කරච්චි


"පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන කරච්චි නුවර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා දිනෙන් දින ඉහළ යන බවටත් ඒවා මර්දනය කිරීමට පොලිසියට හැකියාවක් නැති බවටත් නුවර වැසියෝ චෝදනා කරති.

මේ වන විට කරච්චි නුවර දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් සහ ප‍්‍රභූවරුන් වෙඩි නොවදින මෝටර් රථ භාවිතා කිරීමට පෙළැඹී ඇතැයි ද වාර්තා වේ.
මිලියන 18 ක පිරිසක් ජීවත් වන කරච්චි නුවර ආගමික, වාර්ගීක සහ දේශපාලනික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇවිළී යෑම ඇරැඹුණේ, මීට වසර කිහිපයකට පෙරය. පසුගිය පාකිස්තාන මහ මැතිවරණයෙන් පසු එම ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල අඩුවක් දකින්න ලැබුණි.."

මේ ලංකාදීප පත්තරේ කරච්චි නුවර සිදු වෙන දේ ගැන ලියා තිබූ සටහනක්. දවස් ගානක් එක දිගට වැඩ කරලා විවේකයක් හම්බ උන දවසේ හවස තේ එකත් බොන ගමන් මන් පත්තරේ කියවන්න පටන් ගත්තෙ. කරච්චි නගරයේ මේ ලිපිය කියවද්දි මට මුළින්ම මතක් උනේ ලංකාවේ තිබ්බ යුද්දෙ ගැන. යුද්දේ කාලේ අපිට ලොකු ප්‍රශ්නයක් තිබ්බෙ නැතත් යුද්දේ ඉවර වෙන කාලෙනම් අපි හැමවෙලේම අවදියෙන් හිටියෙ. මුලින් යුද්දෙ ගැන හිතුන හින්දා කියෝන එක නවත්තලා ඇස් දෙක පියාන ඒ කාලේ ගැන මතක් කලා මම ටිකක්. මතක් කරගෙන යද්දි පොඩ්ඩක් හිත තැති ගත්තත් දෙදාස් නමයේ යුද්දෙ දින්නා කියන තැනට ආවාම හිතටයි මූණටයි දෙකටම ආවා පොඩි හිනාවක්. හිනාවත් එක්කම ඇස් ඇරලා ආයේ කියවන්න ගත්තා පත්තරේ. ආයේ කරච්චි නුවර ගැන කියවන්න පටන් ගත්තා. තුන්වෙනි ඡේදේ පටන් කරච්චි නුවර කියලා දෙපාරක් කියවද්දි මට මතක් උනේ කරච්ච් ගැන.

එතකොට මට ඇති අවුරුදු නමයක් දහයක් විතර. ඊටත් අඩුද මන්දා. කොහොම හරි මම සෑහෙන්න පොඩියි ඒ වෙනකොට. මම එදා හිටියෙ බාප්පලගෙ දිහා. බාප්පලාට ඉතින් අපිට වඩා සෑහෙන ලොකු වත්කමක් තිබ්බා. එහෙ ගෙදර මන් ඇවිද්දෙත් හරි බයෙන්. එදා මම ගිය දවසෙ ආච්චි දඹදිව යන්න බඩු සූදානම් කරනවා. මට එහෙ ඉන්න උනේ අම්මා ගමනක් ගිය හින්දා. අක්කා වැඩට ගිහින්. අයියනම් කොහෙ උන්නද කියලා මතකයක් නෑ. ආච්ච් හිටියෙ දඹදිව අරන් යන්න රන් තැඹිලි තෙල් හිඳින ගමන්. කුස්සියෙ පෝර්ණුව උඩ ආච්චිට උස හින්දා කුස්සිය ළඟම එළියෙ ලිපක් බැඳලා තමා තෙල් හිඳ හිඳ හිටියෙ. ආච්චි දඹදිව යන්න පුදුම ආසවකින් හිටියෙ. ආසාව වැඩි කමට අහු වෙන ඕන කෙනෙක් එක්ක ගමන ගැන කතා කරන එක තමා එයාගේ වැඩේ.

"දඹදිව ඉතින් මෙහෙ වගේ නෙමේලු. කෝච්චියෙම යන්න ඕනේ දවස් ගනන්. සෝමා ඉන්න හින්දම හොඳයි. මටනම් බෑ ඉතින් තනියෙන් ඔය නොදන්න කට්ටියක් එක්ක යන්න.." ආච්චි කටේ පැත්තක හිනාවක් තද කරන් කියනවා. 

තෙල් තාච්චියෙ කිරි ටික සුදු පාට අඩු වෙවි යන්තන් තෙල් බිංදු මතු වෙනවා තැනින් තැන. අපි දෙන්නා ඉඳන් ඉන්නෙ මූණට මූණලා වගේ. තෙල් තාච්චිය මැද්දෙ තියෙන්නෙ. පොඩි බංකුවෙ ඉන්න මම තාච්චියෙන් උඩට යන දුම් වලට ආච්චිව පේන්නෙ නැති හින්දා ආච්චි ගාවටම නොවුනත් එයාව පේන තරමට බංකුව ගෙනාව එක පැත්තකට. දැන් මට ආච්චි කියන ඒවා ඇහෙනවා වගේම කට දිහාම බලන් ඉන්න හින්දා ඇහුනෙ නැතත් කට හෙල්ලෙන විදියෙන් තේරුම් ගත්තෑකී කියන ඒවා. ඒ හින්දා ආච්චි කියන ඒවා බාගෙට අහගෙන වැරදි උත්තර දුන්නාම එයාට තරහා යන එකත් නැති වෙනවා.

"දඹදිව ටවුන් වගේ සෑහෙන්න තියෙනවලු. ඔය ඉස්සර නම් වලින් නෙමේනේ දැන් ඒවට කතා කරන්නෙ..සම්පූර්ණ වෙනස්.."

"ඒ මොනවද ආච්චියෙ..? එතකොට කිඹුල්වත්පුර එහෙම නැද්ද ?.."

"ඒවට දැන් කියන්නෙ වෙනම නම්ලු. මටනම් මතකයක් නෑ.."

"කරච්චි කියලා නුරවකුත් තියෙන්වද ?..මන් අහගෙන කවුරු හරි කියනවා.."

"ඒ මොකක්ද ඒ..කරච්චි ? ඇති ඉතින්. මන් දන්නෙ නෑ ළමයො.. ගිහින් හම්බුනොත් තමා ඉතින් බලන්න වෙන්නෙ..?

බාප්පා තෙල් තාච්චිය දිහාම වගේ බලාගෙන කුස්සියෙ දොරෙන් ආවා. මන් දිහානම් බැලුවෙවත් නෑ. ආච්චි දිහා හැරිලා කතා කලා.

"කරච්චි තියෙන්නෙ පකිස්ථානේ. ඉන්දියාවේ නෙමේ..කරච්චි බලන්න ඉන්දියාවේ ගිහින් බෑනේ.."

යන්තන් හිනා උන හින්දයි කතා කරපු වේගෙ වැඩි හින්දයි කට කොනෙන් හප හප හිටියෙ බුලත් හපෙන් එකතු වෙච්ච කෙල ටිකක් ඇඟිලි පුරුකක් තරමට වම් පැත්තෙ කට කොනෙන් පෙරීගෙන ආවා. තෙල් තාච්චිය උඩින් බැලුව හින්දා තව ටිකක් හිටියනම් කෙළ ටික තාච්චියෙ තමා නවතින්නෙ. ඒ බව දැනිච්ච හින්දා "සුරුස්" කියලා සද්දෙකුත් එක්ක වැක්කෙරෙන කෙල ටික උඩට ඇදලා ගත්තා. පස්සෙ ආච්චිටත් එහා පොඩ්ඩක් ඇවිදලා නැවතිලා අතක් අරන් සරම කකුල් දෙක අස්සෙන් ගහලා පොඩ්ඩක් නැමිලා කෙල ටිකක් ගැහුවා කෙහෙල් පඳුරක් පැත්තට. මම ඒවා බලාගෙන ඉඳලා බාප්පා ආයෙම හැරෙන්න හදද්දි තෙල් තාච්චිය දිහා බැලුවා. දැන්නම් තෙල් ටික ගානට හැදීගෙන එනවා.

හවස හයට විතර වෙද්දි මම හිටියෙ ගෙදර ඉස්සරහා පිලේ ඉඳගෙන අම්මා එනවද කියලා බල බල. ඉස්කෝලෙන් මේ පාර ට්‍රිප් එක යන්නෙ ගාල්ලෙ. ගාලු කොටුවයි ප්‍රදීපාගරෙයි බලන්න මම පුදුම ආසාවකින් හිටියෙ. කීප වතාවක්ම එකතු කරපු මුද්දර වල තිබ්බ ප්‍රදීපාගාරය බැලුවා මම. ඒක තියෙන්නෙ ගාලු කොටුව ළඟමයි. උඩට යන්න දෙනවද දන්නෑ. දෙනවා ඇති. උඩට නැග්ගාම ඈත මුහුද පේනවා ඇති. මටනම් එහෙ නැවතිලා ඉන්න හිතෙයි. මම එහෙම හිත හිත තාමත් පිළ උඩ ඉඳගෙන. ට්‍රිප් එක යන්න තියෙන්නෙ අනිද්දා උදේ. අම්මා අද සෙරෙප්පු දෙකක් හරි සපත්තු දෙකක් හරි ගේනවා ඇති. මන් අම්මා ගෙදරින් එළියට බහිනකොටයි, මාව බාප්පලා දිහා දාලා යද්දියි කිව්වේ කොහොම හරි අරන් එන්න කියලා. ඇඳුමක්නම් ඉල්ලගත්තා ළහිරුගෙන්. ඒ ඉල්ල ගත්තෙත් අම්මා එක්ක ගිහින්මයි. සපත්තු දෙකක් ඉල්ල ගන්න බැරි උනේ ළහිරුට තිබ්බෙත් එක සපත්තු කුට්ටමක් විතරක් හින්දා. මේ පාර ඉස්කෝලේ ඇඳුම් ඇඳන් යන්න ඕනේ නෑ කිව්වෙ ඇයි දන්නෙ නෑ. මන් ඒවා ගැන වැඩිය හිතන්නෙ නැතුව අම්මා එනවද කියලා ආයේ ඔළුව උස්සලා බැලුවෙ මෙච්චර වෙලා පිළේ සිමෙන්ති කැඩිච්ච තැනකට ඇඟිල්ල දාලා වැලි කැට ගොඩ ගන්න එක නවත්තලා. අම්මා එතකොටත් පාරෙන් හැරිලා ගේ දිහාට එන ගමන්. මන් දුවලා ගියා අම්මා දිහාට.

රෑ හත වෙද්දි තමා යන්තන් අඬන එක ඉවර උනේ. ඒ නතර කලෙත් ඇඬුවට සපත්තුවත් සෙරෙපුවත් හම්බ වෙන්නෙ නැති කියලා යන්තන් හරි තේරුම් ගිය හින්දටත් වඩා රෑට කන්න වෙලාව ඇවිත් හින්දා. අම්මටත් දුක ඇති. ඒත් මොනවා කරන්නද ? නැති හින්දනෙ. මන් එහෙම හිතුවට අම්මා දිහා හරියට මූණ දිහා බලලා කතා කලේ නෑ ගෙදර ආව වෙලේ ඉඳන්. කන්න තුන් පාරක් කතා කලත් මන් නෙමේ ගියේ. හතරවෙනි පාර බෑ කියන්නවත් පණක් තිබ්බෙ නෑ මට. මන් ඇස් වල කඳුලු බිංදු ටිකක් තියාගෙන බත් කන්න පටන් ගත්තා. සෙරෙප්පු නැතත් කන්න හරි තියෙනවනෙ. මන් හිත හදාගත්තේ එහෙම. ඇයි අම්මා බාප්පගෙන් සල්ලි ඉල්ල ගන්නෙ නැත්තෙ. එයාලට ඕන තරම් තියෙනවා. වැඩිත් එක්ක. වෙලාවකට මටත් හිතෙනවා ගිහින් ඉල්ලන්න. මට බය මාව බැනලා එලවයි කියලා. දවසක් අම්මත් එහෙම කිව්වා. මන් ඒ ගැන හිත හිතා ඉද්දි අක්කා ආවා කුස්සියට වැඩ ඇරිලා එන ගමන්.

අක්කා ඇහුවේ අඬන්නෙ ඇයි කියලා විතරයි. මට තව හයියෙන් අඬන්න හිතුනා. ඒත් මන් අහක බලාගත්තා කතා කරන එක වෙනුවට. මට දැනුනා ඇස් දෙක ආයේ තෙත් වෙනවා කියලා. වැටෙන්න යන කඳුලු අතෙන් පිහා දැම්ම මම අඬන්නේ නැතුව ඉන්න හැදුවා. ඒත් මට දැනුනා ඇහේ එකතු වෙච්චි කඳුලු නහයට ඇවිත් ඒවා ඉස්සරහා දත් අස්සෙන් දිවට වැටුන හැටි. ඒ එක්කම ආව ලුණු රහ හින්දා කෑම කටත් එක්කම කඳූලු ටික ගිලලා දැම්මා. අක්කා වැඩි මොකුත් අහන්න ගියේ නෑ. මාත් ආයේ වැඩි සද්දයක් දාන්නේ නැතුව ගෙට ගියා කාලා ඉවර වෙලා.

මම ඇඳේ ඉඳන් කල්පනා කලා ගොඩක් දේවල්. ඒ අතරේ ගාල්ලට යනකොට පාරේ පැත්තක මුහුද පේන විදිහත් තිබ්බා. සෙරෙප්පු නැතුව උනත් යන්න පුළුවන්. බස් එකේ යන ටිකට සෙරෙප්පු ඕනේ නෑනේ. අනික සෙරෙප්පු නැති වෙයි ගාලු කොටුවෙදි. ඒ හින්දා අනිත් ළමයි උනත් බස් එකේ සෙරෙප්පු සපත්තු ගලෝලා යයි එළියට. එතකොට කවුරුත් දකින එකක් නෑ. එක්කො මම යන්නේ නෑ ට්‍රිප් එක. එතකොට මේ කිසි ප්‍රශ්නයක් නෑනේ. ඒත එතකොට අම්මා බනියි. සල්ලි රුපියල් තුන්සීයක් දැනටමත් දීලනේ තියෙන්නේ. මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ මට. මන් වහලේ උළු දිහා බලාගෙන හිටියා. සාලේ පානේ එළියෙන් කාමරේට උඩ උළු පේනවා.මම ගනන් කරන්න පටන් ගත්තා උළු කැට ගාන. ගනන් කරගන්න පුළුවන් උනේ කැට විස්සකටත් අඩුවෙන්. මට නින්දා ගියා.
උදේ නැගිටලා ටිකක් වෙලා යනකන් මට සෙරෙප්පු සිද්දිය ගැන කිසි මතකයක් තිබ්බෙ නෑ. මතක් උනේ එක පාරට වගේ. එවෙලෙ ඉඳන් උගුරේ මොනා හරි හිර වෙලා වගේ වේදනාවක් තිබ්බේ.

"සෙරෙප්පු දෙකක් කොහොම හරි ගෙනත් දෙන්නම් අද..දැන් මේක කාල ඉඳපන්.."
අම්මා බත් බෙදලා දෙන ගමන් කිව්වා.

"මට ඕනේ නෑ. මන් යන්නෙ නෑ.." මන් අම්මා දිහා බලන්නෙ නැතුව කිව්වා.

ඒකට අම්මා කෑගහයි කියලා දැනගෙන හිටියත්, මම ඒකට ඇකැමති උනත්, එක පාරට කටට ආවේ ඒක. අම්මා කෑම එක දීලා ආයේ හැරිලා යන ගමන් ඒක ඇහිලා නැවතුනා. කියන්න වචන නැති හින්දද කොහෙද හැරිලා මන් දිහා බලන්නෙ නැතුව ආයෙ ඉස්සරහට ඇවිදන් ගියා. මන් බලාපොරොත්තු උන දේ උනේ නැති හින්දා කෑම එක කාගෙන ගියා. කලින් රෑ වගේ ඇඬුවෙනම් නෑ. ඒත් ඉස්කෝලේ යන්න ආසාවක් තිබ්බෙ නෑ මට. පස්සෙ නොඅඬා ඇඬුවේ ඉස්කෝලේ යන්න බෑ කියලා.

දවල් වෙලා අම්මා ලෑස්ති උනා කොහෙ හරි යන්න. මම ඇහුවට කිව්වෙත් නෑ. මාව බාප්පලා දිහා නොතියා මට ඉන්න කිව්වෙ අපේ ගෙදරට එහා ගෙදර. එහෙ මගේ වයසෙ කවුරුත් හිටියෙ නෑ. හිටියනම් දැනටමත් මන් සෙරෙප්පු දෙකක් ඉල්ලගෙන. එහේ නැන්දා එක්ක කතා කර කර හිටියා මම අම්මා එනකන්. පූසෙකුත් හිටියා. අපේ ගෙදර සුදු පූසා වගේ නෙමේ මේකනම්. හරිම විසයක් තියෙන්නේ. තාම අවුරුද්දක් වත් නැති හින්දා තමා ඒ. ඌ අළු පාටයි කළු පාටයි. නැට්ට අපේ පූසගෙ වගේම කළුයි. මම නැන්දා උයනකන් කුස්සියෙ පුටුවකට වෙලා දොරෙන් එළිය බලන් හිටියා. පූසා කුස්සියෙ මේසෙ උඩ ඉඳලා බිමට බැහැලා එලියට ගියා. ඌ සෙරෙප්පු දාලා තිබ්බෙ නෑ. මෙහෙම සෙරෙප්පු නැතුව ඌටනම් ඕන තැනකට ගියෑකී.අපිටත් එහෙම උනානම් කියලා තත්පර කීපයකට මට හිතුනා. එහෙම නොවුනේ මගේ වැරැද්දෙන්ද නැත්තන් අම්මගෙ වැරැද්දෙන්ද එහෙමන් නැත්තන් රටේ සමාජයේ වැරැද්දෙන්ද කියලත් ගොඩක් දුර හිතන්න ගියේ නැත්තෙ හිතන්න බැරිකමක් තිබ්බෙ නැතිකමටත් වඩා හිතන්න හිතන්න හැමදේම සංකීර්ණ වෙන්ඩ ගත්ත හින්දා. මන් හිතන එක අමතක කරලා ආයේ නැන්දා එක්ක කතා කරන්න හැදුවා විතරයි අම්මා අඬගහන සද්දේ ඇහුනා. පැයක් යන්න කලියෙන් අම්මා ඇවිත්.


මන් යද්දි අම්මා සාලේ පුටුවක ඉඳගෙන. මාත් ගිහින් ඉඳගත්තා. අම්මා හිනාවක් කට කොනක තියන් ඉටි කවරෙකින් ඔතපු ලස්සන සපත්තු දෙකක් විසික් කලා මන් දිහාට. මන් ආසවෙන් අල්ල ගත්තා. ඒක පාවිච්චි කරපු සපත්තු දෙකක්. ඒත් තාම අළුත් වගේ. අම්මා ඒක ඉල්ලන් ඇවිත් තියෙන්නෙ අම්මගෙ යාලුවෙක්ගෙ ගෙදරකින්. මන් හිතුවට ඒක හැමදාම තියාගන්න පුළුවන් වෙයි කියලා අම්මා කිව්වා පරිස්සමෙන් දාන් යන්ඩ ට්‍රිප් එක ගිහින් ඇවිත් ආයේ ගිහින් දෙන්න ඕනේ කියලා. ඒ ලස්සන සුදු පාටයි රෝස පාටයි සපත්තු දෙක මම ඉඹලත් බැලුවා. පස්සෙ කකුල් දෙකේ දාගෙන ගේ ඇතුලෙ වටයක් ඇවිදිලා පරිස්සමට ගලෝලා ඇඳේ කෙලවරකින් තිබ්බා.

එදා රෑ ඇඳුම මැදලා සපත්තු දෙකත් තෙත රෙදි කෑල්ලකින් පිහදාලා ආයෙම ඇඳෙන් තියලා මම නිදා ගන්න ගියා. නිදා ගන්න කලින් ආයෙම මම උළු ගනන් කරන්න පටන් ගත්තා. වෙලාව හතට විතර වෙන්න ඇති. අක්කා එන්නේ අටත් පහු වෙලා අද. උළු කැට ගනන් කරන්න පුළුවන් උනේ දහයකටත් අඩුවෙන්. මට නින්ද යනකොට මන් ආයෙම හිටියෙ ප්‍රදීපාගාරේ උඩ. උදේ හතරට මාව අම්මා නැගිට්ටෙව්වා. මම ලෑස්ති වෙද්දි අම්මා ගෙනාවේ කවරෙක දාපු මොනවා හරි දෙයක්. ඒක ඇතුලෙ තිබ්බේ සෙරෙප්පු ජෝඩුවක්. දුඹුරු පාට හම් වලින් හදපු වගේ සෙරෙප්පු ජෝඩුවක්. ඒකේ පටි දෙකක් තිබ්බා. මාපටඟිල්ලට වෙනම පටියක්. සෙරෙප්පුව උස නෑ වැඩිය. සෙන්ටිමීටරේකටත් අඩුයි. කකුලට ගානට දිග ඇති උනත් පළලනම් වැඩියි. ඒ ඒ සෙරෙප්පු ජාතියෙ හැටි. ඒක ගෙනත් තියෙන්නෙ අක්කලු. අක්කට කොහෙන්ද සල්ලි කියලා මට ඒ දවසෙ හිතුනෙ නෑ. මම සපත්තු දෙකද දාන්නෙ සෙරෙප්පු දෙකද දාන්නෙ කියලා කල්පනා කලා. සපත්තු දෙක දාන් ගිහින් මොනවා හරි වෙලා කැඩුනොත් ආයෙ අරන් දෙන්නත් වෙයි. ඒ හින්දා සෙරෙප්පු දෙක දාන් යනවා කියලා හිතා ගත්තා.

පිහදාපූ සපත්තු දෙක ඇඳෙන්ම තියලා මම සෙරෙප්පු දෙක දාගෙන ඉස්කෝලෙට ගියා. මාව දැකපු ළහිරු මුලින්ම කිව්වේ අනේ ලස්සන කරච්චි දෙකක් කියලා. ඒ සෙරෙප්පු වල නම කරච්චි කියලා මන් දැන ගත්තෙ ඒ වෙලාවේ. මට මතක් උනේ ආච්චි එක්ක කරච්චි නුවර ගැන කතා කරපු එක. එදා ට්‍රිප් එක ආසාවෙන් ගියා මම. ගාලු කොටුවෙ කරච්චි දෙක දාගෙන දුවද්දි වතුර වලකටත් කකුල තිබ්බා. සෙරෙප්පුව ලොකු හින්දා වතුර විසි උනා වටේටම. අම්මා රවලා බැලුවා එවෙලෙනම්. අපි ප්‍රදීපාගාරයටත් ගියා. ඈත පේන නැවුත් දැක්කා. ඔක්කොම ඉවර වෙලා ගෙදර එද්දි රෑ දහය විතර උනා. දොර ඇරියේ අක්කා. සාලේ ලොකු පාන පත්තු කරලා තිබ්බා. අක්කා හිනා වෙලා ඇහුවා කරච්චි දෙක හොඳයිද කියලා. මන් ඔව් කියලා සතුටින් කිව්වා. උඩ පනින්නත් හිතුනා. ඔව් කියලා කාමරේට දුවද්දි තමා දැක්කේ වෙනදා පාන් එළියට දිලිසෙන අක්කාගෙන කන් පෙත්ත එදා දිලිසුනේ නෑ කියලා. අක්කා සතුටින් ආයෙම අම්මා එක්ක හිනා වෙන සද්දෙ ඇහුනා මට කාමරේදී. 



Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය