නුඹට හැකිනම් දමා යන්නට ඇයි මෙමට බැරි අත් හරින්නට

මතකද හරියටම
අවුරුද්දකට කලින්
අද වගේම දවසක
පිරුනු නැති හඳ
නුවර වැව උඩ
තියෙනකොට අපි
වැ
ව්
බැ
ම්

උඩ
අත් අල්ලගෙන
ගිය හැටි


මාළිඟාවට ඇවිද යනකොට
දැනුනෙ මට
යුද්දෙ අවසන්
කරපු රජ ලෙස
සීතා ගෙන ආ
රාවණා ලෙස

ඇවිත් මුල්ලක්
හොයන් ඉඳගෙන
කණට මිමිණුව
හීනී මී පොද
තවත් රැව් දෙයි
සවන් තුල මගේ
වැ
ව්
බැ
ම්

උඩ ඉන්න මා හට

කස ගසද්දී බය වෙච්ච විට
මට තුරුල් උන පුංචි සඳ නුඹ
සඳ තියෙයි අද අහසෙ වැව උඩ
එදා වාගෙම එළිය දීගෙන
මට එළිය දුන් පුංචි සඳ නුඹ
අදත් ඇත නුඹ එළිය දීගෙන
මටම නොවුනත් කාට හරි වෙන

ඇවිත් යනවානම් අදත් නුඹ
ළඟ නැතත් මට බලන්නට හරි
මගෙ කඳුළු නුඹ දකීවී
හැංගිලා ඉන්නම් කොහේ හරි
හද මගේ හඬ නගාවී
නුඹට ඒ හඩ ඇසේවී
බෙර හඬන විට මම හඬන්නම්
එවිට ඒ හඬ මැකේවී

හරිම පාළුයි පෙරහැරම අද
ඇයි කියලා මට නොතේරෙයි
ඇත්තු හිටියද නොදනිමී මම
ඉන්න ඇති යැයි සිතුවෙමී මම
ඔබේ සුවඳම පැතූ මාහට
කොප්පරා දුම් ඉතුරු උනි අද

හඬන්නට මට කඳුළු නැත
සිතන්නට මට ඉඩක් නැත
ඔබේ මතකය පිරුනු සිත මගේ
දැවි දැවී අද නිවි නිවී යයි
නුඹට හැකිනම් දමා යන්නට
ඇයි මෙමට බැරි අත් හරින්නට
වළාකුළු බැම්මට ඇවිත් මම
දමන්නද හැමදේම වැවටම
නුඹට හැකිනම් දමා යන්නට
ඇයි මෙමට බැරි අත් හරින්නට

හඳ පිරී යන දවසේ ආයෙත්
එමි ඇවිත් මම ඉඳිමි තනියම
බෙර ඇතත් මම නොහඬමී
නුඹව දැක්කත් නොදුවමී
නුඹට හැකිනම් දමා යන්නට
ඇයි මෙමට බැරි අත් හරින්නට

Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය