට තිබ්බ අහස. ඉර මුදුන් වෙන්න හිතලවත් තිබ්බෙ නැතත් මුලු අහසෙම තිබ්බෙ බැලුවත් ඇස් පිච්චිලා යන තරම් එළියක්. ඇයි ඉර මෙච්චර දරුණු වෙලා කියලා හිතුනා මට එවෙලෙ. අහස දිහා බලලා ඔළුවත් යන්තන් රිදුන වගේ හින්දා මම හිතුවා ආයේ කාමරේට යන්න කියලා. ආයෙ පහල බලලා ඔලුව දකුණට හැරෙව්වාම දැක්කේ ගෑණු ළමයින්ගෙ හොස්ටල් එක. සෙනසුරාදා හින්දා හැමෝම ගෙදර ගිහින් වගේ. කිසි සද්දයක්වත් මනුස්සයෙක්වත් පේන්න හිටියෙ නැති හින්දා මාත් ආවා කාමරේ ඇතුලට.

මට ඕනේ උනේ මොනවා හරි බඩට දාගන්නයි ටවුන් එකට යන්නයි. දෙකම ටවුන් එකෙන් කරගන්න පුළුවන් හින්දා ඉක්මනට ගිහින් නාගෙන ලෑස්ති උනේ එළියට යන්න. මම බෑග් එකත් එල්ලගෙන පඩිපෙල් ටික බැහැගෙන ආවා හෙමිහිට එළියට කැටකෑල ගහේ කඳ අල්ලලා යන්තන් මොනවායින් හරි වට කරපු සිකියුරිටි ගාර්ඩ් ඉන්න තැනින් තාමත් සින්දු ඇහෙනවා. ඒකත් පහු කරන් හොස්ටල් දෙක අතර තිබ්බ මීටර් පනහක් තරම දුර ඇවිදන් යද්දි ඉර අව්ව තපින බල්ලො කීපයක්ම දැක්කා තැන තැන වැතිරිලා ඉන්නවා. බොරළු ගොඩේ කකුල තියෙන සද්දෙ ඇහිලා උන ඔළුව උස්සලා බලනවා පොඩ්ඩක්. මාව අඳුරගෙන ආයෙම රත් වෙච්ච පොළොවෙ ඔළුව තියාගෙන ඇස් දෙක වහගන්නවා. මම ගැහැණු ළමයින්ගෙ හොස්ටල් එක ළඟින් හැරිලා අහස උසට ගිහින් තියෙන වේළුණු වයසට ගිය පොල් ගස් අතරින් කෙලින් තියන පාරට වැටුනා. මීටර සීයක් විතර තියෙන ඒ පාරේ අඩියක් උස්සලා අනිත් අඩිය තියද්දි දූවිලි වළල්ලක් පිට වෙනවා සෙරෙප්පුව වටෙන්. මම ඒ දිහා බලගෙන පැත්තකින් එන ඉර එළියට මුවා වෙන්න එක අතක් නළලෙන් තියන් ඉස්සරහටම යනවා.

ගේට්ටුවෙනුත් එළියට ඇවිත් තාර පාරට වැටිලා මම ගියේ ඉස්සරහටම. බස් එකට යන්න ඇවිදන් යන්න වෙනවා විනාඩි දහයක් විතර. හිතන්න දේවල් දාහකට එහා හිතේ තියෙන හින්දා විනාඩි දහය දැනෙන්නෙවත් නැති තරම්. තාර පාරට අඩිය තියනකොටම මම කියාගත්තා මටම. පාරේ දකුණට වෙලා මම ඇවිදන් යනවා හෙමිහිට. කකුලෙ අඩිය වටේට හැදුන දූවිලි වළලු කොහෙද ගියේ කියලා තේරුනේ ඩෙනිමේ පහල තිබ්බා දූවිලි පාරවල් දැක්කාම. මම සැරින් සැරේ නැවතිලා තනි කකුලෙන් හිටන් දූවිලි ගැසුවා ඩෙනිමෙ කකුල් වල තිබ්බ. ඒත් ඒ ගැලවිලා යන දූවිලි මට පෙනුනේ නෑ. සමහරවිට පොඩ්ඩක් තිබ්බ හින්දා වෙන්න ඇති. එහෙම නැත්තන් හුළං ඇවිත් එවෙලම ගහගෙන ගියා වෙන්නත් පුළුවන්. මම මටම උත්තරයක් දීගත්තා. එ මොකුත් නැතුව දූවිලි ඇඳුමට කාවැදිලා තිබ්බ හින්දත් වෙන්න පුළුවන්. ඒ තරමටම දූවිල්ල ඇඳුමෙන් අයින් කරන්න බෑ. හරියට අපේ සමහර මතක වගේ. එහෙම හිත හිතා තව විනාඩි දෙක තුනක දුරක් ගියා මම. මට ඉස්සරහින් දකුණු පැත්තෙන් පේන්න තිබ්බේ කටු මැටි ගහපු බිත්ති තියෙන පොඩි ගෙයක්. වහලෙට පොල් අතුයි ටකරමුයි කලවමේ. මිදුල හොඳට අතු ගාලා පොල් අත්තේ රටාවට. ගේ වටේම ළඟින් තිබ්බේ අඩි පහක් හයක් උසට ගිය බඩ ඉරිඟු ගස්. සමහර ගස් වල බඩවල් ලොකුයි. සමහර ගස් වල බඩ හීනියි ඒත් මල් ගොඩයි. මොනවා උනත් ගස් ටික සරුවට හැදිලා කියලයි මට පෙනුනේ. ඉස්සරහා පාර අයිනෙ තිබ්බේ උණ බට දෙකක් හරහට දාපු ගේට්ටුවක් වගේ එකක්. ගෙදර කවුරුත් නෑ වගෙ පෙනුනේ. ඒත් යන වේගෙ අඩු කරලා හොඳට බැලුවාමයි පෙනුනේ ගේ ඉස්සරහා තියෙන පොඩි අඹ ගහක් යට පැදුරක් උඩ පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා. අවුරුදු දහයක දොළහක පිරිමි ළමයෙක් කොට්ටෙක තියාගෙන අවුරුදු දෙකක තුනක තව ළමයෙක්ව නිදි කරනවා. ලස්සනට අඹ ගහේ හෙවනැල්ලෙන් ළමයි දෙන්නවම වැහිලා. කොච්චර අව් කාෂ්ටකේ තිබ්බත් ඒ පැදුරෙ නිදාගත්තොත් නිකම්ම නින්ද යයි කියලයි මට හිතුනේ. මට නැවතිලා ඉඳලා බලන් ඉන්න හිතුනත් එහෙම කරන එක හොඳ නෑනෙ කියලා ආයෙම අඩිය ඉක්මන් කරලා ඇවිදන් ආවා ඉස්සරහටම. ඒ අර ළමයි දෙන්නවම හිතේ තියාගෙන.

ටවුන් එකට ගිහින් කෑමත් කාලා තිබ්බ් වැඩ ටිකත් කරගෙන ආයෙම ආවා මම හොස්ටල් එකට. ඒ එද්දිත් අර ගෙදරට ඔලුව දාලා බැලුවත් කවුරුත් හිටියේ නෑ පේන්න. ටිකක් දුර ගිහින් පස්ස හැරිලා බැලුවත් ඒ හිටියෙත් නෑ. හොස්ටල් එකේදිත් කීප වතාවක් මතක් උනා ළමයින් දෙන්නව. එච්චර මතක් වෙන්න හේතුව මොකක්ද කියලා හිතාගන්නවත් හිත ඉඩක් දුන්නේ නෑ. මම ඒක හිත හිතෙන්ම අමතක කරල දානකන් දවස් ගානක් බලන් හිටියා. කුලියාපිටියට සමු දීලා මාස ගානක් ගිහින් තියෙන කාලෙක ආයේ ඒ ළමයි දෙන්නාගෙ මතකය අළුත් වෙලා ආවේ ළමා රෝහලේ වැඩ කරන දවසක.

ළමා රෝහලේ අටේ වාට්ටුව. මතක ගොඩක් පොදි බැඳගෙන යනකන් ඉන්න තියෙන්නෙ මාසෙටත් වඩා අඩු කාලයක්. ළමයි එක්ක වැඩ කරනවා කියන එක ලේසි වැඩක් නෙමේ. එහෙම තියෙද්දි ළමා වාට්ටුවක වැඩ කරන එක තවත් අමාරු වැඩක්. ඒ කොහොම උනත් වාට්ටුවෙන් එළියට එද්දි එන්නේ හිතේ සතුටෙන්. ඉහල පන්තියේ ඉඳන් පහළ පන්තිය වෙනකන් හැම ජාතියකම හැම ආගමකම හැම තරාතිරමකම ළමයි එනවා ලෙඩ හොඳ කරගෙන යන්න. ලෙඩ ගත්තත් පොඩි හෙම්බිරිස්සාවක ඉඳන් හොඳ කරන්න තාම නිශ්චිත ප්‍රතිකාරයක් නැති රෝග වෙනකන් හැම ජාතියකම ලෙඩ තියෙනවා. කොහොම උනත් ළමයින්ටයි අම්මලටයි කතා කරද්දි ඒ අයට තියෙන ප්‍රශ්න ඇහෙද්දි සමහර වෙලාවට නොපෙනෙන්න හරි ඇහැට කඳුළක් එන්නෙ නෑ කිව්වොත් ඒක සම්පූර්ණ බොරුවක්. ඒ වෙලාවට පිහිට වෙන්න තියෙන ඕනම ක්‍රමයක්ට පිහිටක් වෙන එක තමා අපිට කරන්න පුළුවන් දේ.

එන එක එක ජාතියේ ඇඩ්මිෂන්ස් අතරේ අළුත් ඇඩ්මිෂන් එකක් ආවාම MRI scan එකකට ඇඩ්මිට් වෙන්නෙ කිව්වොත් හිතට පොඩි සතුටක් එනවා. ඒ එහෙම ඇඩ්මිට් වෙන අයගෙන් ගොඩක් අයට හදිසි ප්‍රතිකාර අවශ්‍ය නැති නිසාත් ගොඩක් දවස් වාට්ටුවේ නැවතිලා ඉන්නෙ නැති නිසත්.
එදා ඉරිදා දවසක්. මම හිටියෙ ඇඩ්මිෂන් රූම් එකට වෙලා පේශන්ට් කෙනෙක් එයිද කියලා බල බල. කවුරුත් ආවේ නැති හින්දා මම යන්න හිතුවේ MRI scan එකකට ආපු ළමයට මොකද උනේ කියලා බලන්න. ස්කෑන් එක කරන්න තිබ්බේ දවල් දෙකට. ළමයා අටේ ඉඳන් fasting. වෙලාව පහත් පහු වෙලා ඒත් ළමයා තාම ආවේ නෑ scan room එකේ ඉඳන්. Scan room එකට කෝල් කරලා ඇහුවාම අද ලිස්ට් එක වැඩි හින්දා හෙට උදේම එවන්න කිව්වා. මටත් කියාගන්න දෙයක් නැතුව හා කියලා මිස්ලට කිව්වා ළමයා ආව ගමන් කන්න කියන්න කියලා. මම තව තියෙන වැඩ ටිකක් කරලා ආයේ යනකොට ළමයා ඉන්නවා ඇඳට වෙලා තනියම. අවුරුදු දහයක පොඩි පිරිමි ළමයෙක්. හරියට මූණ දිහා බලන්නෙත් නෑ. මම ගියා ළඟටම.

"බබා කෝ අම්මා..?"

"බාත් රූම් ගියා.." යන්තන් ඔළුව හරෝලා කිව්වා.

ඇදේ පැත්තක තියලා තිබ්බ ක්ලිනික් පොත අරන් ඇදට හේත්තු වෙලා පොත පෙරළන ගමන් තව පොඩ්ඩක් කතා කරන්න හිතුවා.

"අද මොකක්ද කරන්න තිබ්බේ. අර ඔයාව අරන් ගියේ. ඒක කරන්න බෑ කියලා ආයෙ ආවනෙ නෙහ්..? මොකක්ද ඒ පරීක්ෂණේ..?"

"ම්ම්ම්.. එම්..ම්ම්. මතක නෑනේ. එම් අකුරෙන් පටන් ගන්නේ.." පළවෙනි වතාවට මූණ බලලා කතා කලේ එ වෙලේ.
කතා කරද්දි එක අතක් නිකම්ම වගේ ගිහින් මාස්ක් එකට උඩින් කටින් ගිහින් නැවතුනා. මම තාමත් ඇඳට බර වෙලා ක්ලිනික් පොත අතේ තියාගෙන. කට ළඟට අත ආවමයි දැක්කේ අතේ ඇඟිල්ලක් පිච්චිලා වගේ කියලා. එක පාරට ඒක අහන්න බැරි හින්දා වටෙන් ගොඩෙන් අහන්නයි හිතුවෙ මම.

"පුත අනුරාධපුරේ නේද ගෙවල්. අනුරාධපුරේ කොහෙද..?

"හොරොව්පතානේ..."

"එහෙ පැත්තෙ වැව් එහෙමත් ඇතිනෙ..නාන්නේ වැවෙන්ද ?

"ඔව්..හැමදාම වගේ නාන්නෙ වැවෙන් තමයි.."

"මරුනෙ. මමනම් නාලම නෑ.."

"ඈහ්.. එ කොහොමද. වැවෙන් නාලා නැත්තන් වැඩක් නෑ. මටනම් පීනන්නත් පුළුවන් හොඳයි.."

"හොඳයි හොඳයි.. මාත් එන්නම්කො දවසක..." " ඔය අතට මොකද උනේ. ඇඟිල්ල පිච්චිලා තියෙන්නෙ..?" තත්ත්පර කීපයක් නිකන්ම ඉඳලා ඇහුවා මම.

"ඒ පිච්චිලා.."

"මොනවා කරන්න ගිහින්ද..?"

"උයන්න ගිහින්.."

"ඔයා උයනවද.."

"ඔව්"

"ඇයි ඒ..කෝ අම්මා එතකොට..?"

"අම්මා නැති වෙලේට උයනවා.."

"තනියමද ඉන්නෙ අම්මා නැති වෙලේට..?

"නංගිත් ඉන්නවා. එයාට අවුරුදු හයයි.."

"අම්මා මොකද කරන්නෙ.."

"කුලී වැඩ.."

"තාත්තා..?"

"කුලී වැඩ.."

"හ්ම්ම්.. ආයේ උයද්දි පරිස්සමින් කරන්න එහෙනම්.."

අම්මා ඈතින් එනවා දැකලා අන්න අම්මා එනවා කියලා ක්ලිනික් පොත ආයේ බලන්න ගත්තා. අම්මා හිනා වේගෙන ආවා ළඟටම. ඒ හිනාව අව්‍යාජයි. ඒ වගේම අසරණයි. මට MRI machine එකක් තිබ්බනම් දැම්ම කරලා ගෙදර යවනවා කියලා හිතෙන තරමට මාවත් අසරණ උනා.

"හෙට උදේම අර පරීක්ෂණය කරගෙන දවල් වෙද්දි ගෙදර යන්න පුළුවන් අම්මා.." මම පොත ආයේ ඇඳෙන්ම තියලා ඇවිදගෙන ආවා.

"හරි ඩොක්ටර්. අනේ කොහොම හරි හෙට කරලා දෙන්න ඩොක්ටර්.."

මම යන්තන් හිනා වෙලා ආවා ඉස්සරහට. එක අතකට මේ ඔක්කොම නිකම්ම ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙන් කරගන්න පුලුවන් නෙහ් සහ ඒ ගැන ඒ අම්මත් සතුටු වෙන්න ඕනේ කියලත් හිතුනා මට. මම ඇවිත් ආයෙම ඉඳගත්තා පුටුවකින්. කල්පනා කරගෙන යද්දි මට මතක් උනේ අම්මා ගෙදර නැති වෙලේට මාව අක්කලා බලා ගත්ත හැටියි. අම්මයි අක්කලයි ගෙදර නැති වෙලේට මම ගෙදර ඉව්ව හැටියි. හොරොව්පතානේ ළමයගෙයි මගෙයි සමානකම් සහ අසමානකම් හැම එකම එක පාර හිතට ගලාගෙන ආවා හතර වටෙන්ම. කාට උනත් ඔහොම කතාවක් කොහෙන් හරි ගෑවිලා තියෙනවනෙ කියලා මම හිතා ගත්තා. ඒ ගැන තවත් හිත හිතා ඉද්දි,
මහන්සිය වැඩි කමට ඇස් පිය උනේ දන්නෙ නැතිවම. නින්දයි නොනින්දයි අතර ඉද්දි තමයි

මේ අර ළමයමද ?වෙන්න බෑනේ. ඒ කුලියාපිටිය. මේ ළමයා හොරොව්පතානේ. ඒ ළමයගෙත් අම්මා වැඩට ගිහින්ද හිටියේ. ඉස්සරහා උණ බට දෙක හොඳට තදට දාලා තිබ්බා කියන්නේ අම්මා ගෙදර නැති වෙන්නත් පුළුවන්. මට මේ ඔක්කොම නිදිමත අතරින් හිතට එනවා. මම වෙලාවක කුස්සියේ උයනවා. අවුරුදු දහයක්නම් නෙමේ. ඊට වඩා අවුරුදු හයකින් හතකින් වැඩියි. කුස්සියෙ මේසෙක පාඩම් කරන පොත්. බත් එක ලිපේ. මම එළවළු කපනවා. ලිපට ගින්දර අඩු උනා වගේ දැක්කාම නැගිටලා ගිහින් සම්පූර්ණ වීරිය දාලා ලිපට පිඹලා ලිප ආයේ අවුලෝනවා. එළවලු කපලා ඉවර වෙලා පොත පොඩ්ඩක් බලනවා. ආයෙම උයන්න යනවා. මට දැනෙන්නෙ මගෙ ඔළුව එහෙ මෙහෙ කැරකෙනවා වගේ. තාමත් පුටුවෙ නිදි මම. මිස් කෙනෙක් ඇවිත් "ඩොක්ටර්.. ඇඩ්මිෂන් එකක්.." කිව්වාම තමා උඩ ගිහින් ඇහැරුනේ. තව පොඩ්ඩෙන් අඹ අත්තක් වදිනවා මූණේ. මම හිටියේ අක්කගෙ කකුල් දෙකේ කොට්ටයක් උඩ. අවුරුදු පහක් විතර ඇති. අන්තිමට පෙනුනේ අඹ කොළ අස්සෙන් ඈතින් උඩින් තිබ්බ ඇස් කඩාගෙන යන තරමේ එළියක් තිබ්බ නිල් පාට අහස. දූවිලිත් තිබ්බා හතර වටෙන්. කොච්චර අයින් කරන්න හැදුවත් අයින් වෙන්නෙ නැති. 





Comments

Post a Comment

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය