විෂ්ණු දෙවියො ඇවිත් වාට්ටුවට

ඩොක්‍ටර් ! ඩොක්ටර් !

මිස් ආවේ දුවගෙන

Patient කෙනෙක් ඇවිත් ඩොක්ටර් 

යන්තන් ඉඳ ගන්න හදපු මාව

නැගිට්ටුනා එක පාරට


ඒ පාර කවුද ?

කියාගත්තා මන් මටම

පෝලිමටම ලෙඩ්ඩු ඇවිත්

නැවතුනේ ටිකකට කලින්

කමක් නෑ ආයේ යනවා

නලාව ගත්තෙ අතට


අහ් මේ පොඩි පැටියෙක්නෙ

අමතක උනා මට

ඉන්නේ ළමා රෝහලේ කියලා

ටිකට් එකේ වැඩ ඉවරද මිස්?

මිස් හෝ ගාලා පුරෝනවා කඩදාසී


කෝ බලන්න...!

චූටි පැටියෙක් 

ඉන්නවා තුරුලු වෙලා

සුදු පාට රෙද්දකින් එතිලා

පේන්නෙවත් නෑ මූණ

ඇස්වහ වදියි කියලද

මගේනම් ඇස් වහ නෑ ඔන්න

කෝ බලමු මූණ..!


සුදු රෙද්ද ඇතුලේ

හිටිය චූටි සුදු බබෙක්

ඇස් යන්තන් පියාන

තොල් කට වේලීගෙන

හමත් ඇදිලා ගිහින්

අමාරුවෙන් හුස්ම අල්ලන්

"ඩොක්ටර් " කියලා කතා කලා


මොකද උනේ අම්මා

දෙන්න බලන්න ඔය

පොත් ටික ඔක්කොම

කියන්නත් කලියෙන්

පිටු හතළිහේ පොත් ගොන්නක්

තිබ්බා මගේ අත් දෙකෙන්


ළමයාම වගේම

අම්මාත් ඇදිලා ගිහින්

"මොකද උනේ අම්මා

කියන්න බලන්න ආයෙත්.."

කොඳරපු වචන ටික

ආයේ අහන්නට උනා මට


කැස්ස ඩොක්ටර් 

දවස් දෙකක ඉඳන්

රාංරූං ගානවා

කොහොම හිටියත්

පපුවේ ලෙඩෙත් 

තියෙනවානෙ ඩොක්ටර් 


ඔක්සිජන් ටිකක් දෙමු

දුම් ටිකකුත් අල්ලමු

අම්මා දන්නවනෙ

ලෙඩේ හැටි ඉතින්

යන්කො ඇඳට

ඉක්මනට පටන් ගමු


ඇඳේ වැතිරී

කොට්ටයක් උඩ

ඇඳට නොදැනී

පාඩුවේ

ඉන්නවා පොඩි

චූටි පැටියෙක්

හාවෙක් කියලයි

රැවටුනේ මම


පොඩි මාස්ක් එකක් ගන්න මිස්...!

මිස් දඟලනවා

පොඩිම මාස්ක් එක හොයන්න

අම්මා පොඩ්ඩක් අල්ල ගන්න..!

ඔක්සිජන් ටිකක් දෙමු දැන්


මලට එන බඹරු වගේ

ඔක්සිජන් ගන්න

හා පැටියත් පොරකනවා

ඇට පෑදුනු චූටි පපුව

උඩ යනවා

පහළ යනවා

ආයෙත් උඩ යනවා

ආයෙත් පහළ යනවා

නිල් පාට චෙව්ච අතපය

වන වනා දඟලනවා

ජීවත් වෙන්නනේ මේ

මම පොඩ්ඩක්

අත ගෑවා ඔළුව...


අවුරුදු හතරයිලු වයස

පස්සෙ දැක්කෙ ටිකට් එකෙන්

කොයි කාලෙද දැනගත්තෙ අම්මේ..?

අවුරුදු හතරක්ම තියෙනවනෙ

ආපු ගමන්ම පුටුවෙ ඉඳගෙන

නිදිකිරන්නට යන්න සැරසෙන

අම්මාගෙන් ඇහුවා

ඇඳට උඩින් බලාගෙන


"පොඩි කාලෙම දැන්ගත්තා ඩොක්ටර්.."

අම්මා දුන්නෙ උත්තර

නිල් වෙන්න ගත්තාම 

කලා පරීක්ෂණ සෑහෙන්න

පපුවෙ සිදුරක්ලු

මුළින් කිව්වේ එහෙම

හෘදය වස්තුවේ

ලේ ගෙනියන නහර

වෙනස්ලු පුතාගේ

තේරුමක් තිබ්බෙත් නෑ ඩොක්ටර් 


"තව ළමයි ඉන්නවද ?.."

මම ඇහුවෙ නිකමට

"අනේ නෑ ඩොක්ටර් "

පලවෙනි බබා මේ

ඇබෝෂන් උනානේ පහක්ම

අත් ඇරලා හිටියෙ

ළමයි ගැන ආසාව


බැඳලා දැන් අවුරුදු 

පහළොවක් ඩොක්ටර් 

දහයක්ම හිටියා 

ළමයෙක් නැතුව

ඇබෝෂන් උනා

පළවෙනි මාසෙන්

හැමඑකම


අවුරුදු පහකින් 

නැවැත්තුවා ඔක්කොම

"ඒකත් නැතිඋනා" කියලා

මහත්තයට කියන්නේ

කොහොමද ඩොක්ටර් 

නවත්තලා දැම්මා අපි

ළමයි හැදිල්ල

ආයේ අවුරුදු තුනක් යද්දි

හිතුනා ළමයෙක්

හිටියනම් කියලා


ගියා හැම දොස්තර ළඟටම

ගියා හැම පන්සලටම

බාර උනා හැමතැනටම

ගියා හැම දෙවියා ළඟටම

හරි ගියෙ නෑ ඩොක්ටර් 

වැඩක් උනේ නෑ ඩොක්ටර් 

අන්තිමටම ගියේ අපි

දෙවුන්දර දේවාලෙට

හරි අනුහස්ලු

දේවාලේ දැක්කත් ඇතිලු

බලාපොරොත්තු 

දාහක් තියන්

උනා මන් බාරයක් 

තුන්ලෝකෙම බලන් ඉන්න

හැමදේටම පිහිට වෙන

බුදුහාමුදරුවොත් 

ලංකාව බාර දුන්න

අපේ මහ විෂ්ණු දෙවියන්ට


ඉතින් ඩොක්ටර් 

ගියේ මාස හතරයි

ඔන්න මට ඔක්කාරේ

සතුටේ බැරි උනා

ළමයා හම්බුවෙන්නත් කලින්

ඔප්පු කලා මම බාරේ

මාස නමයම හිටියා ඩොක්ටර්

මටනම් හැදුනෙ නෑ

ඉහෙන බහින රෝගයක්


ගෙදරත් ගෙනාවා

නම දැම්මෙත් "උත්පල" කියලා

පත්තු කරනවා තාමත්

විෂ්ණු දෙවියන්ට පානක්

ඉතින් ඩොක්ටර් 

පොඩ්ඩක් නිල් වෙන්න ගත්තා තමයි

ඉස්පිරිතාලෙන් එන්න කියලා තිබ්බා

නිල් වෙන්නෙ ඒ ලෙඩේ හැටිලු

මන් ගියේ නැ ඩොක්ටර් 

නිල් වෙන්න හේතව

දැනන් හිටියා මමනම්

විෂ්ණු දෙවියොත් නිලපාටනෙ

ගානක් ගත්තෙ නෑ ඉතින්

දෙයියො දුන්න ළමයනේ...


කියන්න උත්තරයක් 

තිබ්බේ නෑ මට

"මිස්ට ඇහුනද..?"

ඇහුවේ මම මිස්ගෙනුත්

ආයේ මොකටද 

තේරුම් කරලා ගැඹුරට

"හරි අම්මේ එහෙනම්

පොඩ්ඩක් සෙම වගේ

දවස් කීපයක් ඉන්න වෙයි..

ගිහින් ආයෙත්

ක්ලිනික් එකට එන්න පස්සෙ.."


ටිකට් එක අතට ගෙන

මන් ආවේ ඉඳගන්න

ලියන්නේ මොනවද

අම්මා කිව්ව කතාවද

ක්ලින්ක් පොතේ තියෙන කතාවද

මටත් හරි පටලැලි

ටිකට් එක වහලා

ගත්තේ පොත් ටික අතට

පෙරළන්නට කලින්

බැලුවේ හා පැටියා ඉන්න ඇඳ දෙස

හා පැටියෙක්නම් නෙමේ

හිටියේ විෂ්ණු දෙවියො

විරාජමානව ඇඳක් උඩ

ඔක්සිජන් මාසක් එකක්

මූණට දාගෙන...



Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය