බටර් පාන් - තෑඟි හම්බුනේ නැති පොඩි එවුන්ට


ඒ නොවැම්බර් මාසේ දාහත් වෙනිදා, ඉරිදා දවසක්. අවුරුද්දක් තිස්සෙම බලාගෙන හිටිය දවස. සති ගානක් තිස්සේ ඇඟිලි ගනන් කර කර හිටිය දවස. ඊයේ උදේ ඉඳන්ම ආසවෙන් බලාගෙන හිටිය දවස. රෑ දොළහ වෙනකන් ඇහැරිලා ඉන්නවා කියලා හිතාගෙන හිටියත් මටනම් නෙමේ ඇහැරුනේ. ඒත් මම හිතන් හිටියෙ වෙන කවුරුහරිවත් ඇහැරවයිද කියලා. එහෙමත් උනේ නෑ. ඉස්කෝලේ යන්නත් නැති උනත් උදේ හයට විතර ඇහැරුනෙ පුදුම ආසාවකින්. ඒ ආසාව විස්තර කරන්න වචන හොයාගන්න බෑ කියලයි තාමත් හිතෙන්නෙ මට. මම නැගිටලා කෙලින්ම යන්න ගියෙ කුස්සියට අක්කයි අම්මයි කුස්සියෙ කතාවක් වගේ කියලා ඇහුන හින්දා කාමරේටම. මම හෙමිහිට අඩි තිය තිය ගියා අත් දෙක පිටි පස්සෙන් බැඳගෙන. සද්දෙ ඇහෙයි කියලා ඇවිද්දෙ ඇඟිලි වලින්. ආසාවයි සතුටයි වැඩි කමට හිනා යන්න ගියත් කට තද කරගත්තා හිර වෙන්නම. ඒත් එක පාරටම පුරුස් ගාලා හිනා ගියා. ඒ සද්දෙ කාටවත් ඇහුනේ නෑ මන් හිතන්නේ. මම තව පොඩ්ඩක් ඉස්සරහට ගිහින් කුස්සියයි කෑම කාමරෙයි අතරෙ තිබ්බ දොර උළුහව්වට හේත්තු වෙලා බැලුවා අම්මයි අක්කයි මොකො කරන්නෙ කියලා. අක්කා පොල් ගානවා අම්මා මිරිස් ගලේ මොනවද අඹරනවා. මට හිතුනෙම අම්මලා කිරිබත් හදනවා ඇති කියලා. මම සද්දයක් දාන්නෙ නැතුවම ගිය විදිහටම ආයේ ආවා කාමරේට.

හිතේ සතුට දරාගන්න බැරි තරම්. මන් වෙනුවෙන් දවසකට හරි ගෙදර වෙනසක් වෙනවා නේද කියලා හිතෙනෙකොට සතුට වැඩි උනා තව. මම ඇඳට ගිහින් වහලෙ දිහා බලාගෙනම හිටියා. උළු කැට වල ඉංග්‍රීසියෙන් කොටලා තියෙන අකුරු පටල පටල කියෙව්වා. හැම උළු කැටේකම තියෙන්නෙ එකම වචන. ඒත් තැනින් තැන වෙන වෙන වචන තියෙන ඒවත් තිබ්බා. මන් හිතන්නේ ඒවා වෙන කොහෙන් හරි ගෙනාපුවා වෙන්න ඕනේ. නැත්තන් උළු මදි වෙලා කාගෙන් හරි ඉල්ල ගන්න ඇති. මම හරහට, දිගට, පැත්තට තියෙන උළු කැට ගනන් කලා. සමහර වෙලාවට වරදිනවා. ආයේ මුල ඉඳන්ම පටන් ගන්න ඕනේ. ටිකක් වෙලා ඔහොම කරනකොට ඔළුව රිදෙන්න ගත්ත හින්දා ආයෙමත් බිම බලාගත්තා. ආයෙම කුස්සියට යන්නයි හැදුවෙ. දැන්නම් හදලා ඉවරත් ඇති.

කුස්සියට යනකොට කලින් ඇහුන සද්ද මොකුත් නෑ. ළිදේ වතුර අදිනකොට බොලෙක්කෙන් ඇහෙන චිරිස් චිරිස් සද්දෙ විතරයි ඇහුනෙ. අම්මා වතුර අදිනවා ඇති. මම එහෙම හිතාගෙන කුස්සියට ගියේ. මිරිස් ගල වහලා ලෑල්ලකින්. බිම මැටි පොලොව දිහා බැලවුනේ නිකමට වගේ. රතුම රතු පාටට සම්බෝල ගුලියක් වැටිලා බිමට. විසි කරලා දාන්න අමතක වෙන්න ඇති අම්මට. ඒත් ඇයි සම්බෝල. මට තිබ්බෙ මාරම ප්‍රශ්නයක්. සම්බෝල එක්ක කනවැයි කිරිබත්. ඔය කිව්වට ලුණුමිරිසුත් හදලා ඇති කියලා හිතාගෙන ඔක්කොම වලං මුට්ටි ඇරලා බලන්නයි ලෑස්ති උනේ. ලුණුමිරිස්නම් තිබ්බෙ නෑ කොහෙවත්. මගෙ පපුව ටික ටික හිරවෙන්න පටන් ගත්තෙ එවෙලෙ. ඒත් මට හිතුනෙම කොහෙහරි ඇති කියලා. එහෙනම් කිරිබත් මුට්ටියෙම උඩින් දාලා ඇති කියලා හිතෙද්දි‍යි ආයෙමත් මූණට හිනාවක් ආවෙ. මුට්ටිය තියෙන්නෙ පෝරණුවෙ. උස මදි හින්දා බංකුවක් තියලා නැගලා ඇරලා බැලුවා මුට්ටිය. ඒ කරනකොටත් හිනාවක් තිබ්බා කට කොනේ. මම තොල් තද කරගෙනම අත දික් කරලා නෑබිලිය අහක් කරලා බැලුවා. නෑබිලිය තාම රස්නෙයි. තව පොඩ්ඩෙක් බිමත් වැටෙනවා. නෑබිලිය අයින් කලත් මුට්ටිය ඇතුල පේන්නෙ නෑ උස නැති හින්දා. කොහොම හරි ඇඟිලි වලින් හිට ගත්ත මට පෙනුනේ සුදුවට සුදුවට තිබ්බ බත් විතරයි. කිරි සුවඳක්නම් ආවේ නෑ හැබැයි. ලුණුමිරිස් පස්සෙ හරි හදා ගන්න පුළුවන්නෙ කියලා මම ඇඟිල්ලෙන් ඇනලා බැලුවෙ කිරිබත් එකට පොඩ්ඩක් කන්න කියලා. ඒත් මට දැනුනේ හයියට කිරිගතියක් කොහෙවත්ම නැති නිකන් කැකුළු බත් විතරයි.

පපුව හැමතැනම පිච්චෙනවා වගේ. ඇස් වලින් කඳුලු එන්න හැදුවත් මම හයියෙන් තද කරන් හිටියා. මම යන්න හැදුවේ ඉස්සරහ දොරෙන් එළියට. ඒත් ඒ යනකොටම දැක්කෙ අම්මා බේසමකට රෙදිත් අරන් වැලට දාන්න යනවා. මම ඒ දැක්ක ගමන් දිව්වෙ ආයෙමත් කාමරේට. ඒ වෙන මොකටවත් නෙමේ. මට දැනුනේ දුකත්, බයත්, ලැජ්ජාවත් එකතු උන හරිම අමුතුම හැඟීමක්. මට මූණ දෙන්න බෑ කාටවත්. කරන්න තිබුන එකම දේ තමා හැංගෙන එක. මම ඇඳට පැනලා කොට්ටෙට මූණ ඔබාගෙන හිටියා. ඇඬුනා කියන්න බෑ. ඒත් ඇඬුනෙ නෑ කියන්නත් බෑ. ඒ දෙකටම මැද්දෙ තිබ්බ හැඟීමක් ආවේ මට. ඒත් එක්කම ආව බඩගින්න හින්දා කිරිබත් නැති උනාට කමක් නෑ කියලත් හිතුනා. මම නැඟිටලා කුස්සිය පැත්තට යනකොටම වගේ ඇහුනා මට කන්න කතා කරනවා. මම සම්බෝලයි බතුයි කෑවා උදේට. කෝ අක්කා කියලා අම්මගෙන් අහන්න හිතුනත් ඇහුවෙ නැත්තෙ අම්මා එක්ක හිතේ තිබ්බ තරහට. බාගයක් කකා ඉද්දි අක්කා ආවා බාප්පලෑ පැත්තෙ ඉඳන් දුවගෙන.  මට හිනායන්න ආවා හින්දා බත් එක දිහා බලාගෙන කකා හිටියෙ. හිනා ගියේ මොකටවත් නෙමේ අක්කටවත් මතක ඇති කියලා. ඒත් වෙනසක් පෙනුනේ නෑ අක්කගෙවත්. කරන්න දෙයක් නෑ මට තවත්. අන්තිම බත් කටවල් ටිකත් හයියෙන් හයියෙන් ගිලලා දාලා පිඟානත් හෝදලා ආවා.

"මල්ලි.. මල්ලී.. යන් මිරිස් කොටන් එන්න ? "
අක්කා කෑගහනවා ඇහුනා. මිරිස් කොටන් එන්න යන්න ඕනේ ටිකක් දුර. මන් ඉතින් හරි ආසයි අක්ක එක්ක යන්න.
"හා යන්..." කියපු මම වෙන ඇඳුමක් දාගත්තා මූණත් හෝදලා. අක්කා එක්ක යන ගමනෙදි වැඩි කතාවක් තිබ්බෙ නැ මගේ. ඒත් වෙනසක් නොදැනෙන්න මොනා හරි කතා කලා. ඉක්මනට ආයෙමත් ගෙදර ආවට ඇඟේ මහන්සියට ඇල වෙලා හිටියා මම පුටුවක. තවත් පැයක් විතර යද්දි මට තේරුනා අක්කට හදිසියේම මොකක් හරි මතක් උනා කියලා. අක්කා මේසේ ගාව ඉඳන් හෙමිහිට ඇවිත් සාලේ මන් ඉඳන් හිටිය පුටුවට උඩින් තිබ්බ කැලැන්ඩරේ බැලුවෙ වෙන දේකට උනත්, හදිසියේම මතක් වෙච්ච දෙයක් හින්දා අක්කා ගෑහලා උඩ පැන්නා.
"හුරේ අද එක්කෙනෙක් අවුරුද්දකින් වයසට ගිහින්.. හූ හූ .." කියලා කෑගහනවා බොරුවට. ඒත් මට තේරුනා ඒ ඇත්තම සතුටට තමා කෑගැහුවෙ කියලා. මම හිනා උනා විතරයි. ලැජ්ජයි පොඩ්ඩක්. අක්කා අම්මට ගිහින් කිව්වා මගෙ හිතේ. අම්මා කොහෙදෝ යන්න ලෑස්ති වෙනවා. අම්මා මොකුත් නොකියාම මාව පහු කරන් බෑග් එකත් කරේ එල්ලන් ගියා එළියට. උපන්දින සමරන චාරිත්‍රයක් අපේ ගෙදර තිබ්බෙ නැති හින්දා අම්මගෙ ඒ හැසිරීම මට ලොකු අමුත්තක් උනේ නෑ. කවදත් එහෙමයි. ඒත් දැන් දැන් මට ඒක වැඩියෙන් දැනෙන්නෙ ඉස්කෝලේ යාළුවො එයාලගේ උපන්දින වලට හම්බුන තෑගි ගැන එහෙම කතා කරද්දි. අසේලට අළුත්ම බයිසිකලයක් හම්බුනේ ගිය මාසේ. මට ශිෂ්‍යයත්වෙ පාස් උනාම අරන් දෙන්නම් කිව්ව බයිසිකලේවත් තාම හම්බුනේ නැතිකොට එහෙම බයිසිකලයක් උපන්දිනේට හම්බෙයි කියලා හීනයකින් වත් මමනම් හිතන් හිටියෙ නෑ. ඒත් අඩු තරමෙ උදේට කිරිබත් ටිකක්වත් තිබ්බනම් හොඳයිනෙ කියලා හිතෙනකොටම ඔන්න ආයෙමත් ඇස් තෙත් වෙන්න ගත්තා.

අක්කයි මායි කතා වෙවී හිටියෙ අම්මා මට මොනවා ගෙනෙයිද කියලා. මමනම් කිව්වෙම අළුත් ඇඳුමක් ගෙනෙයි කියලා. අක්කා කිව්වෙ ඉස්කෝලේට ඕනෙ මොනා හරි ගෙනෙයි කියලා. අක්කගෙ උපන්දිනේ තිබ්බෙ ගිය මාසෙ. එයාටනම් මොකුත් හම්බුනේ නෑ. ඒත් මම පොඩි හින්දා මට හම්බෙයි කියලා තමා දෙන්නම හිතුවෙ. අපි ඇඟිලි ගැන ගැන තමා හිටියෙ. මමනම් හිතන් හිටියෙ අම්මා එනවා දැක්ක ගමන්ම කාමරේට දුවන්න. මට ලැජ්ජයි එහෙම තෑගි හම්බෙනවට. අවුරුද්දට ඇඳුම් ගේනකොටත් එහෙමයි. ලැජ්ජයි ඇඳලා එහෙම බලන්න. අපි දෙන්නා ආයෙම දවල්ටත් උදේ ඒවම කාලා සෙල්ලම් කර කර හිටියා. හවස් හතරට ළං උනත් තාම අම්මා එන පාටක්වත් නෑ. අම්මා කාලද දන්නෙත් නෑ. බඩගින්නෙත් ඇති කියලා හිතුනා. මම තෑගි බලන්නේ අම්මා කාලා ඉවර උනාට පස්සෙයි කියලා අක්කට කියලයි තිබ්බෙ මුළින්ම.

අපි හිටියෙ මිදුලේ බට්ටො පැන පැන. මම ඈතම කොටුවට බට්ටා දාලා පැන පැන යද්දි අක්කා මන් පස්සෙන්ම එනවා මම ඉරි පාගයිද කියලා බලන්න. මම කොටු දෙකක් තුනක් පනිද්දි අන්න අම්මා එනවෝ කියලා අක්කා බෙරිහන් දෙන්න පටන් ගත්තා. තනි කකුලෙන් හිටිය මම තව කොටුවක් පැනලා කකුල් දෙකම කොටු දෙකක තියා ගන්න තැනට ඇවිත්ම පස්ස හැරිලා බැලුවා, නැත්තන් කකුල බිම තියලා පැරදෙන හින්දා. අම්මා පාරෙන් හැරිලා එනවා ගේ පැත්තට. අක්කා ළඟටම ගිහින්. මම මුළින්ම බැළුවෙ, ඇත්තටම මට මුළින්ම බැලවුනේ අම්මාගෙ අත් දිහා. මොනවද එල්ලන් එන්නේ කියලා. මට හිතුනෙ එක අති ලොකු ටුයුලිප් උරයක් අරන් එයි කියලා. මම හිතාගෙන හිටියෙ එහෙමයි. මට මැවිලා පෙනුනා ඒ උරේ බර හින්දා අම්මා සැරින් සැරේට බඹ දහයෙන් දහයට වගේ උරේ අතින් අතට මාරු කර කර එයි කියලා. ඒ උරේ අක්කා අරන් එයි කියලා ඊට පස්සෙ හිතුනා. ඒත් මට පෙනුනේ කරේ එල්ලන් ගිය ගිය බෑග් එක ඒ විදිහටම අරන් එන අම්මවයි, හිස් අතින් එන අක්කවයි විතරයි.

මාව නිකන් අහස උඩට අරන් එක පාරට අත් ඇරියා වගේ. හිතේ තිබ්බෙ හරිම දුකක්. කෙල ගිලගන්නත් බැරි තරමට මොකක්දෝ ගුලියක් වගේ දෙයක් උගුරෙ හිරවෙලා කියලයි දැනුනේ. මම අමාරුවෙන් කෙල ගිලිනකොට උගුර ඇතුලෙන් සද්දයක් එක්කම පොඩි ඇඬුමක් එනවා. මම කොහොම හරි ඉවසගෙන හිටියා. අක්කා දන්නවා මේ වෙලාවේ මාත් එක්ක කතාවට ආවොත් මට තරහා යන වග. ඒ හින්දා අක්කා ආවෙවත් නෑ ළඟට. මම කාමරේ මේසෙ ළඟ පුටුවෙ ඉඳගෙන හිටියේ පැන්සලකුත් අතේ තියන්. මම ඒකෙන් ඇන්දෙ බයිසිකලයක්. ලස්සන පාට පාට ඇඳුමක් ඇඳගත්ත ළමයෙක් ඒක පදිනවා ඇන්දා ඊළඟට. තව පොඩි ගවුමක් ඇඳගත්ත ගෑනු ළමයෙක් පස්සෙන් දුවන් එනවා ඇන්දා ඊට පස්සෙ. ඒ ගෑණු ළමයා අපේ අක්කා වගේමයි කියලා හිතුනෙ බයිසිකලයේ පදින ළමයට බෑග් එකකුත් ඇන්දායින් පස්සෙ.

මම ඉවසගෙන හිටියා හවස හය විතර වෙනකන්. ඒත් තවත් ඉවසන්න බැරිම තැන මම අඬන්න ගත්තා. කඳුළු ඇස් වලින් ටක ටක ගාලා බිමට වැටෙනකන්ම ඇඬුවා. ඇස් වලින් උරා ගත්ත කඳුලු නහයට ඇවිත් හොටු එළියට එනකන්ම ඇඬුවා. ඒ නහයෙන් ආව කඳුළු බිංදු තොල් වලට ගලාගෙන ඇවිත් ලුණු රස දිවට දැනෙනකන් ඇඬුවා. ඒත් ඒ ඇඬුම් ඇහුනේ නෑ කාටවත්. මම මට ඇහෙන්න විතරක් ඇඬුවා. තවත්නම් ඉවසන් ඉන්නම බැරිම තැන අම්මා ළඟට ගිහින් ඇඬුවා. කෝ මට තෑගි කියලා ඇඬුවා. ඇයි මට මෙහෙම කරන්නෙ කියලා ඇඬුවා. අම්මා මන් දිහා බැලුවෙම නෑ. මම බැරිම තැන අම්මගෙ පිටට අතින් ගහලා ඇඬුවා. ඒත් බැලුවෙ නැති තැන හයියෙන් කෑගහලා ඇඬුවා. අම්මා අහක බලාගෙනම හිටියා. මම යන්න ගියා පැත්තකට. අක්කාව දැකලා ආයෙමත් 
අම්මා ළඟට ගියා. මම ඇඬුවේ නෑ එවෙලෙ. කැගැහුවෙත් නෑ. එතකොටයි අම්මා මන් දිහා බැලුවේ. අම්මගෙ ඇස් වලත් කඳුලු. අම්මා හිතලා කරපු දෙයක් වෙන්න නැතුව ඇති. සල්ලිත් නැතුව ඇතිනෙ කියලා හිතුන හින්දා මම මොකුත්ම නොකියම හැරිලා ආවා. ඒත් හිත තාම කියන්නෙම අඩු තරමෙ උදේ කිරිබත්වත් හැදුවනම් මේ මොකුත් වෙන්නෙ නෑනේ කියන එක. අම්මගෙ ඒ බැල්මෙ තිබ්බ හැඟිම තේරුම් ගන්න ඒ කාලෙ පුළුවන් කමක් නොතිබ්බත් අවුරුදු ගානක් යනකන්ම හිතේ ඇඳිලා තියෙන්න තරම් ගැඹුරු දෙයක් ඒකේ තිබ්බා කියලා දැනුයි මට දැනෙන්නේ. තෑඟි අරන් දෙන්න සල්ලි නැති උන අම්මගෙ ඒ ඇස් දෙක දැක්කම මට තව මොන තෑඟිද කියලා හිතුනෙ දැන් ඒ ඇස් මතක් වෙද්දි විතරයි. ඒ දවසෙ දැනුනෙ නිකම්ම නිකන් පොඩි දුකක් විතරයි. එදා රෑ නිදා ගන්න ගියාම අම්මා මන් ළඟට ඇවිත් ඔළුව අත ගෑවා. එහෙම ඇවිත් ඇහුවෙ මොනවද කන්න ආසා කියලා. මම මොකුත්ම කිව්වෙ නෑ. අම්මා ඇහුවා බටර් පාන් ගෙනත් දෙන්නද කියලා. මම ඔළුව වනලා හා කිව්වා. මගෙ උපන්දිනේ දවස ගෙවුනෙ එහෙමයි. අම්මා ගියායින් පස්සෙ මටෙ එහෙම්මම නින්ද ගියා. හීනෙන් මට බයිසිකලේවත් අළුත් බෑග් එකක්වත් මොකුත්ම තෑග්ගක්වත් පෙනුනෙ නෑ. මම හොඳට නිදා ගත්තා. පෙනුන කිසිම හීනයක දුකක් තිබ්බෙම නැති තරම්. මට තවත් ඒ හීන ඕනෙ නැති උනා.

දවස් තුනකට විතර පස්සේ අම්මා මට බටර් පාන් ගෙනත් දුන්නා. මම හරි ආසාවෙන් ඒවා කෑවා ඔක්කොමත් එක්ක බෙදාගෙන. තවත් අවුරුදු ගානක් ඔහොම ගෙවිලා ගියා. මට කවදාවත් තෑගි ඕන උනේ නෑ. අඩු තරමෙ බටර් පාන්වත්. ඒත් කාපු බටර් පෑන් වල රස තාමත් හිතේ කොනක හැංගිලා තියෙනවා ඕන වෙලාවක මතක කරගන්න පුළුවන් විදිහට.



Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය