පරවුනු පොහොට්ටු

මලක් නැතුවට සොඬින් අරගෙන
නුඹත් ආවේ හීනෙකින්මයි
රැජිණ නොවුනත් ලොකු රාජ්ජෙක
හොයන් ආවේ මගේ කුසමයි

ලොවම දිනු ලෙස දැනුනෙ මාහට
කුසට ආ බව දැනගත්ත දා සිට
පාරමි පුරමින් හිටියෙ මම
නුබට මව වෙන දිනය එනතුරු

පාට පාටින් ඇඳුම් පොඩි පොඩි
එකතු වෙනවා ටිකෙන් ටික
දිලිසෙනා මුතු පබළු වැල්දම්
ගෙතෙනවා දැන් එකින් එක

අඩිය තියනා වරක් පාසා
මතක් වෙන්නේ නුබ ගැනයි
ගැස්සෙනා හැම හුස්ම ගානේ
දැනෙන්නේ මට නුඹ තමයි

නුබේ සූකිරි පොඩි දෙපා
වැදෙනවා මට දැනෙනවා
රිදෙනවාදැයි සිත සිතා
සිතත් මගෙ තැති ගන්නවා

මාස ගණනක් ගෙවී ගෙන ගොස්
මාස නමයක් පිරෙනවා
නුබව දකිනා දිනය එන බව
දැනෙනකොට හිත පිරෙනවා

දඟල දඟලා ඉන්න නුබ මට
මැවි මැවී දැන් පෙනෙනවා
නුබේ අක්කයි අයියා දෙන්නම
තිය තියා අත් බලනවා

දිනක් හවසක කණකොකෙක්
වහලය උඩින් පියඹා ගියා
හිතුවෙවත් නැති වෙලාවක උබ
දඟලන්නේ නැති වී ගියා

මාස නමයට සතියකට පෙර
උබ අපිව දාලා ගියා
ඒ සතිය ඇයි ඉන්න බැරි උනෙ
දුකින් හිත මගෙ දා ගියා

ළමයි අඬනා සද්දෙ ඇහෙනවා
උබ වගේමයි මගෙ පුතේ
කිරි එරිලා මගෙ පපුව පිරිලා
දුක තරමටම මගෙ හිතේ

ඇඳුම් පොඩි පොඩි ගෙදර ඉඳගෙන
උඹව අහනවා මගෙ පුතේ
උබේ අක්කයි අයියා දෙන්නම
උබව අහනවා මගෙ පුතේ

මෙලොව දකිනට කලින් එලොවට
ගියේ ඇයි මගෙ පොඩි පුතේ
දුකක් නැතුවද දැනෙන් නැතුවද
දුක්ගින්න මේ මගෙ හිතේ

එන්ඩ පුළුවන්නම් ආයෙමත්
ඇවිත් පලයන් පොඩි පුතේ
නෙළුම් මල් මට ඕනේ නෑ
මාළිඟා මට ඕනේ නෑ
උබම පමණක් හිස් අතින්
ඇවිත් පලයන් මගෙ පුතේ...

ඉපදීමට පෙර ගර්භාෂය තුළදීම කළලයට සති විසිඅටෙන් පසුව මියයාම intrauterine death ලෙස හඳුන්වනවා. ලෝකයේ ගොඩක්ම මෙම මරණ සිදුවන්නේ අප වැනි දියුණු වෙමින් පවතින රටවලය.මේ මරණ සඳහා මවගේ, කළලයේ හෝ කළලබන්ධයේ නොයෙකුත් ගැටළු හේතු වෙනවා. ඒවනම්,

-ගර්භණී කාලයේදි ඇති වන අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ විවිධ ආසාධන රෝග
-කලල බන්ධයේ පිහිටීමේ අසාමාන්‍යතා
-පෝෂණ ඌනතාවන්
-ප්‍රවේණික ආබාධ

සමහර ගැටළු ඒ පිළිබඳ දැනුවත් වීම මඟින් වළක්වා ගන්න පුළුවන්.ඒ වගේම ගර්භණී අවදියේදී සිදුවන රුධිරය පිටවීම්, දරුවාගේ දැඟලීමේ අඩු තත්ත්වයන් සහ මවට ඇති වන රෝගී තත්ත්වයන් ගැන අවධානයෙන් ඉන්න එක වැදගත්. මෙවැනි අවස්ථාවකදී හැකි ඉක්මනින් රෝහලකට යන්න අවශ්‍ය වෙනවා.
ඒ වගේම මවට වෛද්‍යවරුන් විසින් කලින්ම අනතුරු ඇඟවීම් කරලා තියෙනවනම්, කලින් දරුවන් මෙසේ මිය ගිහින් තියෙනවනම් හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. අධික රුධිර පීඩනය සහ දියවැඩියාව පාලනය කරගැනීම වැදගත්. වෙනත් රෝග වලට බෙහෙත් ගන්නවනම් ඒ ඒ අදාළ වෛද්‍යවරුන්ට ගර්භණී තත්ත්වය දැන්වීම අත්‍යාවශ්‍ය වෙනවා.

මෙසේ මිය යන්නෙ ඔබේ දරුවාමයි. එය මවට පමනක් නොවේ පියාට, අනිත් දරුවන්ට සහ මුලු පවුලටම බලපානවා. මෙය අද වෙනත් මවකට උනත් හෙට ඔබට ඔබේ පවුලේ අයෙක්ටද විය හැක. ඒ නිසා නිසි අවධානයෙන් සිටීමෙන් මෙවැනි අකල් මරණ වළක්වා ගනිමු.



Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය