පැදුර


මට ආසයි පන් පැදුරක නිදා ගන්න..නැත්තම් පොල්කොළ පැදුරක් වුනත් කමක් නෑ..ඒ මතක් වෙනකොටම මාව සෑහෙන අතීතයකට විසිවෙලා යනවා.මට මතකයි අපේ ගෙදර ලොකු මාගලක් වගේ පැදුරක් තිබුනා..පුදුමේ කියන්නේ අද බැලුවොත් ඒක දෙන්නෙක්ට හැරෙන්නත් මදි.ඒ වුනත් ඒ කාලේ ඒ පැදුරේ හය දෙනෙක් නිදා ගත්තා.. පැදුරේ නිදන් ඉද්දි වෙලාවකට මුනින් අතට හැරෙනවා කොන්ද රිදෙන හින්දා.ඒතකොට නහය කෙලින්ම පැදුරේ වදිනවා.මොකද තිබ්බ දාංගලේ හින්දා කොට්ටේ කොයි වෙලෙත් ඔළුවෙ තිබුනේ නැති නිසා.ඉතින් දවස පුරාවට රෝල් කරලා පැත්තක තියෙන හින්දත් ගොඩක් දෙනෙක් නිදා ගන්න හින්දත් බිම එලුවායින් පස්සේ ගොම පොලවේ තෙතමනය හින්දත් මාරම අමුතුම සුවඳක් නහයට දැනෙනවා.. ඒ සුවඳ මට හොඳින් මතක් කරන්න පුළුවන්.නාස් පුඩු තුලින් මුළු ඇඟ පුරාවටම විහිදිලා යනවා.පොඩි කාලෙ තියෙන ආසාවට මම ඉඹලත් බලනවා.
පැදුරේ නිදනකොට කොන්දට හරි වේදනාවක් දැනුනා වගේ මතකයක් තියෙනවා..ඒ වුනත් අවුරුදු ගානක පුරුද්දත් එක්ක සනීපයක් සුවපහසුවක් මිසක් වේදනාවක් දැනෙන්නෙ නෑ.. හිතා ගන්න අමාරුයි ඇයි අද මට හදිසියේම පැදුරක් ගැන මතක් වුනේ කියලා.නමුත් මතක් කරගෙන යද්දි අවසානේම කොනක පැදුරේ අයිති කාරයා හිටියා. දැන් පන් කියන ජාතිය අපේ පැත්තෙනම් නෑ මගේ හිතේ.ඒත් ඉස්සර මම පොඩි කාලෙනම් තිබුන බව මතකයි.ඉතින් මේ අයිතිකාරයා පන් කපන් ඇවිත් තම්බලා වේලනවා.ඒ වගේම පොල්කොළත් ඕ වැඩේට ගන්නවා.පොල් කොළ තම්බන සුවඳත් අමතකනම් වෙන්නේ නෑ.කොළ පාට කොලේ දුඹුරු පාට වෙනවා.ලොකූ බෙලෙක් මුට්ටියක තමා ඔක්කොම වැඩ ටික වෙන්නේ.. ඉතින් පස්සේ තම්බපූ කොළ වේලනවා හොදට අව්වේ දාලා.පස්සේ පදමට ආවායින් පස්සේ ඉතිරු වැඩ ටික ඉතින් හරිම කලාත්මකයි..රටා දාලා වියන පැදුරේ සිදුරක් හොයා ගන්න එක තමා අමාරුම වැඩේ.
කොහොමහරි පැදුරනම් වියෙනවා.අන්තිමේට පැදුර නිදන කාමරේටත් එනවා.අයිතිකාරයා එක කොනක මම ඒ ළහින්ම පස්සේ හතරදෙනා දැන් ගොඩක් ලොකු උදවිය..දැන්නම් පන් පැදුරක් හොයාගන්නත් නැහැ.ඒත් ඒ සුවඳයි ඒ ලස්සනයි එක්කම ලස්සනම අතීතයක් හිතේ ඇදෙනවා..ආයෙමත් පැදුරට යන්න හිතෙයි.ඒ සුවද බලන්නටනම් නෙමේ ඒ දවස් වල මම ළගින්ම හිටිය මම ළගින්ම නිදා ගත්ත ලස්සනට රටා දාලා පැදුර වියපු ඒකේ අයිතිකාරයාව ආයෙම වතාවක් මුණගැහෙන්න පුළුවන්ද බලලා එන්න.

Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය