තාත්තාගෙන් චූටි පුතුට

ගහක කොළක මිහිර විඳපු ඇලේ දොලේ පැනපු නටපු පිඳුරු ගොඩේ රසය විඳපු මිනිස්සු අපි එකල හිටපු රුකත්තන මල් පිපිච්ච දෙවැට දිගේ මල් වැටිච්ච මීමැසි බඹරුන් පෙනිච්ච මිනිස්සු අපි ලොව දැනිච්ච සෙල්ලම් කර බෝට්ටුවෙන් මඩ තවරන් ආසාවෙන් වක්කඩ ළඟ වතුර වලෙන් අපි නෑවේ පනිට්ටුවෙන් කැලේ පැනලා ගස් හොයලා ගෙවල් හැදුවෙ උඩ නැගලා පොල් අතු ගෙන අපි වියලා හෙවිල්ලුවෙත් උඩ නැගලා බඩ ගින්නට අඹ කාලා තැඹ්ලි බිව්වේ අපි කඩලා බඩගිනි ආයේ දැනිලා බත් කෑවේ අපි උයලා පාට පාට සමනල්ලුයි කීචී බීචී කුරුළු කොබෙයි චූටි චූටි කූරු කැලයි නීල නීල මාළු වැලයි අහස උඩින් වැටුන බිංදු වහලෙ කොනෙන් වැටුන බිංදූ කෙහෙල් කොළෙන් වැටුන බිංදු ඇහිලුවෙ අපි වතුර බිංදු දේදුනු පායපු කන්දට අපි දිව්වේ හනි හනිකට ඇහිලුවේ අපි වැටුන පාට පනින් ගෙතුව වට්ටියකට ඕලූ නෙලා ගන්ඩ ගිහින් මඩේ එරුනේ දණට උඩින් ඕලූ නටුව කඩන් මුලින් ආවේ අපි නියර උඩින් කලක් ගිහින් අපිට හොරෙන් අපිත් ගිහින් කලට හොරෙන් ලොවත් නිදලා අපිට හොරෙන් අපිත් නිදලා ලොවට හොරෙන් පුතේ වරෙන් දොළ බලන්ඩ ගිහින් නියරෙ දුව පනින්ඩ මලක් කඩන් ඉඹ බලන්ඩ වරෙන් පුතේ වෙලේ යන්ඩ කන්දේ ගොහින් දං කඩන්ඩ එනවද උඹ යන්ඩ එන්ඩ ගියොත් උඹට අරන් එන්ඩ එරමිණියත් කඩලා දෙන්ඩ කැන්ද කොළෙන් ගොටු හදන්ඩ බෝවිටියා මල් දාන්ඩ තව මල් කඩලා දාන්ඩ වරෙන් පුතේ මුනි පුදන්ඩ උඹත් එක්ක යන ගමනෙදි දැක්ක දේට මට හරි මදි කිසිම දෙයක් නැත එහි රැඳි පුතේ යමන් සිත හරි මදි අපි රස විඳි ඒ ලෝකය උඹ විඳිනා මේ ලෝකය මට මදි මේ ආලෝකය උඹට දෙන්ඩ ඒ ලෝකය මගේ පුංචි පුතේ දුකක් නේද හිතේ අඩන්නෙපා පුතේ මෙහෙට වරෙන් පුතේ සමාවෙයන් පුත මාහට ලෝකය වනසලා දැම්මට ඇස කන වහලා උන්නට අත පය හකුලා හිටියට අත් වැල් බැඳ හඩනගන්ඩ අපි යමු ලොව ගොඩනගන්ඩ ලොවක් ආයෙ තනා දෙන්ඩ උඹේ පුතුට දුව පනින්ඩ

Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය