සුළං


ඒ එක්දාස් නමසිය හැත්තෑ පහේ දෙසැම්බර් මාසේ. මාසේ ඉවර වෙන්නත් ළඟයි. බස්නාහිර පැත්තෙන් එන හීතල හුළං ඉස්සරහා වත්තේ තියෙන සපු ගස් පේලියේ වැදිලා ආයේ ඊට මෙහායින් තියෙන උස දෙල් ගහෙත් වැදිලා ගේ මිදුලෙම තියෙන කොළ බාගයක්ම වැටිලා තියෙන උගුරැස්ස ගහේ වැදිලා අන්තිමටම එන්නේ ඉස්සරහා දොරෙන් සාලෙට. ඒ එන හුළං වලින් හතරෙන් පංගුවක් පැත්තක තියෙන පියන් තුනේ ජනේලෙන් එළියට යනවා. ඉතුරු ටික ගේ මැද්දෙන් ගිහින් කුස්සිය පැත්තෙන් එළීයට යනවා. ඒ යන අතරෙදි දොරවල් නැති දොර රෙදි විතරක් දාලා තියෙන කාමර දෙකේ දොර රෙදි පොඩ්ඩක් කාමරේ පැත්තට වෙන ව්දිහට උස්සනවා. හුළං ටික එහෙම ගියාම ආයේ හුළං පාරක් එන්න කලින් උඩට ඉස්සුන දොර රෙදි දෙක ආයෙම තිබ්බ තැනටම එනවා.  ඔහොම ඉඳලා ආයෙම උඩට විසි වෙනවා. මම මේ ඔක්කොම සාලේ ඉස්සරහම පුටුවට වෙලා බලන් ඉන්නවා. හැමදාමත් වෙන්නේ එකම දේ උනත් බලන් ඉන්නේ කවදාවත් උනේ නැති ගානට. හවස හයටත් ළඟයි. දොර ඇතුලෙන් එන හුළං එන්න එන්න සීතල වෙනවා. හුලං එන පාරක් පාරක් ගානේ අඳුර අහුරකුත් ඒ ගමන්ම එනවා. මම නැගිට්ටේ පානක් පත්තු කරන්නයි ජනෙල් ටික වහලා දාන්නයි. අත් දෙක පුටු ඇඳේ දෙකේ තියලා පරිස්සමට නැගිට්ටට නැගිට්ට හදිස්සිය හින්දා පොඩ්ඩක් විසි උනා ඉස්සහරට. බඩට අත් දෙකම තියාගෙන ඇවිදන් ගියේ පාන හොයන්න.



පාන හොයාගන්න කුස්සිය පැත්තට යද්දියි තේරුනේ මම ඕනවටත් වඩා එක තැන ඉඳගෙන කාලේ කාලා නේද කියලා. පාන පත්තු කරන් ආව මම පාන සාලේ මේසෙ උඩ තියලා ජනෙල් දෙකත් වහලා ආයෙම ඉඳගත්තා ඉස්සහරම පුටුවෙ දොර ළඟම. මේ පාර හුළං එන දිහා බලන් ඉන්නවට වඩා හිත ඇතුලේ තිබ්බේ කමල් කීයට එයිද කියන එක. මේ ටිකේම ආවේ බීගෙන. මුලදි මුලදි කියලා හදාගන්න හැදුවත් ඒ මනුස්සයව හදන එක නතර කලේ හදාගන්න ගිය මුල් කාලෙමයි. එදා ඉඳන් එන දේකට මූණ දෙනවා හැරෙන්න හදන්නනම් ගියේ නෑ බිංදුවක්වත්. ඒ හදන්න ඕනේ කමක් තිබ්බේ නැති හින්දා නෙමේ. හදන්න ගිහින් අතක් පයක් කඩාගන්න ඕනේ කමක් තිබ්බේ නැති හින්දා. හැම වෙලේම කමල් එනකන් පාර බලන් ඉන්න මට මතක් වෙන්නෙ බඳින්න කලින් අම්මලගේ ගෙදර ඉඳන් මේ විදිහටම එහේ එනකන් පාර බලන් හිටිය විදිහ. මාස දහයක් යන්නත් කලින් හැමදේම වෙනස් උන විදිහ නාට්‍යයක් වගේ පේනවා පොඩ්ඩක් ඇස් දෙක වහගත්තාම. වෙනදානම් මෙ වෙද්දිත් ඇස් දෙක කඳුලෙන් පිරෙන මගේ ඇස් වල අද කඳුලු නැත්තේ හුළං ඒ තරමටම වේලිලා හින්දද කියලා හිතුනේ පැය බාගෙකට විතර පස්සේ ආව ලොකු හුළං පාරකුත් එක්ක. මම ඔක්කොම අමතක කරලා ආයෙම බැලුවේ පාර දිහා. ගෙදරට හැරෙන පාර ළඟ තියෙන උණ බට කඩුල්ල අයින් කරන සද්දේ ඇහුනේ ඒ එක්කමයි. සුදු සරම ඇඳගත්ත කමල් වැනි වැනි එනවා ගේ දිහාට. ඒකත් හරියට දොරෙන් ඇතුලට ආපු හුළං හින්දා දොර රෙදි එහෙට මෙහට වැනුනා වගේ. මාව නිකම්ම නැගිට්ටෙවුනා පුටුවෙන්. දොර ළගට ගිහින් හිටගෙන ආයෙමත් අඩියක් පස්සට උන මම එක අතක් ඉනට තියලා අනිත් අත බඩ උඩින් තියාගත්තා. බිම බලාගෙන ආපු කමල් මට අඩි කීපයක් ඉස්සරහදි මූණ දිහා බලලා ආයෙම බලා ගත්තා බිම. 



මහ ලොකු බඩ ගින්නක් නැති උනත් බත් කටවල් කීපයක් කාපු මම වළං ටිකත් හෝදලා යන්න ගියේ කාමරේට. කමල් ආව වෙලේම කාලා හොඳට නිදි ඇඳ උඩ. වෙනදා මේ වෙනකොට වළං කීපයක් බිඳිලා ලුණූ අඩුයි හරි වැඩියි හරි වෙන මොකක් හරි හේතුවක් කියලා. එහෙම නැත්තන් හේතුවක් නැතුවම උනත් වෙන්න පුළූවන්. දවස් කීපයක ඉඳන් වැඩි සද්දයක් නෑ. ආවා, කෑවා, නිදාගත්තා. ආයෙම උදේට ඇහැරිලා යනවා. මට දැන්මම ඇඳට යන්න ඕනේකමක් තිබ්බේ නෑ කොහොමත්. මම ආයෙම හිමිහිට ගිහින් ඉඳගත්තේ සාලේ පුටුවකින්. සාලේ මැද්දේ මේසේ තියෙන පානේ දැල්ල උඩටම යනවා. ආයේ නැගිටලා ගිහින් දැල්ල අඩු කරලා එන්න හිතුනත් කම්මැලිකම හින්දා හිටියා පුටුවටම වෙලා. පානට එහා තියෙන මල් දාන පෝච්චියෙ මල් අත්තක හෙවනැල්ල කෙලින්ම වදිනවා ඊට පිටිපස්සෙන් තියෙන බිත්තියෙ. ජනෙල් වහලා උනාට ජනේලට උඩින් තියන බීරළූ අස්සෙන් එන හුළං පාරක් එනවා කලින් වගේම. හුළං පාරට පාන් දැල්ල වැනෙනවා එහෙට මෙහෙට. ඒත් එක්කම බිත්තියෙ තියෙන මල් අත්තේ හෙවනැල්ල ලොකු වෙවී පොඩි වෙවී දඟලනවා උඩටයි යටටයි දෙපැත්තටයි. පාන් එළීයෙන් යන්තමට ඔරලෝසුවෙ වෙලාවත් පේනවා. නමය හමාරයි. මම ලොකු හුස්මක් උඩට අරන් පාතට දැම්මා. තව ටිකක් හයියෙන් කලානම් පානේ දැල්ලත් නිමෙන්න තිබ්බා. පුටුවෙ ඉඳගෙනම ඔළුව බිත්තියෙන් තියපු මම ඇස් දෙක පියාගත්තා යාන්තමට. මට මට මැවිලා පෙනුනෙම ළමයෙක් එක්ක තනියෙන් ඉඳන් මේ ගෙදරට වෙලා ඉන්න විදිහ. ඒ මතක් වෙන පාරක් පාරක් ගානේ මගෙ ඇස් ඇරිලා අත් දෙක තියවෙනවා බඩ උඩින්. මම යාන්තන් ඇඳගෙන හිටිය හැට්ටේ උඩට කරලා චීත්තේ බුරුල් කලා. ඉස්සරහට නෙරලා ආපු බඩ ඊයෙට වඩා තවත් ලොකු වෙලා කියලා මට හිතුනෙ. මම විනාඩි කීපයක් බලන් හිටියා. පස් අස්සෙන් පනුවෙක් යනවා වගේ බඩ ඇතුලෙන් දඟලනවා. උඩින් බලන් ඉන්නකොට හොඳට පේනවා දඟලන හැටි. මම ඒ දඟලන තැනින් තැනට අත තිය තිය බලනවා. අතට දඟලනවා දැනුනාම ඒ අත ගන්න හිතෙන්නේ නෑ එතනින්. ආයේ වෙන තැනක දඟලනකොට විතරක් අත අරන් යනව ඒ තැනට. ඔහොම බඩේ එක පැත්තක් පිරෙන්නම අත යනවා හැමතැනම. ඒ හැම වෙලේකම මගේ මූණේ හිනාවක් තිබ්බා කියලා මතක් උනේ දඟලන එක එක පාරට නැති වෙලා ආයේ විනාඩි දෙකකින් විතර දඟලන්න පටන් ගත්ත කාලේ අතරතුර තිබ්බ පොඩි කාලෙදි. මම අන්තිම වතාවට එක පාරක් මුලු බඩම අතගාලා චීත්තේ තදකරගෙන හැට්ටේ හදාගත්තේ නැගිටලා ඇඳට යන්න.  


පානට උඩින් අත්දෙක අල්ලලා සද්දේ ඇහෙන්න අත් දෙක එකට ගැහුවාම අත් දෙක අස්සෙන් ආපු හුළං පාරට පාන නිමිලා මුලු ගේම කලුවර වෙලා ගියා. මම එක තැනම හිටගෙන පොඩ්ඩක් වෙලා හිටියෙ අඳුරට ඇස් දෙක හුරු වෙනකන්. වහලෙ උළු කැටයක් අයින් කරලා ඒක වෙනුවට දාලා තිබ්බ වීදුරු කෑල්ලෙන් හඳ එළිය එනවා ගේ ඇතුලට. පෝය ලබන්නත් තව ටික දවසෙනෙ කියලා මතක් උනේ ඒ වෙලාවේ. වැඩි වෙලාවක් යන්ඩ කලින් ඉස්සරහින් තියෙන්න මොකක්ද කියලා පේන තරමට එළිය වැටෙන්න තිබ්බ හින්දා මම ගියා ඉස්සහරහට. දොර රෙද්ද ඈත් කරපු මම අත පහලට කරලා ඇඳ අල්ල ගත්තා තව අඩි දෙකක් එහෙම්ම ගිහින්. කමල් ඉන්නවා ඇඳේ. මම පරිස්සමට ඇඳට අත තියලා ඉඳගත්තා. තප්පරයක් දෙකක් එහෙම හිටිය මම අත් දෙක පිටිපස්සට තියලා වාරු අරන් කකුල් දෙක උඩට අරන් ඇඳේ පස්සට ගියා. මම හිටියේ බිත්තිය පැත්තේ. කමල් ඉන්නේ අනිත් පැත්තේ. ලොකු ඇඳක් නොවුනනත් මායි කමලුයි අතරේ තිබ්බා අඩියකට වඩා දුරක්. මම බිත්තිය පැත්තට පස්ස හැරෙන විදිහට හැරුනා පොඩ්ඩක් අනිත් පැත්තට. හඳ එළිය දැන් කලින්ටත් වඩා වැඩියෙන් එනවා කාමරේට. ඒ හඳ එළියෙ තියෙන්නෙ කළු පාටයි නිල් පාටයි මුහු වෙච්ච අඳ්උරු පාටක්. ඒත් එක්කම සමහර වෙලාවට ඒ පාටට කොළ පාටයි කහ පාටයි එකතු වෙනවා. ඉඳලාමත් රිදී පාටට හුරු එළියකුත් එනවා සැරින් සැරේට. මම බලන් හිටියේ වීදුරුවෙන් හඳ එළිය ඇවිත් කාමරේට එන විදිහ. ඒ එන එළියෙන් වැඩි ප්‍රමාණයක් යන්නේ ඇඳෙන් එහාට. ඇඳට වැටෙන එළියෙන් බාගෙටත් වඩා වැටෙන්නේ මන් ඉන්න පැත්තට නෙමේ. මම එක අතක් ඔළුවට යටින් තියාගෙන අනිත් අත ඉනටයි බඩටයි අතර තැනක තියලා ඒ අතේම වැලමිට බිත්තියට හේත්තු කරගත්තා. බිත්තියෙ හීතල යාන්තමට පිටට දැනෙනවා. මම එකට තිබ්බ කකුළ් දෙකෙන් එක කකුලක් නමාගෙන අනිත් කකුල දික් කරගෙන බිත්තියෙ සීතලට තියාගත්තා. මට දැන් මන් ළඟින්ම ඉස්සරහින් පේන්නේ කමල්ව. සරමක් විතරක් ඇඳගෙන උඩට මොකුත් නැතුව අත් දෙක දෙපැත්තෙන් අරන් ඔළුව යට තියාගෙන මූණ කෙලින්ම වහලේ පැත්තට කරගෙන කකුල් දෙකත් එක ළඟට කරගෙන ඉන්නවා කිසිම හෙල්ලිලක් නැතුව. ලොකුවට ගන්න හුස්ම හින්දා පපුව උඩට පහලට යනවා. හඳ එළිය කෙලින්ම වැටෙනවා පපුවට. හුස්ම ගන්නකොට උඩට යන පපුවේ රෝම වලට හඳ එළිය වැටුනාම රිදී පාටට දිලිසෙනවා. ආයෙම හුස්ම පහලට දානකොට පපුව පහළට එද්දි එහෙම දිලිසුන රෝම ගස් දැන් පේන්නේ තඹ පාටට හුරු කළු පාටට. මූණේ රැවුල් ගස් වලත් පාට වෙනස් වෙනවා සැරින් සැරේට. ඒ මූණ එහෙ මෙහෙ යන හින්දා නෙමේ. වහලේ තියෙන වීදුරු කෑල්ලයි හඳයි අතරට ගෙට එහා පැත්තේ තියෙන අඹ ගහේ අත්තක් මුවා වෙන හින්දා. මම ආයෙම එක පාරක් ඔළුවේ ඉඳන් කකුලේ ඇඟිලි වෙනකන් බලන් ගිහින් බඩ ළඟ තියෙන අත අරන් ගියේ කමල්ගෙ පපුව උඩට. ඉස්සර ඒ රෝම ගස් අස්සෙන් අත අරන් යනකොට මාව ළඟට ඇදලා ගන්න මනුස්සයා අද කිසි ගානක් නැතුව ඒ විදිහටම හෙල්ලෙන්නෙ නැතුව එහෙම්ම ඉන්නවා. මට එතකොට තමා තේරුනේ අපි දෙන්නා අතරේ අඩියකට වඩා දුරක් තිබ්බා කියලා. මේ ඔක්කොටම හේතුව දැන් බඩට මාස නමයකට ළඟ හින්දද එහෙම නැත්තන් බැන්ද දවසේ ඉඳන් ඇති වෙච්ච ප්‍රශ්න හින්දද කියලා මම මගෙන්ම ඇහුවා. ඒ ගැන හිත හිතා ඉඳ්ඉද්දි දන්නෙම නැතුව නින්ද ගිහින් මට. නින්ද යන්න පොඩ්ඩකට කලින් මට දැනුනේ කමල් හරි බරි ගැහිලා අනිත් පැත්තට හැරෙද්දි ආව කැස්සත් එක්ක මන් පැත්තට ආපු අරක්කු සුවඳ.



අනිත් දවසට එළි උනේ සෑහෙන්න කලින් කියලා දැනුනේ මට. මම නැගිටලා කුස්සියට ගියා. කුස්සියෙ දොර හායි ගාලා ඇරලා. සුදු පූසා විතරක් දොර ළඟ ඉඳගෙන ඉන්නවා.මන් එන සද්දේ ඇහිලා ඌ මන් දිහා බැලුවා. හිටිය තැනින් නැගිටලා ඇවිදන් ආවා මන් දිහාට. ඇවිත් පැටලෙන්න ගත්තා කකුල් දෙක අස්සේ. මට ඒක ගානක් උනේ නෑ. මගේ හිත තිබ්බේ කමල් කොහෙද කියන එක. එකත් අතටම දොර ඇරගෙන වත්ත පහලට ගිහින් එහෙන් එහෙ වෙලෙන් පැනලා බොන්න යන්න ඇති. මම දොර ළඟට ඇවිත් පොඩ්ඩක් නැමිලා බැලුවේ වත්ත පල්ලෙහෑ තිබ්බ කෙහෙල් ගස් අස්සෙන් කවුරුත් එනවද කියලා. කවුරුත් පේන්න හිටියේ නැති හින්දා ආයෙම හැරිලා එද්දි තමා දැක්කේ මිදුලේ කොනකට වෙලා දං කෝටුවකින් දත් මදිනවා.




“ඇයි අද ගියේ නැද්ද පහලට…“ මම ඇහුවේ උලුහව්වට හේත්තු වෙන ගමන්.



“ඇයි උඹ හොයන්නෙ. ගිහින් ගෙනත් දෙන්නද. නිකන් ඉඳපන් උදේ පාන්දර යකා අවුස්සන්නෙ නැතුව….” කමල් කියාගෙන කියාගෙන ගියේ මගෙ පැත්ත හැරෙන්නෙවත් නැතුව. 



“අනේ මට එච්චරම අමාරුවක්නම් නෑ තාම… දිනත් ළඟයි දැන්. කවදද කියන්න බෑ. සල්ලි ටිකක් අතේ තියෙන්නත් එපැයි…”



“ඇයි උඹලගේ අම්මගෙන් ඉල්ල ගනින් ඉතින්. දෑවැද්ද තාම එහෙනෙ..”



“දෑවැද්ද ගිහින් ඉල්ල ගන්න එකයි ඇත්තේ ඉතින්. ඕක හැමදාම කියන එකනෙ…” මම ලෑස්ති උනේ කේතලේ ලිපේ තියන්න.



“ඕනෙනම් හොයගනින්. මටත් මේ ටිකේ මහ ලොකු දෙයක් නෑ..” කමල් දං කෝට්ට ඈතට විසි කරලා නැගිටලා ආවා කුස්සිය දිහාට.



“මොනවා කරන්නද ඉතින්. හම්බෙන්ඩ ඉන්න එකාගෙත් අවාසනාව තමා..”



“ඕක පටන් ගන්න එපා ගෑනියේ.. උදේ පාන්දර ඉඳන් අඬවැඩියාව. නවත්ත ගනින්..” කමල් කිව්වෙ මන් දිහා බලාගෙන. 



“පුළුවන්නම් දියන්. එච්චරයි. මටත් ඕනේ නෑ කෑගහන්න..” මම පෝරණූව පැත්තටම හැරිලා ලිපට දර කෑල්ලක් දාන ගමන්ම කිව්වා.



ලිපේ දර ටික සට සට ගාලා ඇවිලෙනවා. පපුවේ තියෙන ගින්න එළීයට පේනවනම් මෙන්න මෙහෙමයි ඒකත් කියලා තේරුම් කරන්න පුලුවන්නම් මන් ඒකත් කරනවා. ඒත් කමල් කියන්නේ කියලා දෙයක් තේරුම් කරන්න බැරි මනුස්සයෙක් හින්දා මම ඇස් දෙක කොනට ආපු කදුලු බිංදු දෙක පොඩ්ඩක් නැමිලා පිහදගෙන ආයෙම දර කෑල්ලක් අරන් ලිපට දැම්මා. ලිපට දාන්නත් කලින්ම ඇවිලුනා වගේ ඒකත් පිච්චේන්න ගත්තා. මම පොඩ්ඩක් ඒ දිහා බලන් හිටියා. කමල් මාත් එක්කයි ගෙදර අය එක්ක වෛර බැඳන් ඉන්නේ දෑවැද්දට අම්මා දෙනවා කිව්ව ඉඩම් කෑල්ල අපිට නොකියම අයියට ලියලා දුන්න හින්දා. ළමයා බඩට ඇවිත් මාස දෙකෙන් උන මේ දේ හින්දා අඩු තරමේ එදා ඉඳන් ළමයා දඟලනවද කියලාවත් අහලා නෑ මේ වෙනකන්. මම තවත් ඒ ගැනම හිත හිත හිටියා. අන්තිමට ගමේ ක්ලිනික් එකට ගිය දවසේ මහත්තයලට එන්න කිව්වාම ඇවිත් හිටියෙ නැත්තේ කමල් විතරයි. ‍කොහොම උනත් වැටිලා ඉන්න තෙමෙන්නෙ නැති ගේ කැල්ලක් තියෙන එක ගැන සතුටු උනා මම. හැමදාම හිතා හදාගන්න පුරුදු වෙලා තියෙන්නේ එහෙමයි මම. කේතලේ කෑගහන සද්දෙට මාව ආයේ ආවා පියවි ලෝකෙට. 



කමල් කොහෙදෝ ගියේ තේ බොන්නෙත් නැතුවම. මම මිදුලා අතුගාලා ගියේ මොනවා හරි උයන්න කියලා. කුස්සිය අතු ගාපු මම හාල් ගත්තේ හෝදලා ගරන්න. හාල් ගෝනියේ ඉතුරු වෙලා තිබේ සේරු පහක් හයක් වගේ. බිම තිබ්බ ගෝනිය උඩට ගත්ත මම හූණ්ඩුවෙන් එකක් ගත්තා නෑබිලියට. ආයේ ගෝනිය බිම තියලා නැගිටිනවත් එක්කම දරාගන්න බැරි කැක්කුමක් ආවා යටි බඩ දිහායින්. ඒ කැක්කුම පහලින් පටන් අරන් උඩට ඇවිත් කොන්ද දිහාට ගියා. මම උන්න තැනටම වෙලා තද කරගත්ත හුස්ම පහළට දැම්මා. හාල් ටික එහෙම්ම තියලා මම ගියේ ගේ දිහාට. අල්මාරිය ඇරලා බලපු මම මිඩ් වයිෆ් මිස් කිව්ව විදිහට හදාගත්තු බෑග් එක හරියටම තියෙනවාද කියලා බැලුවා. මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. මම ඉඳගත්තා ළඟම තිබ්බ පුටුවෙන්. බඩට අත තිබ්බ මම බඩ දිහා බැලුවා. පපුව ගැහෙන වේගේ එන්න එන්න වැඩි වගේ. ආයේ ආයෙම කැක්කුමක් කොයි වෙලේ එයිද කියලා පපුව බලාගෙන ඉන්නවා. උඩට  ගන්න හුස්ම පහලට නිකම්ම එන්නේ නෑ දැන්. ඒකත් හිතලම පහලට දාන්න ඕනෙ. ආයෙම කැක්කුමක් ආවොත් මන් මොකද කරන්නෙ. කාටද එන්න කියන්නේ. ඇඳුම් බෑග් එක හැදුවට ඒ ගැන හිතලා තිබ්බේ නෑ කියලා මතක් උනේ දැන්. ඕනෙම උනොත් විමලාට කියනවා. මම මටම කියා ගත්තා. තව විනාඩි දෙකක් යන්න කලින් ආයෙම ආවේ අර වගේම කැක්කුමක්. මම කැක්කුම යනකන් පුටුවට වෙලා ඉඳලා නැගිට්ටේ ඇඳුමක් ඇඳ ගන්න.



විමලා පෙන්න හිටියේ නෑ ගෙදර. උදේම කොහෙ හරි ගිහින් වෙන්න ඇති. ගේ ළඟටම ගියායින් පස්සෙයි දැක්කේ ගෙදර දොර වහලා කියලා. මම එහෙම්ම හැරිලා ආවා ගෙදර. බස් එකට යන්න විනාඩි විස්සක්වත් ඇවිදින්න ඕනේ. ඇවිදින අතරේ කැක්කුම් කීපාරක් එයිද දන්නේ නෑ. අලුත් ඇඳුමක් අල්මාරියෙන් ගත්ත මම ඇඳගත්තා වේගෙන්. අතරේ කැක්කුම් ඇවිත් ඇඳේ ඉඳගත්තා කීප පාරක්ම. මම ඇඳුම් බෑග් එක එක අතකට අරන් අනිත් අතට ගිය සතියේ පත්තිනි මෑනියන්ට වෙච්ච බාරේදි ගැට ගහපු කාසියත් එක්ක තිබ්බ රෙදි කෑල්ල ගත්තා. කමල්ගෙන් සැරින් සැරේ ගත්ත සල්ලි එකතු කරලා යන්තන් හදා ගත්ත සල්ලි කොල දෙක තුන මිටි කරලා දගත්තා රෙදි අස්සට. කුස්සියට ගිහින් දොර වහලා ගේ ඇතුලට එද්දි දැක්කේ නෑබිලියෙ එහෙම්ම තියෙන හාල් ටික. මම තප්පර කීපයක් ඒක දිහා නැවතිලා බලන් හිටියා. ආයේ ඉතින් මේ හාල් ටික උයන්නේ දරු පැටියෙක් ගෙදර තියාගනනේ කියලා මතක් උනාම පොඩි හිනාවකුත් කටේ කොනට ආවා. මම ගේ ඇතුලට ගියා. කොල කෑල්ලකුයි පෑනකුයි හොයාගත්ත මම කුරුටු ගෑවා අකුරු ටිකක්. “ළමයා හම්බවෙන්න ඉස්පිරිතාලේ යනවා. පුලුවන්නම් එන්න”. කොලේ එහෙම්ම සාලේ මේසේ උඩ තිබ්බ මම ඉස්සරහා දොර වහලා එළියට ආවා. මම ඇඳගෙන හිටියේ දම් පාට මල් වැටිච්ච එකම රෙද්දෙන් මහපු චීත්තෙකුයි ලොකු හැට්ටෙකුයි. බඩ ඉස්සරහට ඇවිත් හින්දා චීත්තේ පල්ලෙහා කෙලවර කකුලේ ඇඟිලි දිහාවට යන්න කලින් ඉවර වෙනවා. චීත්තේ පොඩ්ඩක් අතින් එහාට කරලා බැලුවාම සෙරෙප්පු දෙක දාපු කකුල් දෙක පේනවා. ඉස්සර ලොකුවට තිබ්බ සෙරෙප්පු දෙකේ පටි අද හොඳට තද වෙලා තියෙන්නේ කකුල් දෙකම ටිකක් ඉදිමිලා හින්දා. මම කකුල් බලන එක නවත්තලා බෑග් එක ගත්තා එක කරකට. රෙදි වලින් මහලා හදාගත්තේ මම්මයි. රෙදි ගොඩක් තිබ්බ හින්දා ඇඳ්උම් මල්ල බර උනත් බර දැනුනේ නැත්තේ බඩයි හිතයි දෙකම ඒකට වඩා බරයි කියලා දැනුනා හින්දා. මම කඩුල්ලේ තිබ්බ උණ බටේ අයින් කරලා පාරට ආවා. විනාඩි විස්සක ගමන යන්න ආයෙම උණ බටේ කඩුල්ලට දාලා ඉස්සරහා බලාගෙන ඇවිදින්න ගත්තා මම.


පාර දිගේ ඇවිදගෙන ඇවිත් වෙළ මැද්දෙන් පැනලා ආයෙ මහ පාරට එනකන් කාලෙදි මට දැනුනේ ගමේ ඔක්කොම මන් දිහා බලන් හිටියා වගේ කියලා. වෙල මැද්දෙන් එද්දි වෙල ඉවර වෙලා අනිත් පැත්තෙන් තියෙන ගෙවල් දිහා මම පොඩ්ඩක් නැවතිලා බැලුවා. කෙලින්ම ඉස්සරහින්ම පෙනුනේ මහ ගෙදර. අම්මයි තාත්තයි අයියයි ගෙදරට වෙලා ඇති. මම යන්දෝ නොයන්දෝ කියලා දහ පාරකටත් වඩා වැඩිය හිතලා අන්තිමට හිතා ගත්තේ යන්නේ නෑ කියලා. ගියොත් ලොකු වෙනසක් වෙන්නෙ නැති හින්දත්, වෙන්නෙ මට ඉතුරු වෙලා තියෙන කාලේන් විනාඩිය හරි නාස්ති වෙන එකනෙ කියලා හොඳාකාරවම දන්න හින්දත් මම ආයේ හැරිලවත් බැලුවේ නෑ පැත්තවත්. ඉස්සරහට හම්බෙන හැමකෙනාටම යන්තන් හිනා උන මම විජ විජහට ඉස්සරහටම ගියෙ කාටවත් මගෙන් මොකුත් අහන්න වෙලාවක් දෙන්නෙ නැතුව. වෙලෙන් පාරෙන් ගොඩට ආවම බස් යන මහ පාරට තියෙන්නෙ මීටර සීයක් වගේ දුරක්. වෙලෙන් ගොඩක් උන ගමන්ම තියෙන වංගුවෙන් හැරුනාම එක දිගටම තියෙන්නේ මහ පාරට යන පාර. මම ඇවිදන් ගියා හෙමිහිට. අඩි දෙක තුනේ වංගුව පහු කරපු මට දැන් පේනවා දිගටම ඉස්සරහා. කීප දෙනෙක් මන් දිහාටයි මම යන දිහාටයි ඇවිදගෙන යනවා. සමහර අය හයියෙනුත් සමහර අය හෙමිනුත්. මම කීප දෙනා දිහාම සැරින් සැරේ බැලුවා. තුන් හතර දෙනෙක් බලන් යද්දි තමා අදහා ගන්න බැරි දෙයක් දැක්කේ. මට ඉස්සරහා මිනිස්සු තුන්දෙනෙක්ට පස්සේ ඉස්සරහින්ම දෙකට තුනට නමපු පන් මල්ලක් අත අස්සේ ගහගෙන සෙරෙප්පු දෙකක්වත් නැතුව වටපිට බල බල යන්නේ අම්මා. මට දැනුනේ සතුටටත් වඩා පුදුමයක්. මම අඩිය ඉක්මනට තියලා යන්න පටන් ගත්තා. කොහොමත් අම්මා ළඟට එනකොට මහ පාරටත් ළං වෙලා. කමල් කීප පාරක් ගෙදරට ගිහින් බැනලා ආවායින් පස්සෙ දවස් වල ඉඳන් අම්මයි කමලුයි අතරේ ඇයි හොඳයියක් තිබ්බේ නෑ. මම කිසි වැරැද්දක් කලේ නැතත් ආයේ පාරකදි හම්බ උනත් මූණ් බලලා හිනා වෙන්න ඕනෙ කමට හිනා උනා මිසක් කිසිම කතාවක් කලේ නෑ මන් එක්ක. කමල් ගිහින් රණ්ඩු කලේ මන් කිව්ව හින්දා කියලා හිතන හින්දයි කියලා විමලාට දවසක් කියලා තිබ්බා. ඒත් ළමයා හම්බ වෙන්න යන වෙලාවේ මන් එක්ක ඉස්පිරිතාලෙට යන්න කොච්චර තරහා මරහා තිබ්බත් අම්මෙක්නම් බෑ කියන්නෙ නෑ කියලා මට හොඳ විශ්වාසයක් තිබ්බා. පාර පනින්න ඉන්න වෙලාවේ අම්මා ළඟට යන්න පුළුවණ් උනා මට. අම්මේ කියලා හති ඇරලා කතා කරපු මට පෙනුනේ මගේ ඉහේ ඉඳන් දෙපතුල දක්වා හොඳට බලපු කිසිම වෙනසක් වෙලා නැති අම්මව.


අම්මේ.. දෙයියෝ බලලා වගේ අම්මා හම්බුනේ…” මම හති ඇර ඇර හිනාවක් මූණේ තියාගෙන කිව්වා


ඇයි උඹ කොහෙද යන්නේ..?” අම්මා එක අතක තිබ්බ පන් මල්ල අනිත් අතට ගන්න ගමන් කිව්වා.


ඉස්පිරිතාලෙට යනවා.. උදේ ඉඳන් කැක්කුමයි. දිනත් හරිනෙ..”


කෝ ඉතින් උබේ දෙයියෝ නැද්ද.. අම්මේ මන් හිතුවා උඹව කාර් එකක අරන් යයි කියලා..” අම්මා කියාගෙන ගියේ හිනා වෙලා ඇඟිලි දෙකක් කටට තියලා බුලත් කෙල පාරක් පැත්තකට ගහන ගමන්


අම්මා බොරුවට දන්නෙ නෑ වගේ කතා කරන්න එපා අම්මේ. හොඳටම දන්නවනෙ මොනවද උනේ මොනවද වෙන්නෙ කියලා..


ඔව් ඔව්.. අපි තමා ඉතින් බොරුවට කතා කරන්නෙ. උබලා කතා කරන්නෙ හරියට..අනේ පලයන් බන් යන්න…”


වචන ඇහෙනවත් එක්කම මගේ උඩ හිතයි යටි හිතයි දෙකම කිව්වේ මන් හිතන් හිටියා වගේම මට තනියෙන්ම ඉස්පිරිතාලෙට යන්න වෙනවා කියලා. කොහොම උනත් වැඩි දුර යන්නේ නැතුව මම කෙලින්ම අහන්න තීරණය කලා.


අම්මට පුළුවන්ද මාත් එක්ක යන්න එන්න. පලවෙනියා හින්දා මන් කිසි දෙයක් දන්නෙත් නෑ..”


මන් මේ පොළට යන ගමන්..” අම්මා ඒක කිව්වෙ පාර දිහාට පොඩ්ඩක් නැමිලා ඈතින් එන බස් එක දිහා බලාගෙන


මූණේ තිබ්බේ හරිම වේලිච්ච පෙනුමක්. මම හිතා ගත්තා ආයෙම අහන්නෙ නැ කියලා. බස් එක ඩොක ඩොක ගාලා ආවා. ගැස්සෙනකොට බඩට හොඳ නැති හින්දා මම ඉස්සරහින් නැග්ගා. අම්මා පිටිපස්සෙන් නැග්ගාපොළ තිබ්බේ ඉස්පිරිතාලෙට කලින්. හෙමිහිට පස්ස හැරිලා බැලුවාම මට පෙනුනේ අම්මා මට පිටිපස්සෙන් ටිකක් එහායින් ඉඳගෙන ජනේලෙන් එලිය දිහා බලන් ඉන්නවා. මම හයියෙන් හුස්මක් පිට කරලා ඉස්සරහා බලාගත්තා. බස් එක වංගු කීපයක් පහු කරලා කලින් සද්දේ දාගෙනම ගියා. පොළට යන තැනින් බහින්න තව ටික දුරයි. මට අම්මා දිහා බලන්න ලැජ්ජයි. මම කෙලින්ම ඉස්සරහා බලන් හිටියා. එහෙම ඉද්දි හැරිලා බලන්නේ නැති උනත් බස් එකේ අනිත් පැත්ත යන්තන් පේනවා. එහෙම නැතත් ඔළුව හරවන්නෙ නැතුව ඇහැ විතරක් හරෝලා බලන්නත් පුලුවන්. මම හොරෙන් බැලුවා අම්මා මොකද කරන්නේ කියලා. අම්මා කිසි ගානක් නැතුව තාමත් බස් එකෙන් එළිය බලන් ඉන්නවා. තව තත්පර දහයක් යන්න ඇති ඔනේනම්. එක පාරට නැගිට්ට අම්මා ඉස්සරහට ආවා බහින්න බස් එකෙන්. මට කියාගන්න වචනයක් මතක් උනේ නෑ. යන්තන් අකුරු ටිකක් පටලගත්තා මම කට ඇරියා වචන ටික පිට කරන්න.


අම්මා බහිනවද….?” මට අහන්න පුළූවන් උනේ එච්චරයි.


හ්ම්ම්ග්හ්…” අම්මා කිව්වෙ එච්චරයි.


මට දැනුනේ මුළු ලෝකෙම මන් ඉස්සරහා කඩන් වැටුනා වගේ. මට දැනුනේ තරහත් එක්ක ආව දුකක්. මම මොකුත් නොකියම වේලිලා තිබ්බ උගුර තෙමෙන්න කෙල ටිකක් ගිලලා අත් දෙක කාටවත් පේන්නෙ නැතිව මිට මොලෝ ගෙන උඩට හයියෙන් හුස්සමක් අරන් හයියෙන්ම පිට කරලා ඇස් දෙකම වහගත්තා තද කරලා. මම ඇස් ඇරියේ ඉස්පිරිතාලේ ළඟ බහින අය ඉස්සරහට එන්න කිව්වායින් පස්සේ.


බස් එකේ එන අතරමඟදි කීපවතාවක්ම කැක්කුම් ආවට ඒවා වැඩිය දැනුනේ නෑ මට. ඉස්පිරිතාලෙට ඇවිදන් යන පාර දිගට එන්න එන්නම කැක්කුම ළඟ ළඟ එන්න ගත්තා. කොහොම හරි වාට්ටුවට යාගන්න පුලුවන් උනා වැඩි වෙලාවක් යන්න කලියෙන්. මම ගිහින් ඉඳගත්තා පුටුවකින්. ඇඳුම් බෑග් එක පුටුවකින් තියපු මම බඩ උඩින් අත් දෙක තියාගත්තා. මිස්ලා මට කලින් ආපු ලෙඩ්ඩුන්ව බලනවා. විස්තර ලියා ගන්නවා. කෑ ගහනවා. මිනිස්සු එහෙ මෙහ යනවා. ලෙඩ්ඩු එක්ක ගෙවල්වල අයත් ඇවිත් ඉන්නවා. සමහර ලෙඩ්ඩු ලෙඩ හොඳ වෙලා ගෙදර යනවා. සමහාර අය මන් වගේම පෝලිමේ ඉඳගෙන ඉන්නවා. හැබැයි කවුරුත් හිටියේ තනියම නෙමේ. මම විතරක් කවුරුත් අඳුරන්නේ නැති තැනක තනි වෙලා වගේ දැනුනා මට. ඊළඟ කෙනා එන්න කියලා මේසයක් පිටිපස්සෙ වාඩි වෙලා ඉන්න මිස් කෙනෙක් කෑගහනවා. මම නැගිටලා ගියා. අහන හැම ප්‍රශ්නෙකටම හ්ම් හ්ම් කියලා උත්තර දුන්න මට පස්සෙයි තේරුනේ වැඩිම වාරයක් මගෙන් ඇහුවේ තනියමද ආවේ ඇයි තනියම ආවේ කියන එක. මිස් කොච්චර ඇහුවත් මට දෙන්න තිබ්බ් එකම උත්තරයයි. “බබාගේ තාත්තාට සෑහෙන්න වැඩ මේ ටිකේ”. මන් කියන්න හදන දේ මිස්ටත් තේරුනා වගේ ආයේ මගේන් මොකුත්ම ඇහුවේ නෑ. අන්තිමට මගේ භාරකාරයා මමම වෙලා වාට්ටුව ඇතුලට ආවා.


වාට්ටුවෙ දොස්තර මහත්තයා බැලුවායින් පස්සෙ මාව කෙලින්ම යැව්වේ ලේබර් රූම් එකට. ගෙනාපු ඇදුම් මල්ලෙන් චීත්ත දෙකයි තව ඕනේ දේවල් ටිකයි තව පොඩි බෑග් එකකට දාගෙන මම ගියා මිඩ් වයිෆ් මිස් කෙනෙක්ගෙ පස්සෙන්. මට ඊට පස්සෙ මොනවා වෙයිද කියන එක මට හිතුනෙම නැහැ. වෙන දෙයක් වෙයි කියලා හිතනවට වඩා මට හිතූනේ හැමදේම හොඳට වෙයි කියලා. ටික වෙලාවක් යද්දි මම හිටියේ ඇඳක් උඩ. මිස්ලා කීප දෙනෙක් ඇඳ වටේට. සේලයින් බෝතලයක් එල්ලලා එක අතක තියෙන කටුවකින් බිංදුව බිංදුව ඇඟට ඇතුල් වෙනවා. විනාඩි දෙකෙන් දෙකට යටි බඩ හරියෙන් පටන් අරන් මුළු බඩටමයි කොන්ද දිහාවටයි යන්න බඩ තද කරලා විශාල කැක්කුම් එනවා. එන කැක්කුමක් කැක්කුමක් ගානේ මගේ කටෙන් හිතන්නෙම නැතුව සද්ද පිට වෙනවා. මුළු මූණම දාඩියෙන් තෙත් වෙලා. වෙලාවෙන් වෙලාවට තෙත රෙදි කෑල්ලකින් කවුරු හරි ඇවිත් මූණ් පිහදානවා. වතුර ඕනේ කිව්වොත් බිංදු දෙක තුනක් කෝප්පෙකින් පොවනවා. සැරින් සැරේට තව කවුරු හරි ඇවිත් බඩට පුනීලයක් වගේ නලාවක් තියලා බලනවා. බබාගේ සද්දේ අහන්නෙ ඒකෙන් කියලා මුළින්ම ආව වෙලේ මිසී කෙනෙක් කිව්වා. ඔහොම පැය කීයක් හිටියද කියලා මතකයක් නෑ මට. එන්න එන්නම කැක්කුම් වැඩි වෙද්දි මිස්ලා ළඟට ඇවිත් බලන වාර ගානත් වැඩි උනා. කොහොමෙන් කොහොම හරි එක පිට එක ආපු විස්තර කරන්න බැරි තරම් කැක්කුම් කීපයකින් පස්සේ අතට අල්ලන්නත් බැරි තරමේ චූටිම චූටි රෝස පාට බෝලයක් වගේ පොඩි පැටියෙක් මගේ පපුව උඩින් ගෙනත් තිබ්බා. දැනුන කැක්කුම කොහෙ ගියාද දන්නේ නෑ. හිත පිරිලා තිබ්බේ සතුටෙන්.


ඔහොම දවස් දෙකක් ගියා. උදේ හයටයි දවල් දොළහටයි හවස පහටයි වාට්ටුව පිරෙනවා මිනිස්සුනෙගෙන්. අම්මවත් කමල්වත් දැක්කේ නෑ දවස් දෙකටම. විමලා විතරක් කෑම එකකුයි කෙහෙල් ඇවරියකුයි අරගෙන ආවා බලන්න. කමල් ලියුම දැකලා නැතිවත්ද කියලා හිත කිව්වත් විමලා කිව්වේ කමල් දැනන් හිටියා කියලා. මම අන්තිමට කලේ ලෙඩ්ඩු බලන වෙලාවට ළමයත් අරන් පැත්තකට යන එක. ඔහොම ඉඳලා දවස් දෙකකට පස්සේ බබාවයි මාවයි දෙන්නගෙම ටිකට් කපපු හින්දා යන්න ලෑස්ති වෙන්න කිව්වා. දවල් දොළහට කවුරුත් එයිද කියලා බලන් හිටියේ ඇඳුම් ටිකත් හදාගෙන. එකට ළඟයිත් එක්ක. මම හෙමිහිට ගියේ මිස් කෙනෙක් ළඟට.


මිස්.. මගේ ටිකට් කපලා තියෙන්නෙ. යන්න පුළුවන්ද..?”


ගෙදරින් ඇවිත්ද ඉන්නෙ අම්මා…?”


තාම නෑ මිසී. ඒත් මට තනියම යන්න පුලුවන්..” මම ඔළුව පොඩ්ඩක් පාත් කරලා බයාදු ගතියකින් කිව්වා.


එහෙම බෑ අම්මා. ගෙදරින් ආවොත් යන්න පුළූවන්. ආවාම කියන්න..”


මම හොඳදාකාරවම දැනන් හිටියා ඉස්පිරිතාලෙට ගෙනත් දාන්න ආවේ නැති අය අරන් යන්න කොහොමත් එන්නේ නැහැ කියලා. මම එවෙලේ ඉඳන් අහස පොළොව ගැටලන්න වගේ කල්පනා කලේ කොහොමද ටිකට් කපාගෙන ගෙදර යන්නේ කියලා. විනාඩි පහක් දහයක් ගියායින් පස්සේ මේසේ ළඟ ඉඳගෙන හිටියේ වෙන මිස් කෙනෙක්. මම ඇහුව දේට මිස් දුන්නෙත් කලින් මිස් දුන්න උත්තරමයි. මම විනාඩි පහක් ආයෙම ඇවිත් ඇඳ්ඒ ඉඳගෙන නැගිටලා ගියේ කියන්න උත්තරයක් හදාගෙන කොහොම හරි ටිකට් කපාගෙන යනවමයි කියලා හිතාගෙන.


මිස් බබාලගෙ තාත්තා ඇවිත් ඉන්නේ. පහල වාහනේ ඉන්නේ..”


ඇයි එන්න බැරිද මෙහෙට..?” මිස් කිව්වෙ අහක බලාගෙනම.


අනේ මිස් දැන් ඉතින් මගේ ටිකට් කපලනෙ තියෙන්නේ. මම බබලාගේ තාත්තව පහලින් හොයාගෙන යන්නම්.. දැන් දවස් දෙකක්ම හිටියනේ. ආයෙ ඉතින් මහත්තයා මෙතනටම එන්න ඕනේ නෑනේ..”


මිස් ටිකට් කපලා යන අයගෙ විස්තර ලියන පොත අරගෙන මගේ වදෙන් බේරෙන්නෙ බෑ වගේ යන්තන් නම ලියාගෙන බබාගෙ පොතයි අනිත් කාඩ් එහෙමයි දීලා යන්න කිව්වා. මමත් මිටින් මුදවපු කුරුල්ලෙක් වගේ ළමයා අතට අරන් ළඟ හිටිය කෙනෙක්ට කියලා ඇඳ්උම් බෑග් එක අතකට අරන් වාට්ටුවෙන් ආවා එළියට. මිනිස්සු එහෙ මෙහෙ යනවා. සමහර මිනිස්සු බිම බලාගෙන. සමහරු වටපිට බලාගෙන. සමහරු මම යන දිහාවට යනවා. සමහරු මන් දිහාවට එනවා. ඒවා දිහා බල බල මම නිකම්ම ඉස්සරහට ඇදිලා යනවාවෙලාව දෙකට ළං වෙලා තිබ්බේ. අව්වේ සැරේ අඩුවක් වෙලා තිබ්බේ නෑ. මම රෙදි කෑල්ලක් අරන් ළමයව වහගෙන. හෙවන තැන් හොය හොයා ඇවිද්දා. බස් එක ගන්න තිබ්බේ එනකොට බැහැපු තැනින්මයි.  විනාඩි දහයක් යන්න කලින්ම බස් එකක් ආවා  ළඟටම. මම එනකොට හිටියා වගේම තැනකින් ඉඳගෙන කලින් වගේම ඉස්සරහා බලාගෙන වටපිට බලන්නේ නැතුවම ඉඳගෙන ආවා. ඇස් කොනෙන් බැලුවත් පෙනුනේ වෙනදා වගේම හිටිය මිනිස්සු ටිකක් විතරයි. මම බස් එකෙන් බැහැලා ඇවිදන් ආපු පාරේ ආයෙම ඇවිදන් ගියා. වෙනසකට තිබ්බේ අම්මා හම්බුනේ නැති ටික විතරයි. වෙලේ පාරෙන් යද්දි මට පේනවා මහ ගෙදර. අම්මයි තාත්තයි අයියයි ඇති ගෙදරට වෙලා. මම තිබ්බ මහන්සියට තැනින් තැන නැවතිලා හුස්ම උඩට අරන් පහළට දැම්මා.


කෙලින්ම ඇවිදගෙන ගෙදරට ආපු මම බබාව ඇඳෙන් තියලා ගියේ කුස්සියට.  කුස්සිය තිබ්බ විදිහමයි. දොරවලුත් ඇරලා දාලා. හාල් දාපු නෑඹිලියත් එහෙම්මයි. කිසිම වෙනසක් වෙලා නෑ. එතකොට වෙනස වෙලා තියෙන්නෙ මට විතරද. මම හිමිහිට කල්පනා කරන්න පටන් ගත්තා. කුස්සියෙ දොර වහලා මම ආවේ ඉස්සරහට. කාමරේ දොර රෙද්ද ඈත් කරලා බැලුවාම පෙනුනේ රෝස පාට චූටි පැටියව. මම ගියේ ඉස්සරහා දොර ළඟට. සුපුරුදු පුටුවෙම වාඩි උන මට මතක් උනේ කමල් අද මොනවගේ විදිහට හැසිරෙයිද කියන එක. මට හිතුනෙම ඒකෙත් කිසි වෙනසක් වෙන්නෙ නැති වෙයි කියලා. තවත් හිතද්දි මතක් උනේ අම්මා බස් එකෙන් බැහැලා යද්දි ඒ බැහැලා ගිය විදිහ. මිනිහා ගෑණිට මෙහෙම කලත් අම්මෙක් තමන්ගෙ ළමයට එහෙම කරන්න පුළුවන්ද. මගෙ පපුව ගැහෙන්න පටන් ගත්තා වේගෙන් වේගෙන්. බහිද්දි මොකක්ද කිව්වෙ අම්මා. මම මගෙන්ම ඇහුවා.
"හ්ම්ම්ග්හ්.."

ඒ වචනේ අස්සේ පපුවට යකඩෙකින් ගහන තරමේ සැරක් තිබ්බෙ. නිකන් හ්ම්ම් කියන්නේ නැතුව ඇයි ඒකට හල් ගයන්නක් ඇතුලට දැම්මේ. ඒ මට හොඳට දැනෙන්නෙ වෙන්න ඇති. මම ඒ හිත හිතා ඉද්දියි තේරුනෙ තාමත් මන් සෙරෙප්පු දෙක දාගෙන නේද ඉන්නෙ කියලා. සෙරෙප්පු දෙක ගලවන්න හදන්කොටයි දැක්කේ කලින් පටි හොඳට තද වෙන්න තිබ්බත් දැන් ඒකත් වෙනස් වෙලා කියලා.. හව​ස් වෙන්න තව ටික වෙලාවයි. කලින් ගෙට හුළං ආවට දැන් ආයේ හුළං එන්න දෙන්න හොඳ් නෑ. මම නැගිට්ටේ දොර වහලා කාමරේට යන්න.
















Comments

  1. මුළු කතාවෙම සාරාංශයක් ඒ අන්තිම හල් ගයන්නේ ගැබ්වෙලා තිබුනා.ඒක හරිම ගැඹුරුයි.
    I wonder how you have understood women's feelings to such an extent. Excellent piece of writing👌👌👌. Keep it up 💪💪💪

    ReplyDelete
    Replies
    1. Sandun Rajapakshe10 July 2022 at 03:24

      Thank you ! To write from a female perspective experiences I got from working at Castle street hospital helped me ver much

      Delete

Post a Comment

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය