සුදු ගවුම


නොවැම්බර අග උනාට මේ අවුරුද්දේ වැස්ස නොහිතපු විදිහට තමා ආවේ. වෙනදාට මෙච්චර වහින්නේ නෑ. කුඹුරු යායම සුදු පාටට වතුරෙන් යට වෙලා. එකට යන්නෙ නැතුව ඉක්මනට ලොකු වෙන්න හදපු ගොයම් ගස් වල කොල විතරක් අතරින් පතර වතුරෙන් උඩට ඇවිත්. වැස්ස යන්තන් අඩු කරපු හින්දා කුඹුර බලන්න ගිය ශිල්පකාන්ත දැක්කා ඒ ගස් වල උඩ චූටි පිණි බිංදු රැඳිලා තියෙනවා. ඈත කන්දේ පැත්තෙ ඉඳන් ආපු හුළඟත් එක්ක ඒ බිංදු ආයෙම වතුරට වැටෙනවා. ඒත් ඒ බිංදු ගහ යට කරන්න තරමට වතුර වැඩි කරන්නෙ නෑ. මුළු නියරත් වතුරෙන් වැහිලා. සෙරෙප්පුත් දාගෙන නැති ශිල්පකාන්තගෙ කකුල් සුදුවට පෙනුනා වතුර අස්සෙන්. නියර දිගේම ඇවිත් වත්තට ගොඩ වෙලා ශිල්පකාන්ත කෙලින්ම දිව්වෙ ගෙදරට.

ගෙදරට ඇවිත් දොර වහන්න කලින් ඉස්සරහ බැලුවාම පෙනුනේ පාරේ අයිනෙ වැටේ තිබ්බ සපු ගස් ටික හුළඟට වැනෙන විදිහ. සපු කොල කඩන් ඇවිත් මිදුලට වැටෙනවා. වේගෙන් ආපු කොලයක් ගෙට ඇතුල් උනේ දොර ඇරලා තිබ්බ හින්දා නිසා දඩාස් ගාලා දොර වහලා ශිල්පකාන්ත ආව ගේ ඇතුලට.
"අම්මේ, අක්කලා ආවේ නැද්ද ? "
"ආවනම් උබට පේනවනෙ. මඟ එනවා ඇති" දයාවති කුස්සියෙ ඉඳන් කෑ ගහලා කිව්වා.
ශිල්පකාන්තට ඉස්කෝලේ අක්කට කලින් ඉවර වෙන හින්දාත්, අක්කා ගමේ ලොකු ඉස්කෝලේට යන හින්දත් හැමදාම අක්කා එනකන් බලන් ඉන්න වෙනවා. ආයේ දොර ළඟට ගියේ අක්කා එනවද බලන්න. හිතුවත් වගේම ශ්‍රියානී පාර ළඟින් හැරිලා ගෙදරට එන ගමන් හිටියෙ. දමයන්ති එක්ක එකට ආපු ශ්‍රියානී දමයන්තිට අත වනලා ආවා ගෙදරට. සුදු පාට සපත්තු දුඹුරු පාට වෙලා තියෙන්නෙ කිලෝ මීටර දෙකක් විතර පයින් එන්න වෙන හින්දා. ශිල්පකාන්තටත් ඒ ටිකම වෙයි ලබන අවුරුද්දෙ ඉඳන්. ඒකයි හැම වෙලේම අම්මට කියන්නෙ ලොකු ඉස්කෝලෙට යන්න බෑ කියලා. හැමදාම දයාවතීගෙ උත්තරේ වෙන්නෙ "උබට බැයිනම් නිකන් ඉදපන්" කියලා විතරයි.
ශිල්පකාන්ත දැන් බලන් ඉන්නේ අක්කා කාලා බීලා ඉවර වෙනකන්. සෙල්ලම් කරන්න ඉන්නේ අක්කා විතරක් හින්දා පැය ගානක් උනත් බලන් ඉන්න පුළුවන්. ඒත් හැමදාම වෙන්නේ ශ්‍රියානී මහන්සී කියලා නිදා ගන්න එක. ඒක දැන් ශිල්පකාන්ත පුරුදුයි හොඳට.
"අක්කේ එනවද අදවත් සෙල්ලමක් දාන්න ? " ශිල්පකාන්ත ශ්‍රියානී කන තැනට ගිහින් ඇඟේ එල්ලිලා අඬන විදිහට කිව්වා.
"මන් කිව්වනෙ මට විභාගේ ලබන මාසේ කියලා. විභාගේ ඉවර වෙලා තමා එන්න වෙන්නෙ.." ශ්‍රියානී සති දෙකක විතර ඉඳන් හැමදාම කියන එක කියාගෙන කියාගෙන ගියා.
"ගිහින් අර අම්මට උදව් කරනවකො. හැමදාම සෙල්ලම් කරන්න ඕනියැ. ඕනෙනම් යනවා පුංචිලෑ ගෙදර. අර ඉන්නෙ සරත්. මමනම් එන්නෙ නැ. "
ශිල්පකාන්ත බලාපොරොත්තු බිඳගෙන ගියා කාමරේට. අඬන්න තමා ලෑස්තිය. පොඩ්ඩක් හිත රිදුනත් අඬන හින්දා තාත්තගෙන් අඬ අඬ ඉද්දිම ගුටි කන එක හැමදාම වෙන දෙයක්. ශිල්පකාන්ත ඇඳට වෙලා අඬන්නෙ නැතුව ඉන්න හැදුවා. වහලේ උළු දිහා බලාගෙන ඒකේ තියෙන ඉංග්‍රීසි අකුරු අමාරුවෙන් අමාරුවෙන් පටල පටල කියවන්න හැදුවා. ඒක ඇහුන ශ්‍රියානී "ඕකේ තියෙන්නෙ නිමල් ටයිල්ස් කියලා. හැමදාම කියෙව්වත් එකමයි තියෙන්නෙ " කියාගෙන හිනා වෙවි කාමරේට ආවා.
"හැබැයි පැය භාගයක් විතරයි. ඊට පස්සෙ පාඩම් කරන්න ඕනේ "
දාම් බෝඩ් එක අතේ තියාගෙන ශ්‍රියානී කිව්වෙ ශිල්පකාන්තට ඉත්තො ටික හොයාගෙන එන්න කියන ගමන්.
ශ්‍රියානී ඉගෙන ගන්නෙ එකොළහ වසරේ. තව සති දෙකකින් සාමන්‍ය පෙළ ව්භාගෙට ලියන්න ඇඟිලි ගැන ගැන ඉන්නෙ. ඉස්කෝලේ හැමෝම කියන්නෙ උඩින්ම පාස් වෙයි කියලා. දයාවතීටත් ඕනෙ කොහොම හරි උසස් පෙළ කරවලා කැම්පස් යවාගන්න. අඟහිඟකම් අහස උඩට තිබ්බත් දයාවතීගෙ ධෛර්යය ඊට උඩින් යනවා කොහොමත්. පේමතිලකගේ බීම හින්දා හැමදාම එක තැන් පල් වෙල ගෙදරට ලයිට් ටික වත් ගන්න උනන්දුවක් ප්‍රේමතිලකට නෑ. මහ වැස්සට රඹුටන් අත්තක් වැටිච්ච හින්දා කුස්සියෙ කැඩිච්ච වහලේ හදාගත්තෙත් දයාවතීගෙ මල්ලී ආව හින්දා. කොච්චර බාධා ආවත් කොහොම හරි හැමදේම කරගන්න ගතිය ශ්‍රියානිට ආවෙත් දායවතීගෙන් තමයි. ඉස්කෝලේ ගිහින් ආව ගමන් දායාවතී එක්ක පොල් අතු වියන්නෙ ඉස්කෝලෙන් ඉගෙන ගන්න දේට වඩා දේවල් ශ්‍රියානී මේ වැඩෙන් ඉගෙන ගත්ත හින්දා. එකම පන්තියෙ ඉගෙන ගන්න කුසුම් පොල් අතු වියන කතාව ඉස්කොලේ අනිත් ලමයි එක්ක ගිහින් කිව්වාම දවස් දෙක තුනක් පොල් අතු තියෙන තැනකින් වත් නොගියත්, ආයේ වැඩ පටන් ගත්තෙ ඉස්කොලේ යන්න කුසුම් සල්ලි දෙන්නෙ නැති බව තේරිලා කුසුම්ව පන්තිය අයිනට අරන් හොඳවායින් දෙකක් කිව්වයින් පස්සෙ.
"අම්මේ මම දමයන්තිලා දිහා යනවා. නමයට කලින් එන්නම්.. " ගෙදර කලුවරේ පාඩම් කරන්න බැරි හින්දා දැන් මාසෙක ඉඳන් දමයන්තිලා දිහා යන එක ශ්‍රියානි පුරුද්දක් විදිහට කලේ ගෙදර ලයිට් නැති හින්දටත් වඩා ප්‍රේමතිලක බීලා ඇවිත් රණ්ඩු කරන ඒවා අහන් පාඩම් කරන්න බැරි හින්දා. සමහර දවස් වල උදේ වෙනකම්මත් ඉන්නවා. දයාවතී ඒකට මොකුත් නොකිව්වෙ ඇස් කන් තියෙන මනුස්සයෙක්ට ඒ ගෙදර පාඩම් කරන්න බැරි බව තේරුම් ගන්න යන්තන් අට පාස් වෙච්ච කෙනෙක්ට උනත් පුළුවන් හින්දා. ප්‍රේමතිලක ශ්‍රියානී ගැන අහන හැම වෙලේකම ගෙදර තියෙන අඩුපාඩු ටික ඇදලා අරන් අනිත් හැමදෙයක්ම අකාමකා දාන හැකියාවක් දයාවතීට තියෙනවා. එ හින්දම දැන් ශ්‍රියානි ගැන අහන්නෙම නැති තරම්. ඒ වෙනුවට බිල්ලට අරන් තියෙන්නෙ ශිල්පකාන්ත. පොඩ්ඩක් වචනයක් වැරදුනත් තඩි බාන හින්දා ශිල්පකාන්ත දැන් හත වෙද්දිම නිදි. නින්ද නොගියත් යන්තන් කළුවර වැටෙද්දි හරි ප්‍රේමතිලක ඈත ඉඳන් බීලා කෑගහන සද්දෙ ඇහුන ගමන් හරි ශිල්පකාන්ත හුස්ම ගන්න එක පවා නතර කරලා යනවා කාමරේට.
වැස්සෙ අඩුවක් ඇත්තෙම නෑ. සති තුනක් තිස්සෙම එකම විදිහට මහ වැහි වැටෙනවා. රෙදි වේලෙන්නෙ නැති හින්දා කුස්සියෙ පිටිපස්සෙන් බිත්තිය ලඟම රෙදි වැලේ තමා රෙදි දාන්නෙ. ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දි තුන ලං වෙන හින්දා ශ්‍රියානි ආපු ගමන් කරන්නෙ නාලා රෙදි හෝදන එක. කොච්චර නැති උනත් එකම ඇඳුම දවස් දෙකක් අඳින පුරුද්ද ශ්‍රියානිට නෑ. ඒත් මේ වහින වැස්සට මක් කරලවත් ඇඳුම් වේලෙන්නෙ නැති ඉන්දා අඳින්න තියෙන එකම සුදු ගවුම දාවස් දෙකක් හෝදන්නෙ නැතුව අඳින්න උනා මේ සති දෙකේදි.විභාගෙ පටන් ගන්නේ තව දවස් තුනකින්. අන්තිම දවසෙ ඉස්කෝලේ ගිහින් ඇවිත් ඇඳුම් හෝදලා වැලට දැම්මෙ ආයෙ ඉස්කෝලේ යන්නෙ කෙලින්ම විභාගෙට බව හිත හිතා. සුපුරුදු විදිහට දවස් දෙකක් දමයන්තිලා ගෙදර ගෙවිලා සඳුදා පටන් ගන්න විභාගෙට ගෙදර ඉඳන් යන්න ඕනෙ හින්දා ඉරිදා  හවස ආවා ගෙදර.
සෙනසුරාදායි ඉරිදයි ඉදේ වරුව යන්තන් පෑව්ව හින්දා ඇඳුම් ටිකේ තෙත හිඳිලා අඳින්න පුළුවන් තරමට වේලිලා. ශ්‍රියානී ආව ගමන් ගියේ ඇඳුම් ටික අරන් එන්න.
"අම්මේ ලිපට පොල්කටු හතරක් දාන්නකො..කොහෙද ඉස්තිරික්කෙ අනේ ?.." ශ්‍රියානී කුස්සියට ගොඩ වෙන ගමන් කියාගෙන ආවා.
"ඉස්සරහා කාමරේ ඇති. එතන මේසෙන් තියලා මැදපන්..පිච්චෙයි බලාගෙන. ඒකෙ වහන කෑල්ල හෙලවෙනවා.."
"හාකෝ. ආයේ ඉතින් ඕක මැදලා නැති එකක් යෑ. පොල්කටු පිච්චෙද්දි කියන්ඩ.." ශ්‍රියානී ගෙට ආවේ ශිල්පකාන්තව හොයාගෙන. ශිල්පකාන්ත ඉස්සරහා මිදුලේ වැස්සට මතු වෙච්ච උල්පත් හාරනවා. ඒ වැඩේනම් ශිල්පකාන්ත තනියෙන් උනත් කරනවා.
"මඩ කනයා වගේ ඕකේ ලැගලා ඉද්දි තාත්තා ආවොත් ගහයි හොඳෙ.." ශ්‍රියානී ඉස්සරහා දොරට හේත්තු වෙන ගමන් කිව්වා.
"තාත්තා අද එන්නෙ නෑලු. ඒකනෙ මන් ආවේ " ශිල්පකාන්ත හිනා වෙවීම කිව්වා.
"මෙන්න ගනින් පොල්කටු ටික.." දයාවතී හෙන හයියෙන් කෑගහනවා. ශ්‍රියානී දිව්වා කුස්සිය දිහාට.
පොල්කටු ඉස්තිරික්කෙ තමා රෙදි මදින්න ගන්නෙ. දැන් ඒක පාවිච්චි කරන්නෙ ශ්‍රියානී විතරයි. දයාවත් රෙදි මදින්නෙ කලාතුරකින්. ශිල්පකාන්තනම් කවදාවත් ඇඳුම් මැදගෙන අඳින්නෙ නෑ. ශ්‍රියානිට හිතුනොත් විතරක් ශිල්පකාන්තගෙ ඇඳුමුත් මැදලා දෙනවා. පොල් කටු හතරක් විතර දැම්මාම ඇඳුම දෙක තුනක්ම මැදගන්න පුළුවන්. පොල්කටු ඉස්තිරික්කෙත් දයාවතී ඉල්ලන් ආවේ දනපාලලගෙ දිහාට ලයිට් ගත්තායින් පස්සෙ.
ශ්‍රියානී රෙදි මදින්න පටන් ගත්තා. හෙටින් පටන් ගන්න විභාගේ හොඳට කරගන්න ඕනේ කියලා තමා හැමදාම හිත කියන්නෙ. ශ්‍රියානී අනාගතේ ගැන හිතුවා. සාමන්‍ය පෙළ කියන්නෙ පොඩි විභාගයක්, උසස් පෙළ තමා අමාරු. කරගන්න පුළුවන් උනොත් කැම්පස් යාගන්නත් පුළුවන්. එතකොට දැනටමත් පන්තියෙ අන්තිමයා හරියෙ ඉන්නෙ කුසුම්ටත් රිදෙයි හොඳට. "ඒත් මම මොකටද කාටවත් රිද්දන්නෙ ?.. අපිට මෙහම වෙලා තියෙන්නෙත් ගිය ආත්මෙක කරපු පව් හින්දා වෙන්න ඇති. ඒ හින්දා රිද්දන්න හොඳ නෑ කාටවත්". මෙහෙම හිතපු ශ්‍රියානිට හිතන්න පුළුවන් උනේ තව තප්පර පහකටත් වඩා අඩු කාලයක්. ගවුම් පටිය හරිය මදිද්දි ඉස්තිරික්කෙ නූලක හිර වෙලා අනිත් පැත්ත හැරුනේ රතු පාටට පිච්චෙන පොල් කටු හැමතැනම විසිකරන්. අතටත් පොඩි කෑල්ලක් වැටුන හින්දා අතත් යන්තමට පිච්චුනා කියලා ශ්‍රියානිට මතකයි. තප්පර දෙකක් යන්නත් කලින් පොල්කටු ටික බිමට ගසලා දැම්මත් හොඳට රත් වෙලා තිබ්බ හින්දා ගැවුමෙන් භාගයක්ම පිච්චිලා. ශ්‍රියානිගෙ ලෝකෙ කකුල් දෙක ළඟ කඩන් වැටුනා වගේ. ලියන්න තියෙන විභාගෙටත් වඩා මතක් උනේ කැම්පස් යන හැටි. ඇස් වලට කඳුලු බිංදු එන තරමට දුක තිබ්බත් කඳුලු ආවේ නැත්තෙ හිතට ඇති උන බයටත් වඩා, ඒ ඇස් දෙකෙන් කදුලු ඕන තරම් වැටිලා තියෙන නිසා වැටෙන්න කදුලු ඇස් වලට නැති හින්දා.
දයාවතී කලබල උනේ නෑ. ඒත් ඔලුවට අත ගහගෙන ගියේ කාමරේට.
"උබ පලයන් ගිහින් පාඩම් කරපන් දමයන්තිලා දිහා.. මන් මොකක් හරි කරලා තියන්නම්.."
ශ්‍රියානි රතු වෙච්ච ඇස් දල්ලවගෙන, යාන්තමට කඳුලු වලින් තෙත් වෙලා බොඳ වෙච්ච ඇස් පිහද පිහද අතට අහු වෙච්ච පොත් දෙක තුනක් අරන් ගියා දමයන්තිලා දිහා. දයාවතිත් කාමරෙන් ඇවිත් දොර ළඟට වෙලා යනකන් බලන් හිටියා. පාරේ වංගුවෙන් හැරිලා නොපෙනිලා යද්දිම කාමරේට ආපි දයාවතී අල්මාරිය ඇරලා දැම්මා රෙදි ටික ඔක්කොම ඇඳට.
"ශිල්පකාන්ත, ශිල්පකාන්ත .. පුංචිලා දිහාට ගිහින් ඉඳිකට්ටක් ඉල්ලන් වරෙන්. ඉක්මනට "

ගෙදර රෙදි මහන්න මැශිමක් නැති උනාට, මැෂිම පරාද වෙන්න අතේ රෙදි මහන හැකියාවක් තිබ්බා දයාවතීට. පොඩි කාලේ ඉඳන් පුරුදු උන හින්දා ඕන ඇඳුමක් මහන්න පුළුවන්. ගිය මාසේ කිරිදානෙකට ගියාම හම්බ වෙච්ච සුදු රෙදි කෑල්ල ගත්ත දයාවතී යන්තන් කැපෙන කතුරෙන් කපාගෙන කපාගෙන ගියා. ශිල්පකාන්ත ළඟ ඉඳන් වැටෙන පොඩි රෙදි කෑලී ඇහිදිනවා.
"අහක්ට වෙයන්. කතුර යයි ඇහැ අස්සෙ.. මොකක් හරි කරන්න ගත්තොත් අස්සෙ රිංගනවා.. " දයාවති හයියෙන් කැගැහුවා. ශිල්පකාන්ට ඒවා පුරුදු හින්දා හෙල්ලුනේවත් නෑ කාමරෙන්. ගවුම මහන්න ගියේ පැය දෙකක් විතර. බාගයක් කැඩිච්ච අල්මාරියේ කණ්නාඩිය ළඟට ආපු දයාවති ගවුම ඇඟට තියලා බැලුවා. ලස්සනට තියෙනවා. කළුවර වැටිලා හින්දා සුදු පාටට ගවුම විතරක් පේන්න දයාවතී කළු පාට මූණ හැංගිලා ගිහින්. මොහොතකට ඉස්කෝලේ ගිය හැටි මතක් වෙච්ච දයාවතීගෙ ඇහැට කඳුලු බිංදුවක් ආව හින්දා ඒකත් ගවුමෙන් පිහ දාලා , ගවුම ගිහින් තිබ්බා මේසෙ උඩින්. එතකොටයි යන්තන් හුස්ම ටිකක් ගන්න පුළුවන් උනේ.
රෑ නමය පහු වෙන්න කලියෙන් ශ්‍රියානී ආවා ගෙදරට. ගේ ලඟටම ඇවිත් දොරත් ඇරියේ බයෙන් බයෙන්. හිමීට ගෙට ඇවිත් කාමරේට යන්නෙ නැතුව කෙලින්ම ගියේ කුස්සියට. දායවතී තාම උයනවා.
"උබ ආවද ? අන්න කාමරේ බලපන් ගිහින්.." දයාවතී කිව්වෙ මූනේ හිනාවකුත් හංගගෙන.
ශ්‍රියානී කාමරේට ගියා නෙමෙ. නිකම්ම යැවුනා. කිරි පාටට අඳුරෙම දිලිසෙන ලස්සන සුදු ගවුමක් මේස උඩ තියෙනවා. ගානට රැලි තියලා මැදලත් එක්ක. ශ්‍රියානී ගවුමත් අරන් සාලේ තිබ්බ පාන ගාවට ඇවිත් හැඩ බැලුවා. දැන්නම් ඇහැට කඳුලු එන්නෙ සතුට වැඩි කමට. ලස්සනට රැලි ටික තිබ්බත් තිබ්බ සතුට පොඩ්ඩක් අඩු වෙලා ගියේ ගවුමේ රැලි තියෙන කොටස මහලා තියෙන්නෙ අනිත් පැත්තට කියලා දැන ගත්තාම. දැන් ශ්‍රියානී දෙලොවක් අතර තනි උනේ මේක අම්මට කියනවද නැත්තන් එහෙම්මම අඳිනවද කියලා. ඕන එකක් කියලා දයාවතී ළඟට ගිය ශ්‍රියානී වචන පටල පටල කිව්වා වෙලා තියෙන දේ ගැන.
"හ්ම් ඒකත් එහෙමද ? මේ කළුවරේ මොනවත් පේන්නේ නෑ බන්" කියූ දයාවතී "බරාස්.." හඬක් එන විදිහට ගවුමෙ යට කොටස වෙන් කලා. ශ්‍රියානීයි ශිල්පකාන්තයි බලාගෙන ඉන්නවා.
"හොඳ වෙලාවට ඉඳිකට්ට යැව්වෙ නැත්තෙ. නැත්තන් ආයෙ යන්ඩ වෙනවා ඉල්ලන්ඩ.. මේ ඉල්ලන එක එපා වෙලා තියෙන්නෙ මටනම්.. " දයාවතී කීයෝ කියෝම මහන්න ගත්තා.
"ඉඳපන් මන්ම මැදලා දෙන්නම්. මට බෑ ආයේ මහන්න පුච්ච ගත්තොත්.."
මැදපු සුදු ගවුම ඇඳට එහා පැත්තෙ වැලක එල්ලෙනවා. ශ්‍රියානී මෙට්ටේ නැති ඇඳේ පැදුර හරි ගස්සලා ඇඳට ආවා. ඇස් පියාගන්න මොහොතකටත් කලින් ආයේ වතාවක් සුදු ගවුම දිහා බැලුවා. එදා රෑ පුරාවටම ශ්‍රියානී හීනෙන් දැක්කෙ කැම්පස් එකට අම්මත් එක්ක යන හැටි. අම්මා ලස්සනම ලස්සන සාරියකුත් ශ්‍රියානී ලස්සන අළුත් ගවුමකුත් ඇඳගෙන හිටියා.


Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය