කේක්

ඒ දෙදාස් දාහතේ මැයි මාසේ විසිඅට වෙනිදා, දුවගේ අවුරුද්දේ උපන් දිනේ.ඉරිදා දවසක් උනත් ගෙදර ඉන්න උනේ උදේ ටික විතරයි.ඊට පස්සේ ආයෙමත් පාරේ.මිනිස්සු හතර වටේ ඇවිදිනවා, පොරකනවා, කෑ ගහනවා, ඒ අතරේ තව කවුරු හරි රණ්ඩු වෙනවා.ඕවා බල බල ටවුමේ එහෙට මෙහෙට යන මට එකම මිනිහා තුන් හතර පාර හම්බවෙනවා.සතියටම නිවාඩුවකට කියලා තියෙන්නේ ඉරිදා උනත් එදාටත් නිදහසක් නැති හැටි කියලා ඒ හැම වෙලේම හිතුනත්, මන් හැර මේවා වෙන කවුරු කරන්නද කියලා හිතුනාම අර පරණ සිතුවිලි ඔහේ මැකිලා යනවා මට හොරෙන්ම.කොහොම හරි උදේ දහයට ගෙදරින් ආපු ගමන තුන වෙද්දි ඔක්කොම වැඩ ඉවර කරගන්න පුළුවන් උනා.දාඩිය පෙරාගෙන, කමිසේ ඇඟට අලෝගෙන, දූවිලි කාගෙන ඉන්නකොට මට හිතෙන්නේ මේ මම නෙමේ වෙන මනුස්සයෙක් කියලා.ඔහොම වැඩ ඉවර කරගන්න වෙලේ තමා මතක් උනේ දුවගේ බර්ත්ඩේ කේක් එක ගේන කියලා උදේ ගෙදරින් එනකොටම නයෝමි කිව්වා කියලා.හරි තැන ආයේ ගෙදරට කෝල් කරලා අහගෙන කඩේ වහන්න ඔන්න මෙන්න තියලා කේක් එක ගන්න පුළුවන් උනා.ඔක්කොම කාර් එකට දාගත්ත මන් තව පොඩ්ඩක් ට්‍රැෆික් එකටත් අහුවෙලා මැරෙන්න ඔන්න මෙන්න තියන් ආවා ගෙදර.
දුව ඇවිදින්න පටන් අරන් සති දෙකක් විතර ඇති.ඒත් තාම වැටෙනවා.ගේට්ටුව අරින්න නයෝමි දුවත් වඩාගෙනම ඇවිත් තිබ්බා.පස්සේ ගෙදරට යද්දි ඔක්කොම බඩු ටික ඉහෙන් කරෙන් එල්ලන් කේක් එක දාපු ලොකු පෙට්ටිය අතට ගත්තා.දුවට තාම ඕවා තේරෙන්නේ නැතුව ඇති.කේක් පෙන්නලා පුදුම කරන්න තරම් ලොකු නෑ ඒ පුංචි හිත.මට හිතුනෙ එහෙමයි.ඒ හින්දා දුවට පේන්නම අරන් ආවා.ඒ අතරෙදි දුව පිටිපස්ස බල බල මාත් එක්ක හිනා වෙනවා.මොනවා දන්නවා කියලද.අද අවුරුද්දේ උපන් දිනේ කියලා දන්නේ නෑනේ.උපන් දිනේට මොකුත් තිබ්බේ නැති උනත් ඒ දන්නෙත් නෑ.තිබ්බත් දන්නේ නෑ.කොටින්ම කිව්වොත් මොකුත්ම දන්නේ නෑ.
ගෙදර හිටියේ නයෝමිලගේ ගෙදර අය විතරයි.අද රෑ පාර්ටි එකට ඇවිත් වෙන්න ඕනේ.ඒ අයටත් මූණ පොඩ්ඩක් පෙන්නලා මම ගියේ කාමරේට.පස්සේ හොඳට නාගත්තාම තමා සහනයක් කියලා දෙයක් දැනුනේ.එහෙම වෙලා ඇඳට එන මොහොත තමා සතියටම නිවනකට කියලා දෙයක් ලැබෙන්නේ.මම දොරත් වහලා ඇඳට ඇවිත් සුදුවට පේන සිවිලිම දිහා බලන් හිටියා.ෆෑන් එක කැරකෙනවා හොඳට.ඒකේ පෙති කීයක් තියෙනවද කියලා මට ඒ හැටි ගානක් නෑ.පොඩි හුළඟක් එනවා උඩ ඉඳන්.එච්චරයි මට දැනෙන්නේ.තාමත් එහෙන් මෙහෙන් ඇඟේ ඉතුරු වෙලා තියෙන වතුර බිංදු ඒ පොඩි හුළඟත් එක්කම පොඩ්ඩ පොඩ්ඩ නැති වෙලා ගිහින් එක පාරටම අතුරුදහන් වෙන්නෙ ඇඟට තව ටිකක් සීතල කරලා.පහළ දුවයි තව ළමයිනුයි කෑ ගහන සද්දෙ හොඳට ඇහෙනවා.හොඳට ඇහුන්කන් දුන්නොත් හරියට රණ්ඩු වෙනවා වගේ.ඒත් ළමයි කොහොමත් ඔහොමනේ කියලා හිතට කිව්වාම ආයෙමත් ඒ සද්ද නැතුව යනවා.එහෙම නැති වෙලා ගිහින් ටික වෙලාවක් ගියාම මට හිතුනේ ළමයි මගේ කන ළඟ ඉඳන් කෑගහනවා වගේ සද්දයක්.යන්තන් ඇහැ පියවෙන වෙලාවේ ඇහුන හින්දා ඇස් දෙක හොඳට ඇරලා බැලුවත් හිටියේ නෑ ළඟ කවුරුත්.මූණ හරෝලා බැලුවත් හිටියේ නෑ.එහෙනම් කවුද ඒ කෑ ගැහුවේ.මටත් හොරෙන් මගේ හිත දුර ගමනක් ගිහින් වගේ.හොඳට ඒ සද්දෙට කන් දුන්න මට හිතුනේ එහෙමයි.
ඒ එක්දාස් නමසිය අනූහතේ අවුරුද්ද.එතකොට මම තුන වසරේ.හැමදාම ඉස්කෝලේ යන්නේ අක්කා එක්ක.අක්කා එතකොට හිටියේ හය වසරේ.මම සමහර දවස් වල අක්කගේ අතේ එල්ලීගෙන එනවා.ගෙදර ඉඳන් පයින්ම යන හින්දා ඒ විදිහට මම කැමතියි.දවසක්දා අනිත් අක්කා අරන් දුන්න වතුර බෝතලේ පොළවේ ගැහුවෙත් මේ අක්කා එක්ක තරහා වෙලා තමා.කොච්චර තරහා වුනත්, කොච්චර රණ්ඩු උනත්, කොච්චර ගහ ගත්තත් අපි දෙන්නට ඉතින් අපිව නැතුව බෑ.මම ඒ කාලේ අක්කට වඩා මිටියි.හරි හුරුබුහුටියට ඉන්න ඇති අපි දෙන්න උදේම ගුරු පාර දිගේ ඉස්කෝලෙට ඇවිදන් එද්දි.ඉතින් ඒ දවසෙත් අපි ආවේ ඒ විදිහටමයි.එදා අපි ඔක්කොමට ඇහැරුනේ පරක්කු වෙලා හින්දා වෙනදා කෑම පෙට්ටියට දෙන බත් එක ගේන්න උනේ නැති එක විතරමයි එකම වෙනසකට තිබ්බේ.ගෙදරින් එළියට බහිනකොට අම්මා කිව්වේ මන් මොනවා හරි ඉන්ටවල් එකට කලින් ගෙනත් දෙන්නම් කියලා.ඉතින් අක්කයි මායි කලින් විදිහටම, කිසිම ගානක් නැතුව,කිසිම බරක්පතලක් නැතුව ඇවිදගෙන ආවා ඉස්කෝලෙට.එකේ ඉඳන් පහ වෙනකන් පන්ති තියෙන්නෙ එකට ඉස්කෝලේ ඉස්සරහම.හයෙර් ඉඳන් උඩ පන්ති වලට යන්න අපේ පන්ති පහු කරලා යන්න ඕනේ.මාව පන්තියටම දාපු අක්කා දිගටම ගිහින් එයාගේ පන්තියට ගියා.ගියාද කියන්න හරියටම දන්නේ නෑ.ඒත් යන්න ඇති.මම ගිය ගමන් පුටුවේ ඉඳගත්ත හින්දා මට අක්කා යනවද කියලා බලන්න ඕන කමක් තිබ්බෙත් නෑ.
ඉතින් ඔහොම පීරියඩ් එකෙන් පීරියඩ් එක ඉවර වෙද්දි මගේ බඩ ගින්නත් වැඩි වෙනවා.අක්කටත් එහෙම වෙන්න ඇති කියලා මට හිතුනේ නෑ මොහොතක්වත්.ඒත් එහෙම වෙන්න ඇති කියලා පස්සෙනම් හිතුනා.ඉන්ටවල් එකට කලින් පීරියඩ් එක පටන් ගද්දිම මම එළිය දිහා බලන් ඉන්න වෙලාවක අම්මා දුවගෙන දුවගෙන වගේ හයියෙන් අඩි තිය තිය පන්තියේ කොරිඩෝව දිගේ එනවා ජනෙල් වල කම්බී කූරු අස්සෙන් මට පෙනුනා.දොර ළඟට ඇවිත් ටීචට කතා කරලා මන් ළඟට ඇවිත් මටත් කතා කලා.අතේ තිබ්බා කොළයක ඔතපු පොඩි ගුලියක් වගේ එකක්.ඒකේ තිබ්බේ කේක් කැළි දෙකක්.එකක් මට.එකක් අක්කට.අම්මා කිව්වේ එහෙමයි.මම ඉතින් දෙකම දාගත්තා බෑග් එකට.අම්මා අසුරු සැනින් නොපෙනිලා ගියා.කේක් කෑළි දෙක බෑග් එකට දාන්න කලින් ආපු සුවඳනම් එහෙම්මමයි.මට කෙළත් උනලා කටට.මම ඒ කෙළ හිමිහිට ගිල ගත්තා.ඒත් ආයෙම එනවා.එතකොට මන් බෙල්ල පොඩ්ඩක් නමලා ගිල ගන්නවා.ටිකක් වෙලා යනකොට හරියනවා.ඒත් ඒ එක්කම බඩගින්න වැඩි වෙනවා.ඔහොම ඉඳිද්දි තමා ඉන්ටවල් එකට බෙල් එක ගැහුවේ.ටීච අපිටත් ආයූබෝවන් කියලා බෑග් එකත් අරන් ගියා යන්න.අපි වතුර බෝතල් අරන් අත් හෝදලා කන්න ආවා මේසෙට.මාත් අත් හෝදන් පුටුවට ඇවිත් සුපුරුදු බත් එක ගන්න කෑම පෙට්ටිය හෙව්වත් අතට අහූ උනේ කෝලේක ඔතපු හරි මෘදු දෙයක්.පස්සෙයි මතක් උනේ අද කන්න තියෙන්නේ කේක් කියලා.කොළෙත් එක්කම එළියට ගත්ත මං මේසේ උඩින් තියාගෙන කන්න හදනකොට තමා මතක් උනේ අක්කටත් එක්ක නේද මේ තියෙන්නේ කියලා.මම දන්නේ නෑ මට මොකද උනේ කියලා, හරිනම් මම කරන්න තිබ්බේ මම කන්න කලින් අක්කගේ පන්තියට ගිහින් එක කේක් කෑල්ලක් දීලා එන එක.ඒත් මම හිතුවේ මම කාලම ගිහින් දෙනවා කියලා.ඉතින් මම කටක් දෙකක් කද්දි තමා රස දැනුනේ හරියට.ඒ කේක් කෑල්ලේ තට්ටු තුනක් තිබ්බා.කොළපාටයි, රෝස පාටයි ඒ අතරේ සුදු පාටට අයිසිනුත් තිබ්බා.මම ඉතින් රස කර කර කෑවා.එහෙම කද්දි ළඟ ඉන්න මගේ හොඳම යාළුවා කැළුම්ටත් දීලා ඒයා ගෙනාපූ රෝල්ස් එකෙන් පොඩ්ඩක් ගත්තා.එහෙම කෑම මාරු කරගෙන කන්න කියලා තමා අපිට කියලා තිබ්බේ ඒ කාලේ.ඉතින් කැළුමුත් කිව්වා හරිම රහයි කියලා.
මම කේක් කෑල්ල කාලා ඉවර උනා.වතුර බෝතලේ මූඩිය ඇරලා වතුරත් බිව්වා.අනිත් කේක් කෑල්ල තාම ඩෙස්ක් එක උඩ කොලෙන් ඔතලා අයිනේ තියෙනෙවා.මට දැන් බඩගින්නක් නැති තරම්.ඒත් බඩට ඇති උනාට, හිතට ඇතිවෙලා තිබුනේ නෑ.ඉතින් ඒ වෙලාවේ තමා අවුරුදු විස්සක් තිස්සේ හිතින් දුක් විඳින ඒ වැඩේ කරන්න පටන් ගත්තේ.ඒකට අනුබල දුන්නේ කැළුම් තමා.සමහරවිට කැළුම්ටත් පොඩි හරි කෑල්ලක් හම්බෙන හින්දා වෙන්න ඇති මට අක්කට නොදී අනිත් කේක් කෑල්ලත් කන්න කියන්න ඇත්තේ.මට එවෙලෙ මතක් උනේ ඒ කේක් කෑල්ලේ රස විතරමයි.ඒකා මුල් උනෙත් ඒ හිතේ තිබ්බ බඩ ගින්න විතරමයි.රසයි බඩගින්නයි අතරට අයිසින් වගේ වැටුන කැලුම්ගේ වචන ටිකත් එක්කම මම පටන් ගත්තා ඒ අනිත් කෑල්ලත් කන්න.කාලා කොලේ කුණුබක්කියට දැම්ම මන් ආයෙමත් වතුට බීලා අත හෝදගෙන සෙල්ලම් කරන්න එළියට ගියා ළමයි එක්කම.
මට මතක එච්චරයි.අක්කා එදා කෑවේ කොහොමද කියලා මට මතකයක් නෑ.ඒ වෙච්ච සිද්දිය ගෙදර ඇවිත් අක්කා අම්මට කිව්වද කියලා මතකයකුත් නෑ.මට ගැහුවද, බැන්නද, මාත් එක්ක රණ්ඩු උනාද කියලා මතකයකුත් නෑ.සමහරවිට එහෙම මොකුත් වෙන්න නැතුව ඇති.අක්කා කාගෙන් හරි කෑම ඉල්ලගෙන කන්න ඇති.එහෙම නොවී අම්මට කිව්වනම් මට ගහන්නත් ඉඩ තිබ්බා.මාව බඩ ගින්නේ තියන්නත් ඉඩ තිබ්බා.එහෙම උනානම් අවුරුදු විස්සක් ගිහිනුත් ඒ මතකය අළු යට හැංගිච්ච ගිනි පුපුරක් වගේ ඉතුරු වෙලා නොතියෙන්න ඉඩ තිබුනා.එහෙනම් මට මෙහෙම සිතිවිලි ටිකක්වත් එන්නෙ නැති වේවි.කොහොම හරි ඒ එදා අක්කගේ බඩගින්නට වඩා මගේ ලස්සන පාට දෙකකින්, තට්ටු තුනක් විදිහට තිබ්බ, අයිසින් තවරලා රස වෑහුන කේක් කෑල්ලට තිබ්බ ආසාව වැඩි උනා.ඒ මන් පොඩි ළමයෙක් හින්දා වෙන්න ඇති.නමුත් අක්කත් පොඩියිනේ.කේක් දෙක අක්කට දුන්නනම් අක්කා එහෙම කරයිද.අක්කට එදා තිබ්බ බඩ ගින්නට වඩා ගින්නක් මේ කාලය තුරාවට මේ සිද්දිය මතක් වෙන හැම වෙලාවකම මට දැනෙනවා.ඒත් කිසිම දිනක මම මේ ගැන වචනයක් හොල්ලලා නෑ.ඒ ලැජ්ජාවකටත් වඩා, මම කලේ වැරැද්දක් කියන හැඟීමත් එක්ක එන අහේතුක දුකක් එන හින්දා.කොහොම හරි මම මොනවා හරි දෙයක් හිතින් හදාගෙනම ඒ හැඟීම් ඉක්මනටම මකලා දානවා ඇස් වලින් කඳුළු එළියට පනින්න කලියෙන්.



මම තාමත් ඇඳේ.ඇස් පියවෙලත් නැහැ.මම දැක්කේ හීනයක් වෙන්න බැහැ.මොකද මට මතකයි ෆෑන් එකේ තටු කැරකෙනවා වගේම ඒ එක්කම එන හුළඟින් මට පොඩි හීතලක් ආවා කියලත්.පහළ සාලයේ ළමයි කෑ ගහන සද්දයත් ඒ විදිහටම මතකයි.එහෙනම් මට දැනුනේ මොකක්ද.මම පොඩ්ඩක් අතීතයට යන්න ඇති.හිතේ කොණක තියෙන මතකයක් පොඩ්ඩක් අවුස්සලා එළියට අරන් ඒ මතකය අළුත් කර ගන්න ඇති.මට ඒ මතකය දැනෙන්නේ හරියට ඒක අර කපරාරු කර බිත්තියක තීන්ත වලින් කරපු පරණ වී ගිය චිත්‍රයක් වගේ.සමහර තැන් හුණු කෑලිත් එක්කම ගැලවිලා ගිහින්.නමුත් චිත්‍රය දිහා බලනකොට චිත්‍රේ මොකක්ද තිබ්බේ කියලා කියන්න පුළුවන් තරමට රැකිලා තියෙනවා.එහෙම රැකිලා තියෙන්නේ කාලෙන් කාලෙට අළුත්වැඩියා කරන හින්දා වෙන්න ඇති.ඒ වගේම තමා ඒ මතකයත්.කාලෙන් කාලෙට එළියට අරන් හරි පරිස්සමට ආයෙමත් ඇතුළෙන් තියනවා.මෙහෙම මතකයන් එක්ක හිටිය මට,සතියට ලැබුන හොඳම සහනය ඒක කියලා හිතුනේ මතකය ඇතුළට දාලා අගුළු දාන මොහොතෙමයි.ඒත් එක්කම දොරට වැදුනු තට්ටුවත් එක්කම මට ඇහුනේ "කේක් එක කපන්න ලෑස්තියි.ඉක්මනට යන්" කියලා විතරමයි.

Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය