මනමේ

වලේ එක කෙලවරක

අයිනේම පේළියක

පිණි බිංදු වැටුන ඒ

සීතලම සැදෑවක...


නුබේ කෙස් කැරළි විත්

මගේ ගෙල කිති කවපු

තරමටම ළඟට වී...


නුබේ උණුසුම් සුසුම්

සීත රැලි පරදවා

උණුසුමෙන් මගේ මුවේ

ගැටෙන්නට ළඟටවී..


මතකද අපි

බැලුවා මනමේ...

වැදි රජා විත්

කඩුව අරගෙන

පැන්න වේලේ

කුමරු පැත්තට


බයට ගැස්සී අතක් අරගෙන

ඉන වටෙන් දා තුරුලු වී

උරහිසෙන් නුඹෙ මුහුණ තියලා

ළඟට ආහැටි තාම මතකයි


ඉවර උන විට නාට්‍යය

අතින් අල්ලන් ඇවිද ගොස්

හිල්ඩා කුමරිට බාරදී

පාරේ නොපෙනී යනකම්ම මන්

නුඹ හිටියා දොරකඩ වෙලා


කවුද හිතුවේ මුලින් බැලු ඒ

කතාවම ඇත්තක් වෙයි කියා

මට වඩා වැදි රජ හොඳයිනම්

තරඟ කරලා කුමක් ගන්නද


ගිලිහිලා ගිය මලක් නටුවෙන්

නෑ එන්නෙ යළි ගස සොයාගෙන

වලට ආයෙත් එනවා මනමේ 

මනමේ කුමරිය වෙයි ආයෙමත් නුඹ


දැන් මම වලේ එක් කෙලවරක

පිණි බිංදු වැටෙනා සැදැවල් වල

කලින් හිටියට අනිත් පැත්තේ

පේළියක අයිනේම ඉඳ

නුඹේ කෙස් ගස් සුළඟකින් විත්

වැටෙන දුරටත් එහා ඉඳගෙන..

බලනවා මනමේ 


කුමරුත් නෙමේ මම

වැදි රජත් නෙමෙ මම

ඒත් නුඹනම් තවම එතැනයි

වැදි රජෙකු හට තුරුළු වීගෙන..




Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය