පින් ඇති පුතෙක්

 

මුළු ඉස්පිරිතාලෙම පාළුවට ගිහින් මේ වසංගතයත් එක්ක. ඇඳිරිනීතිය දාලා හින්දා පාර ළඟම හොස්පිටල් එක තිබ්බත් කිසිම වාහන සද්දයක් නෑ. වේලාව හවස හතර පහු උනා විතරයි. වෙනදා මේ වෙනකොට හදිසි අනතුරු අංශය කියන්නේ මිනුස්සු කකුල් අතපය කඩාගෙන තමන්ව බලන වාරේ එනකන් ට්‍රොලි වලට වෙලා කෑගගහා පිරිලා ඉන්නවා. එක එක් විදිහේ එක එක වයසේ මිනිස්සු. අදට ඇඳිරිනීතිය දාලා මාස තුනක්, එක් දිගටම. වැඩියම එන්නෙ වාහන අනතුරු නිසා ගෙදර ඉඳන් මිනිස්සු අනතුරු කරගෙන එන්නෙ නැති එකත් පුදුමයක් නෙම්. මම ඉඳන් හිටිය තැනින් නැගිටලා වාට්ටුවෙ ඉන්න ලෙඩ්ඩු කීප දෙනා මොනවද කරන්නෙ කියලා යන්තන් බලාගෙන කොරිඩෝව දිගේ ගියේ පාර දිහා බලන්න. වාට්ටුවෙ දොර ගාවින් යද්දිම තමා මෙච්චර වෙලා ඔළුව මේසේ තියන් හිටිය වාට්ටුවෙ මිසුත් ඔලුව උස් කරලා බැලුවේ. නිදාගෙන ඉන්න ඇත්තෙ කියලා මන් මටම කියාගෙන ඉස්සරහට ගියා.

වාට්ටුවත් එක්ක තියෙන කොරිඩෝවෙ පොඩ්ඩක් ඇවිත් ආයේ දකුණට හැරුනාම තව ටිකක් ඉස්සරහට යන්න ඕනේ හොස්පිටල් ඇතුලට එන ලොකු දොර ළඟට යන්න. හදිසියේම එළියට එන්න හිතුනේ ඇයි කියලා මටවත් මතක නෑ. මම හිමිහිට දොර දිහාට ගියේ කම්මැලිකමයි ඇඟට දැනුන විඩාබර ගතියයි හින්දා පොඩ්ඩක් අත දෙක දෙපැත්තට කරලා හිරිඅරීන ගමන්. දොර කිව්වට එතන තියෙන්නේ යකඩ කූරු පැත්තට පැත්තට දාලා හදපු අකුළන්න පුළුවන් විදිහෙ ගේට්ටුවක්. වම් පැත්තෙන් ඇවිදන් ගිය මම ඒ පැත්තෙම බාගෙට වහලා තිබ්බ යකඩ දොරට හේත්තු උනේ දකුණු අත අනිත් පැත්තෙ යකට පොළු වලට තියලා. බාගෙට වැහිලා තිබ්බ දොර මගේ බරට ඇකිළුන හින්ද මාව වැටෙන්නෙ නැතුව බේරුනෙ අනූනමයෙන්. පස්සෙයි දැක්කේ ඉස්පිරිතාලෙ ආරක්ෂක අංශේ කෙනෙක් ගේට්ටුව ළඟම පුටුවක ඉඳගෙන ඉන්නවා කියලා. මාව වැටෙන්න යනවා දැක්කේ නැත්තේ ඒ මනුස්සයත් නිදි කිර කිර හිටිය හින්දා. මම පාර දිහා බලන් හිටියා. විනාඩ් පහක් විතර යද්දි එක වාහනයක් වේගෙන් හොස්පිටල් එක පහු කරලා යනවා. පාර තියෙන්නෙ මන් ඉන්න හරියට මීටර තිහක් විතර ඉස්සරහින්. මායි පාරයි අතර තියෙන්නෙ සෑහෙන උසට වැවුන එක එක ජාතියෙ ගස්. මට පාර පෙන්නෙ ඒ ගස් වල කඳන් හරියෙන්. වාහනේ දිහා බලන් හිටිය මට වාහනේ පේන්නෙ නැතුව ගියත් සෑහෙන ඈතට යනකන් සද්දෙ ඇහෙනවා. තව විනාඩි පහක් යන්න කලින් ඇම්බියුලන්ස් එකක් මහ සද්දෙන් මන් උන්න හරිය පහු කරන් ගියේ සෑහෙන වේගෙන්. මන් මටම කියා ගත්තේ අනේ අපිටත් ලෙඩෙක් දීලා යන්නකො කියලා. ඒත් එක්කම මුණට ආපු හිනාව තද කරන් ආපහු හැරිලා එන්න හදද්දිම තමා මහ පාරෙන් දිගට ඇවිත් මට දකුණු පැත්තෙන් ඈත පේන ප්‍රධාන ගේට්ටුවෙන් පොඩි බයිසිකල් එකක් ආවේ. අවුරුදු හතළිහක විතර පෙනුම තියෙන මනුස්සයෙක් බයිසිකල් පොල්ලේ තියන් ආවේ අවුරුදු පහක විතර පොඩි ළමයෙක්. එනවනම් වාට්ටුවට එයිනෙ කියලා මම යන්න පටන් ගත්තෙ ආයෙම වාට්ටුවට.

විනාඩි දෙකක් යන්නත් කලින් මම දැක්කෙ නර්ස් ළඟට ඇවිත් ඉන්නවා දෙන්නම. අවුරුදු හතළිහ පැනලා හිටියේ තාත්තා. උසනම් අඩි හයටත් වඩා වැඩි ඇති. තද පාට ගොරෝසු හමක් තිබ්බේ. ඇඟ පත හොඳට හැදිලා. එහෙන් මෙහෙන් කොන්ඩෙ පොඩ්ඩක් ගිහින් තැනින් තැන තට්ටේ පේනවා. අත්වල කරගැට ඇති කියලා මීටර් දහයක් එහා ඉඳනුත් කියන්න පුළුවන්. මම පුටුවේ ඉඳන් බලගෙන හිටියා. පොඩි ළමයට අවුරුදු හතරක් නැත්තන් පහක් ඇති. ඇස් වල කඳුලු බේරිලා. ඇහැ ළඟ කඳුලු බිංදු ගොඩයි. කම්මුල පහල කදුළු වේලිලා ගිහින් යන්තන් දිලිසෙනවා පැත්තෙන් බලද්දි. නැගිටිලා ඒ හරියට යනවත් එක්කම තමා දැක්කේ චූටි කකුල වළලුකරට ටිකක් පහලින් සුදු පාට ලේන්සුවකින් බැඳලා කියලා. එළියට පේනවා ලේ වලින් පෙඟිලා කියලා. මම ගියා ළඟටම. බිම බලාගෙන ළඟට ගිහින් මූණ දිහාබලද්දි දෙන්නම මගෙ මූණ දිහා බලන්. මිස් පුටුවෙන් ඉඳගන්න කියලා කියද්දි තාත්තා ළමයගෙ කකුල් එක අතකින් පරිස්සමින් අල්ලන් ඔඩොක්කුවෙ තියාගත්තා. අත් දෙක බෙල්ල දෙපැත්තෙන් දාලා වම් පැත්තෙන් බෙල්ල ළඟට වෙන්න පපුව උඩින් ළමයා ඔළුව තියාගත්තා. මිස් විස්තර ටික පොතේ ලියාගන්නකන් මන් කතා කරන්න ගත්තා තාත්තට.

"මොකද උනේ මහත්තයා"
"අනේ ඩොක්ටර් මේ පිහියක් කකුලට වට්ට ගත්තා. පොඩ්ඩක් එහාට මෙහාට උනා විතරයි. කුස්සියෙ දර පෝරණුව උඩ තිබ්බෙ පිහිය " මුළින් මගේ මුණ දිහා බලන් පස්සෙ ලේන්සුවෙන් ඔතපු කකුල යන්තන් උස්සලා මන් පැත්තට කරලා පෙන්නුවා.

"හ්ම්ම් ගොඩක් ලේ ආවද ? "
"ලේ ටිකක් ගියා ඩොක්ටර්. නැවතුනේ නෑ. පස්සෙ මේ ලේන්සුවෙන් බැන්දාම තමා යන්තන් අඩු උනේ."

"ලෙහන්න බලන්න.."
"මැහුම් දාන්න වෙයිද දන්නෙ නෑ ඩොක්ටර්.."
"මොනවා කරන්නත් බලන්න එපැයි... මිස් බබාව ඇඳෙන් දාන්න.."

ලේන්සුව ගලවද්දි තමා පොඩි ළමයා අඬන්න ගත්තේ. මිස් වැඩ ඉවර කරලා ළමයව ඇඳෙන් තියෙනකන් බලන් හිටපු මම හෙමිහිට ගිහින් බෙල්ලෙ දාන් හිටිය නලාව පෙන්නලා ළමයා පොඩ්ඩක් නලවගෙන බැලුවේ කකුල. වළලුකරට පොඩ්ඩක් ළඟින් කකුලෙ පතුල උඩ හරහට තියෙන පිහිය වැටිච්ච පාර. මැහුම් තුනක් වත් දාන එක හොඳයි කියලා තමා මට හිතුනේ.

"මැහුම් දෙකක් තුනක් දාන්න වෙයි. හිරිවට්ටලා දාන්නේ. ඒ හින්දා අවුලක් වෙන්නෙ නෑ.."
"හා ඩොක්ටර්.."
"කොහොමද මෙච්චර තුවාල වෙන්න පිහිය වැටුනේ ? නෝනා එක්ක රණ්ඩුවත් උනාද ?.."
"නෑ ඩොක්ටර්.. එහෙම උනේ නෑ. පිහිය බර හින්දා වෙන්න ඇති තුවාල උනේ.." ඇඳේ අනිත් පැත්තෙන් ඉඳන් ඇඳේ දිගා වෙලා හිටිය ළමයගේ ඔළුව අත ගාන ගමන් ඇහුව ප්‍රශ්නෙන් එක්ක වෙනසක් වෙලා මූණ පොඩ්ඩක් හංගන් වගේ  කිව්වා තාත්‍තා.

"ඔයාලගෙ ඉතින් පරිස්සමක් නෑනේ. ළමයිට අහුවෙන්න පිහි කතුරු තිබ්බාම ඕවා තමා වෙන්නෙ.." ළඟ හිටිය මිස් කියාගෙන ගියා.

"හ්ම්ම්. ඔව් මිස්. ඒත් කලින් මෙහෙම වෙලා නෑ"

"තව බබලා ඉන්නවද ?"
"තව දුවක් ඉන්නවා ඩොක්ටර්. අම්මලගෙ දිහා ඉන්නෙ"

"ඒ මොකද ඒ..ඉතින් මෙයත් අම්මා එක්කම තියන්න තිබ්බනෙ.."
"අම්මා කියන්නෙ මගෙ අම්මා ඩොක්ටර්. ළමයින්ගෙ අම්මා ගියා ගියාමයි ආවේ නෑ ආයේ.." ළමයගෙ ඔළුව අත ගාන ගමන් තමන්ගෙ ඔළුව පැත්තට හරවන් හංගන් වගේ කිව්වා.

"හ්ම්ම් එහෙමත් එකක්ද.. ඉතින් හොයලා බැලුවෙ නැද්ද..? දැනටමත් රිදිලා තිබ්බ හිතට පොඩ්ඩක් සහනයක් දෙන්න කියලා ඇහුවා මම. පස්සෙයි හිතුනේ අහන්නෙ නැතුව හිටියනම් හොඳයි කියලා. කියන විදිහට පොඩිළමයා ඉපදිල අවුරුද්ද සම්පූර්ණ උන ගමන්ම වගේ තමා දාලා ගිහින් තියෙන්නෙ. ළමයි දෙන්නම අම්මා ළඟ දාලා ගියාට පොඩි ළමයා ඉන්න කැමති තාත්තා එක්කලු. ඒකලු සතියකට ගෙනත් තියා ගත්තේ.

"මම මගේ මහන්සියෙන් වැඩ කරලා සල්ලි හොයන්නෙ ඩොක්ටර්. කාටවත් බාල්දු උනෙත් නෑ. හිඟා කෑවෙත් නෑ. ගැණිට ඉන්න බැරි උනේ ඇයි කියලා මම දන්නෙ නෑ. අඩු තරමේ අරක්කු උගුරක් වත් බීලාවත් ඕකී එක්ක රණ්ඩුවෙලාවත් නෑ ඩොක්ටර්..." කකුල බැඳලා තිබ්බ ලේන්සුව ගුලිකරගත්ත අත උඩට කරලා මූණ ඒ පැත්තට නමලා නහය පිහා ගන්න ගමන් කිව්වේ එ ටික.

"මන් ඉතින් මේ ළමයි දෙන්නව බලන් ඉන්නවා මිස්. ලොකු කෙල්ලත් දැන් ලොකු ළමයෙක් වෙන වයස. මට මන් ළඟ තියාගන්නත බෑනේ මිස්.." දැන් හැරුනේ මිස් දිහාට. මෙච්චර වෙලා කතාව අහන් හිටිය මිසුත් කතාවට එකතු උනා.

"මොනවා කරන්නද තාත්තා.. මේ ඉතින් ළමයා හොඳට ඉන්නෙ. දුවත් හොඳින් ඇති. හරියට ඉස්කෝලේ යවලා හදාගන්න... අනික ගෙදර ඉද්දි පරිස්සම් කරන්න. මේක දැන් ඔළුවකට ඇහෙකට වැටුනානම් එත් එච්චරනේ.."

"ඔය උනාමයි මිස්..ආයෙ ඉතින් කිසිම තුවාලයක් කලින් වෙලා නෑ.." කකුල ටිකක් තදින් අල්ල ගන්න කිව්ව විදානෙට අතේ තිබ්බ ලේන්සු කෑල්ල් ඇඳෙන් තියලා අත ගෙනිච්චෙ කකුල දිහාට. අනිත් අත ඔළුවෙමයි. හිරිවැටෙන්න බේත සිරින්ජ් එකට දාගෙන ඉන්න මම බැලුවේ ඒ දිහා.

"දැන් ඕවා වැඩක් නෑ. මැහුම් දෙකක් විතර දාන්නම්..ලොකු අවුලක් නෑ. පැය භාගයක් විතර ඉඳලා ටිකට් එකේ අත්සන් කරලා ගෙදර යන්න පුළුවන්.." කටුවෙන් බේත විදිනකොට ළමයගෙ කටෙන් ඇහුන සද්දෙටත් වඩා හයියෙන් කෑගහලා කිව්වෙ මම.

විනාඩි විස්සක් විතර යද්දි ඔක්කොම වැඩ ඉවරයි. ගෝස් කෑල්ලක් හරි පුළුන් කෑල්ලක් හරි අරන් කදුළු පිහදාන්න කිව්වත් ඇඳන් හිටපු කමිසෙන්ම ඒ ටික පිහදාපු තාත්‍තා ළමයව ආයෙම අරන් ඔඩොක්කුවෙන් තියාන කියව කියව ඉන්නවා. මාත් මිස්ට කරන්න ඕනෙ ටික කියලා ඉඳගන්න ආවා පුටුවෙන්. මට කෙලින් ඉස්සරහින්ම හිටියේ දියවැඩියාව හින්දා කකුලේ තුවාලෙකුයි, අරක්කු වැඩියෙන් බීලා හැදෙන සිරෝසිස් හින්දා හැදුන බඩකුත් තියන් ඉන්න අවුරුදු පනහා යන්තන් පන්නපු මනුස්සයෙක්. ඊට තව ඇඳවල් හතරක් එහායින් හිටියේ උයන්න පරක්කු උන වරදට ඔළුවට කොසු මිටි පාරක් වැදිලා ආව තිස් පහක විතර ගැණු කෙනෙක්. දෙන්නම දකිද්දි හිතන්නෙම නැතුවම මට මතක් උනේ අපේ පොඩි කාලේ. හුදකලා වූ සැනින් හිතට එන සියලූම දේ ඇත්‍ත වේ කියලත් කියනවනේ. මගේ හිත සෑහෙන්න ඈතට ගියා. ඇත්තම හොයාගෙන.

කොසු පාරවල් වගේම, අතින් පයිනුත් අම්මා ගුටි කාලා ඇති තාත්‍තගෙන්. මම ඒ ගැන හිතාගෙනම පුටුවෙ ඉඳන් ඔළුව හෙත්තු කරගත්තා බිත්තියට. ඇත්තටම තාත්තා හිටියට අපිට සැළකුවද? අපිට එහෙමනම් අම්මට සළකන්න ඇත්තෙ කොහොමද ? අපිට වෙන තාත්තා කෙනෙක් හිටියනම් කොච්චර හොඳයිද. බොන්නෙ නැති, අපිට ආදරෙන් සළකන, අපිට කන්න බොන්න දේවල් සහ තෑගි එහෙම ගෙනත් දෙන. මම ගොඩක් දුරට හිතන්න ගියෙ නෑ. මට මතක් උනේ එක දවසක් විජය පත්‍තරේ ගන්න රුපියල් පහලොවක් ඉල්ලද්දි කොහෙ තියෙන සල්ලිද බන් කියපු තාත්‍තා තව පැයකින් විතර අරක්කු බොන්න ගියපු හැටි. බීලා ඇවිත් කෑගහන ඒවනම් මම හිතන්න ගියේ නෑ. එහෙම හිතුවොත් අන්තිමට වෙන්නේ මට පව් පුරෝගන්න. තමන්ගෙ ළමයින්ට සළකන්න බැරි, සල්ලි ඔක්කොම අරක්කු බීමට වියදම් කරන, කිසිම වගකීමක් නැති තාත්තෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද. අන්තිමට මට ඉස්සරහින් ඉන්න මනුස්සයා වගේ අලි බඩකුත් උස්සන් හොස්පිටල් එකේ පදිංචි වෙන්න වෙන්නේ. මතක අස්සේ තවත් හැංගෙන්නෙ ඉන්නෙ මොකටද හිටියත් වැඩක්නෑනේ කියලා පුටුවෙන් නැටිට්ට මම නැගිටලා ගියේ ළමයට උනේ මොකක්ද කියලා බලන්න.

ඉන්න කිව්වෙ පැයබාගෙන් පැය කාලක්ම ගිහින්. ආයේ කතා කරලා වද දෙන්න ඕනේ නෑනේ කියලා හිතලා තව ලෙඩ්ඩු එනවද බලන්න කොරිඩෝව පැත්තට ඔළුව දැම්මා. කවුරුත් නැති හින්දා මිස් එක්ක හිනා උනේ පොඩ්ඩක් කතා කරන්නම් කියලා.

"පව් නේද ඩොක්ටර්..ගෑණු දාලා ගියාම ඉතින් ළමයිනුයි ඔක්කොම් අසරණ වෙනවා.." මිස් කිව්වේ මට විතරක් ඇහෙන විදිහට.

"ඔව් මිස්.. ඒ මනුස්සයා හොඳ හින්ද හොඳයි. නැත්තම් ළමයි නන්නත්තාර වෙනවා...ඔය තුවාල උනාට ළමයා හොඳට උස මහතට ඉන්නවනේ. පෙනුමත් හොඳයි.."

"ඒකනම් ඇත්ත. පින් දෙන්න ඕනේ ඉතින්..ලොකු උනාම සළකන්න ඕනෙ හොඳට.."

"සලකන නොසලකන එක ළමයගෙ වැඩක් නෙහ්. මන්නම් හිතන්නෙ නැ නොසළකා ඉඳියි කියලා. එහෙමත් කෙනෙක් ඇරෙන්න.."

"ඔව් ඩොක්ටර්. එහෙම නොසළකනවානම් අපායෙ යයි.."

"ඇත්ත තමා.."

මම මිස්ට හිනාවක් දාලා ආයේ හැරුනේ අර දෙන්නා පැත්තට.

"දැන් ඉතින් ගියත් කමක් නෑ..මිස් ළඟට එන්නකො.. මිස් කියයි ඉතුරු ටික..

නිදිමත යන්නත් එක්ක තේ එකක් බීලා එන්නම් කියලා හිතන් මන් යන්න හැදුවේ එළියට. යන්න කලින් ආයෙමත් හැරිලා බැලුවේ ළමයයි තාත්තයි දිහා. පොඩි වඳුරු පැටියෙක් වඳුරු අම්මගෙ ඇඟේ එල්ලිලා ඉන්නවා වගේ තාත්තගෙ ඇඟේ එල්ලිලා ඉන්නවා. මම ළඟට ගිහින් ඇඟිලි දෙකෙන් නහට හිනීයට තද කරලා හින වෙන ගමන් හිමිහිට හිතේ තිබ්බ අන්තිම ටිකත් කියලා දැම්මා.

"තාත්තාව බලාගන්න ඕනෙ හොඳට හරිද..? ලොකු උනාම බලාගන්නවා නේද ? ඔන්න බලාගත්තෙ නැත්තන් මන් ඇවිත් දෙනවා ගුටියක්.." හිනා වෙලා එහෙම්ම ඈතට යන මම දැක්කේ දෙන්නම හිනා වෙන විදිහ. තාත්තා ආඩම්බරයෙනුත්. පුතා ඒ වගේ තාත්තෙක් ලබපු එක ගැන සතුටෙනුත්.




Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය