"උඹට මහමුහුදේ රළ ගොඩ ගහන්නා වගේ හරියන්ඩ ඕනේ."

ඉස්සර දෙරණ එෆ්එම් එකේ ගියා වැඩසටහනක් "හීන ඇහිදින යාළුවෝ" කියලා.තාම තියෙනවද දන්නේනම් නෑ.ඉරිදා රෑ හතේ ඉඳන් නමය වෙනකන් තමා තිබුනේ.මන් සිකුරාදට ගෙදර ගිහින් ආයේ පේරාදෙණියට එන්නේ ඉරිදා රෑ මාතර ඉඳන් එන කෝච්චියේ.කෝච්චිය ගම්පහට හය හමාරට වගේ ඇවිත් පේරාදෙණියට එනකොට නමය වෙනවා.ඒ හින්දා එහෙමත් දවසක ඇරෙන්න අනික් හැමදවසකම මේ වැඩසටහන අහන්ඩ බැරි උනා.පස්සේ දෙරණ එෆ්එම් වෙබ් සයිට් එකේ තිබිලා ගත්ත රෙකෝඩින්ග්ස් ගොඩාක් මට හම්බුනා යාළුවෙක්ගේ මාර්ගයෙන්. ඉතින් මේ වැඩසටහනට මගේ පුදුම විදිහේ කැමැත්තක් තිබුනා.උපුල් ශාන්ත සන්නස්ගල තමා වැඩසටනට එන්නේ.වාසනා කියලා නිවේදිකාවක් තමා වැඩසටහන කලේ.දවසකට ගීත කිහිපයක් අරගෙන ඒවාට පොඩි විචාරයක් දෙන එක තමා මේ වැඩසටහනෙන් කලේ.ඒවා විවිධ තේමාවල්, විවිධ ගායකයෝ සහ විවිධ සංගීත රටාවන් සහිත ගීත.ඒ වගේම සමහර දවස් වල ඉංග්‍රීසි, දෙමළ සහ හින්දි ගීතත් ප්‍රචාරය උනා. සන්නස්ගල මහත්තයගේ ජීවිතේ තිබුනු විවිධාකාර වු අත්දැකීම් ගීතයේ විචාරයටත් ඔහු යොදා ගත්තා.දවසක් ඔහු තමාගේ "අම්මා" නැමැති කෘතිය එළි දක්වපු දවසේ ඔහුගේ අම්මා ගැන කියලා තිබුනා.ඒ වගේම පාසැල් ජීවිතය, විශ්වවිද්‍යාල ජීවිතය, රැකියාවන් සහ ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැනත් සෑහෙන අත්දැකීම් ගැන සඳහන් කලා. සිංහල ගීතවල තිබුනු එකිනෙකට වෙනස් වෙච්ච දාහක් අර්ථයන් සහ ගීත හා සම්බන්ධ වුන ඇතුල් කතාවන් හරිම සුන්දරයි.පරිසරයේ මිහිරියාව කොච්චර දුරට සිංහල ගීතයෙන් පිළිඹිබු වෙනවද කිව්වොත් එක තැන්කින් පටන් ගත්තත් අවසානයක් කියන්ඩ බැරි තරමට ඈතට විහිදිලා යනවා.ඒ වගේම කොළඹ සමාජයයි ගැමි සමාජයයි අතර තිබුන වෙනස්කම් ගීත වලින් ප්‍රකාශ කරපු හැටි ඔහු පෙන්වලා දීලා තිබ්බා.ඊට අමතරව වේදිකාව, වීදී නාට්‍ය, සරල ගී, ආදරය, විරහව, බුදුදහම සහ දේශාපාලනය යන සෑම දෙයක් ගැනම ඔහු කියලා තිබුනා. "අම්මා..ඇයි අපි..මතු බුදුවන අම්මාගේ පින් දීම කෙළවරක් වෙන්නේ නැත්තේ? වාසනා..! අම්මා ඔළුව අත ගාලා පින් දෙනවා...බුදුසරණයි පුතේ කියනවා...දෙවි පිහිටයි පුතේ කියනවා.දැන් මේ වචන දෙක නෙමේ මගේ අම්මා කියන්නේ.මගේ අම්මා මට කියලා තියෙන්නේ...අප්පච්චිත් කියලා තියෙන්නේ...උඹට මහ මුහුදේ රළ ගොඩ ගලන්නා වාගේ හරියන්ඩ ඕනේ.ඒ කියන්නේ සැප සම්පත් බොහෝ ප්‍රමාණයක් දෙන්ට ඕනේ..." මෙය ඔහු "වෙහෙරක් වගේ" ගීතය ගැන කිව්ව වෙලාවේ සඳහන් කරපු දෙයක්.මහමුහුද කියන්නේ අපේ රට, අපිව, අපේ හැමදේම එක පාර බිලි ගන්ඩ පුළුවන් තැනක්.ඒ වගේ විශාල දෙයක් තරමටම අපිට සැපසම්පත් දෙන්ඩ පතන්නේ මව්පියෝ විතරයි කියලා තමා මට හිතුනේ. අම්මගෙන් ලැබුනා හෝ වේවා, සහෝදරයන්ගෙන් ලැබුනා හෝ වේවා, තම ආදරවන්තයාගෙන්/ආදරවන්තියගෙන් ලැබුනා හෝ වේවා ආදරය යනු මහමුහුදට සමාන කරපු සැප සම්පත් අනෙකාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්ඩ පුළුවන් තරමේ නිහතමානීකම, පරිත්‍යාගය සහ සෙනෙහස පිරුනු දෙයක්.ආදරය නැති තැන ආදරය හොය හොයා ඉන්නේ නැතුව වෙන තැනකට දුවලා යන්ඩ හිතෙන්නේ ඒ හින්දා වෙන්ඩැති.කෙනෙක්ට පුළුවන්නම් මහමුහුද තරමට සැප සම්පත් ලැබෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරන්ඩ ඒ මනුස්සයා සෑහෙන ආදරයක් ඇති සහ පරිත්‍යාගය පිරිච්ච පුද්ගලයයෙක් වෙන්න ඇති. මටත් ඔහොම කාලයක් එක් පුද්ගලයෙක් කෙටි පණිවිඩ එව්වා.මම ඒවා එනකන් බලන් හිටිය අවස්ථාත් තිබුනා.පස්සේ කාලෙක කෙටි පණිවිඩ එවන එක නතර උනා.ඒත් දැන් මම පසුපස්සට හිතලා බැලුවාම මට තේරෙනවා ඒ පුද්ගලයා මට එහෙම සැප සම්පත් ලැබෙන්න ප්‍රාර්ථනා කලේ ඇත්තටම තමා කියලා.දැන් මට ඒ සැප සම්පත් ඔක්කොම ලැබිලා.හැබැයි මට ඒ කිසි දෙයක් පෙන්නේ නෑ.නමුත් අතීතයත් එක්ක සසදලා බලනකොට මගේ සිදූඋන වෙනස්කම්, ලබා ගත්තු දේවල් සහ අත් හැරලා දාපු දේවල් හැමදේම සිදුවුනේ ඒ ප්‍රාර්ථනාවත් එක්කමයි කියලා මට හිතෙනවා. දැන් අවුරුද්දක් විතර වෙනවා ඔය ගීත ටික මට ලැබිලා. ඒත් තාමත් මම ඒවා අහනවා පුරුද්දට වගේ.ඒ තියා වැඩසටහනේ පසුබිම් වාදනය පවා මාව හිරිවට්ටෝලා යනවා.ඒ මොකුත් හින්දා නෙමේ ඒවා අහනකොට මාව අතීතයට විසි වෙලා යන හින්දා.ඒකෙන් මන් නිරාමිස සතුටක් විඳිනවා.නමුත් අතීතයේ ජීවත් වෙන්නේ නෑ.වර්තමානයට එනවා අසුරු සැනින්. ඉතින් ඔබටත් මහමුහුද ගොඩ ගලන්නා වගේ සැප සම්පත් වලින් ඉතිරිලා පිරිලා යන්ඩ කියලා මගේ ප්‍රාර්ථනාවත් ඔබට එවනවා

Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය