නාමලී

දෙකයි හතළිහයි.ඔරලෝසුවේ කටු තිබ්බේ එහෙම.
"පළමුවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය කොළඹ කොටුව බලා ගමන් ගන්නා කරයි .එම දුම්රිය නවත්තනු ලබන්න්නේ කඩුගන්නාව, රඹුක්කන, පොල්ගහවෙල, වේයන්ගොඩ, ගම්පහ, රාගම, මරදාන සහ කොළඹ කොටුව." 
පේරාදෙණිය ස්ටේශන් එක පැත්තෙන් ඕක කියනවා ඇහුනේ මම බෝඩිම පල්ලෙහා පල්ලම බහිද්දිම.හයියෙන් ගියාට ට්‍රේන් මාව එක දැක දැකම යන්ඩ ගියා.
"ශිට්..ආයේ ඉතින් ඉදපන්කෝ හය වෙනකන්.." මන් මටම මුමුනා ගත්තේ මන් ගැනම තරහෙන්.
මාසෙකින්වත් වැස්ස දැක්ක නැති පාරේ කොනටම ගිහින් කඩෙන් ගත්තේ බිස්කට් එකයි සන්ලයිට් කුඩු පැකට් එකකුයි.
දූවිලි සෙරෙප්පු දෙක අස්සෙන් ගිහින් ඇඟිලි කරු වල හිර වෙලා.කකුල තියෙන පාරක් පාරක් ගානේ දූවිලි වලාවක් පොලොවෙන් උඩට ඇවිත් ඩෙනිමේ දණිහ ගාවටම වැහිලා යනවා.ඩෙනිමත් දැන් දූවිලි වලට ආදරෙයි වගේ.
"කොහෙද යන්නේ බන්? " 
"කන්ඩ යනවා බන්.නින්ද ගියා.."
"හ්ම් පලයන්.ට්‍රේන් එක මිස් උනා බන්.ආයේ හයට"
සාරංග පල්ලම බැහැගෙන එනවා.මම කන්ද නැගගෙන යනවා.විනාඩි තිහකට කලින් විතර මම හිටියේ මෙතනට පොඩ්ඩක් උඩින්.
බෝඩිම පේද්දිම යතුර ගත්ත මන් හෙමිහට පඩි පෙල නගිනවා.යතුර දබැරගිල්ලේ කැරකැවෙනවා.ඇස් දෙකේ කළු බෝල දෙක හතර පැත්තට නලියනවා.ගිහින් එක තැනක නවතිනවා.සුසුම් ටිකක් නාහෙන් පිට වෙද්දිම මම දොර ළඟ.හන්තාන මේවා බලන් ඉන්නවා.
ගෙදර යන්ඩ හැදුවේ දවස් හතරකට.ඒත් තේ බීපූ කෝප්පේ කූඹි පිටින්ම මේසේ උඩ.හදිසියට වෙන දේවල් කියලා හිතුනත් බෑග් එක පැත්තකට දාලා කෝප්පේ ගත්ත මම එලියේ ටැප් එකෙන් හෝදගෙනම ආවා කාමරෙට.දොර වැහුනේ අත වැදිලා.ටික වෙලාවකින් නාස් පුඩු දෙකෙන් කොට්ට උරේ සුවඳ පෙනහළු අස්සටම යන්ඩ පටන් ගත්තා.
ටික වෙලාවකින් මම ආයේම බෝඩිම පහළට බහිනවා.ගල් කැට කකුලේ වදිද්දි ඒවා ලිස්සලා ගිහින් අඩි හය හතක් ඒහායින් කොහේ හරි නවතිනවා.ඉර එලිය වැදෙන්නේ පිට පැත්තට.හෙවනැල්ලේ ඔළුව ගොඩක් දුරින් තියෙන්නේ ගල් කැට නැවතුන හරියෙම.බෑග් එකේ පටි අස්සෙන් අත් දෙක දාගෙන කකුලේ ඇඟිලි වල හැඩ බලන මාව දැක්කාම මිනිස්සු හිතනවා ඇත්තේ මන් හරි හොඳ ළමයෙක් කියලා.මට හිතුනේ එහෙම.කාක්කෝ උඩ ලයිට් වැයර් වල ඉන්නවා දකින්ඩ කලින් මතකෙටම ආවේ කාක්කෝ එක්ක හොඳ ගනුදෙනුවක් තිබ්බ හින්දමයි.ලේන්සු කීයක් මන් විසි කරලා ඇතිද කාක් බෙටි පිහලම.
හරියටම උඩ බලලා ආයෙ බිම බැලුවේ දකුනු පැත්තෙන්.බිම බලාගෙන එද්දි නාමලී අක්කා දකුණු පැත්තෙ ඉදන් වම් පැත්ත හැරිලා කාක්කො දිහා බලාගෙන.එයාගේ නිකටේ කෙලවර හරියට කපුටු හොට වගේම තමා කියලා හිතුනේ මට.ඒ තරම් කළු නෑ.ඒත් උල් වෙච්ච නිකට තුඩු අහස දිහා බලන් හිටියේ.නිකටයි බෙල්ලයි අංශක අනූවේ ඉදන් එකසිය අසූවට ළං වෙන්න තරම් උඩට ඉස්සිලා.
අව්ව හරියටම මූණට වැටෙන හින්දා වම් අත අරන් කම්මුල වහගෙන.සැරින් සැරේ එන හුළඟට ගහන් යන කෙස් රැලි ඒ අතින්ම අරන් කන ගාවින් තියලා තද කරනවා ආයේ එන්නේ නැතිවෙන්ඩ.ඒත් ඒ කෙස් රැළි හරියට මගේ ඉවක් බවක් නැතුව ඉබාගාතේ යන සිතුවිලි වගේ.එක තැනක හිටින්නෙම නෑ.
මම උඩ ගැස්සිලා ඇහැරෙනකොට අන්ධකාරයක් ඇහැට දැනුනේ තාම මූණ කොට්ටේ හින්දා.වෙලාව තුනයි හතලිහයි.
නාමලී අක්කගේ මූණ මගේ ඇස් වලින් ගිලිහුනේ කටු පාරේ ගල් කැට උඩ සෙරෙප්පුව ලෙස්සපු හින්දා.තුවාල පෙනුනේ නෑ. ඒත් දණිහේ පැත්තක් තඩිස්සි වෙලා කියලමයි හිතුනේ..අක්කා පේන්ඩ හිටියේ නෑ.මම අමාරුවෙන් නැගිට්ටේ අත් දෙක පිටිපස්සෙන් බිමට තියලා.දකුණු අතේ අල්ලේ කෙළවරක පොඩි වැලි ඇටයක් ඇතුලට ගිහින් ලේ එන්ඩ ඔන්න මෙන්න.ඩෙනිමේ දූවිලි දණිහට උඩින්.
තව මීටර් දෙසීයක්වත් දුර යන්ඩ තිබ්බට විනාඩි දහයක්ම ගියේ දූවිලි පිහදාන්ඩයි වැලි අරන් දාන්ඩයි.
පල්ලම හෙමිහට අඩි තියලා බැස්සේ පිට මැද්දෙන් ආපූ වේදානවට දකුණු අත දකුණු ඇල්ලෙන් තියලා තද කරන්.රේල් ගේට්ටුව ගාවට එද්දිම ට්‍රේන් එක අද්දනවා ඇහුනා කන ක්‍රීන් කරවගෙනම.
"ශිට්..ආයේ ඉතින් ඉදපන්කෝ හය වෙනකන්.."

Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය