දේවතා එළි


ඉස්කෝලේ නිවාඩු දීලා දවස් කීපයක් ගත උනා විතරයි. නිවාඩුවට කලින් කරන්නම් කියලා හිතන් හිටිය සෑහෙන දේවල් කරගන්න බැරි වෙන විදිහක් තමා දැනිලා තිබුනේ මට. මොනා උනත් දරුවො දෙන්නව ගමට එක්කන් යන එකනම් කොහොම හරි කරන්න ඕනේ කියන එකනම් ස්ථීරවම හිතේ ඇඳිලා තිබ්බා. හවස හතරට විතරට සාලෙට වෙලා නිමන්ති හදලා දුන්න තේ එක බිබී මම මතක් කලේ පොඩි කාලේ අපි ඉස්කෝලේ නිවාඩුවට කරපු දේවල්. දැන් අවුරුදු තිස්පහ පනින්නත් ඇවිල්ලත් තාම ඉස්කෝලේ යන්නෙ ගුරුවරයෙක් වෙන්න තිබ්බ ආසවටත් වඩා කැම්පස් ඉවර උන ගමන්ම පිනකට වගේ ජොබ් එක හම්බුන හින්දා. මම වර්තමානෙන් අතීතෙටත් අතීතෙන් වර්තමානෙටත් මාරුවෙන් මාරුවට තප්පරෙන් තත්පරේට පැන පැන එක වෙලාවකදි අනාගතේ දිහාටත් ගිහින් තේ එක බීලා ඉවර වෙද්දි ආයෙමත් වර්තමානෙට ආවා.

නිමන්ති දැන් රස්සාවක් කරන්නේ නෑ. බබලා දෙන්නා හම්බුනත් එක්කම රස්සාවෙන් අයින් වෙලා ගෙදරට වෙලා ඉන්න කිව්වේ මමමයි. ඒ නිවුන්නු දෙන්නෙක් බලාගන්න එක ලේසී පහසු දෙයක් නෙමේ හින්දා. දැන් දෙන්නම ඉන්නෙ මගේ ඉස්කෝලේ හය වසරේ. එළියේ සෙල්ලම් කරන හැටි පොඩ්ඩක් ඔළුව පොඩ්ඩක් දාලා බලලා තේ කෝප්පේ අතට අරන් යන්න පටන් ගත්තා කුස්සිය දිහාට. නිමන්තී උයන්නත් පටන් අරන් කියලා දැක්කේ කුස්සියට ගියායින් පස්සෙ.

"හෙට යමුද ගමේ ගිහින් එන්න.. ? අක්කා කෝල් එකකුත් දීලා ඇහුවා එන්නේ නැද්ද කියලා.. "
මම තේ කෝප්පෙට වතුර ටිකක් අරන් හෝදන ගමන් ඇහුවා.

"හරියට මම පරක්කු උනා වගේනේ. ඔයාටනෙ යන්න ඕනේ කමක් තිබ්බෙ නැත්තෙ. මන් දවස හතරක් පහක්ම කිව්වත් එක්ක.. හෙට ගියේ නැත්තන් ආයේ යන්න වෙන්නේ ඊළඟ නිවාඩුවට තමා ඉතින්.." නිමන්තී කියාගෙන කියාගෙන ගියා.

"එහෙනම් ලෑස්ති කරගන්න බඩු ටික. හෙට හවස් වෙන්න ගියාම ඇතිනෙ.."

ගමන් ගැන ළමයි දෙන්නට තිබ්බෙ පුදුම ආසාවක්. දැන් ඉන්නෙ ගොඩක් නාගරීකරණය වෙච්චි පැත්තක නොවුනත් ගමේ යනවා කිව්වාම එන හැඟීමේ ඇත්තටම හිතේ ඇඳිලා තියෙන පත්තර වල පොත් වල තියෙනවා වගේ ගමක සුන්දරත්වයක් එවෙලෙ හිතට එන්නේ නෑ.  ඒ වෙනුවට හිතට එන්නේ පරණ මතක ගොන්නකුයි නෑදෑයෝ සෑහෙන ගානක් ආයෙම කාලෙකින් හම්බ වෙන්න පුළුවන් වගේ අදහස් කීපයකුත් විතරයි.

ඊළඟ දවසෙ රෑ වෙද්දි අපි හතර දෙනාම හිටියෙ අක්කලාගේ දිහා. පොඩි උන්ට යාලුවො හම්බ වෙලා. නිමන්තිට අක්කා හම්බ වෙලා. ගෙදර අයියත් නැති එකේ මන් ඔහේ කනට ඇහෙන කතාවක් අහගෙන හිටියා ඉඳගෙන පැත්තකට වෙලා. කෑම එහෙම කාලා ඔක්කොම වැඩ ඉවර වෙද්දි රෑ දහයත් පහු වෙලා. ඉස්සර තාත්තා හිටිය කාමරේ තමා අපිට දීලා තිබ්බෙ. තාත්තගෙ සුවඳ තාමත් එනවද මන්දා. ඒත් තාත්තා නැති වෙලත් අවුරුදු විස්සකටත් වැඩිය තියෙද්දි කොහොම සුවඳක් එන්නද, මම මගේ හිත එක්කම වාද කරා. ඒක ඇත්තටම නහයට දැනෙන සුවඳක් නොවන බවත් ඒක ඇඟ ඇතුලේ, හදවත ඇතුලේ හිරවෙලා තියෙන සුවඳක් බවත් අන්තිමට මායි මගේ හිතයි දෙකම එකඟ උනා. ඔහොම හිතත් එක්ක තරඟ කරන ගමන් දන්නෙම නැතුව නින්දත් ගිහින්. හීන එකක්වත් පෙනුනෙ නැත්තෙ තිබ්බ ගමන් මහන්සියට වෙන්න ඇති.

හතර හමාර වෙද්දි උඩ ගිහින් ඇහැරුනෙ කන ළඟට වෙන්න කුකුලෙක් කෑගැහුව හින්දා. එවෙලෙන් පස්සෙ මොහොතක්වත් නින්ද ගියේ නෑ. මම ඇඳෙන් නැගිටලා දොර ඇරගෙන එළියට ගියා. කොච්චර වෙලා මන් අහසයි වටේ පිටාවයි බලන් හිටියද මතක නෑ. මම මතක ඇති කාලෙක ඉඳන් අවුරුදු තිස් හය වෙනකන් තිබ්බ මතකයන් දස දාස් ගානක් අතරින් ගියා. ඒ ඔක්කොටම පැයක් විතර ගිහින් කියලා තේරුනේ වටින් පිටින් යන්තන් එළිය එද්දි. මම ආයේ ගෙට ඇවිත් පුටුවක ඉඳගෙන වෙලාව බලද්දි වෙලාව තිබ්බෙ හයට විස්සක් වෙන විදිහට. අක්කත් නැගිටලා කියලා දැනුනේ ලයිට් දාලා තිබ්බ හින්දා. මම හෙමිහිට කුස්සියට ඇවිදන් යනකොට අක්කා තේ එකත් අරන් එන ගමන් මගදි හම්බුනා. මම තේ එකත් අරන් කුස්සිය පැත්තෙන් එළියට බැස්සා. ඉර පායගෙන එනවා ගස් අස්සෙන්. මාව හෙමිහිට ඇදිලා ගියේ වත්ත පහළට.

කෝප්පෙන් තේ උගුර උගුර අඩු වෙද්දි මම අඩිය අඩිය පහළට ගියා. පිණි හින්දා කකුල් තෙමිලා හොඳටම. තුත්තිරි ගසුයි තව නම නොදන්න ගස් වලයි මලුයි ඇටයි ඔක්කොම කකුල් දෙකේ. සරම උඩට කරගත්තේ නැත්තන් ඒ ඔක්කොම සරමේ. පිණි තැවරිච්ච කකුල් වලට වල් පැල වල මල් වැටුනාම, සෙරෙප්පු පටි දෙක අතරින් ඒවා පේනකොට අමුතුම ලස්සනක් තිබ්බෙ. මන් තප්පරයක් නැවතිලා ඒ දිහා බලන් ඉඳලා තව තේ උගුරක් බිව්වේ, තේ බීලා කටින් හුස්ම පිට කරද්දි කටින් යන දුම් ටික බලන්නත් එක්ක. මන් හිතුවෙ ඒ හුස්ම රැලි අහසටම යනකන් බලන්න පුළුවන් වෙයි කියලා. ඒත් ඒවා කටෙන් එළියට ආව ගමන්ම නැති වෙලා ගියා. මගෙ බලපොරොත්තු කඩ උන හින්දා තේ ටික එක පාරටම බීලා තවත් පහළටම ඇවිදගෙන ගියා. කුඹුරු දිහාවට යන්න ආස උනත් කුඹුරයි ගොඩ ඉඩමයි වෙන් වෙන තැන තිබ්බ ගහට හේත්තු වෙලා කුඹුරුයි ඊට එහායින් පේන කන්දයි දිහා බලා ඉන්නවා මිසක් ඊට එහා යන්න හිතුනෙ නෑ මට.
අඩු කෝප්පේ දකුණු අතේ දබර ඇගිල්ලේ දාගෙන මම තාමත් එකම තැන. දැන්නම් ඉර පායලා හොඳට. මම ආයෙම ගෙදරට එන්න පටන් ගත්තා. ඇවිදගෙන පහළට ආව මට ආපහු යන්න හිතුනෙ දුවගෙන. ඉර නැගගෙන එන ගමන් තිබ්බත් එක පාරටම උනේ හතර වටේ කලු වෙන එක. ඉඩමෙ හිඩැස් තිබ්බ තැන් වල එක පාරටම මහ රූස්ස ගස් හැදුනා. ලොකුවට තිබ්බ ගස් පොඩි උනා. අතේ තිබ්බ අඩු කෝප්පේ කොහෙ ගියාද නෑ. අවුරුදු තිස් හයක උසට මහතට හැදුන ඇඟ එක පාරට අවුරුදු අටක ළමයෙක් උනා. හිතේ තිබ්බ සෑහෙන බරක් නිදහස් උනා වගේ මට දැනුනේ. මම දුවගෙන ගියාට මට දැනුනෙ මම පාවෙන බවක්. මම හෙමිහිට පාවී පාවී ඉස්සරහට ගියා. අඳුරු ගුහාවකින් යනවා වගේ දැනුනෙ මට. දෙපැත්තෙන් උස කෙහෙල් පඳුරු පිරිලා. තව ගස් තිබ්බා හතර වටේ. පාවෙන ගතිය නැවතිලා මාව ආයෙම පොලොවට වැටුනා. මම දුවන එකත් නවත්තලා ඇවිදන් ගියා. අඩි දහයක් විතර යද්දි මට පෙනුනේ පොඩි මැටි වලින් හදපු කාමර දෙකක ගෙයක්. ඉස්සහර කොටසේ තිබ්බෙ බූරු ඇඳක්. එතනම ටිකක් එහා පුටු දෙකකුත් තව මොනවදෝ පොඩි බඩු මුට්ටු කීපයකුත් තිබ්බා. යන්තන් බූරු ඇඳට උස මම ඒකට ගොඩ වෙලා හතර වටේ බැලුවා. කවුරුත් ඉන්න පාටක් තිබ්බෙ නෑ. කවුරු හරි මේ දැන් හිටපු බවක්නම් හොඳට පේන්න තිබ්බා.
ඇඳෙන් බැහැලා මම ගියේ ගේ ඇතුලට. කුස්සිය පැත්තට යනකොට මට ඇහුනේ ලිපට පිඹින සද්දයක්.කවුරු හරි ඉඳගෙන ඉන්නවා. මැදි වයසේ පිරිමි කෙනෙක්. කොණ්ඩෙනම් ඉදිලා ටිකක්. සරමක් විතරක් ඇඳන් ඉන්න හින්දා ඇඟ පේනවා හොඳට. පොඩ්ඩක් විතර වැහැරුනු ගතියක් තියෙනවා. ඒත් හොඳ පෘෂ්ටිමත් බාහුත් මූණ පිටි පස්සෙන් බැලුවාම තිබ්බ සමානකමුත් එක්ක මට දැනුනේම මම කවදා හරි දැකලා තියෙන, මුණ ගැහිලා තියෙන ගතියක්. මම හොඳට බලන් හිටියා.මගෙ අඩි සද්දෙටවත් හැරිලා බැලුවෙවත් නෑ. ලිපේ තියෙන්නෙ බත් එකකුයි තව මොනවා හරි මාළුවක්. ලිපවල් දෙකම තියෙන්නේ බිම. අනික් ලිපේ තිබ්බෙ පරිප්පු කියලා දැක්කේ ඒක කූරූ ගාන්න මූඩිය ඇරපු වෙලාවක. මම තව බලන් හිටියා. එක පාරාටම හැන්ද බත් එක වහපු නෑඹිලිය උඩින් තියලා ලිපේ ගින්දර අඩු කරපු ඉඳන් හිටිය කෙනා නැගිට්ටා මගෙ පැත්ත බලාගෙන. තාත්තා කිසිම වෙනසක් නැතුව මන් ඉදිරිපිට ජීවමානව ඉන්නවා. මගෙ ඇස් උඩ ගිහින් තොල් කට වේලිලා කලන්තේ ගතියක් ආව හින්දා අඩි දෙකක් පස්සට ගිහින් දොරේ උළුහව්ව අල්ල ගත්තා. තාත්තා මාව දැක්කේ නෑ. තාත්තා ඉස්සරහට, මන් දිහාවට ඇවිදන් එනවා. ඇඟේ වැදෙයි කියලා අහක් උනත් මගෙ අතක් තාත්තගෙ ඇඟේ වැදීගෙන ගියා. ඒත් ඒ අත තාත්තගෙ ඇඟෙන් විනිවිද ගියා කියලා දැනුනාම මගෙ හිතේ බය තවත් වැඩි උනා. මන් තාත්තා පස්සෙන්ම ගියා. තාත්තා ගියේ ගෙයින් එළියට. ගිහින් බලන්නෙ වත්ත උඩහ. උඩහ වත්තේ තියෙන්නෙ පැයකට කලින් මන් හිටිය ගෙදර. හැබැයි අද තිබ්බ විදිහට නෙමේ, මීට අවුරුදු විසි පහකට උඩකදි තිබ්බ විදිහට.

"සුදු පුතා... සුදු පුතා.. එන්ඩ දැන්..." තාත්තා කියවගෙන ගියේ ඉස්සරහා බලාගෙන.

තත්පර දහයක් යන්න කලියෙන් උඩහ ගෙදරින් එළියට අවේ මන් වගේම පොඩි කොල්ලෙක්. ඒ මමමයි කියලා තේරුම් ගන්න මම මන් ළඟටම එනකන් ඉන්න උනා.

"කෑවද ? අම්මා ඉව්වද..? "

"නෑ තාම..ඉස්කෝලේ ගිහින් දැන් ආවේ මම.."
"ඕකනේ කියන්නෙ. උඹලගෙ අම්මට උයන්න පුළුවන්නම් බැරියෑ.. "

"ඉඳන් ඉඳපන් මෙතෙන්ට වෙලා.."

තාත්තා මාව පහු කරලා කුස්සියට ගිහින් විනාඩි පහක් යන්නත් කලින් ආවා ආයෙම. අතේ තිබ්බෙ පිඟානකින් වහපු පිඟානක්. තාත්තා එනකන් මම මන් දිහා බැලුවා. අහිංසක විදිහට බූරු ඇඳේ ඉඳගෙන ඉන්නවා. මටම හිතුනා පව් කියලා. කෑම එක ගත්ත මන් ඉස්සරහා හිටිය මම දුවලා ගියා උඩහ ගෙදරට. තාත්තා තාම බලාගෙන. මන් එළියට ආවා. හිමිහිට ඇවිදින්න පටන් ගත්තා උඩහට. එක වතාවක් ආයේමත් හැරිලා බැලුවෙ තාත්තා දිහා. තට්ටෙ පොඩ්ඩක් එන්න ඇවිත්. මූණ දෙපැත්ත ටිකක් වල ගැහිලා. අතේ සහ බෙල්ල හරියේ හම පොඩ්ඩක් රැලි වැටිලා. ඒත් ඔළුව කෙලින් කරන් පපුව ඉස්සරහට දාන් තමා හිටියේ. එක පාරට මන් දිහා හැරිලා බලලා ආයෙම හැරිලා ගේ ඇතුලට ගියා. මම උඩහට ඇවිදිනවා. වටේ තිබ්බ කෙසෙල් ගස් ටික ටික නැතුව ගියා. පොඩි ගස් රූස්ස ගස් වෙද්දි ගස් තිබ්බ තැන් හිඩැස් උන තැනුත් ඇති උනා. කළුවර නැති වෙලා මට දකුණු අත පැත්තෙන් ඉර පායලා තිබ්බා.අතට බරක් දැනුන හින්දා අත දිහා බැලුවාම දැක්කේ අඩු කෝප්පයක් දකුණතේ දබර ඇඟිල්ලේ එල්ලි එල්ලි තියෙනවා. මම ඇවිදන් ආවා ගෙදරට.

ගෙදර හිටියේ අක්කයි, නිමන්තියි, දරුවො දෙන්නයි, අක්කගෙ බබලා දෙන්නයි විතරයි. තේ කෝප්පෙ මේසෙකින් තිබ්බ මන් ගියා සාලේ දිහාවට.

"අහ් මේ ඉන්නෙ.. කොහෙද ගියේ. " නිමන්ති ගේ අතු ගාන ගමන් කිව්වා.

"වත්ත පහළට ගියා පොඩ්ඩක්.. ඉස්සර තිබ්බ විදිහම තමා.. පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.."

"ආයේ ඉතින් මහලොකු වෙනස් වෙන්න කියලද ? ඔහෙ පැත්තේ යන්නවත් වෙලාවක් තියෙනවයෑ..." අක්කත් කතාවට හවුල් උනා.

"අක්කට මතකද තාත්තා හිටිය පැළ..? මට දැන් එතනින් එද්දි මතක් උනා. දුකකුත් ආවා පොඩ්ඩක්.. " මන් දුක පෙන්නන්න ලොකු හුස්මක් පහළට දාන ගමන් පුටු ඇඳි දෙකටම අත් දෙක තියලා පුටුවකින් වාඩි උනා.

"හ්ම්ම්. ළඟක් වෙනකන්ම කැඩුන වහලේ තිබ්බා. ඒක වැස්සටම දිය වෙලා ගියා.."

"ඉස්සර මට බත් ගෙනත් දෙනවා මතකද ..? "

"ගෙනත් දෙනවනම් තමා. ඒත් කන්නෙ නෑනේ.." අක්කා හිනා වෙවී කියනවා.

"මෙයා නංගි දැන් විතරක් නෙමේ ඒ කාලේ ඉඳන්ම කපටී.."  අක්කා අපේ කතා අහලා අන්දුන් කුන්දුන් වෙලා ඉන්න නිමන්ති පැත්තට හැරිලා කිව්වා. ඒ කිව්වෙත් හිනා වෙවීමයි.

"ඉස්සර තාත්තා අම්මත් එක්ක රණ්ඩු දගෙන හිටියෙ පහළ මැටි වලින් හදපු පොඩි ගේ කෑල්ලක. හැමදාම කෑම උයලා සරත්ට අඬගහලා දෙනවා. හැබැයි කන්නේ නෑ කවදාවත්ම.." අක්කා මන් දිහා බැලුවා අන්තිමට.

"ඒවා කන්න පුලුවන්ද අනේ. අනික උයන්න වතුර ගත්තෙත් අර පහළ අපි නාන ළිදෙන්නේ.. " මම ලැජ්ජාවෙන් දෙන්නගෙම මූණ දිහා බලන් කිව්වා.

"ඔව්.. අන්තිමට ඕක තාත්තා දැන ගත්තා. එදා ඉඳන් නෑ කෑම.." අක්කා එහෙම කියද්දි අපි තුන් දෙනාටම හිනා.

"අම්මා තමා වැඩේ කෑවේ. ඒකෙන් උනේ අයියට මගෙ කෑම එක කන්න හම්බුනේ නැති එක.." මන් එහෙම කියන ගමන් ඔළුව හරෝලා බිත්තියෙ ගහලා තිබ්බ තාත්තගෙ පොටෝ එක දිහා යන්තන් හොරෙන් බැලුවා එක පාරක්.

නිමන්ති අතු ගාගෙනම කුස්සිය පැත්තට ගියා. අක්කා නිමන්ති පස්සෙන් ගියා. මම ආයෙම තනි උනා ගේ ඉස්සරහ. ළමයි හතර දෙනා හයියෙන් කතාවක් ඉස්සරහට. මන් එළියට ආවේ කතාවට කන දීගෙන. කට්ටිය කතා වෙන්නෙ දේවතා එළි ගැන. මන් හොරෙන් අහන් හිටියා. බොරු හදලත් කියනවා හතර දෙනාම. මම හිනා වෙවීම ගිහින් කතාවට එකතු උනා. තාත්තා ඉස්සර පැලේ තනියම ඉද්දි දැක්කයි කිව්ව දේවතා එළි ගැන කතාව මට උනා වගේ මාත් කියලා දැම්මා. ඒත් ඒ එක්කම හිතට ආව පොඩි බයක් එක්ක ඒක උනේ මට නෙමේ සීයටයි කියලා, කියලා දැම්මේ තාත්තා උදේ ඉඳන් හිතෙ හොල්මන් කරපු හින්දා.

"දේවතා එළි ඇත්තද තාත්තේ ?.." වරුණ ඇහුවේ ඇස් ගෙඩි දෙක ලොකු කරන්.

"සීයා බොරු කියන මනුස්සයෙක් නෙමේ පුතා..ඒ හින්දා ඉතින් ඇත්ත වෙන්න ඇති..ඒත් හදිසියේ ඔයාලා මොකද මේ දේවතා එළි ගැන කියවන්නෙ...? මන් කෝකටත් කියලා ඇස් දෙක පොඩ්ඩක් පොඩි කරලා ඇහුවා තව පොඩ්ඩක් ළඟට වෙලා.

"තාත්තට මතකද මදුෂානී ? නිමල් අන්කල්ගෙ දුව. අපේ පන්තියෙ ඉන්නෙ ?..අන්න එයා තමා කිව්වෙ දේවතා එළි කියන්නේ දෙයියෝ යනකොට පේන ඒවා කියලා. එහෙම පේන්නේ පවුලේ ළඟ කවුරු හරි නැති උනාම එයලා දෙයියෝ වෙලා ආවාමලු.." අරුණ තමා උත්තර දුන්නේ.

"ඒ කියන්නෙ ඔය මදුශානී කියන ළමයත් දැකලද ?.."

"ඔව් එයා කියන්නෙ ඒ එයාලගේ නැති උන ආච්චිලු.."

මාව මොහොතකට ගල් ගැහුන හින්දා අන්තිම කිව්ව එක කිව්වෙ කවුද කියලා දැක්කෙ නෑ මම. මම නොකිව්වට මාත් දැක්කා අහසෙ එළි එහෙට මෙහෙට යනවා. ඒවත් දේවතා එළිද. එහෙම වෙන්න ඇති. මන් මගෙන්ම ප්‍රශ්න කලා. ඒත් මන් අඳුරන අපේ පවුලෙම කෙනෙක්ගෙද. මන් තවත් කල්පනා කලා. එහෙම කල්පනා කරද්දි තමා මතක් උනේ දේවතා එලි වත්ත පහලින් උඩහට ඇවිත් නැති වෙලා ගියේ කවද්ද කියලා. ඒ මතකෙට ආපස්සට යද්දි ගෙදර මැද්දෙ තිබ්බෙ හුස්ම ගන්නෙ නැති, ඇස් පියාගෙන උඩ බලාගෙන සුදු ඇඳුමක් ඇඳන්, හෙල්ලෙන්නෙවත් නැතිව පෙට්ටියක තිබ්බ තාත්තගෙ ශරීරේ.



Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය