කිරි දානය

මට හොඳට මතකයි මම අම්මාගෙන් දවසක් ඇහුවා අම්මේ කිරි බාර තියෙන්නේ ඉරිදා දවසට විතරද කියලා.පස්සේ අම්මා කියනවා නෑ පුතේ මිනිස්සුන්ට නිවාඩු තියෙන්නේ ඒ දවසට විතරක් හින්දා කිරිබාරෙත් ඉරිදටම දා ගන්නවා කියලා. ඒ කාලේ මායි අක්කයි ඉරිදාට දහම් පාසල් යන්ඩ කලින් උදේ නැගිටිනකොට අම්මා වෙනදට නැති සතුටකින් අපිට කතා කරනවා.ගෙදර නිකන් අළුත් වෙලා වගේ.කුස්සියෙන් එන අමුතු සුවඳ හින්දම අපි දන්නවා අදනම් කොහේ හරි කිරි බාරයක් තිබ්බා තමයි කියලා. වෙනදට උදේටත් නොකා එහෙමත් නැත්තන් තේ ටිකක් විතරක් බීලා ගෙදරින් පිටවෙන අපිට ඒ දවස ඇත්තටම මඟුල් ගෙදරකටත් වඩා සතුටුයි.
 කිරිබ්තුයි කැවුමුයි කෙසෙල්ගෙඩියි හත හත හම්බ වෙනවා බාරෙකදි.බාර දෙකක් තියෙනවානම් දෙගුන වෙනවා.තුනක් තිබ්බොත් හතේ ගොඩවල් තුනක්. ඉස්සර දවස් වල අම්මා නිතරම කිව්ව කතාවක් තිබුනා.ඕ කතාව ඉස්සර හරි ප්‍රසිද්ධයි.දවසක් අපේ අම්මගේ අම්මා කිරි බාරයක් නිදහස් කරන්ඩ ගිය වෙලේක කිරි බාර දෙකක්ම තිබුන හින්දා හිතුවලු එහෙන්ම් අද කිරි බත් කැට දා හතරක්ම හම්බ වෙයි කියලා.ඒත් හම්බුනේ එකකට හතයි අනිකට තුනයිලු.අම්මාගේ වගේම අම්මගේ අම්මාගේත් කට පොඩ්ඩක් සැර හින්දා කියලා ආවලු පොඩි දෙයියොයි ලොකු දෙයියොයි කියලා දෙකක් නෑ.පුළුවන්නම් හරියට දියල්ලා නැත්තන් නිකන් ඉදපල්ලා කියලා.මේ කතාවත් අම්මා ලස්සන කරලා කියන කතා වලම එකක්. කොහොම හරි කුස්සියට ආපු කිරිබත් ටිකයි කැවුම් ගෙඩියි කෙසෙල් ගෙඩියි අම්මාගෙන් අවසරයක් එනකන්ම ලොකු කවරයක දාලා එහෙම්ම මේසෙ උඩ තියෙනවා.ඒවා අපි අවුස්සන්නේ නැත්තේ බඩගිනි නැති කමටවත් පොඩි කම හින්දා පෙරේත නැති හින්දවත් නෙමෙයි.අපි වැඩියෙන් කෑවොත් තව කාට හරි බඩගින්නේ ඉන්ඩ වෙන හින්දා. 
 කිරිබතුයි ඉතුරු කෑම ටිකයි ඔතන්නේ එකම කෙහෙල් කොලේ.හැම සුවඳක්ම එකට එකතු වෙලා කෙහෙල් කොලේ සුවදත් ඒකට එකතු උනාම එන්නේ අමුතුම සුවදක්.පෙලක් වෙලාවට ඒ සුවදටමත් බඩ පිරෙන තරම්.තාමත් අත තිබ්බේ නැති කෑම ටික අපි ඔක්කොම වැඩ ඉවර උනායින් පස්සේ අම්මා බෙදන්ඩ ගන්නවා. ඒ දවස් වල ගෙදර තිබුන පොඩි පොඩි ප්‍රශ්නත් එක්ක අම්මාට කිරි බාරෙකට වෙන ගෙදරකට මහ පාන්දර යනවා කියන්නෙම සෑහෙන කරදරකාරි වැඩක්.සුදු පිරුවට ගොඩක් නොතිබුනත් අපිරිසුදුවට අකමති අපේ අම්මා බාරෙට කලින් දවසේ හරි රෙදි ටික හොඳට හෝදනවා.පස්සේ වැලෙ වනලා තිබ්බටවත් අපට සෝදිසියක් නැත්තෙ හාන්කවිසියක්වත් ඒ ගැන මතක් වෙන්ඩ නැත්තෙ අපේ පොඩි කමට වෙන්ඩැති. 
කිරි බාරේ පටන් ගන්නේ පාන්දර පහට විතර.මතක විදිහටයි අම්මා කියලා තියෙන විදිහටයි අම්මා තමා එකටම යන කිරි අම්මා.කලුවරේම යන නිසා අම්මා කළුවරටත් පින් දෙන්ඩ ඇති සුදු පිරුවටේ පැල්ලම් නොපෙනෙන හින්දා.හය පහුවෙද්දිම ගෙදරට ආවත් අපි දන්නේ හතත් පහුවෙලා.සමහර වෙලාවට කිරිබාරයක් තිබ්බා කියලා දන්නේත් එක්කෝ කිරිබත් සුවඳින් නැත්තන් දවසක උදේ වේල සපයා ගත්ත සතුටට ලේ ටිකක් උනපු නැත්තන් පැටව් ටිකට කෑම ටිකක් ගෙනත් දුන්නා කුරුළු අම්මෙක්ගෙ වගේ මූනට හිනාවක් ආපූ අම්මාගේ මූණ දැකලා. අපි කිරිබත් කාලා දහම් පාසල් යනවා.අනිත් අක්කලා ගෙදරට වෙලා ඉන්නවා.මොනා උනත් ඒ දවස හරිම සතුටුයි.දවල් වේල ගැන ගානක් නැති උනත් මුළු ගෙදරම පිරිලා වගේ. එහෙම කිරිබත් කැටයකින් වේලක් සරි කර ගත්ත මට දැන් ගෙදර ගිය දවසක උනත් සමහර දවස් වලට ඕ විදිහටම කිරිබත් තියෙනවා කුස්සියේ.ඒත් ඉස්සර තිබුනු ආසවවත් ඒ සුවඳවත් දැන් එන්නේ නැත්තේ කාලෙත් එක්ක ඒ හැමදේම වෙනස් උන හින්දා.ඒත් තාමත් කිරිබාරයක් කියන නම ඇහෙද්දිත් අපට හොරා කළුවරේම ගිහින් කළුවරේම කැම ගෙනත් අපිට දුන්න අම්මා මතක් වෙනකොට ඇස් දෙක පොඩ්ඩක් රතු වෙන්නේ ඒ තරමටම අපිට කිරි බාරය සමීප වෙලා තිබුන හින්දා.මතක විදිහට අපි ඒ කන කටක් පාසාම ඒ ගෙදරට පින් දුන්නා.ඒත් ආයෙත් එහෙම දවසක් ආවොත් කිරි බත් ගෙනාව මනුස්සයාටත් මන් පින් දෙයි.

Comments

Post a Comment

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය