අම්මා

අද මේ ගොරව ගොරවා වහින අහස දකින කොට ඈත ඈත අතීතයක වුන කිසිමදිනක අමතක නොවෙන සුන්දර අත්දැකීම් ටිකක් හිතට ගලගෙන එන්නේ අහසින් දියබිඳු කඩා හැලෙනවටත් වඩා වේගයෙන්.. සෑහෙන කාලෙකින් මෙහෙම ගොරව ගොරවා වහින්නේ අද.ඒත් අතීතයේ හැම දවසකම එහෙම වැස්සා කියලා තමා මට හිතෙන්නේ.ඒ ඒ කාලේ වහලේ තිබුනේ පොල් අතු හින්දා වෙන්න ඇති.මොනවා වුනත් ඒ කාලෙ මම හරිම පුංචි ලමයෙක්.. වහිනකොට වැහිබිංදු කෙසෙල් කොල වලට වැටිලා ඒවා හෙලවෙන විදිහත් කුස්සියේ අම්මා උයනකොට දුම් වලාවන් පොලඅතු අස්සෙ සිදුරු වලින් උඩ්ට ගිහින් වැස්සට බයේ ආයේ පහලට ඇවිත් ගේ හතරවටේ සක්මන් කරන හැටි තාමත් මට හොදට මතකයි.
වැස්සට බඩගිනි දැනෙන්නැති තරම්..මායි අක්කයි පැත්තක තියෙන ඇදට වෙලා සීතලට රෙද්දකුත් පොරවාගෙන දොයි.ඒත් මොන නින්ද යෑමක්ද.ළගම තියෙන ජනේලෙන් ඈත වෙලේ වතුර පේනවා පිටාරේ ගලලා සුදුම සුදු පාටයි.පහල වත්තේ පොල් ගස් අතරින් වෙල පේන්නේ කුස්සියේ හිල් පොල් අතු අස්සෙන් උඩට යන දුම් වලටත් අතරින්.දැන් වගේ නෙමේ ඉස්සර වැස්සේ නැවතීමක් නෑ හැම වෙලේම වැස්ස. අම්මා අමාරුවෙන් කොහෙන් හරි සල්ලි හොයන් කඩෙන් සීනියි තේ කොළයි උයන්ඩ දේකුයි අරන් ඈවිත් තනියෙම කුස්සියේ උයනවා.මට තාමත් මතකයි තේ දෙකකුත් හදන් ඇවිත් දොර රෙද්ද ඈත් කරලා චූටි පුතේ නැත්තම් අක්කටනම් මැණිකෝ ආ මේ තේ දෙක ගන්ඩලා කියලා කියනවා..අපිට ඉතින් රජ මගුල් වගේ..ඒ හින්දද මන්දා තාමත් මන් තේ බොන්න හරිම ආසයි..අපි ඇදටම වෙලා තේ එක බොනවා.
බරක් පතලක් නැති පුංචි හිතට ඒ කාලේ දැනුනේ නෑ මේ ගේ හැම තැනම තෙමිලා ඉන්න තැනක්වත් නැති වෙලේ සල්ලි අඟ හිඟකමුත් අහසටත් උඩින් තිබුන වෙලේ ඒ තේ එකට සීනි ටික ආවේ කොහොමද කියලා.එහෙමත් නැත්තන් කුස්සිය දෝරේ ගලා යද්දි කාටවත් එන්න කියන්නේ නැතිව අම්මා ගිනි පිඹ පිඹ උයන බත් එකයි දඩි බිඩි ගාලා හදන සම්බෝලේයි නැත්තන් පරිප්පු හොද්දයි කොහොමද කුස්සියට ආවේ කියලා..ඒක දන්නවනම් බත් කටක් උගුරෙන් පහලටත් යන්නේ නැති වෙයි කියලා දැන් මට තේරෙනවා.. මොනවා වුනත් තාමත් ගොරවමින් වහිනකොට ඒ ඔක්කොමචිත්‍ර කතාවක් වගේ මන් ඉදිරිපිට පෙරලෙද්දි ඒ ඔක්කොම සිද්දි මගේ මනසට ඇවිත් සෑහෙන වෙලාවක් හොල්මන් කරලා යන්නේ ඇස් වලට කදුළු බිංදුත් එකතු කරලා.

Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය