සුළග නුඹ වගේ



වෙලාව නමය හමාර පහුවෙලා තිබුනේ මගේ හිතේ.වැඩත් ඉවර වෙලා බෝඩිමට යන ගමන්.පොඩි පොඩි හිත් අමාරුකම් එක්ක දවස ගෙවුන හින්දදෝ ඇවිදගන්නත් අමාරුවෙන් හිමිහිට අඩි තියනවා.ඊටත් වඩා දවසම කිව්වේ අද රෑට පයින්ම යන්ඩයි කියලා.ටික දුරක් නෙමේ මුළු රෑම උනත්.එහෙමයි කියලා බෝඩිමට නොයා ඉන්ඩ තැනකුත් නැති හින්දා ඒ පාරම තෝර ගන්ඩ උනා මට.
පාරේ මිනිස්සු අඩු වෙයි කියලා හිතුවට දවල්ටත් වඩා උන්නා මගේ හිතේ.උන්ගෙන් මිදිලා.ගඟේ පාලම උඩින් එහා පැත්තට ගියේනම් අමුතුම සතුටකින්.ඒ මන් එතනට ගොඩක් ආසා හින්දා වෙන්ඩැති.උඩින් යනකොට ගඟේ වතුර පේනකොට පනින්ඩ හිතෙන තරම් සතුටුයි.කකුල් පැටලිලා හරි ගඟට වැටෙයි කියන බයෙන් අඩියට දෙකට එහා පැත්තට ගොඩ උනා.ඒ පැත්තෙත් හරියට පොළක් වගේ පැත්තක් මාළු ලෑල්ලක් වගේ.ඉන්න මිනිස්සු වැල්ලේ මිනිස්සු වගේ.සමහරු කට ගොන්නක් බීලා.පොඩි කොල්ලෝ කුරුට්ටො සිගරැට් එක කටේ ගහන් හැන්ගෙන්ඩ තැන් හොයනවා.කිසිම නිදහසක් නින්දක් නැති ඒ පොඩි දුරෙන් නිදහස් වෙලා තනියම යන වාහනත් නැති කලබලත් නැති පාරට ආවා දන්නෙම නැතුව.
ෆෝන් එකේ බැටරි බැහැලා තිබ්බ හින්දා වෙනදා වගේ හෑන්ඩ් ෆ්‍රී එක ගන්නෙවත් නැතුව ඈත අහසේ තරුවක් දිහා බලන් යනවා වගේ කල්පනා ලෝකයේම ගිලිලාම ඉන්ඩ උනා.වෙලාවකට ඒකත් නරකම නෑ.අඩු තරමේ ඒ වෙලාවට හරිවත් අහස දිහා බලනවනේ කියලා හිතෙනවා.පොඩි කාලේනම් ඕවා ඉතින් හැමදාම කරන වැඩ. මොනාවා කොහොම වුනත් තව බෝඩිමට තියෙන්නේ පොඩ්ඩ දුරයි.ඈත පේන මානේ. මම තාමත් අහසේ.තරු අස්සේ.වෙලාවකට වළාකුළු අස්සේ හැන්ගෙනවා.මට මාවම හොයා ගන්ඩ බෑ වගේ.මම මාවම හොයනවා.වෙලාවකට හම්බ වෙනවා.ඒත් මගේ හිත නෙමේ ගත විතරයි.හිත මටත් හොරෙන් තරු වලටත් එහා කොහෙදෝ ගිහින්.හිතට කැමැත්තක් කරන්ඩයි කියලා මම මගේ ගමනේ ඉස්සරහටම යනවා. කෙළින්ම තියෙන පොඩි පාර.පොඩි දුරක් තියෙනවා වගේ පෙනුනට හිතනවට වඩා වෙලවක් යනවා මගේ හිතේ.මාත් හරියට එහා පැත්තේ තියෙන ස්ටේෂන් එක වගේ.කෝච්චියක් එනකන් බලන් ඉන්නවා වගේ මාත් හිතට පොඩි හරි සිතුවිල්ලක් එනකන් ඉන්නවා මඟ බලන්.ඒ තරමටම මම සිතුවිලි වලින් නිරක්ත වෙලා.ඒවා ඇවිත් ටික වෙලාවක් ඉදලා සතුට හෝ දුක හෝ මොකක් හරි අරන් යනවා ඈතට තව මොනා හරි හිතෙන් තියලා.එහෙම යන කෝච්චිය දිහත් බලන් ඉන්නවා වෙන කරන්ඩ දෙයක් නැති හින්දා. 
හැමතැනම කළුවර උනත් අහසම පේන හින්දා පොඩ්ඩක් විතර ඉස්සරහට තියෙන අඩිය බලාගන්ඩ පුළුවන් තරමට එළිය තියෙනවා.පාරේ කවුරුත් නැති තරම්.හරිම නිශ්ශබ්දයි.මාත් ඔහොම ඉස්සරහට යද්දි විනාඩි දහයක් විතර තිබුන සද්ද නැති ගතිය අතුරුදහන් උනේ ඈතින් පිටි පස්සෙන් ආපු බයික් එකක් හින්දා.එන සද්දෙන් අඳුන ගත්තත් හැරිලවත් බැලුවේ නැත්තෙ බෝඩිම පේන මානේ හිටිය හින්දත් බයික් එකේ යන්ඩ ඕනේ නැති හින්දත්. ගත විතරක් නෙමේ සිතත් මහන්සි වෙලාවේ කිසිම හැඟීමක් දැනිමක් නැති වෙලාවේ එහෙමත් නැත්තන් පාළු අහසක පාවි පාවි හිටිය වෙලාවේ මම හිතුවේ නෑ හිත ඒ තරම්ම හැඟීම්බර වෙයි කියලා. අඳුනගත්ත විදිහට ඒක ටිකට් විකුනන බයික් එකක්.ඒ මනුස්සයත් තියෙන අන්තිම ටිකට් එකත් කාට හරි දීලා යන අදහසින්ද කොහෙදෝ සින්දුවක් දාගෙනම ඉස්සරහට යනවා.
මට මතක නෑ ඔයා කොහෙද හිටියේ කියලා.ඔයා මේ හදිසියෙම එයි කියලා හිතුවෙත් නෑ.හැඟීම් රහිත හිත එක පාරටම ලස්සන ඒවයි අලංකාර ඒවයි දුක හිතෙන ඒවයි සතුටු හිතෙන ඒවයි මේ හැම හැඟිමකින්ම පිරිලා ගියා වගේ. ඈත ඉදන් ටික ටික කන ළගටම ආවෙ බයික් එකනම් නෙමේ ඒකෙන් පිට වෙච්ච ලස්සන පද පෙලක්,මාව මොහොතකට නවත්තපු සින්දුවක්,අහසේ අතරමං වෙලා පොලොවට බහින්ඩ අමතක වෙලා හිටිය මාව පහලට ගත්ත පණිවිඩයක්. ඔයා සුළඟ වගේනම් නෙමේ.ඒත් සින්දුවනම් කිව්වේ සුළග නුඹ් වගේ කියලා.වැස්සත් නුඹ වගේලු.ඒත් මම විතරයි දන්නේ ඔයා ඒ කිසිම දෙයක් වගේ නෙමේ කියලා.ඒත් ඒ ස්වරයන් ඒ හැම පදයක්ම මාව අමුතුම ළොවකට අරන් ගිහින්.මට ඔයාව මතක් කරලා දීලා.ඔයාව මගේ හිතේ මැද්දටම ගෙනත්. මොනා උනත් බයික් එක තත්පර දහයක් යන්න කලියෙනුත් නොපෙනී ගිහින්.ඒත් මම තාම පොඩි අඩි තිය තියා ගාටනවා. පුදුමේ කියන්නේ ඒ සින්දුවම ඒ පද පෙලම විනාඩියක් යන්ඩත් කලින් ආයෙමත් පාර අයිනේ තිබුන ගෙදරකින් ඇහෙන්ඩ ගත්ත එක.ඒකෙන් කියන්නේ නෑ කවූරුහරි මොකහරි බලවේගෙකින් ඔයාව මතක් කරන්ඩ හදනවා කියලා බාගවිට ඒ මගේම හිත වෙන්ඩැති කියලා පොඩ්ඩක් හිත සනසලා දාන්ඩ උනා මට. මම ඉස්සරහට යනවා සින්දුවත් මුමුන මුමුන.ඔයත් එක්ක හිටිය කාලෙ චිත්‍ර කතාවක් වගේ හිත ඉස්සරහා මැවෙනකොට මම හරියට ඉස්සරහට යන්නේ මීදුම් පටල අයින් කරනවා වගේ අමරුවෙන්.මම ගියාද නැත්තම් වෙන කවුරුත් අරන් ගියාදෝවත් මතකයේ නැති තරම්. තව අඩි දහයක් බෝඩිමට තිබිද්දි සින්දුවේ අවසාන පදයටත් මම ඇවිත්.හිත පොඩ්ඩක් රිදෙව්වට ඒත් ඔයාගෙන් හිත නොමිදෙන එකනම් පුදුමයක්ම තමයි.එහෙමයි මට හිතුනේ.අන්තිමට බෝඩිමටත් ඇවිත් ඉවර උනේ සින්දුවත් ෆෝන් එකට දාගෙනමයි.

Comments

Popular posts from this blog

භූමිතෙල් ලාම්පු

මැටි බිත්ති

වතුර බෝතලය