අම්මා

නිරිත දිග මෝසමට
රතු වෙච්ච නිල් අහස
කළු වෙන්ඩ වෙර දරයි
ඇත්තක්ම වෙන්නටම
රාත්‍රිය ගලාවිත්
රැදුනේ ගෙයි දොරකඩම
ඉඟියකින් දැනිලාද
සැබැවින්ම දැකලාද
බිත්ති මත රැඳුන ඒ
වහල යට සිටිය ඒ
මගේ හිතට අරක් ගත්
පාළුවත් තනිකමත්

සිහින් සර නගා ආ
සුළං රැලි චණ්ඩ වී
ඔච්චමක් කරමින්ම
ගේ තුලින් හමන්නේ

කුටි දෙකක හිටියමුත්
ඔබෙ සුවඳ දැනෙනවා
අම්මේ ඔබෙ පොඩි පුතා
නිදන්නට වැටෙනවා

කාමරේ වහලයේ තිබුන ඒ වීදුරුවේ
පෙනුනේ දිය සෙවල හා අඹ ගහේ කොළ දෙකක්
සිහින් පිනි බිඳු ඇවිත් දෝරේ ගලනා විටදි
නොදැනීම නිදි වැදුනෙ විඩාවට හිත ඇතුලේ

මැදියම් රැය ළඟා වෙද්දි
හෙන පුපුරන ඒ සද්දෙට
මම ඇහුරුනෙ සසල වෙලා
හා පැටියෙක් පරිද්දටම

ලාම්පු එළි නිවී ගොසින්
එළිය කවිද අරන් ගිහින්
ඇස් ඇරියත් මම දැක්කේ
කාපා දැමිය හැකි කළුවර

කරදඩු උස් මහත් උනත්
දවල්ට චණ්ඩියෙක් උනත්
හොඳටම මම කළුවරේට
තාමත් මම බයයි අම්මේ

හෙන පුපුරන සද්දෙ මැදින්
ගොරවන ඒ හඬ අතරින්
ඔබේ තුරුලේ සැඟවෙන්නට
අම්මේ මාව ළඟට ගන්ඩ

ඔබේ උණුසුම අතරෙ ඉදගෙන
තනි ඇහැක් ඇර ඇස් කොනින් මම
අහස දෙස බැලුවත් අම්මේ දැන්
දැනෙන්නේ නැත බියක් මා හට

හා පැටියෙක් වගේ බයෙන්
ගුලි ගැහිලා හිටිය මෙමා
ඔබ ළග ඉන්නා මොහොතේ
ආයෙත් චණ්ඩියෙක් වෙලා



Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය