දුවට දුක කතාවක්

දුව එනවලු තාත්තෙ ගෙදර
කැම්පස් එකේ ස්ට්‍රයික් එකක්ලු
උදේ පාන්දරින්ම කනට කරලා
එහෙම කිව්වාම
පැත්තට ගිහින් තිබුන කට
තව ටිකක් ඇද කරලා
හිනා උනා මතකයි මට

ඇඳෙන් කාලක්වත් නැතිව
ඇඟේ මස් පොදක්වත් නැතුව
වකුටු වෙලා හිටියත්
කෝටු උන අත් ගහලා ඇඳට
නැගිටින් බලන් හිටියෙ
උදේ ඉඳන් රෑ වෙනකන්ම

එදා තමයි සතුටුම දවස
කොන්දට ඇලුන බඩ
යන්තන් පිරුනෙ දුව හින්දා
ඒකිගෙ මූණෙ සතුට
මාස ගාණකින් දැක්කෙ මම අද

දවස් තුනක් ගියත් තාම
නෑ කතාවක් හරියකට
යමුයි කිව්වාම බෙහෙත් ගන්ඩ
ඉන්නම් කිව්වෙ දුව එක්කම
අන්තිමටම කැමති උනේ
දුව ඉන්නම් කිව්වාම ළඟම

රෝද පුටුවෙ තියාගෙන අපි
ගියත් වාට්ටුව ළඟටම
එන්ඩ උනේ එලියට
තනි කරලා දාලා තාත්තව
ඔලුව අතගාලා ඇඳේ තියලා
එළියට වෙලා හිටියෙ දවසම

උදේ හය වෙනකොටම
දකිනකොට ඒ මූණ
ඉර නොනැග්ගත් මොකද
කියලා හිතෙනවා
සතුට වැඩිකමට
ඇස්වලට කඳුලු ආවේ
මූණ පිරිලා හිනා ආවේ
ඒ සතුට වැඩිකමට

දවස් දෙක තුන ඔහොම
ගාට ගාට ආවෙ අපි
මූණ දැකලා හිනා වෙන්න
වෙනදට කැව බත් ගුලි
අද දුන්නත් දිය කරලා
වෙනදට ඇඳේම තෙමාගත්තත්
දැන් බට දාලා තිබ්බත්
අපිට ඕන ඉක්මනට
ගෙදර අරගෙන යන්න
ඒ ගිහින් ළඟින් තියාගෙන
රැකගන්න කලින් වගේම

දොස්තර මහත්තුරු
බලනවා සැරින් සැරේට
වාට්ටුවෙ එළියෙ ඉඳන්
අපි බලාගෙන මේ ඔක්කොම
දොස්තර යන හැම වෙලාවකම
අපි ඇහුවෙ ටිකට් කපන දවස
"බේත් දීලවත් සනීප කරන්න
බැරි වෙයිද මහත්තයො..?"
මම ඇහුවෙ හැම වෙලාවෙම

දුවට යන්න ඕනෙලු
හදිසියෙම කැම්පස්
යන්න කලින් මට කිව්වෙ
"තව ටික දවසනෙ අම්මෙ
මන් ආවම ගෙදර ඉඳන්ම බලාගමු..
දැන් තනිවෙලා මම
රෑ ඉඳන් උදේ වෙනකන්
උදේ ඉඳන් රැ වෙනකන්
අවුරුදු ගානක මතකයින්
මතක් කර කර තව තවත්
පෙනෙන මානෙක දුරින්
මම හිටියෙ ඒ මතක
හිත ඇතුලෙ හිරකරන්

ගේ ළඟම තිබ්බ කොස් ගහේ
කරටිය කැඩිලලු ඊයෙ උදේ
ගෙදරට කතා කල වෙලේ
අක්කා කිව්වේ මහ හයියෙන්
කොස් ගස් මොකටද
මගේ රං කඳ
ආයෙමත් එනකොට ගෙදර
උදේ හයට බලනකොට අද
හොඳට හිටියෙ ඇඳ උඩ
ඊයෙට වඩා අද
හොඳයි කියලමයි
කිව්වෙ මගෙ හිත

තව ටික වෙලාකින් මට
කතා කරේ දොස්තර
මම ආවේ හිමිහිට
සතුට දරා ගන්නට
බැරි වෙයි කියලා එක පාරටම
"මහත්තයව බේර ගන්න බැරි උනා අම්මෙ
අපි ගොඩක් උත්සාහ කලා.."
දොස්තර මහත්තයා
කිව්වෙ මට එහෙම

මම හිටියෙ කොහෙදවත්
කියලා දැනුනේ නෑ මට
දුවේ කියලා කියවුනේ
තනි උන බව දැනුන හින්දම
ඇඳ වටේ රෙදි වලින්
වහලා නොපෙනෙන්නම
මූණ වහපු සුදු රෙද්ද
අහක් කරන්නෙ කොහොමද මම
බදාගෙන මම මුළු ඇඟම
ඇඬුවෙ ඇහෙන්න ලෝකෙටම

දුවට එන්න කියන්නේ කොහොම
තාත්තා අපිව දාලා ගිහින්
අපි දෙන්නව තනි කරලා
කොහෙටදෝ යන්න ගිහින්
ඔය පොඩි හිතෙන් උඹ
දරාගනියිද කොහොම ඒ දුක
මගේ හිතේ දුකට උඩින් දැන්
හිත ලැතැවෙන්නෙ උඹ ගැන

මෝචරියට යන පාර ළඟ
මම හිටියෙ බලාගෙන
අවුරුදු හතළිහක් ගිය පාරේ
යන්න ආයෙත් අඩි දෙක තුනක්
අවසානෙට සිදු උනේ
යන්න හිස් අතින් ගෙදරටම
හිස් වෙචච හිතක් එක්කම
දුවට කියන්නට
තවත් දුක කතාවක්..


Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය