හාරසීය

දෙදාස් හතේ ඔක්තෝබර් මාසේ දහනම වෙනිදා. සිකුරාදා දවසක්. සුපුරුදු විදිහටම ඉස්කෝලේ යන්න ලෑස්ති වෙවී හිටියෙ මම. වෙනදා උදේ පාන්දරින්ම ඇහැරුනත් අද ටිකක් පරක්කු උනා නැගිටින්න. පෑවිල්ල හින්දා රස්නෙටයි මදුරුවො හින්දයි මුළු රෑම නැගිටලා වගේ තමා හිටියෙ මම. ඉස්සර පැදුරෙ නිදා ගන්නකොට ගොම පොළොවෙ සීතල ඇඟට දැනුනත් මේ ටිකේ ඒ සීතලවත් දැනෙන්නේ නැති තරමටම රස්නෙ වැඩියි. කොහොම උනත් උදේ හත හමාරට කලියෙන් ඉස්කෝලේ යාගන්න පුළුවන් තරම ලෑස්ති වෙන්න පුළුවන් උනා මට.
ඉස්කෝලෙට ගියේ මම අක්කා එක්ක. හැතැප්ම එක හමාරක් විතර ඇවිදන් යන්න තිබ්බත් ඒක අපිට දැනෙන්නෙ නැති තරම්. එක හුස්මට දුවන්න පුළුවන් තරම් පදම් වෙලා හිටියෙ අපි. ගෙදරින් හැරිලා ගුරු පාරට ආවම එක කෙලින්ම තියෙනවා පාර. හැතැප්මක් විතර පේනවා දුර. ගුරු පාරක් උනාට වාහන් එහෙම යනවා. බස් එකක් උනත් යනවා. ගුරු පාර කියලා කියන්නෙ පාරේ තාර නැති හින්දා. ඊටත් වඩා ඉස්සර ඉඳන්ම එහෙම කියන හින්දා තමා වැඩියම. උදේ හතට විතර උනත් ගස් වල පිණි බිංදු වේලිලා ගිහින් දූවිලි විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. ඒත් සමහර ගස් කොළ වල පිණි හින්දා දූවීලි හෝඳන් ගියපු පාරවල් හොඳට පේනවා. ඒ තැන් වල දූවිලි එක කැටියට එකතු වෙලා තියෙනවා. අතින් අල්ලපු මට දැනුනේ කෑලි කෑලී කුඩු කුඩු ගැලවිලා අතට එනවා වගේ. මේවා කරනකොට අක්කා මූණ ඇඹුල් කරගන්නවා. ඒ අප්පිරියාවටත් වඩා කෝලම් කර කර ඉඳලා ඉස්කෝලෙට වෙලාවට යන්න බැරි වෙයි කියලා හිතලා.
පාරේ දකුණු පැත්තෙන් අපි දෙන්නා හෙමිහිට යනකොට පේනවා පාරේ අනිත් කෙලවරින් වෑන් එකක් වගේ වාහනයක් එනවා. ඒ වෙලාවට අපි කරන්නෙ ඒ වාහනේ අපි ළඟට එන්නෙ කොයි වෙලාවෙද කියලා ඔට්ටු අල්ලන එක. "අර ඈත වෙරළු ගහ ළඟදි කියලා මම කියන්නෙ ". "නැහැ ඊට කලින් වෙලට හැරෙන පාර ළඟදි කියලා මම කියන්නේ". අක්කයි මමයි වාද කර කර යද්දි ඒ තැන් දෙකටම නැතුව ඊට කලින් වාහනේ අතර මැද්දෙ පාරකින් හරෝලා ගියා. දෙන්නටම හිනා ඉතින්. අපි ඉස්සරහට යද්දි වාහනෙන් ඇවිස්සුන දූවිලි වලින් පාරම වැහිලා තිබුනේ. නහය අතින් වහන් දූවිලි යන එක නවත්ත ගත්තට ඇඳුම් පුරාමනම් දූවිලි වදිනවා හොඳට. සෙරෙප්පු ගැනනම් කතා නොකරන තරමට හොඳයි. උදේ ඇඟ හෝදපු පාරත් එක්ක කකුලෙ තිබ්බ තෙත ගතියට දූවිලි ඇලිලා කකුල් මඩ ගොඩේ ලැග්ගා වගේ පේන්නෙ. ඉස්කෝලෙට ගියාම ඔය කාගෙත් එහෙමයි. ඒ හින්දා ගානක් නෑ අපිට ඕවා.
ඉස්කොලේ ගාවට යද්දි ගානට හත හමාරයි. රැස්වීම පටන් ගන්නයි හදන්නෙ. ඉක්මනට පිටිපස්සෙ ගේට්ටුවෙ රිංගගෙන බෑග් එක පන්තියෙන් තියලා දිව්වා පිට්ටනියට. අපේ ඉස්කෝලෙටම ඉන්නෙ ළමයි සීයක් වගේ. ඒ හින්දා කවුරු හරි ආවේ නැත්තන් ඒත් මතකයි අපිට. රැස්වීම් පටන් ගත්තෙ පන්සිල් කිව්වායින් පස්සේ. ලොකු සර් වෙනදා වගේම දිග කතාවක් කලා. අපේ රැස්වීමේ තියෙන එකම හොඳේ උනේ පිට්ටනියෙ තිබ්බත් ඒ තිබ්බෙ පිට්ටනියෙ අයිනෙම අව්ව වැටෙන්නෙ නැති මාර ගහක් යට. ඒ හින්දා ඕන තරමක් වෙලා හිටියෑකි හිටගෙන. ඒ කියනකොටයි මතක් උනේ හදිසියේ ආව හින්දා උදේට කෑවේ නෑ නේද කියලා. අක්කනම් මොනවද කනවා දැක්කා. ඒත් මන් ආවේ තේ කහට එක බීලා විතරයි.
අපේ ළමයි දෙතුන් දෙනෙක්ම කතා එහෙම කලා.මමත් කවියක් කිව්වා ගිය සතියෙ. ඒ හින්දා ආයෙ කතාවක් කරන්න වෙන්නෙ ටික කාලෙකින්. සමහරවිට ලබන අවුරුද්දෙ වෙන්නත් පුළුවන්. මම ඕවා මතක් කර කර ඉන්නකොට ඇහුන අමුතු කටහඬ හින්දා ඔළුව උස්සලා බැලුවා ඉස්සරහා. කවදාවත් රැස්වීමේ කතා කරන්නේ නැති අපේ සමන්ති ටීච අද කතා කරන්නයි හදන්නෙ. ටීච කතා කරන්නේ ලබන මාසේ ඉස්කෝලෙන් යන ට්‍රිප් එක ගැන. අවසාන විභාගෙට කලින් යමු කියලා කිව්වෙ අපිමයි. නුවර දළඳා මාළිගාවේ,  පේරාදෙණියේ මල්වත්තෙ එහෙම යමු කියලා කියලා තියෙන්නෙනම් ටීචලමයි. ගිය අවුරුද්දෙ කොළඹ ගිය ට්‍රිප් එකටනම් මම ගියේ නෑ. අක්කනම් ගියා. ටීච ට්‍රිප් යන්න ලෑස්ති වෙන්න ඕන විදිහ කියනවා. ට්‍රිප් එකට රුපියල් හාරසීයක් ගන්නවා කියලත් කිව්වා. ලබන සතිය වෙද්දි දීලා ඉවර කරන්නත් කිව්වා. ගොඩක් ළමයි දීලාලු. සල්ලි දෙන්න බැරි උනොත් යන්න බැරි වෙයි කියලයි කියන්නෙ. එහෙම කියද්දි සමහර ළමයි මුණූ බල බල හිනා උනා. සමහරු බිම බලන් හිටියා. බිම බලන් හිටිය මූණු තිබ්බෙ අතරින් පතර කියලයි මට දැනුනේ. අපේ අක්කත් කෙළවරක ඉඳන් බිම බලන් ඉන්නවා නේද කියලා දැක්කේ අහම්බෙන්.
රැස්වීම ඉවර වෙලා පන්තියට ගියේ යන්න තියෙන ළඟ පාරෙන් නැතුව ටැප් තියෙන පැත්තට ගිහින් වතුරත් බීගෙනම. හෙවනෙ හිටියත් දිව ගිලෙන්න ඔන්න මෙන්න හිටියෙ අපි. පන්තියට ගිහින් වැඩ පටන් ගන්න ටීච එනකන් කෑගගහා ඉන්න අතරෙ ට්‍රිප් එකට දෙන්න ගෙනාපු සල්ලි එළියට අරන් පෙන්නනවා ළමයි. සමහරු අලුත්ම සීයේ කොල හතරක් තියෙනවා. තව අය කොළ පාට දාහෙ කොළයක් පෙන්නුවා. තව අයට තියෙන්නෙ පන්සීයෙ කොල. මට තිබ්බෙ සීයේ කොල දෙකකුයි පනහෙ කොළ හතරකුයි. ඔක්කොම පෙන්නුව හින්දා මාත් පෙන්නුවා. මම සල්ලි දාලා තිබ්බෙ බෑග් එකේ පොඩිම සාක්කුවක. ට්‍රිප් එක යන්න දින දාගත්ත කාලෙ ඉඳන්ම එකතු කලත් පනහකට වැඩිය එකතු කරගන්න බැරි උනා මට. අම්මට කොච්චර කිව්වත් හම්බුනේම නෑ මට. ගිය අවුරුද්දෙ ගියේ නැති හින්දා මේ අවුරුද්දෙවත් යන්න දෙන්න කියලා කොච්චර ඇඬුවද කියලා මතක් කර කර සල්ලි ටික ආයෙම දැම්මා සාක්කුවට. සති දෙකක් විතර ගිහින් යන්තන් සල්ලි ටික හම්බ උනේ ඊයේ මට. මේ පාර අක්කනම් යන්නේ නෑ. අටසීයක් හොයන්න බැහැ අම්මට. අක්කා ගිය පාර ගිය හින්දා එයාට ලොකු ගානකුත් නෑ ඒ ගැන. හැබැයි මම කැමති අක්කත් එනවනම්. එහෙම කියපුවාම අම්මා තව පොඩ්ඩෙන් මට දෙන සල්ලිත් දෙන්නෙ නැතුව යනවා.
ඊයෙ පන්තිභාර සමන්ති ටීච සල්ලි එකතු කලා පන්තියෙ. මම දෙන්න හදනකොට ටීච හදිසියෙන් වගේ ගියේ ඇයි කියලා මම පස්සෙත් කල්පනා කලා. ටිච කලින්ම මට කියලයි තිබ්බෙ ට්‍රිප් එකට එනවා නේද සල්ලි නැති උනාට කමක් නෑ ට්‍රිප් එක යන්න එන්න කියලා. ඒත් සල්ලි නොදී ආවා කියලා ළමයිනුයි අම්මලයි දැනගත්තොත් මොනා වෙයිද හිතා ගන්න බැරි හින්ද මම අම්මටවත් කිව්වෙ නෑ ඒ වගක්. ටීච සල්ලි එකතු කරද්දි මාව මඟ ඇරලා අනිත් ළමයින්ගෙන් ගත්තා සල්ලි. මම ඉතුරු උනේ අන්තිමට. "ඕක තියාගන්න" එහෙම කියපු ටීච යන්න ගියා. මට හරියට හිතා ගන්න බැරි උන හින්දා හෙට දෙන්නම් කියලා බෑග් එකට දාගත්ත පොඩි කරලා. ගෙදර ගිහින් අම්මටවත් කිව්වෙ නෑ. අම්මා ඇහුවෙත් නෑ හැබැයි.
මම ඒ ගැන කල්පනා කර කර ඉද්දි පන්තියට ආවේ දමයන්ති ටීච. අද ටීච උගන්නන දවසකුත් නෙමෙ. අපි නැගිටලා ආයුබෝවන් කියන්න හැදුවත් ටීච කතා කරන්න ගත්තා ඊට කලින්. "මේ පන්තියෙ තමා අඩුවෙන්ම සල්ලි දීලා තියෙන්නෙ. සමන්ති ටීච එකතු කලේ නැද්ද සල්ලි ? ". "ඊයෙ එකතු කලා ටීච. අපි අද ගෙනාවා ඊයේ ගෙනාපු නැති අය." ළමයි දෙන්නෙක් තුන් දෙනෙක්ම එහෙම කිව්වා. "කෝ සල්ලි අරන් එන්ඩ එහෙනම්. ටීචට කියන්න මට දුන්නා කියලා. නම් ලිස්ට් එක මන් ළඟ තියෙනවා. " ළමයි පෝලිමට ගියා සල්ලි දෙන්නා. මම බෑග් එකේ සාක්කුවට අත දාලා සල්ලි ටික උණ්ඩි කරලා ගත්තත් පුටුවෙන් නැගිටගන්න බැරුව විනාඩි දෙක තුනක්ම හිටියා. ළමයින්ගෙ පෝලිම ටික ටික අඩු වෙනවා. මම තාමත් ඉඳගෙන. "සල්ලි දෙන්නම ඕනෙද ? සමන්ති ටීච කිව්වෙ මොකක්ද ?" මම මගෙන්ම ප්‍රශ්න කරනවා. ටීච මුලු පෝලිමම ඉවර කරලා තව අය ඉන්නවද කියලා අහනකොටත් මම ඉඳගෙන. ටීච පන්තියෙ ඉස්සරහම මේසේ තියගෙන ලිය ලිය ඉන්නවා. මගෙ ඇස් දෙකට හරියට පෙනුනේ නෑ ඒ දිහා බලාගෙන හිටියත්. ඉස්සරහට මූණ් හරවන් හිටියත් හිත තිබ්බෙ වෙන තැනක. එක පාරටම පුටුවෙන් නැගිට්ට මම ඉස්සරහට ගියා. ටීචත් නැගිටලා යන්න හැදුවා විතරයි. " අහ් තව ඉන්නවද ?" .මම අතේ උණ්ඩි කරන් හිටිය සල්ලි ටික අතින් දිග ඇරලා ටීචට දුන්නා. ඒ වෙලාවේ මගෙ අත් දෙක වෙව්ලුවා කියලා මතක් උනේ පස්සේ වෙලාවක.
සල්ලි දීලා ටිකක් වෙලා යද්දි ඒ සල්ලි ගැන තිබ්බ මතකය නැති වෙලා ගියා.  වෙන ටීචලා දෙන්නෙකුත් ඇවිත් විද්‍යාවයි ගණනුයි උගන්නලා ගියා. ඊට පස්සෙ තිබ්බෙ සිංහල. ඒ කියන්නේ සමන්ති ටීච තමා ඊළඟට එන්නෙ. හරියකට විස්තර කරන්න බැරි මෙන්න මේකයි කියලා කියා ගන්න බැරි අමුතු හැගීමකින් මගෙ හිතම වෙලිලා ගියා ඒක මතක් වෙද්දි. ඒත් පස්සෙ හිතුවා ඇයි මට එහෙම උනේ කියලා. "ටීච කිව්වෙ සල්ලි දෙන්න එපා කියලා. ඒත් මට ඒක හරියට ඇහුනේ නෑනේ. අනික ටීච දැනගන්න විදිහකුත් නෑ මම සල්ලි දුන්නා කියලා. " මම මගේ හිතම මගේ වචන වලින්ම සනස සනසා හිටියා. " මම වෙන මොනවා කරන්නද. සල්ලි ඉල්ලුවාම දෙන්නෙ නැතුව ඉන්න බෑනේ ". මෙහෙම ඉන්න අතරෙදි ටීච ආවා පන්තියට. උගන්නලා ඉවර වෙලා එහෙම සල්ලි දීපු එක ගැන කිව්වා. සල්ලි නොදීපු අය අනිත් දවසෙ ගේන්න කියලත් කිව්වා. ඒ ඉන්ටවල් එකට කලින් පීරියඩ් එක. ඒ හින්දා ටීච යන්ඩ හදන්නත් කලියෙන් ළමයි නැගිටලා දුවන්නයි හදන්නේ. ඒත් ටීචට බයේ ඔක්කොම තාම ඉඳගෙන. ටීච නැගිටලා යන්න හදන ගමන් මගේ නම කියලා අඬගැහුවා. මගෙ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා. මට බනියිද ටීච. මොනවා කරයිද මට. ටීච ආයේ මන් එක්ක කතා කරන එහෙකුත් නෑ. ටීච අනිත් අයටත් කියයිද. මේ වගේ දාහක් සිතුවිලි ආවා ඒ තප්පර කීපයට. ඒත් මම බැනුම් අහන්න තරම් වැරැද්දක් කලේ නෑ නේද කියලා හිතෙනකොට මම පන්තිය ඉස්සරහට ඇවිත් ඉවරයි. පස්ස හැරිලා බලද්දි ළමයි ඔක්කොම මම දිහා බලාගෙන. ඒ දැනුනු හින්ද්ද මන්දා ටීච කිව්වා දැන් ඉන්ටවල් කියලා. ළමයි ඔක්කොම වතුර බෝතල් අරන් එළියට දිව්වා අත් හෝදන් එන්න. ටීච හෑන්ඩ් බෑග් එක අතට අරගෙන එළියට ආවා මටත් එන්න කියාගෙන.
මම ටීච පස්සෙන් හෙමිහිට ගියා. අත් දෙක එකට බැඳගෙන බයගුල්ලෙක් වගේ. දැන්නම් ළමයි දැක්කත් ඒක ගානක් නෑ වගේ අපේ පන්තිය පහු කරපු හින්දා. ටීච කතා කරන්ඩ ගත්තා. "ඇයි මන් එපා කියද්දි සල්ලි දුන්නේ ? මම දෙන්න එපා කිව්වනෙ". ටීචගෙ මූණේ හිනාවක්වත් තිබ්බෙ නෑ. මට කියාගන්න වචන තිබ්බෙ නෑ. ටීච නැවතුන හින්දා මාත් නැවතුනා. ටීච වෙන මොකුත් කිව්වෙවත් නෑ. නැවතිලා බෑග් එක ඇරලා සල්ලි වගයක් දුන්නා මට. "කාටවත් කියන්න එපා. දැන් යන්ඩ පන්තියට ". මම අත් දෙක දික් කරලා සල්ලි ටික අරන් එහෙම්ම දාගත්තා සාක්කුවෙ සල්ලි දිහා බලන්නෙවත් නැතුව. ටීච හැරිලා එහෙම්ම ගුරු විවේකාගාරේ පැත්තට ගියා. මමත් දුවලා පන්තියට ගියා. ඒ යනකොට අක්කා කෑම එකක් ගෙනත් දීලා ගිහින්. උදේම අම්මට උයන්න බැරි උනාම අම්මා කරන්නෙ කෑම පස්සෙ හදලා ඉන්ටවල් එකට කලින් ගෙනත් දෙන එක.
 මම අත් හෝදලා එහෙම කන්න පටන් ගත්තා. කොහේවත් නැති සතුටකින් හිත පිරිලා ගිහින් වගේ. කෑම එකේ තිබ්බෙ මොනවදවත් මතක නෑ මට. මට ඕනේ උනේ ඉක්මනට කාලා සල්ලි ටික බලන්න.
ඉක්මනට කෑම ටික කාලා අතත් හෝදන් මම ගියේ පිට්ටනිය පැත්තට. සෙල්ලම් කරන්ඩනම් නෙමේ අර සල්ලි ටික බලන්න. පිට්ටනිය ළඟ අරලිය ගහක් ලගට ගියපු මම හෙමිහිට සාක්කුවට අතදාලා සල්ලි ටික අරන් බැලුවා. හදිස්සියට දාගත්ත හින්දා ගුලි එකට. දිග ඇරලා බැලුවාම තිබ්බේ මම දීපු සීයෙ කොල දෙකයි පනහෙ කොල හතරයි වෙනුවට වෙන සීයේ කොල හතරක්. මට ඒක ගානක් උනේ නෑ එච්චර. මට එවෙලෙ හිතුනෙමෙ දැන් මම මොකක්ද මේකට කරන්නෙ කියන එක. මම මේක තියාගන්නවා අම්මට නොදි. ට්‍රිප් එක ගිහින් මොනා හරි ගත්තැකිනෙ. එහෙම නැත්තන් බොරු නොකරම අම්මට දෙනවා. එතකොට හිතටත් සහනයක්.අම්මත් සතුටු වෙයි. මම අහස ගැටලන්න වගේ කල්පනා කරනවා. ඔහොම ඉන්න අතරෙදි තමා මම අක්කව දැක්කෙ. ඈතින් යනවා තව යාලුවො දෙන්නෙක් එක්ක. එතකොටයි මතක් උනේ අක්කා ට්‍රිප් එක නොයන්නෙ මම හින්දා නේද කියලා. මට වෙන මොකුත් ඕන උනේ නෑ. හිතන් හිටිය කිසි දෙයක් කරන්න ඕන උනේ නෑ. මම එක පිම්මෙට දිව්වෙ අක්කලා පැත්තට. අක්කේ කිය කියා මම දිව්වා ළඟටම. ගිහින් ටක් ගාලා අක්කගෙ අත ඇදලා සල්ලි ටික උණ්ඩිය පිටින්ම තිබ්බා අතේ. අක්කා ඒක බලලා කතා කරන්න හදද්දිම මම කතා කරන්න පටන් ගත්තා. "ටීච ගත්තේ නෑ සල්ලි. ඔයා ඔයාලගෙ ටීචට දෙන්න. එතකොට ට්‍රිප් එක ගියෑකි අපි දෙන්නටම. " මම හති ඇර ඇර හිනා වෙවී කිව්වා. එහෙම කියලා අක්කා කතා කරන්නත් කලියෙන් මම පැනලා දුවලා ආවා. ඒ එන්න හදද්දි මට යාන්තමට වගේ පෙනුනා අක්කා පුදුම වෙලා වගේ බලාගෙන ඉන්න හැටිත් අක්කගෙ යාලුවො දෙන්නා අක්කා දිහා බලා ඉන්න හැටිත්. මම සෑහෙන දුරක් ඇවිත් හැරිලා බලනකොට අක්කලත් හැරිලා පන්තියට යනවා. මාත් පන්තියට ගිහින් මොකුත් උනේ නෑ වගේ වැඩ පටන් ගත්තා.
අන්තිම පීරියඩ් එකට කලින් පීරියඩ් එකේ ආයෙමත් සමන්ති ටීච ආවා පන්තියට. ටීචගෙ කිසිම වෙනසක් තිබ්බෙ නෑ. මම ටීච එක්ක හිනා වෙන්න හැදුවත් ටීචගෙ අමුත්තක් තිබ්බේ නෑ. මන් වෙනුවෙන් වෙනම හිනා උනෙත් නෑ. ටීච සුපුරුදු පරිදියටම උගන්නලා යන්න ගියා. ඒත් මට ඕනෙ උනේම ටීචට ස්තූති කරන්න. ඒත් මට එහෙම අවස්ථාවක් හම්බුනේ නෑ කවමදාවත්ම.  මම ගෙදර ගිහින් විස්තරේ අම්මට කිව්වාම අම්මත් සතුටු උනා අක්කත් මාත් එක්ක යන එක ගැන. ටීච හරි හොඳයි කියලා තමා අම්මයි අක්කයි දෙන්නම කිව්වෙ. මටත් සතුටුයි ඔක්කොටම වඩා. ඒ අක්කා මාත් එක්ක එන එකට විතරක්ම නෙමේ. මම අද හරි ලොකු වැඩක් කලා වගේ කියලයි හිතුනෙ මට. ඒත් ටීච හිටියෙ නැත්තන් කොහෙ ලොකු වැඩ කරන්නඩද කියලා හිතුනම මටම හිනා ගියා මටම නොදැනිම.
සති දෙකකට පස්සෙ අපි ගියා නුවර ට්‍රිප් එක. පාන්දර පහට තමා ඉස්කෝලෙට එන්න කියලා තිබ්බෙ. අපි බස් එකේම නුවර ඇවිත් මාළිගාවත් වැඳලා මල්වත්තටත් ගියා. කාලෙකට පස්සේ ගොඩක් විනෝද උනා. අක්කා හිටියෙ අක්කගෙ යාලුවො එක්ක. මම හිටියෙ මගෙ යාලුවො එක්ක. ඒත් අක්කා ඈතින් හරි හිටිය එක මට හරි හිතට හයියක් උනා. මල්වත්තට ගිහින් ආයේ පෝලිමට බස් එකට එනකොට මම දැක්කා සමන්ති ටීක බස් එක ළඟට වෙලා ගනන් කර කර ළමයිව බස් එකට දානවා. මම ඇවිදින අතරෙම කල්පනා කරන්න ගත්තා. "ඇයි අක්කගෙ පන්තියෙ ටීච අක්කගෙන් සල්ලි ගත්තෙ ? "මම මගෙන්ම ප්‍රශ්න කලා. මට උත්තර හම්බුනේ නෑ. "ඒ සල්ලි තිබ්බනම් අපි දෙන්නට මොනා හරි ගන්න තිබ්බා ". පොඩි ලෝබකමක් තිබ්බෙ නැත්තෙමත් නෑ. මොනා උනත් තව දුරක් යද්දි මටම උත්තරයක් ආවා හිතට. "හැම මනුස්සයම එක වගේ නෑනේ. සමන්ති ටීච වගේ මනුස්සයො හරි අඩුයි මේ ලෝකේ ".
අපි ගෙදර එනකොට රෑ දහයටත් ළඟයි. එහෙම්ම ඇවිත් නිදාගන්න පැදුරට ගියා මම. උදේ ඉඳන් වෙච්ච දේවල් හිතන්න ගත්තේ ඒ හැම දෙයක්ම හිතට සතුටක් ගෙනත් දුන්න හින්දා. උදේ ඉඳන් ගෙදරට එනකන් වෙච්ච දේවල් හිතන්න මට විනාඩි දහයක්වත් ගියේ නෑ. මොනවා හිතුවත් අන්තිමට ඉතුරු උනේ එකම ප්‍රශ්නයයි. ඒ ප්‍රශ්නෙට උත්තරයක් අවුරුදු එකොලහකට පස්සෙ අදවත් මම දන්නේ නෑ. මට හිතෙනවා ආයෙමත් ගිහින් අහන්න. ඒත් ටීචට මතක නැතුව ඇති ඒවා දැන්. මට අහ්න්නම ඕනෙ උනේ කොහොමද මන් දුන්න පනහෙ කොල හතර සීයේ කොල දෙකක් උනේ කියලා. ටීච දමයන්ති ටීචගෙන් අරන් දෙනකොට මාරු උනාවත්ද ? නැත්තන් ටීච දුන්නෙ ටීචගෙම සල්ලිද ? තාම උත්තරයක් හම්බුනේ නෑ මටනම්.




Comments

  1. 2oo7 di 4oo kiyanne sathiyak witara pirimahaganna puluwan gaanak 😕

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය