පැණී තේ

මම හිටියේ බස් එකේ ජනේලෙට ඔළුව තියාගෙන හේත්තු වෙලා. බස් එකේ වම් පැත්තේ ඉන්න මට පාරේ එහා පැත්තේ හැමදේම පේනවා. බස් එක හෙමින් යද්දි වටේම හෙමින් යනවා. හයියෙන් යද්දි වේගෙන් හැමදේම පස්සට යනවා. කන් දෙකෙන්ම සිංදුවක් අහගෙන ඔලූව ෂීට් එකටයි ජනේලේ වීදුරුවටයි බර දීලා හැමදේම බලාගෙන ඉන්නවා. බස් එක යන්නේ පාරේ වැනි වැනි. වංගුවක් ගන්න හැම වෙලවෙමයි වාහනයක් ඉස්සර කරන වෙලාවටයි ඔළුව වීදුරුවෙනුයි ෂීට් එකෙනුයි ඉස්සරහටයි පැත්තටයි ඇවිත් ආයෙම තිබ්බ තැනටම යනවා. යන්නේ පොඩි රිදිල්ලකුත් ඇති කරගෙනතප්පරෙන් තත්ත්පරයට එළියෙන් එන හුළඟටයි ඇඟ ඇතුලෙන් තිබ්බ මහන්සියයි හින්දා සැරින් සැරේට මගෙ ඇස් පියවෙනවා. ඒත් තත්ත්පර පහක් යන්නත් කලින් ආයේ පියවි සිහියට එනවා. මම ආයෙම හරිබරි ගැහිලා ඉඳගන්නවා. ඔහොම කොච්චර වෙලා ගියාද කියන්න මතක නෑ. කඩුවෙලයි මාලබේයි පහු කලා කියලා මතකයි. බත්තරමුල්ලෙන් ගියා වගෙත් ලාවට මතකයි. පැයක් විතර නින්ද ගිහින් හිටපු මම ඇහැරුනා එක පාරටම. බස් එක සෙනඟ බහින්න හින්දා නවත්තලා තිබ්බේ. නින්දයි නොනින්දයි අතර හිටපු මට උන්නේ කොහෙද කියලා මතකයක් තිබ්බේ නෑ. කොහුවල හංදියෙන් බහින්න ඉන්න මට ඇස් ඇරියාම වට පිටාව පෙනුනේ වගේ හින්දා බස් එක ආයේ අද්දන්න කලින් බැහැගත්තා ඉක්මනටම.


මම බැහැලා තිබ්බේ නුගේගොඩ පාලමටත් කලින්. බස් එකෙන් බැස්ස ගමන් නවත්තලා තිබ්බ වාහන අස්සෙන් ගිහින් පාර පැන්නායිනුත් පස්සෙ තමා හරියටම තේරුම් ගියේ. ආයේ බස් එකට නගින්න බැරි හින්දත් විනාඩි දහයක් වගේ යන්න තියෙන්නෙ හින්දත්, මට ඕන තරම් වෙලා තිබ්බ හින්දත්, තීරණය කලේ පයින්ම අනිත් බස් එක ගන්න යනවා කියලා. එහෙම හිතපු මම තව ට්ක වෙලාවක් පාර පනින්න කොළ පාට ලයිට් එක පත්තු වෙනකන් බලන් හිටියා. මිනිස්සු කවුරුත් මූණ දිහා බලන්නේ නෑ. පාරේ ඇවිදන් යන අය බලන්නේ පාර ඉස්සරහා. පාර පනින්න බලන් ඉන්න අය බලන්නේ ඉස්සරහින් තියෙන ලයිට් ටික දිහා. පාර පනින්න කොල පාට ලයිට් එක පත්තු උන ගමන් දෙපැත්තෙන් මිනිස්සු කඩාගෙන බිඳගෙන එනවා. පාර දෙපැත්තෙන් ආවට මැද්දට එනකොට ඉන්නේ ඔක්කොම එකට. යන දිහාව විතරයි වෙනස්. ඒකත් හරියට එක ළඟ තීයෙන ගස් දෙකක මුල් දුවනවා වගේ. අස්සෙන් අස්සෙන් රිංගලා යනවා. මාත් අමාරුවෙන් කාගෙවත් ඇඟේ වදින්නේ නැතුව පාර පැන ගත්තා. ඉස්සරහට ඇවිදන් යද්දි පාරේ වාහන වලට කොළ එළිය වැටිලා ඒවා යන්න පටන් ගත්තා. මම පිටිපස්සවත් පැත්තවත් හැරිලා නොබැලුවාට වම් පැත්තේ කනට හොඳට ඇහුනා වාහන සද්දේ. ඉස්සරහින් තියෙන පාලම දිහාවට ඇවිදන් ගියා මම සුපුරුදු වේගෙන්ම. යද්දිත් ඉස්සරහ සෑහෙන ඈතක් බලාගෙන මගේ දිහාවට එන සීයක් විතර සෙනඟ හම්බුනා මට. කවුරුත් මගෙ මූණ දිහා බැලුවේ නෑ. ඒත් මන් මූණූ ඔක්කොම බලාගත්තා හොඳට


වෙලාව හවස පහට ළඟයි. අතරින් පතර පේන අහසෙ තිබ්බේ වළාකුලු විතරයි. වළාකුලුත් පේන්නේ එක එක පාටට. ඔළුවට කෙලින්ම උඩින් තියෙන්නෙ සුදු පාට ඒවා. ඈතට යන්න යන්න පාට වෙනස් වෙනවා. රතු පාට, දම් පාට, එක එක පාට. වළාකුලු කොච්චර තිබ්බත් තාමත් වටපිටාව එළියයි දවල් වගේම. මම රේල් පාරත් පැනලා තව යනවා ඉස්සරහට. දකුණූ පැත්තෙන් තියන කඩ පේලි වල නැති දෙයක් නෑ. සපත්තු කඩ දකිද්දි මටත් හිතුනේ ගිහින් සපත්තු දෙකක් ගන්න. මම ඇවිදින ගමන් ටිකක් නතර වෙලත් බැලුවා මගෙ සපත්තු දෙක දිහා. සපත්තු දෙකේ කිසිම වැරැද්දක් පේන්න නෑ. ගත්තා වගේම තියෙනවා. පස්සෙ දවසක ගන්නම් කියලා හිතාන අනිත් කඩවලටත් ඔළුව දාගෙන ඇවිදන් ගියා පාලම ළඟටම. වාහන යනවා දෙපැත්තටම. තත්ත්පරයට යන වාහන ගාන ගනන් කරන්නත් අමාරුයි. දවස ඉවර වේගෙන යන හින්දා හැමෝම කලබලෙන්. පාර පනින්න පාර අයිනෙන් හිටගත්ත මට කෙලින්ම ඉස්සරහින් තියෙන්නේ හරස් අතට තියෙන ගුවන් පාලම. ඒකෙත් පහළ වගේම යනවා වාහන. ආයේ පහළ බලලා ඉස්සරහා බලපු මට පෙනුනේ කොළ පාට පත්තු වෙන්න තව තත්ත්පර අනූනමයටත් වැඩියෙන් තියෙනවා කියලා. මම අත් දෙකත් බැඳගෙන හතර වටේ බල බලා ඉන්නවා. මම ළඟින් මිනිස්සු කීප දෙනෙකුත් ඉන්නවා පාර පනින්න්න. දෙපැත්තෙන්ම මිනිස්සු හිටිය හින්දා මම පස්සට ඇවිත් පේලියේ දකුණූ පැත්තේ කෙළවරටම උනා. ඇවිත් කලින් විදිහටම හිට ගත්තා. මට දකුණු පැත්තෙන් කෙලින්ම පොලොව මට්ටමට පොඩ්ඩක් ඉහළින් ඉර එළිය ගලාගෙනව එනවා. මම කෙලින්ම ඉස්සරහා බැලුවොත් පැත්තෙන් එන ඉර එළිය හින්දා නලලට වැටුන කෙස් ගස් කීපයකුයි දකුණු ඇහේ ඉහලට වක් වෙලා තියෙන ඇහි පිල්ලමුයි ලාවට තඹ පාටට පේනවා. මම ඇහි පිල්ලමක් ගහන හැම වෙලේකම උඩයි යටයි පිල්ලම් ටික එකතු වෙලා තඹ පාට වැඩි වෙලා දකුණූ පැත්තම බොඳ වෙනවා. ආයෙම මූණ හරෝලා දකුණූ පැත්ත බැලුවොත් පාට නැති වෙලා ගිහින් මූණට කෙලින්ම වැටෙනවා ඉර එළිය


ඉර එළිය දිහා බල බලා හිටපු මට පෙනුනේ පාර පනින්න කොළ එළිය වැටෙන්න දැන් තියෙන්නේ තත්ත්පර අනූ නමයට වඩා අඩුවෙන් කියලා. මම අත උස්සලා නලලට වැටුන කෙස් ගස් ටික ඇඟිලි අතරින් යවලා හදාගෙන ආයෙම අත් දෙක බැඳගත්තා. තත්ත්පර කීපයක් යන්න කලින් කවුදෝ ඇවිත් මම ළඟින් හිටගත්තා. ළඟින් කිව්වට මට වඩා මීටර් දෙකකට විතර එහායින් මීටරයක් විතර පිටිපස්සෙන්. එතන හිටියේ අවුරුදු පහක විතර පොඩි ළමයෙක් වඩා ගත්ත අවුරුදු තිස් පහක විතර පෙනුම තියෙන ගෑණු කෙනෙක්. ටිකක් වෙලා හොඳට බැලුවොත් තිස් පහක් තියා විසි පහක්වත් නැති තරම්. මම තරම්ම උස ඇති. ළමයව වඩාගෙන ඉන්න විදිහට පෙන්නෙ නෑ මූණ. උනත් ඇඳලා තියෙන ඇඳ්උමෙන් කියන්න පුලුවන් කොල්ලෙක් කියලා. ළමයට වඩා මම බැලුවේ අම්මා දිහා. ඇඳගෙන හිටියේ කලුයි සුදුයි කලවම් වැලමිටට පොඩ්ඩක් උඩින් නවතින තරම් අත් තියෙන  සිල්ක් හැට්ටයකුයි තනි කලුපාට වළලුකර ළඟටම වෙන්න තිබ්බ හැට්ටෙ වගේම සිල්ක් බවක් පෙනුන සායකුයිඇඟ කෙට්ටුයි. හම තලෙළුයි කලුයි අතර පාටක් තිබ්බේ. අත් දෙකම දෙපැත්තෙන් දාලා ළමයගෙ පස්සෙන් තියලා ඔළුව උරහිස්සක හේත්තු කරන්. ළමයා වඩන් ඉන්න විදිහට, ළමයගෙ බර හින්දා කොන්ද ටිකක් බඩ පැත්තට වක් වෙලා බඩ ඉස්සරහට ඇවිත් තිබුනේ. හැට්ටේ ඉස්සරහින් පහළට ඇදිලා හින්දා මාලයක්වත් නැති කරයි පපුවෙ උඩ කොටසයි හොදට පේනවා. ළඟටම ගිහින් ළං වෙලා බැලුවනාම් අති පිහදාලා අයින් කරන්න පුලුවන් තරමේ දූවිලි තට්ටුවක් ඇති කියලා මට හිතුනේ. දාඩියත් එක්ක එකතු වෙලා තිබ්බ් දුවිලි වලට අව්ව වැටුනාම මගෙ කෙස් ගස් වගේම ඒවත් දිලිසෙනවා. මූණ තියෙන්නෙ ඉස්සරහා තියෙන පාලම පැත්තට මූණලා පොඩ්ඩක් උඩට ඉස්සිලා. උල් වෙච්ච නිකටෙ හරියෙ ඉඳන් එන දාඩිය බිංදු වටේම තියෙන දූවිලි ටිකත් එකතු කරගෙන බෙල්ල ළඟට ඇවිත් පපුව මැද්දෙන් පහළට ගලන් යනවා. එහෙම ගලන් ගියපු පාරවල් එකතු උනාම පේන්නේ මාලයක් දැම්මා වගේ තමයි. දාඩිය බිංදු එහෙම්ම නොපෙනිලා යනවා. දාඩිය බිංදු හොයන්න වගේ සැරින් සැරේ ළමයගෙ එක අතක් පපුව දිගේ පහළට යනවා. යන හැම පාරකම අත අරන් දාන්න වෙනවා ගෑණූ ළමයට


කොළ එළිය වැටෙන්නත් ළඟයි. තව තියෙන්නේ තත්ත්පර විස්සක් විතර. මම තාමත් සැරින් සැරේ බලන්නෙම අම්මයි පුතයි දිහා. මෙච්චර වෙලා දකුණු පැත්තේ උරහිසේ හිටපු ළමයව වම් පැත්තට අරගෙන මම ඇහි පිල්ලමක් ගහන සැනෙකින්. එතකොටයි හරියටම මූණ දැක්කේ ළමයගේ. අම්මාගේ වගේම හීනී මූණක් තිබ්බේ. හමේ පාට අම්මට වඩානම් ටිකක් තදයි. කදුලු පිරිච්ච ඇස් මලානික වෙලා ගිහින්. ඇස් වලින් වැටිච්ච කදුලු කෙලින්ම නහය ළඟින් වැටෙන්නේ නැතුව පිම්බිලා තිබ්බ කම්මුල් පැත්තට ගිහින් කම්මුල් දිලිසෙනවා. අතේ තියන් හිටියේ සූප්පු බෝතලයක්. විනිවිද පේන ජාතියෙ එකක. අතින් අල්ලන කෑලි දෙක විතරක් නිල්පාටට තියෙනවා. කොච්චර පරණද කියලා හරියටම කියන්න බැරි උනාට කහ ගැහිලා තිබ්බ විදිහටනම් කවුරු හරි පාවිච්චි කරලා අයින් කරපු එකක් වෙන්න ඕනේ කියලා දැක්ක ගමන් හිතුනා. එහෙමත් නැත්තන් අවුරුදු ගානක් පාවිච්චි කරලා හරියට හෝදන්නේ නැතුව තියලා වෙන්නත් පුළුවන්. ඒක ඇතුලේ තිබ්බෙ වතුර. බෝතලේ කහ ගැහිලා හින්දා වතුරත් පේන්නේ බොර පාටට. ළමයා බෝතලේ සූප්පුව සැරින් සැරේ කටෙන් තියලා උරනවා.උරලා වතුර පොඩ්ඩක් බොනවා. ආයෙම ඔළුව අනිත් පැත්ත හරවන් උරහිස්සෙන් තියාගන්නවා. හිටිය විනාඩියට ඔහොම කීප පාරක්ම කරන්න ඇති. සමහරවිට රස්නෙට දාඩිය දාලා ඇති හින්දා වෙන්න ඇති කියලා හිතුනා මට


කොළ ලයිට් එක පත්තු උනා. කලින් වගේම මිනිස්සු දෙපැත්තෙන් ඇවිත් පාර මාරු වෙන්න පටන් ගත්තා. අපි පහලින් පාර පනිද්දි පාලෙමේ උඩ යන වාහන එහෙම්මම විදිහටම යනවා. මම හිමිහිට අඩිය තියලා ඇවිදින්න පටන් ගත්තා. කලු පාට රබර් සෙරෙප්පු දෙකක් දාගත්ත මන් ළඟ හිටිය ගෑණු ළමයා, ළමයවත් වඩාගෙන මන්  ඉස්සරහින් යන්න ගත්තාමාත් එක්කම මට ඉස්සරහින් මට වඩා වේගෙන් ඇවිදන් යනවා. අත් දෙක එකට බැඳගෙන හිටපු මම අත් දෙක කලිසමේ සාක්කු දෙකට දාගෙන ඇවිදින්න පටන් ගත්තා. වම් උරහිස්සේ ඉන්න පොඩි ළමයා මට ඉස්සරහින් පැද්දි පැද්දි යනවායන අතරෙදි සූප්පුවෙන් වතුර බොනවා. කහ ඉර පනිනකම්ම මම දිහා බලාගෙන ගියා. ළමයා මම දිහාත් බැලුවා එක පාරක්. ඔහොම ගිහින් කහ ඉර ඉවර උනාම මම වම් පැත්තටටහ් අම්මයි පුතයි දකුණූ පැත්තටයි හැරිලා යන්න පටන් ගත්තා. මට ආයෙමත් හැරිලා බලන්න ඕනේ උනත් මම බැලුවේ නෑ. මම බෑග් එකත් එක පැත්තක උරහිසෙන් දාගෙන ඉස්සරහට ඇවිදනගෙන ගියා. මට තව යන්න තිබ්බා මීටර් සීයක් දෙසීයක් විතර ටික යන්න විනාඩි පහක්වත් යන්නේ නැති උනත් පරක්කු වෙයි කියලා අඩියට දෙකට යන්න පටන් ගත්තා. තියන අඩියක් අඩියක් ගානේ මට මටත් උනා අර අම්මයි ළමයයි. දැන් කොහේ යනවා ඇතිද. ඊටත් වඩා, කොහේ ඉඳන් එන්න ඇතිද. ළමයගෙ තාත්තා කොහෙද. පවුල ජීවත් වෙන්නෙ, කන්නේ අඳ්ඉන්නේ කොහොමද. මේ වගේ එක එක ජාතියෙ ප්‍රශ්න වලින් මගේ හිත පිරිලා ගියා. ගොඩාක් ප්‍රශ්න වලට උත්තර මන් ළඟ තිබ්බේ නෑ. මට එහෙම උත්තර හොයන්න තරම් ඕනේ කමක් තිබ්බෙත් නෑ. මොනවා උනත් මට එවෙලෙම හිතුනා අද දවසෙම ගැන මට මතක් වෙයි කියලා. ඉන්නේ කොහොද යන්නේ කොහේද කෙසේ වෙතත් හිතට ගොඩක්ම වැදුනේ ළමයගේ අතේ තිබ්බ කහ ගැහුණු සූප්පු බෝතලේ.


මම දුවන වේගෙන් ඇවිදන් ගිහින් බස් එකක් එනකන් බස් හෝල්ට් එක ළඟ තිබ්බ කොට්ටං ගහ යටට ආවා. හොරණටයි කැස්බෑව පැත්තටයි යන්න සෙනඟ සෑහෙන්න පිරිලා ඉන්නවා. බස් දෙක තුනක් ආවත් නැග්ගේ නැත්තෙ බස් එක පිරෙන්නම සෙනඟ හිටිය හින්දා. ඊළඟට ආපු සෙනඟ අඩු බස් එකේ නැඟලා යන්න පටන් ගත්තා. ඉඳගන්න ෂීට් එකක් හම්බුනා හින්දා ඉඳගෙන ලෝකෙ නැති දේවල් මතක් කර කර යනවා. මතක් වෙන්නෙ නැති දෙයක් නැති තරම්. මොකක් හරි මතක් වෙලා ගැන  ගැඹුරෙන් හිත හිතා ඉද්දි පාරේ දකින දෙයකින් හිත හිතා හිටිය එක සම්පූර්ණයෙන්ම අමතක වෙලා වෙනස්ම දෙයක් ගැන හිතන්න පටන් ගන්නවා. තනියෙන් ඉන්නකොට එහෙම තමයි. අපි සිතුවිලි වල අතරමං වෙනවා. සිත තැන් තැන් වෙල නවතිනවා. හින්දා තමා ඒවට කියන්නෙ හිත නැවතුනු සිතුවිලි කියලා. හිත එක සිතුවිල්ලක නැවතුනාම එතනින් හිත අයින් කරන්න පුලුවන් වෙන්නෙ තවත් වගේම සිතුවිල්ලකට. එහෙමති නැතිනම් ඊටත්  වඩා ගැඹූරු සිතුවිල්ලකට. ගැඹුරු සිතුවිල්ලක හිත නතර උනාම ආයේ ඒකෙන් ගැලවීමක් ඇති වෙන්නෙ නෑ. කාලෙත් එක්ක ටිකින් ටික ගැඹුර නැති වෙලා යනවා මිසක් වෙන සිතුවිලි දාලා ගැඹුර ගොඩ කරන්න බැහැ. බැහැ කියනවට වඩා, අමාරුයි කිව්වොත් හරියටම හරි. මම ගැඹුරු සිතුවිලි කීපයකම එකපාර කිමිදිලා හිටියේ. එකකට එකක් වෙන් කරලා අඳුන ගන්න බැරි තරමට ඔක්කොම එකට බැඳිලා. මම හිටියේ ඒවායේ ගැට ලෙහන ගමන්. අඩු තරමේ ගැට ටික ලෙහලා වෙන වෙනම සිතුවිලි ටික මොනවද කියලා දැන ගන්න එකත් වෙලාවේ හැටියට ලොකු දෙයක්. කොච්චර උත්සාහ කලත් එහෙම කරන්න බැරි උනා මට. මගෙ හිත තනියෙන් හිටියට මම වටේට තව ගතවල් ගොඩක් හිටිය හින්දා වෙන්න ඇති. මගේ ගතයි හිතයි විතරක් තියෙන වෙලාවක් බලලා ගැට ටික ලෙහාගන්නවා කියලා හිතාන මම නැගිට්ටේ බස් එකෙන් බහින තැන ළං උන හින්දා.


බස් එකෙන් බැස්ස මන් ටිකක් එහාට ගිහින් කහ ඉරෙනුත් පැන ගෙන ඉස්සරහට ඇවිදන් ගියා. දැන්නම් හවස හයත් පහු වෙලා. උනත් වැඩ පටන් ගන්නේ හතට හින්දා මට ඕනවටත් වඩා වෙලාව තිබ්බා. දැන් වාහන වල ලයිට් එළි එක දෙක දැල්වෙන්න පටන් ගන්නවා. තව ටිකක් වෙලා යද්දි හැම තැනම ලයිට් පත්තු වෙවී. කලින් සුදුවට තිබ්බ වළාකුලු ටික දැන් අතුරුදහන් වෙලා. අහසේ ගොඩාක් ඈති තියෙන කලින්ට වඩා තදින් පාට උන වළාකුලු කීපයක් විතරක් ඉතුරු වෙලා. මම සැරින් සැරේ අහසයි පොළොවයි දිහා බල බල ඇඟ දිහාට එන වාහන වලිනුයි මිනිස්සුන්ගෙනුයි පරිස්සම් වෙලා හෙමිහිට ඇවිදන් ගියා. පාරේ ඉඳන් හොස්පිටල් එක ඇතුළට යන්න තව මීටර් එකසියපනහක් වගේ යන්න ඕනේ. ටිකත් හදිස්සියක් නැතුව ඇවිදින්නයි හිත් කිව්වෙ මගෙ. හවස ඩියුටි එක කලින් ඉවරකරගෙන ගෙදර දුවන මිස්ලා කීප දෙනෙක්ම හම්බුනා මූණටම. එයාලට කට කොනෙන් පොඩ්ඩක් හිනා වෙලා ගේට්ටුව ළඟ හිටිය සිකියුරිටි අන්කල්ටත් හිනා වෙලා පැනගත්තා හොස්පිටල් එක ඇතුළට. දැන් තියෙන්නෙ වෙනම ජීවිතයක්. හොස්පිටල් එකේ ගේට්ටුවෙන් ඇතුලට එනවා කියන්නේ ඒකෙන් එළියේ ජීවිතේට වඩා සෑහෙන වෙනස්. මම කෙලින්ම ඇවිදන් ගියේ අපේ කාමරේට. එහෙමත් නැත්තන් ඩොක්ටර්ස් රූම් එකට. නයිට් ඩියුටි එනට සූදානම් උන මන් පුටුවටකට වෙලා වාඩි වෙලා හිටියේ කාමරේ දොරත් පොඩ්ඩක් ඇරගෙන. ජනවාරි පළවෙනිදා පහුවෙලා ගිහින් තිබ්බේ දවස් කීපයයි. තවත් අවුරුද්දක් පටන් ගත්තා. අවුරුද්දක් ඉවර වෙලා තව අවුරුද්දක් පටන් ගන්න එකත් අපි සමරනවා. අවුරුද්ද ඉවර වෙන එකත් සමරනවා. සමරන්නේ නැති දෙයක් නැති තරම්මීට දවස් කීපයකට කලින් අලුත් අවුරුද්ද ලබන එක සමරන්න හදලා තිබ්බ කෑම මේසේ මතක් උනා මට. කෑම මේසෙ තිබ්බේ මන් ඉඳන් හිටිය පුටුවට ටිකක් ඉස්සරහින්. එදා මන් දැන් උන්න විදිහටම හිටියානම් කෑම මේසේ සුවඳ හොඳට එයි. ගැන මතක් කලාම හිත ඇතුලේ කොහේ හරි හැංගිලා තිබ්බ සුවඳ ආයෙම නහයට දැනුනා පොඩ්ඩක්. සුවඳ කිරිබතුයි, ඇඹූල් කෙසෙලුයි, කැවුම් වලයි එදා තිබ්බ බීම ජාතිවලයි තේ වලයි එකතුවක්. මම එකම තැන ඉඳගෙන බලාගෙන ඉන්නවා. මිස්ලා එහෙට මෙහෙට යනවා. දොස්තරලත් එහෙට මෙහෙට යනවා. මාත් ගිහින් කෑම බෙදා ගන්නවා. මම ගත්තේ කිරිබත් කෑල්ලයි, ලුණූමිරිසුයි, කෙසෙල් ගෙඩියයි, කොණ්ඩ කැවුමකුයි. බොන්න තිබ්බ ඒවායීන් මම බිව්වේ තැඹීලි පාටට තිබ්බ බීම ජාතිය. ඔරේන්ජ් ක්‍රශ් වෙන්න ඕනේ. ඒකේ ඉතුරු වෙලා තිබ්බ බෝතලේ අයින් කලේ කලින් දවසෙ දවල්. මම කෑම ගැනයි බීම ගැනයි මතක් කරන එක අමතක කලේ කවුරු හරි දොරට තට්ටු කරපු හින්දා. හැබැයි අන්තිම මොහොතෙදිත් අර බීම එකේ සුවඳ මගේ නහය කොනේ රැඳිලා තිබ්බා


දොරට තට්ටු කරලා තිබ්බේ හවස වැඩ කරපු මගේ යාලුවා. ඇවිත් දොරට තට්ටු කලාට ඇතුලට ආවේ කඩාගෙන බිඳගෙන. ගෙදර යන්න වෙන්නෙ ඕනේ. හැමෝටම තියෙන්නෙ හදිසියක්. මට ගැන හිතන්න වේලාවක් තිබ්බේ නෑ. වාට්ටුවේ ඉන්න ලෙඩ්ඩු ගැන ඉක්මනට කියපු ගමන් යන්න ගියා පැත්තක තිබ්බ බෑග් එකත් අරන්. මාත් දැන්මම වාට්ටුවට යන්න ඕනේ නැති හින්දා තවත් ටික වෙලාවක් පුටුවටම වෙලා හිටියා. මට ඕනේ උනේ ආයෙමත් මොනවා හරි ගැන කල්පනා කරන්න. ඇත්තම කිව්වොත් වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ මට. ෆෝන් එක ඔබ ඔබා ඉන්න එක එපා වෙල තිබ්බේ වෙද්දි. කල්පනා කරන්න ඕනෙ මොනවද කියලා වෙනම කල්පනා කරන්න උනා මට. දාහක් සිතුවිලි අස්සේ මට මතක් උනේ අද බස් එකෙන් බැහලා එන ගමනේ වෙච්ච දේවල්. කලින් උන දේවල් වලට වඩා ළඟකදී වෙච්ච දේ මතක් කරන් ගැනම හිතන එක එක අතකට නිදහසක්. එහෙම නැත්තන් වෙන්නෙ අමාරුවෙන් අමාරුවෙන් මතකයන් එකට අමුණ අමුණ ගලපලා කතාවක් හදාගන්න එක. මට ලොකු දුරක් ඈතට යන්න උනේ නෑ. හිත ගිහින් නැවතුනේ අර හවස එද්දි දැක්ක ළමයායි අම්මයි ළඟ. හරියටම කිව්වොත් ළමයා ළඟ. ඊටත් වඩා හොඳට කල්පනා කරලා බැලුවොත් මගේ හිත නැවතිලා තිබ්බේ කහ ගැහිලා පාට වෙනස් වෙලා වතුර ටිකක් පුරෝලා තිබ්බ සූප්පු බෝතලේ. මගෙ ඇස් ඉස්සරහා බෝතලේ හැඩේ මැවිලා පෙනුනා. ඒක එච්චර උස බෝතලයක් නෙමේ. ඕනේනම් අඟල් පහක් විතර උස වෙන්න ඇති. ඊට අඩු උනොත් මිසක් වැඩි නෑ. සූප්පු කට ළඟ දාරය නිල් පාටයි. කටටම හයි කරලා තිබ්බ අතින් අල්ලන අඬු දෙකත් නිල් පාටයි. හරියටම ළං වෙලා බැලුවොත් නිල් පාට ප්ලාස්ටික් කෑලි පළුදු වෙලා උඩට ඉස්සුනු කෑලී කුණූ දූවිලි හින්දා කළු පාට වෙලා ඇති කියලා හිතුනා මට. වගේම සුප්පුව හයි කරන තැනත් එහෙම්ම කලු පාට වෙලා තියෙන්න ඇති. බෝතලේනම් කියන්න තරම් ලොකු දෙයක් තිබ්බේ නෑ. ළඟදි හරියට හෝදපු පාටක් තිබ්බෙ  නෑ. එළියෙන් හේදුවත් ඇතුලනම් හෝදලා නෑ. එවෙලෙ වතුර තිබ්බත් කලින් කිරි තියෙන්නත් ඇති. මෙච්චර වෙලා මට හිතුනෙ නැති දේකට තිබ්බේ ඇයි බෝතලේ වතුර තිබ්බේ කියලා. එහෙම උනේ කිරි දාන්න, කිරිපිටි ගන්න බැරිකමක් තිබ්බ හින්දද එහෙමත් නැත්තන් වෙලාවේ කිරි බොන්න ඕනේකමක් තිබ්බේ නැති හින්දද. මටම පුදුමයි මන් ගැන හිතුවේ නැත්තෙ ඇයි කියලා. වතුර නැතුව ඒකට වෙන පැණී බීම ජාතියක් එහෙම දැම්මෙ නැත්තෙ ඇයි. මම මගෙන්ම ඇහුවාඒකට උත්තර හොයන්න හිතද්දිම කෝල් එකක් ආවා වාට්ටුවෙන්


ඩොක්ටර්.. පොඩ්ඩක් එනවද.?.. පේශන්ට් කෙනෙක් බෑඩ් වෙනවා..”


මම හරි හරියට නැගිටලා වේගෙන්ම ඇවිදන් ගියා වාට්ටුවට. ගිහින් කරන්න ලොකු දෙයක් තිබ්බේ නැති උනත් හවස වෝඩ් රවුන්ඩ් එකත් එහෙම්ම ඉවර කරලා එන්න හිතුවා. හින්දා ඒකත් ඉක්මනට ඉක්මනට කරලා මම ආවේ ආයේ රූම් එකට. පොඩ්ඩක් රස්නේ හින්දා අත පය හෝදගෙන ඒසී එකේ සීතල වැඩි කරලා ආවා ඇඳට දොරත් වහගෙනම. ඒසී තියෙන හින්දා කාමරේ මැද්දේ සීලිමේ තියෙන ලොකු ෆෑන් එක වැඩ කරන්නේ නෑ. වැඩ කරන්නේ නැත්තේ නෑ ඒත් වැඩ කරන්න ඕන නෑ. මම කොට්ටේ ඇඳ වියනට හේත්තු කරලා උරහිසි දෙක ඇඳට බර කරලා පස්සට ඇවිත් ඔළුව තියාගත්තා කොට්ටෙන්. දැන් මම ඔළුව පොඩ්ඩක් තියෙන ඉරියව්වෙන් උඩට උස්සලා වම් පැත්ත බැලුවාම පේන්නේ සිවිලිමේ තියෙන සීලින් ෆෑන් එක. කැරකෙනකොට පේන්නේ නැති උනාට සෑහෙන කාලෙකින් සුද්ද කරලා නැති හින්දා දූවිලි බැඳිලා හොඳටම. හෙට උදේටවත් වැඩ කරන කාට හරි කියලා කාමරෙයි ෆෑන් එකයි සුද්ද කරව ගන්න ඕනේ කියලා හිතාගත්තා මන්. තව ටිකක් ෆෑන් එක දිහා බලද්දි මට මතක් උනේ අර සූප්පු බෝතලේ. දෙකම එක වගේ. දේකේම කුණූ ගෑවිලා. දෙකම පරණයි. මම ගැනම හිත හිතා ඇස් දෙක පියා ගත්තා.


ඒක හීනයක්ද ඇත්තටම උන දෙයක්ද කියලා හරියටම විස්තර කරන්න පුළුවන්කමක් තිබ්බේ නෑ මටමම හිටියේ හොස්පිටල් එකේ ඩොක්ටර්ස් රූම් එකේ ඇඳ උඩ නෙමේ. වෙනුවට මම හිටියේ අඳුරු කාමරේක පැදුරක් උඩ. උඩ බැලුවාම තිබ්බේ දූවිලි පිරුණු සීලින් ෆෑන් එක නෙමේ. වෙනුවට තිබ්බේ අඳුරුවට තියෙන පොල් අතු හෙවිලි කරපු වහලයක්. ඒකේ තැනින් තැනින් චූටි චූටි සිදුරු තියෙනවා. සිදුරු චූටි උනාට උඩින් තියෙන අහස පේන තරමට ලොකුයි. වෙලාව උදේ හයට විතර ඇති. මාව ඇහැරිලා තියෙන්නේ ඉස්කොලේ යන්න නැගිට්ටවන්න අම්මා කතා කරලා තියෙන හින්දාමම හිටියේ හතර වසරේ එතකොට. සෑහෙන්න පොඩියි. මම හිරි ඇරලා අමාරුවෙ අමාරුවෙන් වගේ පැදුරෙන් නැගිට්ටා. හෙමිහිට දොර රෙද්ද ඈත් කරාම කෙලින්ම තිබ්බ කුස්සියට ගියා. අම්මා ලිප ළඟ බිම ඉඳගෙන ලිපට පිඹිනවා. වැස්ස හින්දා දර තෙත ඇති. තෙත දර පිච්චෙනකොට දුම් එනවා වැඩියි. දුම් මුළු කුස්සිය පුරාවටම යනවා. ඒවා ඇවිත් ඇස් දෙකේ වදිද්දි ඇස් දන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඇස් අත්වල ඇඟිලි වලින් පිහදාද්දි ඇස් පොඩි වෙලා රතු වෙන්න පටන් ගන්නවා. ඇස් පොඩි කරද්දි ඇස් වලින් කඳුලු එන්න පටන් ගන්නවා. එහෙම උනාම කදුලු නාස් දෙකට බහිනවා. එහෙම බැහැලා නාහේ බර වෙන්න පටන් ගන්නවා. අන්තිමේදි වැස්ස හින්දා අපේ ඇස් රතු වෙලා නාහේ බර වෙන එක තමා වෙන්නේ. ඔය ඔක්කොම ටික මට තත්ත්පර ගානක් යන්න කලියෙන් උනා. ලොකු වෙලාවක් ගැන හිතන්න තිබ්බේ නෑ අම්මා කෑගැහුවා.


දැන් ඉතින් ඔතන බල බල ඉන්න නෙමේ. ගිහින් මූණ හෝදගන්නවා. උණූ වතුර ටිකක් දෙන්නම්..”


මම උණුවතුර හම්බෙනකන් දත් බුරුසුව අරන් දත් මැද මැද හිටියා. අම්මා ඉක්මනටම ලිපේ තිබ්බ කේතලේ අරන් එලියෙන් තියලා බේසමකට වතුර ළිඳෙන් ඇදලා දාලා ඒකට කේතලේ උණු වතුර ටික දැම්මා. අත දාලා එහම බැලුවා රස්නේ. වතුර එක ලෑස්තියි කිව්වාම මම දුවලා ගිහින් ඉක්මනට ඉක්මනට මූණ අත පය හෝදලා ගෙට පැන ගත්තා. අක්කා නැගිට්ටේ මට පස්සේ. මම ගේ ඇතුලට එද්දි එයා ළිඳ ළඟට යනවා. එයාටනම් උණු වතුර නෑ මට වගේ. මම ඒවා ගැන අහන්නේ බලන්නේ නැතුව ඇඳගන්න පටන් ගත්තා. හත වෙද්දි ඇඳලා ඔක්කොම කරලා ඉස්කෝලේ යන්නත් ලෑස්තියි. ඒත් අක්කා එහෙම්ම ඉන්නවා. දැන් තමා එහෙට මෙහෙට දුව දුවා කොණ්ඩේ පීරන්නේ. මම ඉස්සරහ දොර ළඟ පුටුවට වෙලා වාඩි වෙලා ඉන්නවා බෑග් එකත් පිටේ එල්ලගෙනම. මම ඉන්නේ පාර දිහා බලන්. දොරෙන් ඉර එළීය එනවා ගේ ඇතුලට. එන ඉර එලියෙන් බාගයක් විතර මගේ ඇඟෙත් වදිනවා. ඉර එලිය මිදුලෙ තියෙන රඹුටන් ගහේ කොළ අස්සෙන් එනකොට කොළ වල දාර තඹ පාටට දිලිසෙනවා. කොලේ කෙළවරම රෑ තිස්සේ එකතු වෙලා තිබ්බ වතුරු බිංදු රිදී පාටින් දිළිසෙනවා. එක වෙලාවකට කොළ ගොඩාක් තියෙන අත්තක් දැක්කාම අස්සෙන් ඉර එළිය පහලට රූටලා වැටෙන්නේ හරියට වහලෙ දිරච්ච පොල් අතු අස්සෙන් එළිය එනවා වගේ. මම මටත් වඩා උස පුටුවේ ඉඳගෙන මේවා දිහා බලන් ඉන්නවා. කකුල් දෙක බිම ගෑවෙන්නෙවත් නෑ. මම වළලුකර හරියෙන් කකුල් දෙක එක උඩ එක දාගෙන අත් දෙකෙන් වතුර බෝතලේ පටියෙන් අල්ලන් බෝතලේ කකුල් දෙක උඩ තියෙන විදිහට තියාගෙන කකුල් පද්ද පද්ද ඉන්නවා. බෝතලේ එළියෙ ගෑවිලා තිබ්බ වතුර සෙරෙප්පු දාලා තිබ්බ මගෙ කකුල් වල ගෑවෙනවා. ගැවුනා කියලා දැක්කේ සීතලක් දැනුන හින්දා බලපු වෙලාවේ. ගෑවිච්ච වතුර බිංදු දෙක තුන එහෙම්ම වේලිලා යන්න ඇති. තව ටික වෙලාවක් ඔහොම කකුල් හොල්ල හොල්ල ඉද්දි අක්කා ලෑස්ති වෙලා හින්දා අම්මට වැඳලා ඉස්කෝලේ යන්න එළියට බැස්සා.


එදා ඉස්කෝලේ කිසිදෙයක් අලුතෙන් කියලා උනේ නෑ. අලුතෙන් උනානම් උනේ අපේ පන්තියේ කෝසලගේ උපන් දිනේ හින්දා ඒක සැමරුව එකඔක්කොම සූදනම් කරලා තිබ්බේ වික්‍රමසිංහ ටීචගේ ඉංග්‍රීසී පීරියඩ් එක පටන් ගද්දි. කෝසල වික්‍රමසිංහ ටීචගේ ළඟින් නෑයෝ වෙන හින්දා වෙන්න ඇති කියලා මට නිකමට වගේ හිතුනත් කාටවත් කියන්න ගියේ නෑ. අනිත් අයටත් එහෙම්ම හිතෙන්න ඇති. කොහොම හරි අපිට කේක් හම්බුනා. අපි හැපිබීර්ත්ඩේ සින්දුවත් කිව්වා. කෝසල හැමෝටම කේක් කෑල්ල ගානේ බෙදුවා. වික්‍රමසිංහ ටීචට කේක් කෑල්ලක් කැව්වත් එක්ක. කේක් කාලා ඉවර උනාම අපිට දුන්නේ තැඹිලි පාටට තිබ්බ බීම ජාතියක්. ලොකු වීදුරු බෝතල් හතරක් පහක් තිබ්බා. ඒවා ඉස්කෝලේ ගුරු විවේකාගාරේ ෆ්‍රිජ් එකේ තමා තිබිලා තියෙන්නේ. බෝතල් වල වටේට වතුර එකතු වෙලා. පිණී වැටිලා වගේ. උදේ මගේ වතුර බෝතලෙන් කකුලට වතුර වැටුනා වගේ බෝතල් වල වටේට තියෙන පිණි ටික එකතු වෙලා වතුරු බිංදු වෙලා ගුරු මේසෙට වැටෙනවාමට ආසා හිතුනා ළඟට ගිහින් බෝතලයක් අල්ලලා බලන්න. සීතලට තියේවී. ඒත් වික්‍රමසිංහ ටීච හිටිය හින්දා අහලකටවත් ගියේ නෑ මම. කොහොම හරි ගැන හිත හිතා ඉද්දි කෝසල ළඟටම ඇවිත් ප්ලාස්ටික් කෝප්පෙකට තැඹිලි පාට බීම දාලා ඒක දීලා ගියා. මම කේක් කෑල්ල කකා හිටියේ. ගමන්ම හීතලට තිබ්බ බීම එකෙන් පොඩ්ඩක් කටට අර ගත්තා. මාරම රසක් දැනුනේ මට. ඇඹුල් රසයි පැණි රසයි කලවම් උන රසක්. ලුණු රසකුත් ආවා අග හරියට. ඇඹුල් රස වැඩි හින්දා ඇස් දෙකත් පොඩි වෙලා ගියා. මට සතුටුත් එක්ක. පොඩි හිනාවකුත් ආවා මූණට. මම උගුරු කීපයකට බීලා දැම්මා බීම එක. අනිත් ළමයිනුත් බීලා තිබ්බා. වීදුරු බෝතල් ඔක්කොම හිස් වෙලයි තිබ්බේ. ඒවායේ අඩියෙ විතරක් යන්තන් තැඹිලි පාට පේන්න ටික ටික ඉතුරු වෙලා තියෙනවා. ටික ඔක්කොම එකතු කරලා එකට දාලා බොන්න තිබ්බනම් කියලා හිතුනේ නැත්තෙත් නෑ මට. කොහොම හරි ටික වෙලාවක් යද්දි උපන්දින සැමරීම ඉවර උනා. අපි හැමෝගෙම කටවල් තැඹිලි පාට වෙලා. තාම කේක් සුවඳයි බීම සුවඳයි පන්ති කාමරේ එහෙට මෙහෙට යනවා. අපි සුපුරුදු විදිහට පන්තියෙ වැඩ කරනවා. ගොඩක් වෙලා ගිහින් තමා දැක්කේ කෝසල එයාගේ වතුර බෝතලේට බීම පුරෝලා තියාගෙන බොනවා කියලා. ඉස්කෝලේ ඉවර වෙද්දිත් එයාගේ කට තැඹිලි පාටයි.


එදා මම ගෙදර එන ගමන් අක්කටත් කිව්වා උන දේ ගැන. මට ආයෙමත් බීම බොන්න ඕනේ කියලත් කිව්වා. අක්කා කිව්ව විදිහට ආයෙම වගේ උපන්දින සැමරුකමදි හරි වෙඩින් එකකදි හරි වෙන මොකක් හරි උත්සවේකදි හරි බොන්න හම්බුනොත් මිසක් අපිට ඒවා කඩෙන්නම් ගන්න බැරි වෙන පාටක් තමා තියෙන්නේ. කෝකටත් මම අම්මට කියලා බලන්න ඕනේ කියලා හිතා ගත්තා වෙලේ. ගෙදර යද්දි අම්මා හිටියේ නෑ ගෙදර. අම්මා ආවේ පැයක් දෙකක් ගියායින් පස්සේ. මන් වැඩි වෙලාවක් යන්න කලින් අද ඉස්කෝලෙදි උන හැමදේම කිව්වා අම්මාට. උපන්දිනේ සැමරුව හැටිත්, කේක් කාලා බීම බිව්ව හැටිත් කිව්වා. අක්කට ඒවා කියද්දිනම් හොඳට කන් දීලා අහන් හිටියට අම්මානම් ලොකු උනන්දුවක් පෙන්නුවේ නෑ. උනාට මම කියාගෙන කියාගෙන ගියා. මට ඕනේ උනේ අම්මට කියලා බීම එකක් කඩෙන් ගෙන්න ගන්න. අම්මට එහෙම දැනෙන්නවත් නැති වෙන්න ඇති. ඕන එකක් කියාලා ඇහුවා අම්මගෙන්.


අම්මේ මටත් අර බීම එකක් ගෙනත් දෙන්නකෝ. කඩේ තියෙනවා..”


මොන බීමද බන්..? “


අද ඉස්කෝලෙදි බිව්වා වගේ ඒවා. කඩේ තියෙන්නෙ අර..”


ඕවට වියදම් කරන්න සල්ලි කොහෙද බන්. මන් මේ දැනුත් ගිහින් ආවේ පොල් අතු ටික විකුණලා එන්න..”


අනේ අම්මේමම කාලෙකින් මොකුත්ම ඉල්ලුවේ නෑනේ. බෝතලයක් ගෙනාවොත් මට හෙට ඉස්කෝලෙත් දාන් යන්න පුළුවන් බෝතලේට දාගෙන..”


අනේ බෑ පුතේ. දැන්නම් ඕවා ඉල්ලන්න එපා. යන්තන් සල්ලි තියෙන්නෙ එදා වේල කන්න විතරයි..” අම්මා කුස්සියෙ බංකුවට ඉඳගෙන කොස් ඇට ටිකක් තලන්න ගත්තා.


මන් පුතාට බීම එකක් හදලා දෙන්නද බෝතලේට දාන් යන්න..?”


මම හිතට ආව දුක තද කරගෙන දුක එළියට පෙන්නන්නෙ නැතුව අසරණකමෙන්ම හා කියලා කිව්වා.


එහෙනම් ගිහින් බලලා වරෙන් පහල නාරං ගහේ ගෙඩි තියෙනවද කියලා. ගැට ටිකක් තිබ්බා වගේ මතකයි..”


මම දුවලා ගිහින් වත්ත පහල බෙලි ගහ මුල තිබ්බ නාරං ගහ දිහා බැලුවා. ගහ මට වඩා තුන් ගුණයක් විතර උසයි. ගහේ ලොකු නාරං ගෙඩි තිබ්බේ නෑ එකක්වත්. උඩම හරියේ පොඩිම පොඩි ගැට දෙක තුනක් තිබ්බා එච්චරයි. මම ආව වේගෙන් ආයේ ගෙදරට දුවන්න ගියේ නෑ. ආවා වේගෙට වඩා සෑහෙන අඩු වේගෙකින් තමා ගෙදරට ගියේ


ඒකේ නෑ අම්මේ.. කමක් නෑ. ඒකේ ගෙඩි හැදුනාමවත් අරන් යන්න පුළුවන්නේ..” කුස්සියෙ දොරෙන් එබිලා ගෙට යන්නෙම නැතුව එහෙම කියාගෙන ගේ වටෙන් ගියා ඉස්සරහා මිදුලට.


හ්ම්ම්..” අම්මා කිව්වෙ එච්චරයි.


පහු වෙනිදා උදෙත් අර කලින් විදිහටම බෝතලෙත් අතේ තියාගෙන අක්කා එනකන් පුටුවට වෙලා හිටියා. වෙනදා මම හරියට ලෑස්ති වෙනවද කියලවත් බලන්නේ නැති අම්මා අද උය උයා ඉඳලා හැන්දකුත් අතේ තියාගෙන ඉස්සරහට ආවා මන් ළඟට.

ළඟටම ඇවිත් මන් ළඟට පාත් වෙලා මොනවද කියන්න හැදුවා.


පුතාට තේ එකක් හදලා දෙන්නද බෝතලේට දාගෙන යන්න..? ගිහින් බොන්න පුලුවන් සැරින් සැරේට...”


මට දැනුනේ අමුතුම සතුටක්. මෙච්චර කහට තේ බොන අපිට ඇයි කවදාවත් මේ අදහස ආවේ නැත්තේ කියලා මොහොතෙම හිතුනා මට. මන් ගත්කටටම කිව්වා හා කියලා. පුටුවෙන් බිමට පැන්න මම දූවලා ගිහින් කුස්සිය මැද්දේ තිබ්බ වතුර තිබ්බ කොරහට බොතලේ ඇරලා ඒකේ තිබ්බ වතුර ටික හලලා බෝතලේ මේසෙ උඩින් තිබ්බා. තියලා බලන් හිටියා අම්මා මොකෝ කරන්නෙ කියලා


පැණි රහ වෙන්න හොදට තව වැඩියෙන් සීනී හැන්දක් දාන්නම්. එතකොට මරු..” අම්මා කිව්වා.


මම ඒකට ආසාව දක්වන්න මූණ දෙපැත්තට හරෝලා හා කියලා කිව්වා. අම්මා තේ එක හදලා අතට දුන්නා බෝතලේ. අතට උණුවට දැනුනා. මම බෝතලේ අත් දෙකෙන්ම බදා ගත්තා. අක්කත් වෙද්දි ලෑස්ති වෙලා හිටිය හින්දා අම්මට වැඳලා එළියට බැස්සා. වෙනදා බුදු සරණයි පුතාට කියනවට අමතරවඅක්කට කියන්න එපාකියලත් අම්මා හීනියට කනට කොඳුරලා කිව්වා. මම ආයෙමත් කලින් වගේම මූණ දෙපැත්තට හරෝලා හා කිව්වා. හැබැයි කලින්ට වඩා සතුටකින්මම අක්කා පිටිපස්සෙන් ඇවිදගෙන ගියා බෝතලෙත් අත් දෙකෙන් බැඳලා තියාගෙන. එදා පන්තියට ගිහින් පලවෙනි පීරියඩ් එක ඉවර වෙද්දි ආව වතූර තිබහත් එක්ක තමා මතක් උනේ අද මම ගෙනාවේ වතුර නෙමේ තේ කියලා. මම හිමින් සැරේ බෝතලේ  මූඩිය ඇරලා ටිකක් බිව්වා බටෙන්. තේ එක හොඳටම නිමිලා තිබ්බේ උනාට රස එහෙම්මයි. පැණී රහට තිබ්බා තේ එක. මම තව උගුරු කීපයක්ම බිව්වා විදිහට. ටිකත් රස කර කර බීපු මම පරිස්සමින් මූඩිය වහලා බෝතලේ පැත්තකින් තිබ්බා


ඉස්කෝලේ ඉවර වෙද්දි කීප වතාවක්ම තේ බිව්වා මම. හැබැයි ඉස්කෝලේ ඉවර වෙන්න බෙල් එක ගහද්දි අන්තිමට බොද්දිත් බෝතලේ බාගෙට පොඩ්ඩක් අඩුවෙන් ඉතුරු වෙලා තිබ්බා. වෙනදා වතුර ගෙනාවම මට බෝතලෙත් මදි වෙනවා. ඒත් එදා මට එහෙම උනේ නෑ. මම අන්තිමට සහ ඊට කලින් පාර තේ බොද්දි දැනුනේ රසට වඩා වෙන අමුත්තක්. තේ එක හොඳටම ඇල් වෙලා. මූඩිය ඇරලා බෝතලේ බටේ කටින් තියද්දි දැනුනේ තොල් දෙක ඇලෙනවා වගේ. මට බොන්න හිතුනෙත් නෑ අන්තිමට. මම බයෙන් හිටියේ කවුරුහරි වතුර කියලා හිතාගෙන බෝතලේ ඉල්ලයි කියලා. හින්දා වෙනදා මේසෙ උඩින් තියන බෝතලේ මම බෑග් එකට දාලා වැහුවා. පොඩි ලැජ්ජාවක් වගේ හිතට දැනුනා මට. වෙන කවුරුත්මනම් මෙහෙම කරන්න නැතුව ඇති. මම මටම කියා ගත්තා. උනත් මම තේ ගෙනාපු එකට සතුටු උනේ නැත්තෙමත් නෑ. කොහොම හරි මම ඉස්කෝලේ ඇරෙන මොහොත වෙනකන්ම බෝතලේ බෑග් එකට දාලා තිබ්බා ඕනේ වෙලාවට විතරක් එළියට අරන්. ඉස්කෝලේ ඇරිලා ගේට්ටුවෙන් එළියට යද්දිම බෝතලේ අරන් ඉතුරු වෙලා තිබ්බ ඔක්කොම හැලුවා ගහක් මුලට. අන්තිමට අක්කටත් කිව්වා උන දේ. අක්කා එවෙලෙට හිනා උනාට පස්සේ ගැන මොකුත් කිව්වේ නෑ. උනාට ඉහළට ගත්ත හුස්මක් හයියෙන් පහළට දැම්මා කියලානම් ලාවට වගේ ඇහුනා මට.


මම එදා ගෙදර ගියායින් පස්සේ අම්මා මගෙන් මොකුත්ම ඇහුවේ නෑ. අඩු තරමේ තේ එක රහයිද කියලවත් ඇහුවේ නෑ. මම මොකුත් කියන්න ගියෙත් නැ. බාගයක් ඉතුරු උන එකවත්, කවුරුත් දකියි කියලා බෑග් එකේ දාලා තිබ්බ එකවත් මොකුත්ම කිව්වෙ නෑ. මට පුදුමේ අම්මා ගැන ඇහුවේ නැති එකට. හවස තේ හදලා දෙද්දිවත් මගෙන් ඇහුවේ නෑ. සමහරවිට මට වගේම අම්මටත් ලැජ්ජා හිතුනද දන්නේ නෑ. අම්මට දුක හිතෙයි කියලා ඇහුවේ නෑ මම. ගැන කතා කරන්න ගියානම් මටත් දුක හිතෙයි. වගේම ආයේ පැණි බීම ගැන කියවන්නත් වෙයි. ඒවා කඩෙන් ගෙනල්ලා දෙන්න කියලත් මම කියාවී. හින්දා මම තේ ගැන කතා කලෙත් නෑ. ආයේ පැණී බීම කඩෙන් ගෙනල්ලා දෙන්න කියලා අම්මාගෙන් ඉල්ලුවෙත් නෑ. කොටින්ම කිව්වොත් මම ආයේ වතුර මිසක් කිසි දෙයක් බෝතලේට දැම්මෙත් නෑ..


මම මේ සිද්දි මාලාවම හිතේ මවාගෙන හිටියෙ මෙච්චර වෙලා. හීනයක්ද ඇත්තක්ද කියන්න මට පුළුවන්කමක් තිබ්බේ නැ. යන්තන් ඇස්නම් පියවිලා තිබ්බේ කියලා මතක් උනේ කාමරේ ෆෝන් එකට ආව කෝල් එක හින්දා මාව උඩ ගිහින් ඇහැරුන හින්දා. ආයෙමත් පේශන්ට් කෙනෙක් බෑඩ් වෙලාවත්ද. මම ඇඳ උඩින් පැනලා නැගිටලා ගිහින් ෆෝන් එක කනේ තියාගත්තා. එහා පැත්තෙන් කතා කලේ මිස් කෙනෙක්.


ඩොක්ටර් නිදාගෙනද හිටියෙ..එනවද තේ එකක් බොන්න..? කෑමකුත් තියේ..”


හරි මිස් මන් එන්නම්..” හිනා වේගෙන මම කිව්වා.


තැලුන ඇඳුම් අතින් හදලා කොණ්ඩේ අතින් පීර පීර වාට්ටුවට ගියා මම. ඔක්කොම මිස්ලා එකතු වෙලා තේ බොනවා කේක් කකා.


අහ් කේක් එකක් හම්බෙලා තියෙන්නෙ.. මට නින්දා ගියා අනේ.. කෝල් එකට තමා ඇහැරුනේ..”


අයියෝ සොරි ඩොක්ටර්.. අපි හිතුවේ නෑ නිදි ඇති කියලා..”


ඒකට කමක් නෑ ඉතින්.. තේ එකක් බොමු එහෙනම්..” මම එහෙම කියාගෙන ඉඳගත්තා පුටුවකින්. මිස් කෙනෙක් තේ එකක් කෝප්පෙකට වක් කරලා අතටම ගෙනත් දුන්නා.


මෙන්න ඩොක්ටර්ට මන් ගානේ සුපිරි තේ එකක්. හොඳට කහට දාලා සීනී දාලා තියෙන්නෙ. පැණී රහට හොඳ පෑණි තේ එකක්..”


මාව මොහොතකට ගල් ගැහුනා. අසුරු සැණෙක වේගයෙන් හිත කොහේදෝ ගිහින් ආයෙම තිබ්බ තැනට ආවා. මම තේ එක අතට අරන් පුටුව මේසෙට ළං කරගත්තේ කේක් කෑල්ලක් ගන්න අත දික් කරන ගමන්..


 



Comments

  1. This is such a beautiful piece of writing. You have the ability to make the reader a part and parcel of your story, through the use of vivid and descriptive language. Wonder if this is an autobiographical narrative?

    ReplyDelete
    Replies
    1. Sandun Rajapakshe15 May 2022 at 02:10

      Thank you ! Yes every story I have written are either based on my personal experiences or inspired by true stories I have heard from my mother.

      Delete
  2. වෙනදට පුතා ලැස්ති වෙනවද ගානක් නැති අම්මා අද පුතා ලඟටම එන්නෙ හදිස්සියෙම ආව අදහසක් නිසා නෙවෙයි. අහිංසක දරුවගෙ ආසාව ඉටු කරන්න බැරි වීම ගැන රැයක් එලිවෙනකල්ම කල්පනා කරල. හැබැයි තමන්ට දෙන්න පුළුවන් උපරිම විසඳුමත් එක්ක. ඒ තමයි අම්මගෙ ආදරේ. විශේෂයෙන්ම පුතාලට තියෙන ආදරේ.
    One of the best stories👌👌👌
    Keep up the Good Work 💪💪💪

    ReplyDelete
  3. sandun Rajapakshe15 May 2022 at 02:11

    ගොඩක් ස්තූතියි. ඉස්සර්හටත් මේ වගේම කතා ලියන්න බලාපොරොත්තු වෙනවා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය